සිංහල කෙටිකතා- වැඩපොලේ මහත්තයා

වැඩපොලේ මහත්තයා නැති වුනා කියලා ආරංචිය මට කිව්වේ ධම්මිස්සර හැමුදුරුවෝ. උන්වහන්සේ වැඩපොලේ මහත්තයා ගොඩාක් කාලයක් තිස්සේ දැනගෙන හිටියා. වැඩපලේ මහත්තයත් පන්සලට උදව් උපකාර කළා. හාමුදුරුවන්ගේ අවාස ගෙයි ටයිල් අල්ලන්ටත් උන්නැහේ තමයි සල්ලි වියදම් කළේ.
වැඩපොලේ මහත්තයා වැඩපොල පටන් ගන්නකොට අපි හත් අට දෙනෙක් පමණයි හිටියේ. මම, සේතන්, සඳලතා, හේමමාලි, විතාන සහ සීබට් වැඩපොළ පටන් පටන් ගත්තදා ඉඳන් වැඩ කළා. විතාන නම් අවුරුදු දෙක තුනකට පස්සේ අස්වෙලා ගිහිල්ලා තේ කඩයක් දා ගත්තා. දැන් මිනිහට සරුයි. සුහද හෝටලේ මිනිහගේ. සීබට් නම් දැන් අවුරුදු දෙක තුනකට උඩදි මළා.
මට අද වගේ මතකයි 1950 ගණන් වල මහත්තයා වැඩපොල පටන් ගත්තේ අත් යන්ත්‍ර දෙක තුනක් දාලා. සඳලතායි හේමමාලියි තමයි රෙදි විව්වේ. මම කළේ වැඩපොල අස්පස් කරන එක. සීබටුත් මැසිමක් දාගෙන කලිසම් මැහුවා. අපරාදේ කියන්ඩ බැහැ මහත්තයත් හරි හරියට අපිත් එක්ක වැඩ කළා.
වැඩ කරන විට අපට වෙලාවක් තියා තිබුණේ නෑ. උදෙන්ම වැඩ පොලට එනවා. ගිනිකසයට වැඩ. ගෑණු දෙන්නා ටක ටක ගගා රෙදි වියනවා. සීබට් රෙදි ගොඩක් තියාගෙන මහනවා. සේතනුයි විතානයි වියපු රෙදි අඩුක් කරනවා. මහත්තයා වැඩපොලේ ඉස්සරහා තියන මේසය ලඟ වාඩි වී ලෙජර් පොත බලනවා. මම අත් උදවු දෙන කටයුතු කරනවා.
ටික කාලෙකට පස්සේ මහත්තයා අත් යන්ත්‍ර තුනක් ගත්තා. හේමමාලිගේ නෑයෝ වෙන ගෑණු ළමයින් තුන්දෙනෙකුත් ඇවිත් වැඩ කළා. ඒ කාලේ විහිලූ තහලූ කරමිනුයි අපි වැඩ කළේ. විතාන කා එක්කවත් වැඩිය බජනයට ගියේ නැහැ. “මිනිහා හරි ලෝබයා, සල්ලි එකතු කරන එකමයි වැඩේ” කියලා දවසක් සීබට් කිව්වා. සේතං නම් කිසි වැරැද්දක් නැති මිනිහා.ඒත් ඉදහිට රා˜ අඩ්ඩක් ගහනවා. දවසක් බීලා ඇවිල්ලා මහත්තයාගෙන් බඩපුරා බැනුම් ඇහුවා.
