
1947 දී ඇම්. සාර්ලිස් මාස්ටර්ගේ සිංහල අක්ෂරමාලා විසිතුරු චිත්‍ර පොත
මගේ අදහස…ඇම් සාර්ලිස්




සිංහල අක්ෂරමාලා නමැති මේ නව නිෂ්පාදනයෙන් මා අදහස් කරන්නේ සිංහල බාල බාලිකා අකුරට අත පුරුදුවනවා සමගම ඒ ඒ අකුර විසිතුරු චිත්‍රයකට පෙරලා ඇඳ ගැනීම සෑම ළමයකුගේ පහසුවටත් විනෝදයටත් ඥානය දියුණුවටත් සදුපාය මාර්ගයක් නොව චිත්‍ර ශිල්පය උගැන්වීමය.
සෑම භාෂා සාහිත්‍යයෙකම දියුණුවට මූලික හේතුව වූ ඒ ඒ භාෂා පිළිබඳ අක්ෂර මාලාවන්ගේ සම්භවය චිත්‍ර කර්මයෙන්ම නිපැද වූවක් බැවින් චිත්‍ර ශිල්පය ඉතා උසස් විශිෂ්ට ශිල්පයෙකි. ඒ බැව් අද නවීන විද්වතුන්ගේ දහස් ගණන් ෙනායෙක් සිංහල පොත පතේ මුල්පිටු සිතුවම දෙස පමණක් බැලුවත් හොඳ හැටි පැහැදිලි වන්නේය. එහෙත් චිත්‍ර ශිල්පය පිළිබඳ කිසිම නවීන පොත පතක් අද දක්නට නොලැබීම අපේ සිංහල චිත්‍ර ශිල්පයේ පරිහානි ලක්ෂයෙකි. එයට හේතුව ඉංග්‍රීසියෙන් සිංහල චිත්‍ර ශිල්පය උගැන්වීමත් අජන්තා සීගිරි සිතුවම් කොපි කරනවා මිස ඒ අනුව අමුතු නිර්මාණ ශක්තියක් නැතිවීමත් විය යුතුයි. මේ ආදී ක රුණු ගැන සැලකූ මවිසින් සිංහල භාෂාවට ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නාට යන මේ කාලේ සිංහල චිත්‍ර ශිල්පයටත් නව ජීවනයක් දීමේ හෝඩියක් වශයෙන් මේ පොත මෙසේ පළකිරීම සිංහල භාෂාවට හා සිංහල චිත්‍ර ශිල්පයට ගරුකරන සෑමදෙනාගේ සතුටටත් විශේෂයෙන් චිත්‍ර ශිල්පාභිලාෂින්ගේ සහ පාඨඹාලාචාර්ය මහතුන්ගේත් ප්‍රයෝජනය පිණිසත් වෙනවා ඇත යනු මගේ අදහසයි.
මෙහි නැවත මුද්‍රණය ආදී හැම අයිතියක්ම ඇම්. සුනිල් ප්‍රේමරත්න සතුය.
මෙහි සිංහ රූපයට දෙපැත්තෙන් දැක්වෙන්නේ 1922 පවත්වනු ලැබූ සමස්ත ලංකා කර්මාන්ත ප්‍රදර්ශන යෙන් පූර්වදිග චිත්‍ර ශිල්පය පිළිබඳව ඒ. සී. ජී. ඇස්. අමරසේකර මුදලිතුමාගේ පරිත්‍යාගයෙන් මා වෙත හිමි වූ ස්වර්ණ මුද්‍රිකාවේ සටහනයි. එය නියම වූයේ මවිසින් අඳින ලද නවනාරි කුජරය පංචනාරි ඝටය සහ භංශ පූට්ටුව යන පෙර දිග චිත්‍ර සම්ප්‍රදායෙහි විශිෂ්ට ලක්ෂණයක් ගත් එකී චිත්‍ර රූප තුනටය.
ඇම්. සාර්ලිස් 1947 5.1 ගල්කිස්ස

———————————————————————-
බොදු සිතුවම් ශ්‍රී ලංකාවේ ප්‍රචලිත කළ ඇම්. සාර්ලිස් මාස්ටර්
සීවලී මහරහතන් වහන්සේගේ වර්ණ පින්තූරය එකල අප නිවසේ ඇතුළු වන දොරකොඩම එල්ලා තිබුණි.
අපගේ වැඩිහිටියන් පැවසුවේ සීවලී මහරහතන් වහන්සේ නිවසේ සිටිනවා නම් අප හට කිසි දිනක නිවසේ කෑම බීම වලින් අඩුවක් සිදු නොවන බවකි.
නිවෙස ඉදි කළ වකවානුවේ සවි කල මේ සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රය අද ද අප පුහුල්වැල්ලේ නිවෙසේ දැකගැනීමට හැක.
මා මාතර පඹුරණ ඥාති නිවෙසකට ගිය අවස්ථාවේ නිවැසියෝ මා හට අපූරු චිත්‍ර ටිකක් පෙන්වීය. එනම් වසර 100 පමණ පැරැණි මේ චිත්‍ර සීවලී මහරහතන් වහන්සේගේ හා සිද්ධාර්ථ කුමරාගේ විවාහ මංගල්‍යය, ගිහිගෙය හැරයාම, ශිල්ප දැක්වීම, දිව්‍ය ලෝකයේ ඇති සිළුමිණසෑය වැනි චිත්‍රයි.
මේ චිත්‍ර පරීක්ෂා කර බැලීමේදී ඇම්. සාර්ලිස් චිත්‍ර ශිල්පියා විසින් ඇඳ ඇති මේ චිත්‍ර ජර්මනියේ මුද්‍රණය කොට ඇති ඒවාය.
එකල අප රටේ ලිතෝ මුද්‍රණ ශිල්පය නොතිබූ අතර ජර්මනියට යවා මේ චිත්‍ර වර්ණයෙන් මුද්‍රණය කරවා තිබුණි.
ඝන ඔප කඩදාසියේ මුද්‍රණය කොට ඇති මේ චිත්‍ර වසර 100 ආසන්න වුවත් ඉතා හොඳ තත්ත්වයේ පවතී.
1911 දී මාලිගාකන්ද විහාරයේ සිතුවම් කටයුතු කළ සාර්ලිස් මාස්ටර් ස්‍වදේශ මිත්‍රයා පත්‍රයේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කළේය.
උම්මග්ග ජාතක පොතේ පිටකවරය මෙන්ම ඇතුළු පිටුවල චිත්‍ර නිර්මාණය කළ සාර්ලිස් මාස්ටර් ලංකාවේ ප්‍රථම චිත්රපටය වූ මෙරට තිරගත නොවූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ප්රධාන චරිතය රඟ පෑ ‘රාජකීය වික්රමය’ චිත්රපටයේ කලා අධ්‍යක්ෂවරයාද විය.
1880 ජුනි මස 25 දින අම්බලන්ගොඩ ආඳාදොළ ගමේ උපන් මාලිගාවගේ සාර්ලිස් ගේ පියා වූයේ මාලිගාවගේ නන්දෝරිස්ය. ඔහු දෛවඥයෙකි. ගමේ පන්සලේ වලිතර සරණංකර හිමිගෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්ද පිරිවෙනට ඇතුළු විය.
මේ වන විට සාර්ලිස් තම බාප්පා වෙතින් චිත්‍ර කර්මය හා මූර්ති පිළිබඳ දැනුමක් ලබා තිබුණි. මේ වන විට මාලිගාකන්ද විහාරයේ චිත්‍ර සිතුවම් කරමින් සිටි සමයයි.
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි සාර්ලිස්ට එහි චිත්‍ර කරමින් සිටි රිචඩ් හෙන්රිකස් මහතාව හඳුන්වා දෙන ලදී. ඔහුගේ සිත්තර කණ්ඩායමට වැටුණු සාර්ලිස් චිත්‍ර කලාව හොඳින් ප්‍රගුණ කළේය.
එකල ලංකාවේ නිවෙස්වල එල්ලා තිබුණේ එංගලන්ත රජ පවුලේ චිත්‍රයි. මේ පිළිබඳ මහත් සිත් තැවුලට පත්ව සිටි අනගාරික ධර්මපාලතුමාට ඒ වෙනුවට බෞද්ධ චිත්‍ර නිවෙස්වල එල්ලවීමට අවශ්‍ය විය. පිටකොටුවේ කයිමන් දොරකඩ ව්‍යාපාරික විලියම් ප්‍රේද්‍රිස්ට මේ බව පැවැසීය.