එකදාස් නවසිය පනස්හයේ ඉලෙක්ෂන් එකට මහතතයා වැඩකළේ බණ්ඩාරනායක උන්නැහේට. ඒ බව මට මතකයි. බණ්ඩාරනායක මහත්තයා පයිප්පයක් කටේ ගහගෙන ඉන්න පින්තූරයක් මහත්තයාගේ මේසේ වීදුරු යට තිබුණා. අපරාදේ කියන්ට බැහැ, මහත්තයට හොදට අත්ගුණේ තිබුණා. අවුරුදු දෙක තුනක් යනකොට මහත්තයා වැඩපොලත් පළල් කරා. තවත් අත් යන්ත්‍ර මහන මැෂින් ගත්තා. තව කට්ටිය වැඩට ආවා. ඒත් මහත්තයා අපි කට්ටියට විශේෂ සැලකිල්ලක් දැක්කුවා. අපි පරණ මිනිස්සු නිසා වෙන්ට ඇති.
කට්ටිය වැඩි වෙනකොට මගේ වැඩත් වැඩි වුණා. දැන් තේ හදනවා. අස්පස් කරනවාට අමතරව සතියකට සැරයක් මම විල්ෆ්‍රඩ්ගේ වෑන් එකේ පිටකොටු යනවා කඩවලට රෙදි දාන්න. ඔය අස්සේ තමයි මට කයිමන් දොරකඩ තැඹිලි විකුණපු මැගිහාමිගේ දුව සිරියාවතී මුණ ගැසුණේ. මැගිහාමිගේ කට සැරයි. පාට් දාන්ඩ ආපු ඕනෑම ජගතෙක්ට හොඳවැයින් දෙකක් කියලයි පස්ස බලන්නේ. ඒත් සිරියාවතී වැඩිය කථාබහක් නැහැ. තැඹිලි ගෙඩියක් වගේ හැඩයි.
මම සිරියාවතී කැන්දගෙන ආවාම සාක්කියට අත්සන්කළේ වැඩපොලේ මහත්තයා. උන්නැහේ මගුලට වියදමට මට පහේ කොල මිටියක්ම දුන්නා. සිරියාවතීටත් වැඩපොලේ රස්සාව දුන්නා. සල්ලි හම්බ උනා කියලා වැඩපලේ මහත්තයා ඔළුව උදුම්මවා ගත්තේ නැහැ. කට්ටියට හොඳට සැලකුවා. අපිත් මහත්තයට පණ වගේ.
මහත්තයට එක පුතෙක් හිටියා. ඉඳහිට පුතා වැඩපළට එනවා. එතකොට පුතාට අවුරුදු දහයක් විතර ඇති. හරියට තරහ යනවා. දවසක් මහන මැෂින් කටුවක් ඉල්ලලා මම එය දුන්නේ නෑ කියලා තරහ ගිහින් මට මිට මොළවලා නාහෙට ඇන්නා. පුතාට නම් මහත්තයාගේ ඉවසීම කරුණාව ගෑවිලාවත් තිබුණේ නැතිබව අපට ඒ කාලේදීම තේරුණා. ඒ සන්දියේ අපේ කොළුවත් පොඩියි. අවුරුදු පහක් විතර ඇති. කොළුවා පොඩි නිසා සිරියාවතී ගෙදර නැවතුණා.
මහත්තයා වැඩපොළ හොඳට දියුණු කරා. යාන වාහන ගත්තා. අපේ පඩියත් වැඩිකළා. හැත්තෑ හතෙන් පස්සේ මහත්තයාගේ බිස්නස් වැටුණා. රට රෙදි එන්න පටන් ගත්තට පස්සේ මහත්තයාගේ රෙදි විකිනෙන එක අඩුවුණා. ඒකට මහත්තයා හිටියේ හිතේ අමාරුවෙන්. වැඩකරන කට්ටියත් ටික ටික අඩුකළා. පරණ පිරිස විතරයි අන්තිමට හිටියේ. අත් යන්ත්‍ර පාලූවෙලා තියෙනවා දකින කොට මහත්තයට ගොඩක් දුක දැණුනා. මහත්තයා වැඩිය වැඩපළට ආවෙත් නැහැ.
මේ වෙනකොට මහත්තයාගේ පුතා රට ගිහිල්ලා ඇවිල්ලා. ඉගෙන ගෙන ඇවිත්. මහත්තයාගේ වැටිලා තියෙන බිස්නස් එකට අත ගැහැව්වා. අපරාදේ කියන්න බැහැ පුතාටත් හරියට අත්ගුණේ පිහිටලා තිබුණා. උන්නැහේ තාත්තගේ පරණ මැෂින් අයින් කරලා, ජුකී මැෂින් ගෙනල්ලා රට රෙද්දෙන් ඇඳුම් මහන්න ගත්තා. අවුරුදු දෙක තුනක් යනවිට කලින්ටත් වඩා බිස්නස් සරුයි.
වැඩපොළට අල්ලපු ඉඩම අරගන තට්ටු තුනක බිල්ඩිමක් ගැහැව්වා. ජුකී මැෂින් දෙසීයක් විතර අරගන ගාමන්ට් එකක් දැම්මා. ඒකේ ගෑණු ළමයි හාරසීයක් වැඩ. වැඩපොලේ මහත්තයත් ඉඳහිට එනවා. ඒ ආවහම අප සමඟ ලෙන්ගතුව කතා කරනවා. ඒ ආපුවහම තමයි මම අපේ කොලූවා කරුණාපාල ගැන කිව්වේ. මහත්තයා ඒ වෙලාවේම මැනේජර් මහත්තයාට කතා කරලා කිව්වා අපේ කොලූවාව වැඩට ගන්ඩ වෙයි කියලා.
මහත්තයා වැඩ කරපු කට්ටියට දැක්වූ කරුණාව පුතා ලඟ තිබුණේ නැහැ. උන්නැහේ වැඩ කරන කට්ටියට සැලකුවේ වහල්ලූන්ට වගේ. නිතරම බනිනවා. අපි පරණ කට්ටියට පොඩි ගණනකුත් එක්ක විශ්‍රාම යන්න ලැබුණෙත් මහත්තයා නිසා වෙන්න ඇති. නැත්නම් ඔයතරම් ගානක් නම් අපට දෙන්නේ නැහැ.
කරුණාපාල පැක්ටරියේ වැඩට ගියාට වැඩි මනාපෙකින් නොවේ හිටියේ. මහත්තයාගේ පුතා වැඩ කරන අයට කරන අසාධාරණකම් ගැන නිතර කථා කළා. කරුණාපාල ආස්සරය කළෙත් රතු කමීස අඳින රැවුල්කාරයෝ. කථා කළේ බර වචන වලින්, හුරා කනවා කියයි. ධනපතියෝ කියයි. සමහර වචන මට තේරුණෙත් නැහැ.
ලෙඩ ගතිය නිසා මහත්තයා ගෙදර නැවතුණා. පුතා තමයි දැන් සම්පූර්ණ පාළනය කරේ. මට දැනගන්නට ලැබුණ හැටියට මහත්තයා දක්කපු කරුණාව පුතා ළඟ දශමයක්වත් තිබුණේ නැහැ. මිනිසුන් වැඩකළේ කළකිරීමෙන්. මේ අතරවාරයේ තමයි පැක්ටරියේ ස්ට්‍රයික් එකක් ගියේ. මට මතකයි ඉස්සර ඇන්. ඇම්. පෙරේරා උන්නැහේ කම්කරු ස්ට්‍රයික් කරවනවා. මෙදා පොටේ ස්ට්‍රයික් එක කවුරු කළාද මන්දා.
ස්ට්‍රයික් එක කාලයේ පැක්ටෙරියේ ගේට්ටු වහලා තිබුණා. සේවකයෝ කොඩි බෝඩ් එල්ලගෙන සටන් පාඨ කිව්වා. පොලීසියෙනුත් දාලා හිටියා. මමත් ස්ට්‍රයික් එක බලන්ට ගියා. මෙන්න බොලේ සේතනුත් එතන. සේතං මට කණට කරලා කිව්වා ස්ට්‍රයික් එකට නායකත්වය දෙන්නේ අපේ කරුණාපාල කොලූවා කියලා. ඒ ආරංචියට මගේ කන් වලින් දුම් පිටවුණා.