මොහු විහාර චිත්‍ර කර්මවලට අවශ්‍ය දුම්මල රසායන ද්‍රව්‍ය අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි.විලියම් පේද්‍රිස් තම අවශ්‍යතාව මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනට ගොස් හික්කඩුවේ සුමංගල හිමිට දැන්වීය.
හික්කඩුවේ සුමංගල හිමි තම විහාරයේ චිත්‍ර කර්ම කරමින් සිටි ඇම්. සාර්ලිස් නම් ගෝලයාට මේ කාර්ය පැවැරීය. සාර්ලිස් දින කිහිපයකින් දන්වළඳමින් සිටින සීවලී මහරහතන් වහන්සේගේ චිත්‍රයක් ඇඳ වර්ණ ගන්වා විලියම් පේද්‍රිස්ට ලබාදුනි.
මේ චිත්‍රය පිළිබඳ ධර්මපාලතුමා හා විලියම් පේද්‍රිස් මේ චිත්‍රය ජර්මනියට යවා වර්ණයෙන් මුද්‍රණය කරවා දොන් බැස්ටියන් සමාගම හා එක්ව අලෙවි කළේය.
මේ චිත්‍ර බුරුම, තායිලන්තයළ ඉන්දියාව වැනි රටවලද අලෙවි කළේය. චිත්‍රය යටින් එම රටවල භාෂාවලින්ද මුද්‍රණය කළ තිබිණි.
යමක් කමක් ඇති බෞද්ධ පවුල්වල අය මේ චිත්‍රය විශාල මුදලක් දී ගෙන තම නිවෙස් වල සීවලී මහරහතන් වහන්සේ රාමුකොට එල්ලන ලදී. විශාල වශයෙන් අලෙවි වීම නිසා තවත් බෞද්ධ චිත්‍ර රැසක් සාර්ලිස් මාස්ටර් ලවා අන්දවාගෙන ජර්මනියට යවා මුද්‍රණය කොට ගෙන්වා අලෙවි කරන ලදී.
මේ චිත්‍ර නිසා රටේ මහත් බෞද්ධ ප්‍රබෝධයක් ඇති විය. ජීවිත කාලයම බෞද්ධ සිතුවම් කලාව වෙනුවෙන් කැප කළ ඇම්. සාර්ලිස් මාස්ටර් 1955 නොවැම්බර් 21 දින අභාවප්‍රාප්ත විය.
ඔහු දායාද කළ චිත්‍ර අදත් රට පුරා විහාරස්ථානවල, පැරැණි ගෙවල්වල සුරක්ෂිතව ඇත. ඔහු නිර්මාණය කළ 88 රියන් මාතර වෙහෙරහේන සමාධි බුද්ධ ප්‍රතිමාව අපට දැක ගත හැක.
ඔහුගේ සිතුවම් රැසක් මාලිගාකන්ද පිරිවෙන, කොළඹ අසෝකාරාමය, ජේතවනාරාමය, වජිරාරාමය, යාලේගම විහාරය, තිස්සමහාරාමය, මතුගම පාන්තියේ ශ්‍රී සුමංගලාරාමය, කිරිබත්ගොඩ ඊරියවැටිය සුදර්ශනාරාමය වැනි ස්ථානවලදී දැකගත හැකිය.
සාර්ලිස් මාස්ටර්ගේ පැරැණි විත්‍ර ලබාදුන්නේ මාතර පඹුරණ පදිංචි කුරුඳුහේවාගේ විමලසීලී මහත්මියයි
නන්දික බැද්දේගම
…………….

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්
ලංකාවට නිදහස ලබා වසරක් හෝ දෙකක් ගත වූවා පමණි, මහා කලාකරුවකු හමුවීමට ගල්කිස්සේ ඔහුගේ නිවසට පණිවුඩකරුවකු පැමිණෙයි. පණිවුඩයේ වූයේ පසුදිනම ගොස් අගමැතිව හමුවන ලෙසය. පසුදිනම මෙම මහා කලාකරු නියමිත වේලාවට ආඩම්බරයෙන් එකල අගමැති වූ ඞී. ඇස්. සේනානායක විසූ වුඞ්ලන්ඞ් මන්දිරයට ගියේ අගමැති වූ නිසාම පමණක් නොව තමා මෙයට පෙර දැන හැඳිනගත් මහතෙකු හමුවීමටය. මෙම මහා කලාකරුවා දුටු විගසම අගමැති සේනානායක ”ආ කොහොමද, තමුන්නැහේගේ නමට ඉස්සරහින් සර් යන්න දාන්න මහ රජ්ජුරුවන්ට රෙකමදාරු කිරීමටයි අපි හිතන් ඉන්නේ’’ යැයි පැවසීය. ඉතා නිහතමානීව අගමැතිට නිසි ගෞරවය දෙමින් මෙම කලාකරු ”අනේ අගමැතිතුමෝ මට මොකටද නමට තව සාර් කෑලි, උපන් ගමන්ම මට සාර් කෑල්ල අපේ තාත්තා දැම්මනේ’’ යැයි අපූරු පිළිතුරක් දූන්නේය, තමාට හිමිවීමට ගිය නම්බු නාමය ප‍්‍රතික්ෂේප කළ එම මහා කලාකරු අන් කවරෙක්වත් නොව මෙයට වසර 66 කට පෙර නොවැම්බර් මසක ලොව හැර ගිය යුගයේ මහා චිත‍්‍ර ශිල්පියා ඇම්. සාර්ලිස් මාස්ටර්ය.
ලංකාව යටත් විජිතයක්ව පැවති යුගයේ අධිරාජ්‍ය විරෝධී අරගලයන්හි පිබිදීමක් 20 වන සියවසේ මුල් භාගය වන විට දක්නට ලැබේ. දේශීය අධ්‍යාපනයේ ප‍්‍රබෝදය, නව ජාතිකවාදී පිබිදීම, දේශීයත්වයේ පුනරුදය යන කරුණු මෙම අධිරාජ්‍ය විරෝධී අරගලයේ ප‍්‍රබලම අංගයන් විය. නව කථා, පුවත් පත්, ලිපි, ගීතයන් හා වෙනත් විවිධ මාධ්‍ය ඔස්සේ මෙම නව ජාතික ප‍්‍රබෝදය ශක්තිමත් කළේය. එසේම චිත‍්‍ර කලාව තුළින්ද ජාතික ප‍්‍රබෝදයට කළ මෙහෙවර සුළුපටු නොවේ. එහි ප‍්‍රබලතම කාර්යභාරය කරනු ලැබුවේ ඇම්. සාර්ලිස් මාස්ටර්ය.

ඇම්. සාර්ලිස් මාස්ටර්
බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයෙත් නිදහසට පසුව කෙටි කාලයක් තුළත් ලංකාවේ බොහෝ නිවාස හා වෙනත් ස්ථානවල බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඡායාරූප එල්ලා ප‍්‍රදර්ශනය කිරීම දක්නට ලැබුණි. එපමණක් නොව කුඩ මිට, අභ්‍යාස පොත් සැරසීමටද රජ පවුලේ ඡායාරූප යොදාගෙන තිබුණි. මෙම යටත්විජිත මානසිකත්වය බිඳ හෙළීමටත් නව ජාතික ප‍්‍රබෝදයක් ඇති කිරීමටත් මෙම රජ පවුලේ ඡායාරූප වෙනුවට ජාතික හා බෞද්ධාගමික සිද්ධි පාදක කරගෙන උසස් තත්ත්වයේ චිත‍්‍ර නිර්මාණය කොට ඒවා ප‍්‍රචාරණය කිරීමට ජාතිමාමක බුද්ධිමතුන් ඉදිරියට පැමිණියේය. එහි මුද්‍රණ කටයුතු සඳහා දේශීය ව්‍යාපාරිකයෝ ආයෝජනයට පෙරට ආහ. මෙම චිත‍්‍ර නිර්මාණය කළ මහ ශිල්පියා වූයේ ඇම්. සාර්ලිස් මාස්ටර්ය. රජ පවුලේ ඡායාරූපයට විකල්පයක් ලෙස ආ දුප්පත් පොහොසත් නිවෙස් සැරසූ සීවලී මහ රහතුන් වහන්සේ දේවාරධනාව මහාභිනිෂ්ක‍්‍රමණය වැනි සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍ර එකල මහත් ජනප‍්‍රියත්වයට පත් විය.