එදා රෑ මම කොලූවට නොසෑහෙන්ට බැන්නා. අපට කන්ට බොන්ට දීපු වැඩ පොලේ මහත්තයාට එදිරිව මිනිස්සු උසිගන්වලා ස්ට්‍රයික් එක කළාට. කරුණාපාලයා මට කිව්වේ නැතෑ ධනපතීන්ට පක්කලි කම් කරන්ට එපා කියලා. මට තරහා ගිය ගමන පුවක් කප කපා හිටපු ගිරෙන් ඌට දමලා ගැහැව්වා.
ස්ට්‍රයික් එක සුමාන දෙක තුනක් ඇදුණා. ඒ අතරවාරයේ බස්, ඉස්කෝල, ඉස්පිරිතාලත් ස්ට්‍රයික්. ඉන්දියන් හමුදාව ආවා කියලා මුළු රටම ගිනි ගන්නවා. කරුණාපාලත් දැන් ගෙදර නැහැ. එන්නෙත් රෑ දෙගොඩ හරියේ.
මේ අවු අස්සේ පොලීසියෙන් ඇඳිරි නීතිය දාලා. මිලිටරිකාරයෝ පාර පුරා. වැඩපොලේ මහත්තයාගේ පුතා කරුණාපාල එක්කල වෛරයි. පරිස්සමින් ඉන්න කියල සේතන් ගෙදරට ඇවිත් කිව්වා. මගේ හිතටත් බයක් ආවා.
ටික දොහයි ගියේ. දවසක් රෑ දෙගොඩහරියේ පොලිස් ජීප් එකක් අපේ ගෙදර ළ`ග නැවැත්තුවා. අපි හිටියේ නිදාගන. මම ලාම්පුව පත්තු කරා. තුන් හතර දෙනෙක් දොරට ගහගෙන ගහගෙන ගියා. දොර කඩන්ට වගේ.
මම දොර ඇරියා. මැෂින් තුවක්කු ගත්ත පොලිස්කාරයෝ වගයක් ගේ ඇතුළට කඩා වැදුණා. පිස්තෝලයක් අතේ තිබුණු පොලිස්කාරයෙක් කෙලින්ම කොළුවාගේ කාමරේට ගිහින් කොළුවාගේ ඛෙල්ලෙන් අල්ලා ගත්තා.
” තෝ නේද කරුණාපාල කියන්නේ˜ කියලා ගොරෝසු හඞකින් ඇහැව්වා.
“ඔව්, මම කරුණාපාල˜ කොලූවා බයාදුකමක් නැතිව කිව්වා. මේ අතර වාරයේ අනිත් පොලිස් කාරයෝ ගේ අනිත් පැත්ත පෙරලනවා.
” සර් මෙන්න බඩු ” එක පොලිස් කාරයෙක් පිස්තෝලකාරයා ළඟට පත්‍රිකා මිටියක් උස්සගෙන ආවා.
” වරෙන් යන්ඩ, අපිත් එක්ක, පෝස්ටර් අලවන්ඩ.˜ පිස්තෝලකාරයා කොළුවට පයින් පාරක් දමලා ඇන්නා.
මට ඉහිලූම් නැතිනිසා මම කිව්වා කොළුවට ගහන්ඩ එපා කියලා. ඒ පාර ළඟ හිටපු පොලිස්කාරයෙක් “නාකියා අහකට පල” කියා මට තුවක්කු මිටෙන් ඇන්නා. ඒ පාරට මාව බිම ඉන්ද වුනා. සිරියාවතී මොරදෙද්දී උන් කොළුවාව ජීප් එකේ දාගෙන ගෙනිච්චා.