මාලිගාවගේ සාර්ලිස් 1880 ජුනි මස 25 වන දින අම්බලන්ගොඩ ආඳාදොළ ග‍්‍රාමයේ උපත ලැබීය. ඔහුගේ පියා වූ මාලිගාවගේ නන්දෝරිස් දෛවඥයකු විය. සාර්ලිස් දරුවා කුඩා කළ සිටම පියාගේ නක්ෂත‍්‍ර ශාස්ත‍්‍රයට වඩා කලා කටයුතුවලට රුචිකමක් දැක්විය. ගමේ පන්සලේ වැඩ විසූ පඩි රුවනක් වූ වැලිතර ඥාණතිලක හිමිගෙන් මූලික අධ්‍යාපනය ලබන සාර්ලිස් දරුවා පාලි සිංහල සංස්කෘත භාෂාවන්ද උන්වහන්සේ යටතේ හදාරනු ලැබුවේය. සමහර ලේඛකයන් මෙම හිමිනම වැලිතර සරණංකර හිමි ලෙස දක්වා ඇත. තිස්ස හේවාවිතාරනයන් හා Old Masters and their Pupils පත‍්‍රිකාවේ සඳහන් වන්නේ වැලිතර ඥාණතිලක හිමි ලෙසය.
සාර්ලිස් මාස්ටර් වැඩිදුර අධ්‍යාපනය සඳහා මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙන වෙත යවන ලදී. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කළ හැරවුම් ලක්ෂය විය. මෙහිදී පෙරදිග භාෂාවන් පිළිබඳව පුළුල් ඉගැනීමක් කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. එපමනක් නොව චිත‍්‍ර කලාව හා මූර්ති කලාව ඉගැනීමටද අවස්ථාව ලැබුනේද මෙම පිරිවෙනේ අධ්‍යාපන කටයුතු කරන විටය.

නවනාරි කුංචකය
මෙතුමාගේ චිත‍්‍ර හා මූර්ති කලාවේ ආරම්භය පිළිබඳ විවිධ මත පවතී. සාර්ලිස් මාස්ටර්ගේ කිට්ටුම අසල්වැසියා වූත් සුසිල් පේ‍්‍රමරත්න හා ජී. ඇස්. ප‍්‍රනාන්දුගේ ගෝලයකු වූත් චිත‍්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරනයන් ප‍්‍රකාශ කරනුයේ සාර්ලිස්ගේ බාප්පා වූ විදානේ නම් එකල ගමේ ප‍්‍රසිද්ධ විත‍්‍ර ශිල්පියාගෙන් සාර්ලිස් මාස්ටර් මුලින්ම චිත‍්‍ර කලාව හා මූර්තිය ඉගෙන ගත් බවය. විදානේ බප්පාද එකල ආගමික සිද්ධි පාදක කොට ගමේ නිවාස සැරසීමට චිත‍්‍ර ඇඳ ඇති අයෙකි.
මාලිගාකන්ද විහාර මන්දිරයේ වැඩකටයුතු මෙකළ ආරම්භව පැවති අතර එහි සිතුවම් කිරීමේ කාර්ය පැවරී තිබුණේ රිචඞ් හෙන්ඩි‍්‍රකස්ටය. මෙකළ මරදානේ 1911 ඇරඹි ටවර් රඟහලෙත් එකල වූ වෙනත් රංග ශාලාවලත් වේදිකාගත වූ නට්‍ය වලවිශාල පසුබිම් තිර ඇදීම කළ ප‍්‍රසිද්ධම චිත‍්‍ර ශිල්පියා වූයේ රිචඞ් හෙන්ඩි‍්‍රකස්ය.
මලිගාකන්ද විහාරයේ වැඩ කරමින් සිටින අතර හික්කඩුවේ සුමංගල නාහිමියන් සාර්ලිස්ව ඔහුට හඳුන්වා දෙමින් බිතු සිතුවම් කලාව උගන්වන ලෙස ඉල්ලා සිටි බව එක් මතයකි. සාර්ලිස් හෙන්ඩි‍්‍රකස්ගේ ගෝලයකු ලෙස විහාර මන්දිරයේ සිතුවම් කිරීමට සහය විය.
තවත් මතයක් වනුයේ මාලිගාකන්ද පිරිවෙණ සිට ඇවිදින දුරක පිහිටි ටවර් රඟහලේ පුළුල් පසුබිම් තිර හෙන්ඩි‍්‍රකස් නිර්මාණය කරනවා බැලීමට සාර්ලිස් නිතර එහි ගොස් හෙන්ඩි‍්‍රකස් හා මිතුරු වූ බවය. එහිදී හෙන්ඩි‍්‍රකස් ගෙන් චිත‍්‍ර ශිල්පය ඉගෙන ගෙන ඇත.
මලිගාකන්දේ පිරිවෙණේ විහාර මන්දිරය ගොඩනැ`ගීමට පෙර 1909 දී හෙන්ඩි‍්‍රකස් තම ගෝලයා වූ සාර්ලිස් සමඟ ග‍්‍රැන්ඞ්පාස් හි ජයතිලකාරාමයේ විහාර බිතු සිතුවම්වල යෙදී ඇත. හෙන්ඩි‍්‍රකස් යටතේ මෙසේ බිතුසිතුවම් ඉගෙනගන්නා අතරේ ජයතිලකාරාම විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව සාර්ලිස් මාස්ටර් තනියෙන් නිම කර ඇත. මරදානේ මාළිගාකන්ද විහාරයේ බිතු සිතුවම් ඇදීම හා ප‍්‍රතිමා නිර්මාණයන් අරම්භ කරන ලද්දේ 1911 දීය. එනම් ජයතිලකාරාමයේ වැඩ ආරම්භ වී වසර දෙකකට පසුවය මරදානේ මාළිගාකන්ද විහාරයේ කටයුතු කොට ඇත්තේ කරකඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේය. එතුමාගෙන්ද සාර්ලිස් දේශීය චිත‍්‍ර ශිල්පය හා මූර්තී කලාව ඉගෙන ගෙන ඇත.
ස්වර්ණ සම්මාන ලාංඡනය
එසේම සාර්ලිස්ගේ මූර්තීන් සඳහා දොස්තර ගේබි‍්‍රයල් ගුණවර්ධනගේ උපදෙස්ද ලැබී ඇත. චිත‍්‍ර ශිල්පී තිස්ස හේවාවිතාරනයන් ප‍්‍රකාශ කරනුයේ කීර්තිමත් කලාකරුවකු වූ මහා මුදලිඳු ඒ.සී.ජී.ඇස්. අමරසේකරගේ බලපෑමත් සාර්ලීස් මාස්ටර්ට වූ බවය.
සාර්ලිස් මාස්ටර් ජනප‍්‍රිය චිත‍්‍ර ශිල්පියකු ලෙස කාගෙත් ගෞරවයට පාත‍්‍ර වනුයේ නිවාස අලංකරනයට බොදු සිරිත ආශ‍්‍රය කරමින් චිත‍්‍ර නිර්මාණය කිරීම නිසාය. බි‍්‍රතාන්‍ය යටත් විජිත යුගයේ දුප්පත් පොහොසත් බොහෝ නිවාස තුළ එල්ලා සරසා තිබුණේ බි‍්‍රතාන්‍ය රජ පවුලේ ඡායාරූපවලිනි. මෙම යටත් විජිත මානසිකත්වයට අභියෝග කළ හැක්කේ ලාංකික සංස්කෘතියට ගැළපෙන සිතුවම් ප‍්‍රවර්ධනයෙන් බව එකල අධිරාජ්‍ය විරෝධී අරගලයේ පෙරමුණේ සිටි නායකයෝ අවබෝධ කරගති. විශේෂයෙන් අනගාරික ධර්මපාලතුමා හික්කඩුවේ සුමංගල නාහිමියන් මේ සඳහා නායකත්වය ගත් අතර චිත‍්‍ර නිර්මාණය කිරීමේ කාර්ය පැවරුනේ සාර්ලිස් මාස්ටර්ටය. සාර්ලිස් ඇඳි එම චිත‍්‍ර මුද්‍රණය කළේ එකල ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයන් වූ පේදිරිස්වරුන්ය.