බිං එළිය වැටෙනකං මමයි සිරියාවතියි අඳෝනා කිය කියා හිටියා. උදේ එළිය වැටුණ ගමන් මම වැඩපොලේ මහත්තයාගේ ගෙදරට ගියා. මම යනකොට උන්නැහේ පත්තර බලනවා. මම උන්නැහේට මගේ දුක කිව්වා. මහත්තයා ඒ වේළාවේම පොලීසියට ටැලිපෝන් කළා. පොලීසිය කිව්වේ එහෙම කෙනෙක් ඊයේ රෑ අත්අඩංගුවට ගත්තේ නැහැ කියලා.
” මේක හතර බීරි කථාවක්. කෝකටත් ඕ.අයි.සී. මහත්තයා හමුවෙන්ට” කියලා අපේ මහත්තයා මට ලියුම් කෑල්ලක් දුන්නා.
මම පොලීසියට යන්න හදනකොට සේතං දුවගෙන ඇවිත් කිව්වා කරුණාපාලටයි, තව දෙන්නෙකුටයි වෙඩි තියලා කියලා. ඔරලෝසු කණුව ළඟ හෙලිවැල්ලෙන් දාලා තියෙනවා කිව්වා. මම සේතං එක්ක ඔරලෝසු කණුව ළඟට ගියා. අපේ කොළුවා උඩුබැලි අතට ඉන්නවා. ඔලූවේ හිලක්. මට තවත් බලාගෙන ඉන්න බැරි වුණා. මම කෑ ගහ ගහ පාර පුරා දිව්වා. සේතං මාව අල්ලගෙන ගෙදර ගෙනිච්චා. ඒ යනකොට කරුණාපාලගේ මරණය ආරංචිවෙලා සිරියාවතී ලතෝනි දි දී අඞනවා.
කොළුවාගේ මරණින් පස්සේ අපි හරියට කෑමක් බීමක් ගත්තේ නැහැ. සිරියාවතී බලාගත්තු අත බලාගෙන හිටියා. මට පස්සේ ආරංචි වුනා මහත්තයාගේ පුතා පොලීසියට ගතු කියලා කොල්ලව මරලා දැම්මා කියලා. මම හිටියේ පලිගන්නවා ගන්නවාමයි කියලා. උන්නැහේ පැක්ටරිය විකුණලා රට ගියා කියලා සේතං පස්සේ මට කිව්වා.
කොළුවා මරලා අවුරුද්දක් ගෙවුණට පස්සේ මට වැඩපොලේ මහත්තයා පන්සලේදී හමු වුණා. වැඩපොලේ මහත්තයා දැක්ක ගමන් මගේ හිතේ තිබුණු තරහව දියවෙලා ගියා. මම උන්නැහේ ළඟට ගිහිල්ලා වැඳලා ආචාර කළා. මහත්තයා දැන් හරියට දුබලයි. ඇවිදින්නෙත් බොහොම අමාරුවෙන්.
” ධර්මදාස, මට පුතා ගැන දැන ගන්න ලැබුණා. මට බොහොම කණගාටුයි වෙච්ච දේට. මේක අමනුස්ස කාලයක් ” උන්නැහේ මට කිව්වා. ඉන්පසු සාක්කුවට අත දාලා සීයේ කොල වගයකුත් දුන්නා. මම මහත්තයව කාර් එක ළඟට එක්කරගෙන ගියා.
” ධර්මදාස, නිවාඩු පාඩුවේ මාව හමුවෙන්න එන්න.” උන්නැහේ මට කිව්වා. කාර් එක යනකන්ම මම හිටියා. කාර් එක ඈතට ඇදිලා යනකං මම බලාන හිටියා. ඒත් ඊට පස්සේ මට කවදාවත්ම වැඩපොලේ මහත්තයාව හමු උනේ නැහැ.
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර- ටෑගි . . . . !

අපේ ගම්වල පැරැණ්නෝ ත්‍යාග හෙවත් තෑගි වලට කටවහරේ කියන්නේ “ටෑගි” කියාය.
එසේම මෙකල අප ලබන බොහො තෑගි අතරින් වැඩි මනත් ඒවා “ටෑගි” වන නිසාම මෙම පෝස්ටුවට “ටෑගි” යන සුරතල් නාමය යෙදීය.