පිටකොටුවේ කයිමන් දොරකොඩ පිහිටා තිබුණු විලියම් පෙදිරිස්ගේ සාප්පුව කණ්ණාඩි ව්‍යාපාරයේ එකල ප‍්‍රසිද්ධම ව්‍යාපාරික සථානයකි. කණ්ණාඩි ව්‍යාපාරික ලෝකයේ පසුකලෙක කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඇල්බට් එදිරිසිංහ පෙදිරිස් සාප්පුවේ සේවකයකු ලෙස සිට ඇත. ඔහු ප‍්‍රකාශ කළේ විලියම් පෙදිරිස් සාප්පුව විහාර කර්මාන්තයන්හි චිත‍්‍ර ඇඳීමට අවශ්‍ය දුම්මල සායම් වර්ග ආදී ද්‍රව්‍යයන් ආනයනය කොට අලෙවි කළ බවය. මේ නිසාම නිතර බෞද්ධ භික්ෂූන් කලාකරුවන් මෙහි නිතර ආ ගිය බවද ඔහු ප‍්‍රකාශ කරයි. මෙම සාප්පුවට ඉහළින් විශාල අකුරින් William Pedris – The Paint People කියා නාම පුවරුවක් එල්ලා තිබූ බවද ඔහු ප‍්‍රකාශ කරයි. සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍ර ජර්මනියට යවා ඒවා උසස්ම තත්ත්වයෙන් ලිතෝ මුද්‍රණයෙන් නිම කොට බෙදාහැරියේ විලියම් පේදිරිස් සමාගම විසිනි. එකල පැවති තාක්ෂණයේ ඉහළම තත්ත්වයෙන් වර්ණවත් චිත‍්‍රයන් මුද්‍රණය වීම නිසා බි‍්‍රතාන්‍යයේ මුද්‍රණය කොට ආ රජ පවුලේ ඡායාරූප හා වෙනත් ඡායාරූපයන් සමඟ පහසුවෙන් තරගකිරීමේ හැකියාව ලැබුණි. එසේම බුද්ධ චරිතයේ සිද්ධීන් ශාසන ඉතිහාසයේ සිද්ධීන් ජතක කථා ෙඓතිහාසික සිද්ධීන් ආශ‍්‍රිතව මෙම මුද්‍රණය කළ සාර්ලිස්ගේ චිත‍්‍ර පහසුවෙන් අලෙවි කළ හැකි විය. මේවා නිවසේ එල්ලා තැබීමට පහසු වන ලෙස උසස් තත්ත්වයෙන් රාමු කොටද විකිණීමට තිබුණි. මෙම පසුබිම තුළ බොහෝ බෞද්ධ නිවාසවල සාර්ලිස්ගේ චිත‍්‍ර දක්නට ලැබුණි.
බුදු මඟ උපාලි ප‍්‍රකාශනය
සාර්ලිස්ගේ චිත‍්‍ර අතරින් වඩාත්ම ජනප‍්‍රිය චිත‍්‍රය වූයේ සීවලී මහ රහතුන් වහන්සේගේ චිත‍්‍රයය. මෙහි අලෙවිය ඉතා ඉහළ මට්ටමක විය. මෙම තත්ත්වය ඇසින්ම දුටු ඇල්බට් එදිරිසිංහ ප‍්‍රකාශ කොට තිබුණේ විලියම් පේදිරිස් මුලින්ම සීවලී රහතුන් වහන්සේගේ චිත‍්‍රය ජර්මනියේ මුද්‍රණය කර එමගින් විශාල අලෙවියක් ලැබ මහා ව්‍යාපාරයක් බවට පත් වූ බවය. එයට පසුව අනෙක් චිත‍්‍රද මුද්‍රණය කරන ලදී.
සාර්ලිස් මාස්ටර් වරක් තම පුතුට තෑගි කර ඇත්තේද දිය සායම්වලින් අඳින ලද සීවලී මහා රහතන් වහන්සේගේ චිත‍්‍රයකි. මෙම චිත‍්‍රය අදත් එම පවුල සතුව පවතියි.
මෙයට අමතරව සුවිසි විවරණය දේවාරාධනය මහමයා දේවියගේ සිහිනය සිද්ධාර්ථ කුමාර උප්පත්තිය සිදුහත් කුමරු ගිහි ගෙය හැරයෑම ආදී බුද්ධ චරිතයේ බොහෝ වැදගත් සිද්ධීන් පමනක් නොව කුස ජාතකය ආදී ජාතක කථාවන්ද චිත‍්‍රයට නැඟ ජර්මනියේ මුද්‍රණය කොට විලියම් පේදිරිස් සාප්පුව හරහා අලෙවි කළ අතර ඒවාද ජනප‍්‍රිය ඉහළම තලයක විය.
මෙම චිත‍්‍ර ප‍්‍රවර්ධනය සඳහා සවදේශීය මිත‍්‍රයා පුවත්පතේ විශේෂ අතිරේකයක්ද පළ කළේය.
දෙවන ලෝක යුද්ධය පැවති මුල් කාලයේ බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ අවධානය පෙදිරිස්වරුන්ට පමනක් නොව සාදිරිස් කෙරේද යොමු වී තිබුණි. මෙයට හේතු වූයේ එවකට පෙදිරිස්වරුන්ගේ ව්‍යාපාරික කටයුතු බොහෝමයක් ජර්මනිය සමඟ සිදුවීමය.
විලියම් පෙදිරිස් සාප්පුව හරහා මුද්‍රණය කොට අලෙවි කළ සාර්ලිස් චිත‍්‍ර ජනප‍්‍රිය වීමත් සමඟම බැස්ටියන් සමාගම හා එච්. ඩබ්ලිව්. කේව් සමාගම සාර්ලිස්ගේ චිත‍්‍ර උසස් තත්ත්වයෙන් මුද්‍රණය කර රට පුරා අලෙවි කරන ලදී. විජයාවතරණය, මද්දුම බණ්ඩාරගේ හිස ගසා මරණයට පත් කිරීම ආදී ජාතික වැදගත් කමක් ඇති ෙඓතිහාසික සිද්ධීන් මෙම චිත‍්‍රවලට ඇතුළත් විය.
සාර්ලිස් මාස්ටර් කළ බිතු සිතුවම් බුදුපිළිම මූර්ති නිර්මාණ ඇතුළත් විහාර රාශියක් දිවයින පුරා විහිදී ඇත. 1909 දී පමණ සාර්ලිස් මාස්ටර් තම ගුරු රිචඞ් හෙන්ඩි‍්‍රකස් සමඟ ග‍්‍රැන්ඞ්පාස් හි ජයතිලකාරාමයේ විහාර බිතු සිතුවම්වල යෙදුනි. හෙන්ඩි‍්‍රකස් යටතේ මෙසේ බිතු සිතුවම් ඉගෙනගන්නා අතරේ ජයතිලකාරාම විහාරයේ බුද්ධ ප‍්‍රතිමාව සාර්ලිස් මාස්ටර් තනියෙන් නිම කළ අතර එය ඔහු තනියෙන් කළ පළමු නිර්මාණයද වේ.
මෙයට වසර කීපයකට පසු 1911 දී මරදානේ මාළිගාකන්ද විහාරයේ බිතු සිතුවම් ඇඳීම හා ප‍්‍රතිමා නිර්මාණයන් අරම්භ කරන ලදී. මෙහි කටයුතු භාරදී තිබුණේ කඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේටය. සාර්ලිස් මාස්ටර් ඔහුගේ ගෝලයා ලෙස එහි කටයුතු කළ අතර මෙම සිත්තර ගුරුන්නාන්සේගෙන් දේශීය චිත‍්‍ර කලාව හැදෑරීමේ භාග්‍යයද ඔහුට ලැබුණි. මෙම විහාරයේ වැඩකටයුතු කර ගෙන යන අතර කඩොල්ගොල්ලේ මහා සිත්තර ගුරුන්නාන්සේට හදිසියේ තම ගමට ගොස් ටික කලක් එහි සිටීමට සිදුවිය. සාර්ලිස්ගේ දක්ෂතා වටහා ගත් පන්සලේ නායක හිමියන් සාර්ලිස්ට විහාර මන්දීරයේ වැඩ නිම කිරීමට අවසර දුනි.
කොළඹ මාළිගාකන්ද විහාරය ජයතිලකාරාමය හැරුණු විට පසුකාලීනව මහා සිත්තරකු බවට පත් සාර්ලිස් මාස්ටර් කොළඹ අශෝකාරමය ඉසිපතනාරාමය, වේළුවනාරාමය, පොතුපිටියේ පූජාරාමය, කිරිබත්ගොඩ, ඊරියවැටිය සුදර්ශනාරාමය, තිස්සමහාරාම වරාගොඩ විහාරය ඉඳුරුව යාලේගම විහාරය, යතම්මිට බෝධිමළු විහාරය, බෙම්මුල්ලේ සිරිවර්ධනාරාමය, පාන්තිය ශ‍්‍රී මංගලවිහාරය මහනුවර කටුකැලේ විහාරය ආදි විහාර රාශියක බුද්ධ මන්දිර තම සිතුවමින් හා මූර්තියෙන් අලංකාර කොට නිර්මාණය කරන ලදී.
සාර්ලිස් මාස්ටර් අතින් කොළඹ ඉසිපතනාරාමයේ බුද්ධ මන්දිරය නිර්මාණය වීමේ පසුබිම් කථාව සංවේදී ජනකය. 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලහාලයනට අත්අඩංගුවට ගත් එඞ්වඞ් හෙන්රි පේද්‍රිස් නම් තරුණයාට මරණ දඬුවම නියම වේ. මෙම තරුණයා අන් කිසිවකු නොව සාර්ලිස්ගේ චිත‍්‍ර ලිතෝ මුද්‍රණයට පසුකාලීනව ආයෝජනය කළ ව්‍යාපාරික ඞී. ඞී. පේදිරිස්ගේ පුතණුවන්ය. තම පුතු බේරා ගන්නට පුතාගේ බරට රත්රන් දීමට පවා පේදිරිස් ඉදිරියට ආ බව පැරැුන්නෝ පවසති. කෙසේ වෙතත් තම උත්සහය අසාර්ථක වූ විට තම පුතුට නිදහස් කර ගැනීමට හෝ දඬුවම ලිහිල් කර ගැනීමට ආණ්ඩුකාර චාර්මස්ට ලබාදීමට තිබූ රුපියල් ලක්ෂ තුනක් යොදා අංග සම්පූර්ණ විහාර මන්දිරයක් සෑදීමට සාර්ලිස් මාස්ටර්ට භාර දේ. එහි ප‍්‍රතිපලය හිඳි පිලිමයක් සැතපෙන බුදු පිලිමයක් අගසව් දෙපල පිලිම මකර තොරණ බිතු සිතුවම් සහිත මනරම්ව සැලසුම් කොට තුන් මහල් විහාර මන්දිරයක් සාර්ලිස් මාස්ටර් විසින් නිම කිරීමය.
සාර්ලිස් කිට්ටුවෙන් ඇසුරු කළ අනගාරික ධර්මපාල, දොස්තර සී. ඒ. හේවාවිතාරණ පමනක් නොව මියුසියස් හිඟින්ස්, හෙන්රි ඕල්කට්, ජෝන් ඇන්ඩර්සන් ආණ්ඩුකාරවරයා වැනි අයගේ ප‍්‍රතිමා ඔහු අතින් නිර්මාණය විය.
සාර්ලිස්ගේ චිත‍්‍ර පිළිබඳව විවිධ මතවාදයන් පවතී. රිචඞ් හෙන්ඩි‍්‍රකස්ගේ ඇසුර හේතුකොට ගෙනත් සාර්ලිස්ගේ චිත‍්‍රවල යුරෝපියානු චිත‍්‍ර කලාවේ ආභාෂය දක්නට ලැබෙන බව සමහරුන්ගේ මතය වේ. දීප්තිමත් වර්ණ භාවිතය එළිය හා අඳුර පැහැදිලිව දැක්වීම වැනි යුරෝපියානු චිත‍්‍ර ශෛලිය තුළ ඇති ලක්ෂණ ඔහුගේ චිත‍්‍ර තුළ දක්කට ලැබීම එයට හේතු ලෙස දක්වයි. එසේම තවත් මතයක් වනුයේ දේශීය චිත‍්‍ර සම්ප‍්‍රදාය තුළ ශාස්ත‍්‍රාලයීය නව චිත‍්‍ර කලා ප‍්‍රවණතාවයක් සාර්ලිස් ඇති කිරීමය. එම නිසා සාර්ලිස්ගේ චිත‍්‍ර තුළින් හැඟීම් කුළුගැන්වීමේ ලක්ෂණ ඇති බව කියයි.
සාර්ලිස් මාස්ටර්ගේ නවනාරි කුංජරය, පංචනාරි ඝටය හා හංස පූට්ටුව යන චිත‍්‍රයන් තුන උගතුන්ගේ කථාබහට ලක් විය. නවනාරි කුංජරය ලංකාව තුළ හා ඉන්දියාවේ පැරණි චිත‍්‍ර අතර බහුලව දක්නට ලැබේ. එසේම පංච නාරි ඝටය හා හංස පූට්ටුව ලංකාවේ පැරණි පන්සල් බිතු සිතුවම් තුළත් ලී කැටයම් ඇත් දත් කැටයම් තුළත් දක්නට ලැබේ. සාර්ලිස්ගේ මෙම චිත‍්‍ර තුළ පෙරදිග චිත‍්‍ර සම්ප‍්‍රදායේ විශිෂ්ඨ ලක්ෂණ වූ බව වියතුන්ගේ මතය විය. 1922 දී පවත්වන ලද සමස්ත ලංකා කර්මාන්ත ප‍්‍රදර්ශනයේදී එකල කීර්තිමත් චිත‍්‍ර ශිල්පියකු වූ මුදලිඳු ඒ. සී. ජී. ඇස්. අමරසේකරගේ අනුග‍්‍රහයෙන් පෙරදිග චිත‍්‍ර ශිල්පය සඳහා චිත‍්‍ර කලාවේ විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනැමෙන ස්වර්ණමය මුද්‍රාව නවනාරි කුංජරය, පංචනාරි ඝටය හා හංස පූට්ටුව චිත‍්‍ර තුන සඳහා සාර්ලිස් වෙත පිරිනමන ලදී.
සාර්ලිස් මාස්ටර්ගේ බොදු චිත‍්‍රයන් සම්බන්ධව නව පිබිදීමක් නැවත 1990 ගණන්වල අග ඇති වේ. 1990 දී උපාලි සමූහ ව්‍යාපාරයේ ප‍්‍රකාශයක් ලෙස සාර්ලිස්ගේ බිතු සිතුවම් හා චිත‍්‍ර රාශියක් ඇතුළත්ව බුදු මඟ – සිතුවම් සහිත බුද්ධ චරිතය බුද්ධ ධර්මය ශාසන ඉතිහාසය නම් පොතක් නිකුත් වේ. මෙය බොදු චිත‍්‍ර හා බිතු සිතුවම්වලින් යුත් ග‍්‍රන්ථයක් විය. මේ සමගම බොහෝ පිරිස්වල අවධානය නැවත මෙම චිත‍්‍රයන් කෙරේ යොමු විය. වර්තමානයේ සාර්ලිස්ගේ මුල් චිත‍්‍ර සංරක්ෂණය කිරීමටත් නැවත මුද්‍රණය කොට අලෙවි වන චිත‍්‍රවලින් නිවෙස් සැරසීමටත් බොහෝ පිරිස් ඉදිරියට පැමිණ ඇත. එදා මෙන්ම අදත් සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍රවලට ඇති ඉල්ලූම නොඅඩුව බව විශේෂිත කරුණකි.
සාර්ලිස් මාස්ටර්ගේ ඡායාරූපය ඔහුගේ මුණුබුරා වූ නයනජිත් පේ‍්‍රමරත්න අනුග‍්‍රහයෙනි.
…………

යුගයක මහා කලාකරු ඇම්. සාර්ලිස් මාස්ටර්
සාර්ලිස් මාස්ටර් 20 වන සියවසේ මුල්ම භාගය වන විට සාර්ථකම වාණිජ චිත‍්‍ර ශිල්පියා බවට පත්ව සිටියේය. එම සාර්ථකත්වයට තරුණ වියේදීම එකල ලංකාවේ වැඩි අලෙවියක් තිබූ බෞද්ධ චිත‍්‍ර ඔහු අතින් නිම වීම, ප‍්‍රධාන පුවත්පත්වල චිත‍්‍ර ශිල්පියා වීම ආදී විවිධ කරුණු හේතු විය.
ආචාර්ය සූරක්කූලමේ පේමරතන හිමි පීටස්බර්ග් විශ්වවිද්‍යාලයේ තම ආචාර්ය උපාධි නිබන්ධනය ලෙස ඉදිරිපත් කළ Bringing the Buddha Closer: The Role
of Venerating the Buddha in the Modernization of Buddhism in Sri Lanka නම් ශාස්ත‍්‍රීය පර්යේෂණ ග‍්‍රන්ථය තුළ සාර්ලිස් නාමය සඳහන්ව තිබීම වැදගත් කොට සැලකිය යුතු කරුණකි. මෙම කෘතිය තුළ යටත් විජිත යුගයේදී ඇරඹි බෞද්ධ පුනරුදයේ සිට බුදුන් වහන්සේට දැඩි භක්තිය වර්ධනය කිරීමේ කාර්යභාරය සම්බන්ධව වූ පර්යේෂණාත්මක කරුණු දක්නට ලැබේ. එකල සිටි මහා යතිවරයන්, බුද්ධිමතුන්, දානපතියන් කළ ඒ කාර්යභාරය පමණක් නොව සාර්ලිස් විසින් ඉටු කළ කාර්යභාරය ද මෙම කෘතියේ දක්වයි. එකල බුද්ධ වන්දනා ග‍්‍රන්ථ ආදිය පමණක් නොව නිවස තුළ බුදු මැඳුරු ඇති කිරීම, එවාට අවශ්‍ය බෞද්ධ පින්තූරයන් හා කුඩා බුදු පිළිමයන් නිර්මාණය වීමද මෙම පුනරුදය තුළ ඇති විය.