ඊට තරහ අවසර . . !
කෙතරම් මහන්සි ගත්තත් ජීවිතයේ පළමු ටෑග්ග ලැබුනු ආකාරය මතක් කර ගැණීමට අපහසුය. ඊට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ රස්සාවක් කල මාගේ පියාට; අපිට තෑගි අරන් දෙනවාට වඩාබොහෝ බොහෝ කාරණා අප වෙනුවෙන් කරණ්නට තිබුනු නිසා විය යුතුය. කොටින්ම අපගේ ළමා කාලය ගෙවුනේ තෑගි වලින් තොර කාන්තාරයකය.
මාගේ මුල්ම පාසල වූයේ අවිස්සාවේල්ල ශාන්ත මරියා විදුහලයි. එකල අප ජීවත්වූයේ කුඩගම පාරේය. පාසල නිමවූ පසු පාර දිගේ නිවසට ඒමට හෝඩියේ පන්තියේ සිටි අපට එකල හැකියාවක් තිබුනි. ලංගමයේ, ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, තුනී ලෑලි සංයුක්ත මණ්ඩලයේ, ගංගා නිම්න සංවර්ධන මණ්ඩලයේ වැනි රජයේ වාහන එහා මෙහා ගිය කාලයක පුද්ගලික වාහනයක් ගියේ දුරා වාරයේය. මේ නිසාමදො; පොඩි එකෙකුට;; මහපාර අයිනෙන් ගමන් කිරීමට සුදුසු පරිසරයක් එකල නිර්මිතවී තිබුනි.
ශාන්ත මරියා විදුහලේ සිට ඉම්පීරියල් හෝල් එක අසල කන්ද නැග ගෙන එන අප එතැනින් වික්ටරි පොත් හල, චීන දත් සාප්පුව, යූනියන් හාර්වෙයාර් එක ඉදිරියෙන් ඇති වන්වේ පාරේ නොපිටට ගමන් කරයි.
එම කෙටි පාර අවසන් වෙන්නේ 83 ජාති ආලේදී මංකොල්ල කෑ; KNG තොග බඩු කඩය ලඟිනි.
කොළඹ සිට එන බස් රථ මා පෙරකී මාර්ගයේ ඉදිරියට ගොස් වටයක් ගසා බස් නැවතුම ඇතුලට පැමිණ නැවත ප්‍රධාන පාරට අවතීර්ණ වන්නේ මෙතැනිනි.
මෙම තුං මං හංදියේ වම් පසින් “නිමල්ස්” නමැති තොරොම්බල් කඩයක් තිබුනි. එහි ඉදිරියෙන්ම ගාල් කොට තිබුනේ පැදගෙන යා හැකි, තහඩු වලින් නිමිත කුඩා කාරයක් හා ලෑන්ඩ් රෝවර් ජීප් රථයකි. අප ඒ කාලයේ මේවාට කිව්වේ ලැං රෝල් ජීප්” කියාය.
මේවා නිමවා තිබුනේ එවන් සෙල්ලම් බඩු නිපදවීමට නම් දරා තිබුනු කඳානේ ලින්ටන්ස් ආයතනයෙන් විය යුතුය. එකල ගුවන් විදුලියේ දිග්විජය කල මුවන් පැලැස්ස හඬ නළුව ප්‍රචාරය වූයේ “ලින්ටන්ස්” අධිපති මුනිදාස ද සිල්වා මහතාගේ සාදර අනුග්රහයෙනි!
එම ජීප්පුවේ ඉදිරිපස ප්‍රධාන පහන් ලෙස මෝටර් රථයක පසු පසට යොදන ආකාරයේ කුඩා රවුම් පහන් දෙකක්ද සවි කොට තිබුනි. ඊට අමතරව ඉදිරිපස ෂෙල් ආදිය දක්වා තිබුනේ තහඩුව මත ස්ටෙන්සිල් එකක් යොදා පිංතාරු කිරීමෙන් ය.