සාර්ලිස් මාස්ටර් හා සාර්ලිස් මැතිනිය
ස්වදේශ මිත‍්‍රයා පුවත්පතේ පේදිරිස් වරුන් විසින් සාර්ලිස්ගේ චිත‍්‍ර ප‍්‍රවර්ධනයට අතිරේකයක් පළ කළ බවට මතයක් පැවතියද ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කරන්නේ විලියම් පේදිරිස් සමාගම 1923 දී බෞද්ධ සිතුවම් පෙළ ප‍්‍රවර්ධනයට ”බොදු සිතුවම් වර්ණ කාව්‍ය’’ නමින් පොත් පිංචක් කළ බවය. මෙම සිතුවම් නිවසක තබා ගැනීමේ ප‍්‍රයෝජන හා ප‍්‍රතිඵල කවියෙන් විස්තර කොට එහි ඇතුළත්ව තිබුණු බවත් එවා පියදාස සිරිසේන මහා ලේඛකයා විසින් ලියා ඇති බවත් උන්වහන්සේ සඳහන් කර ඇත. මෙම පොත් පිංච නිර්මාණය කොට තිබුණේ සාර්ලිස් විසින්ය.
ආචාර්ය පේමරතන හිමියන් සඳහන් කළ අනෙක් වැදගත් කරුණ වනුයේ 1930 ජනවාරි මස 8 වන දින සාර්ලිස් මාස්ටර් විසින්ම බුද්ධ රූපයන් සඳහා දැන්වීමක් ස්වදේශ මිත‍්‍රයා පුවත්පතේ පළ කිරීමය. ප‍්‍රතිපත්ති පූජා නම් ශීර්ෂයෙන් යුත් එම දැන්වීමේ වූයේ ශාස්ත‍්‍රානුකූලව නිම වූ බුද්ධ රූප ශාසන මාමක බැතිමතුන්ට මිලදීගත හැකි බවය. එහි සඳහන් වූයේ එම්. සාර්ලිස්, බුද්ධ මන්දිරය, කොළඹ යන ලිපිනයයි.
උන්වහන්සේගේ පර්යේෂණයෙදි සාර්ලිස් වැදගත් සාධකයක් වූයේ කුමක් නිසාද යන්න ලේඛකයා දැනට ඇමරිකාවේ පෙන්සිල්වේනියා විශ්වවිද්‍යාලයේ අධිශිෂ්‍යත්වලාභියකු ලෙස පර්යේෂණ කටයුතුවල යෙදෙන ආචාර්ය සූරක්කුලමේ පේමරතන හිමියන්ගෙන් විමසූ විට උන්වහන්සේ පැවසුයේ සාර්ලිස් කළ මහා ශාසනික සේවය වනුයේ බෞද්ධයාගේ නිවස තුළට බුද්ධ රූපය පළමු වරට රැගෙන යෑමය. 1900 වන තුරුම බුද්ධ වන්දනා කළේ නිවසින් පිට තැනකය. එකල බුදු රුව නිවාස තුළ තබා නොගත්තේ විවිධ හේතු මත නිවස අපිරිසිදු තැනක් යයි සැලකූ හෙයිනි. නමුත් අනෙක් ආගම්වල පිරිස් නිවාස තුළ පූජාසන සදා ආගමික මෙහෙයන් කළේය. සාර්ලිස් බුදු රුවට පෙර සීවලි මහරහතුන් වහන්සේගේ සිතුවම නිවාස තුළට ගෙන ගියේය. එය කාටත් පෙනෙන තැනක එල්ලා තැබූ බෞද්ධයන් නිතරම දුටුවේ එම රුවය. මෙම පෙරලියෙන් සිදු වූයේ බුදු වහන්සේගේ රුවත්, බුදු පිළිමයත් සීවලි රහතුන් වහන්සේගේ ඡායාරූපයත් බොදු නිවසක් තුළ නැතිවම බැරි අංගයක් වීමය.
1924 ජුලි 24 වැනිදා ඉරිදා පුවත් පතක් ලෙස ඇරඹි ස්වදේශ මිත‍්‍රයා පුවත් පත මෙතෙක් පැවති පුවත් පත් වලට වඩා වෙනස් මඟක් ගත් එකකි. එකල ස්වදේශ මිත‍්‍රයා ආසියාවේ විශාලතම පුවත්පත විය. විවිධ විශේෂාංග වලින් යුත් ලිපි පාඨක සිත් ගැනීමට එහි චිත‍්‍ර ශිල්පි සාර්ලිස් මාස්ටර්ගේ දායකත්වය බලපෑවේය.
Buddhist Annual
Buddhist Annual of Ceylon නමින් ඉංග‍්‍රීසි භාෂාවෙන් පළ වූ මාස හතරකට වරක් නිකුත් වන සඟරාවක් 1920 දි ආරම්භ කරන ලදි. ලංකාවේ ඉංගී‍්‍රසි භාෂාව භාවිත කරන ලාංකිකයනටත් විදේශීය රටවල ජනතාවටත් බුදු දහමත් ජාතික ප‍්‍රබෝදයත් ඇති කිරීම අරමුණු කොට ප‍්‍රකාශයට පත් කරන ලද්දකි. මෙහි ලිපි පළ කළ අය අතර අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ හරිස්චන්ද්‍ර තුමා, ඕල්කට් ආදීන්ගේ ලිපි ඇතුළත් විය. කොළඹ ඩබ්ලිව්. ඊ. බැස්ටියන් සමාගම විසින් මෙම සඟරාව ප‍්‍රකාශයට පත් කරන ලදි. වර්ණ පිට කවරයකින් යුක්ත වූ මෙහි මුල්ම සඟරාවේ පිට කවරය නිර්මාණය කොට අඳින ලද්දේ සාර්ලිස් මාස්ටර් විසිනි. එහි වූයේ විහාරයක මකර තොරණක් තුළින් වෙහෙරක් පෙනෙන ලෙස වූ වර්ණ චිත‍්‍රයකි.
ශී‍්‍ර පාද කෘතිය
සාර්ලිස් මාස්ටර් චිත‍්‍ර විවිධ මාධ්‍යයන් සඳහා යොදා ගනු ලැබීය. එකල ජනප‍්‍රිය පොතක් වූ උම්මංග ජාතකයේ මුල් කවරය සිතුවම් කරමින් ඔහු ඇරඹි නව ගමන් මඟට උදාහරණ රාශියක් ඉතිහාසය තුළ දක්නට ඇත. පූජනීය ශී‍්‍ර පාද පුද බිමේ මහා මළුවට මුලින්ම විදුලි ආලෝකය ලබා දීම පිළිබඳව පිළිගත් මතය වනුයේ ලක්ෂපාන බලාගාරයේ වැඩ නිම වූ වහාම එයින් පළමු විදුලිය 1950 දී ශ‍්‍රී පාද පුද බිමට දුන් මතයය. එහෙත් මුලින්ම මහා මළුවට පළමු වරට විදුලිය ලබා දෙන්නේ 1934 දි පමණ කොළඹ ශී‍්‍ර සමන්තකූඨ විදුලි පහන් ආලෝක සහෝදර සමිතියේ මැදිහත් වීමෙනි. ශ‍්‍රී පාද වන්දනාවේ දී සිදූ වු සිද්ධි මාලාවක් හරහා ඇති වූ තීරණයක අවසාන ප‍්‍රතිඵලය වූයේ ඉතා දූෂ්කර අභ්‍යාසයකින් පසු මහා මළුවට විදුලි ආලෝකය ලබා දීමය. 1934 දී ශ‍්‍රී පාද මහා මළුවට ආලෝකය ලබා දීම ගැන විස්තර සහිත කෘතියක් ආචාර්ය කේ. ඇම්. විතාරණ විසින් රචිත Sri Pada Adma’s Peak – the Holy mountain of religious amity and miracles නමින් ලියා ඇත. ඉහත කී සමිතිය විදුලි ජනක යන්ත‍්‍රයක් ගැනීම සඳහා අරමුදලක් ඇරඹි අතර එයට අරමුදල් ලබා ගැනීමට සාර්ලිස් මාස්ටර්ගේ චිත‍්‍ර යොදා ගති. සාර්ලිස් මේ සඳහා චිත‍්‍ර තුනක් ඇඳ දුන් අතර එවා ලිතෝ මුද්‍රණයෙන් සකසා අලෙවි කොට ආදායමක් ලබා ගනු ලැබීය. එයින් එක් චිත‍්‍රයක දෙවියන් මලින් ශ‍්‍රී පාදය පුදන අයුරුත් මහා ගංගා ගලා බසින අයුරුත් සාර්ලිස් විසින් සිතුවම් කොට තිබුණි. මෙම චිත‍්‍රයන්ට ඉහළ ඉල්ලූමක් පැවතීය.
කුමාරතුංග මුනිදාස ළමා පරපුරේ අධ්‍යාපනය සේම යහපත් අනාගත දරු පරපුරක් බිහි කිරීමට තම ළමා ග‍්‍රන්ථ හරහා මහත් පරිශ‍්‍රමයත් ගත් ගත් වියතෙකි. 1930 ගණන්වල මුද්‍රිත ශිෂ්‍යා මාර්ගය හා පරමාදර්ෂ ළමයින්ගේ හැසිරීම උදාහරණ ලෙස දක්වා කළ ශිෂ්‍යාවතාර ආදි පොත් තුළිනුත් ළමයින්ගේ මනා හැසිරීම අදාළ පරමාදර්ෂි ක‍්‍රියාවන් පහසුවෙන් ළමා මනසට කුමාරතුංගයන් එක් කළේ චිත‍්‍ර භාවිතයෙනි. මෙම චිත‍්‍ර වැඩිම ප‍්‍රමාණයක් ඇඳ ඇත්තේ සාර්ලිස් මාස්ටර්ය. මෙම චිත‍්‍ර අධ්‍යයනය කරන ඕනෑම අයෙකුට සාර්ලිස්ගේ අනෙක් චිත‍්‍ර වලට වඩා වෙනස් භාවිතයක් මෙම චිත‍්‍ර සඳහා යොදාගෙන ඇත. මෙම චිත‍්‍ර කළු සුදු නිසා රේඛා ඉස්මතු වන ලෙස නිර්මානය කර ඇත. කුමරතුංගයන් ළමයින්ට කියා දුන් ඓතිහාසික සිද්ධිද විස්තර කිරීමටද සාර්ලිස්ගේ චිත‍්‍ර යොදා ගනු ලැබීය. සාර්ලිස් මාස්ටර්ගේ මෙම චිත‍්‍රයන් ගැන විස්තරයක් සමරණායක විපුලගුණ ඔහුගේ ”නොගිය මඟක් ගත් කුමාරතුංග මුනිදාස’’ නම් පොතෙහි සටහන් කර ඇත. සිරිමත් චරිතයේ විවිධ අවස්ථා සාර්ලිස්ගේ සිතුවම් වලින් නිරූපණය වීම හරහා පිරිපුන් ළමයකු ඇසුරු කිරීම කරන අයුරු දක්නට ලැබුණු බව දක්වයි. පළමු වරට ළමා චිත‍්‍රයන්ද සිතුවම් කළේ සාර්ලිස් මාස්ටර් යැයදි නිගමනයකට මේ අනුව එළඹීමට හැක.
සාර්ලිස් මාස්ටර් විසින් සිතුවම් කළ රාජ සභාවේ විරිදු ගායනයක යෙදෙන ශිල්පියෙකුගේ චිත‍්‍රයක් සුනිල් ආරියරත්න විරුද හා විරුදු කෘතියේ 297 වන පිටුවට ඇතුළත් කොට ඇත. මෙම චිත‍්‍රය තුළ රාජ සභාව තුළ රජුගේ ගුණ ගයන කවිකාරයන් අතර රබානක් ගෙන විරුදු ගායනයක් කරන අයෙකු දක්වා ඇත. එම චිත‍්‍රය පැහැදිලි ලෙසම දෙවන රාජසිංහ රජුගේ රාජ්‍ය සභාව එලෙසම නිරූපණය කිරීමක් වේ. ඉහළට එසවෙන විශාල පිහාටු තුනක් සමඟ වූ දෙවන රාජසිංහ රජුගේ ඔටුන්න මනරම්ව සාර්ලිස් සිතුවම් කොට ඇත.
අද මෙන්ම එදත් කිසියම් කථා වස්තුවක් සමඟ එයට අදාළව චිත‍්‍රයක් ඇතුළත් කිරීම දක්නට ලැබේ. එකලත් පත්මාවතී කථාව ලාංකික සමාජය තුළ වඩාත් ජනප‍්‍රිය මාතෘකාවක් විය. පත්මාවතී කථාවේ පත්මාවතීව සාර්ලිස් මාස්ටර් සිතුවම් කළේ 1920 Buddhist Annual of Ceylon සඟරාවටය. මේ අනුව පත්මාවතීගේ රූපය පළමු වරට සඟරාවකට හෝ පුවත්පතකට ඇන්දේ සාර්ලිස් මාස්ටර් යැයිද නිගමනය කළ හැක.
සාර්ලිස් මාස්ටර් 1925 ලංකීක සිනමාවේ නිෂ්පාදිත ප‍්‍රථම චිත්රපටය වූ රාජකීය වික්රමය චිත්රපටයේ කලා අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කිරීමෙන් ලාංකීක සිනමාවේ පළමු කලා අධ්‍යක්‍ෂ ලෙසද ඔහුගේ නාමය ඉතිහාසගත වේ. ප‍්‍රසිද්ධ දේශපාලනලයකු වූ ඇන්. ඇම්. පෙරේරා ප්රධාන චරිතය රඟපෑ මෙම චිත‍්‍රපටය ලංකාව තුළ ප‍්‍රදර්ශනය නොවූවද සම්පූර්ණයෙන්ම නිම වූ චිත‍්‍රපටයක් ලෙස සිංගප්පුරුවේ ප‍්‍රදර්ශනය කොට ඇත. ඓතිහාසික කථා වස්තුවක් වටා ගොඩ නැඟුනු මෙම චිත‍්‍රපටය විශාල පසුතලයන් තුළ නිෂ්පාදනය විය. ඒ සඳහා බම්බලපිටියේ ඩික්මන් පාර අසල විශාල රාජකීය මාවත් පුරාණ මාවත් පුරාණ ගෙවල් ආදි පසුතල නිර්මාණ කොට ඇත. රජ මාලිගා උයන් ආදි මහා පසුතල මරදානේ මවුලානා වත්තේ නිර්මාණය කොට රාජකීය වික‍්‍රමය චිත‍්‍රපටය රූ ගත කොට තිබුණි. සාර්ලිස් මාස්ටර් තම හොඳම ගෝලයා ජි. ඇස්. ප‍්‍රනාන්දු සහාය අධ්‍යක්‍ෂ ලෙස යොදා ගනු ලැබීය.
සාර්ලිස් වෘත්තිය මට්ටමේ ශීල්පීන් බිහි කිරීමත් චිත‍්‍ර හා මූර්ති ශිල්පය තරුණ පරපුර අතර ජනප‍්‍රිය කිරීමත් අරමුණු කොට ගෙන චිත‍්‍ර ශිල්පය හැදෑරීමට පාසලක් ආරම්භ කළේය. එය දෙමටගොඩ ඇල්බියන් මාවතේ ලංකා චිත‍්‍ර කර්ම විද්‍යාලය නමින් වූ චිත‍්‍ර පාසලය. මෙය ලංකාවේ බිහි වූ පළමු චිත‍්‍ර පාසල විය හැක. මෙයට අමතරව තැපැල් මාර්ගික අධ්‍යාපන පාඨමාලාවක් හරහාද චිත‍්‍ර ශිල්පය ඉගැන්වීය. නවනාරි කුංජරය, හංස පුට්ටුව, පංච නාරි ඝටය හා සප්ත නාරි පලැක්කිය ආදි චිත‍්‍රයන් තැපැල් මගින් ලබා දි ඒ ආශි‍්‍රතව චිත‍්‍ර ඇඳීම හුරු කළේය. ළමා පරපුරට නිවැරදිව සිංහල අක්ෂරයන් චිත‍්‍ර ආශ‍්‍රය කර ගෙන ලිවීම සඳහා අත හුරු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශ සහිත සිංහල අක්ෂරමාලා නමැති කෘතිය සාර්ලිස් ප‍්‍රකාශනයට පත් කළ අතර එහි අයිතිය තම පුතු එම්. සුසිල් පේ‍්‍රමරත්නට පැවරිය. එසේම පසු කාලීනව ගල්කිස්සේ ශාන්ත රීටා පල්ලියට යාබදව ගල්කිස්සේ ශාන්ත රීටා පාරේ අංක 118 දරන ස්ථානයේ ශී‍්‍ර ලංකා චිත‍්‍ර කලායතනය පිහිටු වු අතර පසුව ගල්කිස්සේ ගාලූ පාරේ අංක 330ට ගෙන යන ලදි. මෙම ස්ථානයන් දෙකෙහිම ඔහුගේ නිවාස ද පිහිටියේය. ඒ අතරින් ශාන්ත රීටා පාරේ නිවසේ විශාල චිත‍්‍ර නිර්මාණය කරන චිත‍්‍රාගාරයක් පවත්වා ගෙන ගොස් ඇත.