පාසැල් ගිය සෑම දවසකම පාසැල ඇරී එන විට එතැන නැවතී බලා කියාගෙන එන මා හවස ගෙදර එන පියාට ඒ ගැන දන්වා සිටින මුත් කිසිදාක එය තෑග්ගක් ලෙස මට ලැබුනේ නැත.
එකල තෑග්ගක් ලෙස මා ලැබූවේ ප්ලාස්ටික් වලින් නිමවා තිබුනු ඒසිං කාරයක අනුරුවකි. ඒවා ප්ලාස්ටික් කීවාට මේ කාලයේ මෙගා බෝතල් සාදන අමුද්‍රවය වලින් සාදන ලද එකැක් යැයි මා හට මතකය. නොබිඳේ! නො කැඩේ!!
එය නිමවා තිබුනේ අච්චුවක බ්ලෝ මෝල්ඩින් ක්‍රමයට විය යුතුය.
රථයද එහි රියැදුරාද එකටම මෝල්ඩ් කර තිබුනු එය මෙගා බෝතලයක් තරම්ම විය.
එය හරහා යවා තිබුනු යකඩ කූරු දෙක හතර කොනේ පෙර කොටස සකසා තිබුනු ද්‍රව්‍යයෙන්ම නිමාකල ගරාදි රෝද හතරක් විය.
පාටින් එය දම් පැහැති විය. එහි බිත්ති වල ඝනකම අඩු වැඩි වෙන ලෙසටම එහි වර්ණය දම් පැහැයත් සුදු පැහැයත් අතර දෝලනය විය!
මා ඉතා කුඩා කල මාගේ පියා වෙහෙස මහන්සියෙන් උපයා සපයා ගත් දෙයින් ලබා දුන් එම කුඩා ත්‍යාගය සේම තවත් වරක් ලබා දුන් කුඩා දොඹකර යන්ත්‍රය පිළිබඳව සිතේ ගැඹුරින්ම සනිටුහන් වී ඇත.
එය වර්ණයෙන් තද කොළ පාටය. නිමවා තිබුනේ ලී වලිනි. එහි මුහුනත එකල තිබුනු පැරණි ලේලන්ඩ් රථයක් ලෙසට ඉතා සියුම් ලෙස හැඩ ගන්වා තිබුනි.
මෙවන් නිමාවක් එහි විය!
එහි පිටුපස සවිකොට තිබුනේ දොඹකරයකි. දොඹකරය ක්‍රියා කරවීමට කුඩා කම්බි හැඬලයක් තිබුනා මතකය.
සම්පූර්ණ දිග පලල පාන් රාත්තකට වඩා ස්වල්පය්ක් දිගින් අඩුව ඇති.
එහි යටි පැත්තේ සුදු පැහැත් ලේබලයක කලු අකුරින් එය නිමවූ ආයතනයේ නම මුද්‍රණයකර අලවා තිබුනි.
එහි ලිපිනය අවසන් කර තිබුනේ තිබුනේ “පාන්දුර” යනුවෙනි!
ඒ වාගේම පොත් සාප්පුවකින් තාත්තා අරන් දුන් “හත් පෙති මල” ද එකල මට ලැබුනු අපූරු තෑග්ගක් විය!
මා ජීවිතයේ ලැබූ වටිනාම ත්‍යාගයක් ලෙස අදටත් මෙනෙහි කරණ එක් ත්‍යාගයක් වන්නේ; කිර්තිමත් හමුදා නිළධරයෙකු වූ නිල් කමල් උදයරත්න විසින් මා වෙත ලබා දුන් කාලතුවක්කු උන්ඩ; හිස් පතරොම් කොපු දෙකය!
එයට වඩාත් වැඩි වටිනාකමක් ලැබෙන්නේ මා කලක සිටන් එවන් Empty Shells දෙකක් ලබා ගැනීමට පෙරුම් පුරමින් සිටි නිසාමය.