සාර්ලිස් මාස්ටර් තම එකම පුතු සුසිල් පේ‍්‍රමරත්නයන් චිත‍්‍ර ශිල්පය ඉගැන්වීමට වඩා ගායකයකු කිරීමට කැමැත්තක් දැක්වූයේ ඔහුගේ ගායන කුසලතා හොඳින් වටහාගත් හෙයිනි. තම අසල්වැසි මිතුරෙකු වූ සී. ඒ. ෆොන්සේකගේ සරල ගී සඳහා සහාය ගායනයට තම පුතුට අවස්ථාව ලබා දුනි. මේ අතර සුසිල් සිරි අයියාගේ ළමා වැඩසටහන් වලටත් සහභාගි වූ අතර ඔහුගේ හැකියාව දූටු කාර්ගීල්ස් හි ගේබි‍්‍රයල් ගුණරත්න ග‍්‍රැමෆෝන් තැටියකට ගී ගැයීමට ආරාධනා කරයි. ගීත දෙකක් තැටියට නැගෙන අතර එකක් යුග ගීයක් අනෙක තනි ගීතයක් විය. යුග ගීතය බී. ඇස්. පෙරේරාගේ සංගීතයට වි.පි. ලීලාවති සමඟ ගැයූ වීණා ශිල්පාචාරි නම් ගීතයය. අනෙක සුසිල්ගේ පළමු ගීතය ලෙස සලකනු ලබන ශී‍්‍ර රඳනා මනහාරි නම් ගීතයය. මෙහි විශේෂත්වය සාර්ලිස් මාස්ටර් තමා ලියූ එකම ගීතය තම පුතු සුසිල්ට ලිවීමය. මෙය සඳහා සංගීතය මොහොමඞ් ගවුස් සැපයුයේ සාර්ලිස්ගේ ඉල්ලීම මතය. 1945 දී එච්. එම්. වී. අංක 44 දරන තැටිය යටතේ එම ගීත නිකුත් විය. සාර්ලිස් ලියූ එකම ගීතයේ පද කිපයක් මතකයට නැගීම ඔහුට කරන ගෞරවයකි.
ශී‍්‍ර රඳනා මනහාරි උදාරි
සුන්දර පොහොය දිනේ //
සඳ කාන්ති ප‍්‍රභා දී හද පිනවායේ//
උදා වී උදා වී සුනිලඹරේ
ශී‍්‍ර රඳනා…
සඳ කාන්තියෙනි නෑවී
ජල ධාර ගලා ඒවි සඳ කාන්තියෙනි නෑවී //
දර්ශනේ විලාසේ මනහර වේ
ආ ප‍්‍රබෝධ ප‍්‍රීති කෙරේ
ශී‍්‍ර රඳනා මනහාරි උදාර……
සාර්ලිස් සිය පුතු ගායකයකු පමණක් නොව චිත‍්‍ර ශිල්පියකුද කළේය. තම පුතු භාර දුන්නේ තම හොඳම ගෝලයා වූ ජී. ඇස්. ප‍්‍රනාන්දුටය. සුසිල්ව මහනුවර ධර්මරාජයට යැවූ පසුව මරදානේ ටෙක්නිකල් කොලීජියටද යවන ලදි. තම ගුරුන්ට ගුරු භක්තිය දැක්වීම තම දරුවාට පමණක් නොව තම ගෝලයනටද සාර්ලිස් දැඩි විනයකින් අවබෝධ කර දුනි. සුසිල් ගේ පුත් සාර්ලිස් මාස්ටර්ගේ මුනුබුරු නයනජිත් පේ‍්‍රමරත්න ලේඛකයාට ප‍්‍රකාශ කළේ ජී. ඇස්. මිය යන තුරුම සෑම සිංහල අවුරුදූ දිනකම සුසිල්ගේ නිවසේ ආහාර අනුභවය ඇරඹූ අතර සුසිල්ද තම ගුරුවරයාව බුලත් දී පඩුරු දුන් බවය.
සාර්ලිස් මාස්ටර් තම ජීවිතයේ අවසන් කාලය වන විට ඔහු ලංකාවේ සිටි ආර්ථිකමය වශයෙන් පොහොසත්ම කලාකරු විය. එකල සිනමාවේ හෝ වෙනත් කලා මාධ්‍යක සිටි කලාකරුවනට වඩා ආර්ථිකමය වශයෙන් ශක්තිමත්ව සිටියේය. ඔහු කොළඹට පැමිණ ස්ථාවර වූ පසු දෙමටගොඩ ජීවත් වූ අතර 1940 ගණන්වල ගල්කිස්සේ ශාන්ත රීටා පාරේ අංක 188 ස්ථානයට පදිංචියට පැමිණියේය. මෙම ස්ථානයේ ඔහුගේ විශාල චිත‍්‍රාගාරයක් විය. ගල්කිස්ස හා ඒ අවට පිරිස් පළමුව චිත‍්‍ර හැදෑරීමට පැමිණියේ මෙම ශාන්ත රීටා පාරේ නිවසටය. ගාමිණි ෆොන්සේකාද පළමුව සුසිල්ගෙන් චිත‍්‍ර ඉගැනීම කළේ මෙහිය.
1951 දි පමණ ගල්කිස්සේ ගාලූ පාරේ අංක 330 දරන ස්ථානයේ දෙමහල් නිවාස සදා එහි පදිංචියට සාර්ලිස් පැමිණියේය. දැනට ගල්කිස්ස හන්දියේ සිංගර් ප‍්‍රදර්ශනගාරයට අල්ලපු ඉඩමේ ඔහුගේ නිවස පිහිටා තිබුණේය. එකල ගල්කිස්සේ දෙමහල් නිවාස තිබුණේ කිප දෙනකුට පමණි. සාර්ලිස් තම ගල්කිස්සේ නිවසටද දැම්මේ තම පුතුට ලියූ ගීතයේ මුල් වචන වූ ‘සිරි රඳනා’ යන්නය. මෙම ගල්කිස්සේ වූ නිවාස දෙකම කිසියම් ලෙසක සැබෑ කලාගාරයක් විය. චිත‍්‍ර පමණක් නොව සංගීතය ද එහි විය. ගාමිණි ෆොන්සේකා වරක් ප‍්‍රකාශ කළේ තමන් චිත‍්‍ර පුහුණුවන විට එම නිවසේ තවත් පැත්තෙන් මියුරු කාන්තා කටහඬක් ඇසුනු බවය. ඔහු එහි ගොස් බලන විට දුටුවේ පසු කලෙක ප‍්‍රසිද්ධ ගායිකාවක වූ ලතා ගීත පුහුණුවන අයුරුය. එකල මොටර් රථයක් තිබුණේ ඉතාමත් සිමිත පිරිසකටය. සාර්ලිස්ට මයිනර් හා ඔස්ටින් වර්ගයේ මෝටර් රථ තිබූ අතර ඔහුට වැටුප් ගෙවූ රියැදුරන්ද සිටි බවත් ඔහු සතුව ඉඩම් දෙමටගොඩ ප‍්‍රදේශයේ වූ බවත් නයනජිත් පේ‍්‍රමරත්න ලේඛකයාට පැවසීය.
යුගයක මහා කලාකරුවා වූ ඇම්. සාර්ලිස් මාස්ටර් විශාල ගෝල පරපුරක් බිහි කර 1955 නොවැම්බර් මස 21 වන දින මෙලොව හැර ගියේය. වත්මන් පරපුර නැවත සාර්ලිස්ගේ චිත‍්‍රයන්හි පුනරුදයක් ඇති කළේය. වෙළෙඳ පොළ තුළ තවමත් සාර්ලිස්ගේ චිත‍්‍ර වලට ඉල්ලූමක් ඇත. ඒසේම මාර්ටින් වික‍්‍රමසිංහ කෞතුකාගාරය, කොළඹ ගංගාරාමය හා වෙනත් ස්ථානයන්හිදී ද චිත‍්‍රවල මුල්ම මුද්‍රණයන් අනාගත පරපුරට සංරක්ෂණය කිරීම පැසසිය යුතුය.
සාර්ලිස් හා එම මැතිනියගේ ඡායාරූපයේ අයිතිය නයනජිත් පේමරත්න සතුය
මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්
https://www.facebook.com/profile.php?id=100080085251491