වරක් මාගේ බිරිඳගේ පියා කැංගරු දේශයට යන අවස්ථාවක මගෙන් ඇසුවා “ඔයාට මොනවද ඕන?” කියලා.
“මට ගේන්න Hunting Knife එකක් . . !”
කිව්වා වාගේම උන්නැහැ ඒක ගෙනත් තිබුනා සුපිරි Winchester Large Bowie Knife එකක්.
ඒ ගෙනත් එයා ඒක නිකංම දුන්නේ නෑ.
“කෝ ඔයා මට රුපියලක් දෙන්න . . !”
“ඒ මොකටද . . ?”
“සාමාන්‍යයෙන් ආයුධ තෑගි දෙන්නේ නෑ; විකුණනවා මිසක්. ඔයාට මම මේක විකුණනවා රුපියලකට . . . !
ඉතින් මම රුපියලක් දීලා ඒ අනර්ඝ වස්තුව මගේ කර ගත්තා.
එවන්ම වූ ත්‍යාගයක් වරක් මට මාගේ පියාගෙන් ලදිමි. ඒ විශාල කොටි දතකි! එය පසු කාලෙක මාගේ ගෙල සරසමින් තිබුනද එය නැතිවී ගියේ නිවසේ ලාච්චුවක රඳවා තිබියදීය. මා සන්තකයේ තිබුනු වෙනත් කුඩා කොටි දතක් සහ කොටි නියපොත්තකින් සාදන ලද පෙන්ඩන්ට් දෙකක් වසිකටත් කල්මලීටත් පසු කලෙක ලභා දුන්නේ ඒවාද මා අතින් නැතිවී යනු ඇතැයි සිතා ය.
මංජුල ශ්‍රීනාත් පෙරේරා
තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව- අන්තිම පත්‍රය

වොෂින්ටන් චතුරශ්‍රයෙන් බටහිර පෙදෙසේ මංමාවත් බොහෝ පැටලිලි සහගතය. ඒවා ඒ මේ අතට දිව යයි, ‘පෙදෙස්’ යැයි නම් කළ කොටස් වලට කැඩී යයි. මේ ‘පෙදෙස්’ ද නගරයට අමුතුම හැඩතල සහ කෝණ ලබා දී තිබිණි. මින් එක් මාවතක් නම් වට කීපයක් කැරකී දෙතුන් වතාවක් එයම කැපී යන සේ පිහිටා ඇත. වරක් එක් චිත්‍ර ශිල්පියෙක් මේ මාවතේ මෙවැනි සිදුවීමක් විය හැකි යැයි සිතුවේය. මුදල් නොමැති නිසා වෙළඳ සැලකින් චිත්‍ර ඇඳීමේ ආම්පන්න ණයට ගත් සිත්තරෙකු සිටී යයි උපකල්පනය කරන්න. ණයකරු සිත්තරාව සොයාගෙන මේ වීදිය දිගේ පැමිණියේ නම් ඔහුට ණය මුදල නොලබා ආපිට එන තමන්ව වුව මේ මාවතේදී මුණගැසිය හැක!
ඉතින් වැඩි කල් නොගොස් ග්‍රිනිච් විලේජ් යැයි නම් ලබා තිබුණු නගරයේ මේ අපූරු කොටස වෙත සිත්තරුන් පැමිණෙන්නට විය. ඔවුන් සෙව්වේ තමන්ගේ නිර්මාණ කටයුතු වලට ගැලපෙන, මනා සේ ආලෝකය ඇති උතුරු දෙසට හැරුණු ජනේලද, දහ අට වෙනි සියවසේ ආරට තැනුණු කුරිංචි වහලද, ඕලන්ද මෝස්තරයේ සොල්දර සහ මිළෙන් අඩු ගෙවල් කුළී ආදී දෑ ය. ඉනික්බිති ඔවුහු හය වන වීදියෙන් පිව්ටර් ලෝහ කෝප්ප ද, ව්‍යංජන දමන බඳුන් ද ගෙන්වාගෙන ඒ පෙදෙස ජනාවාසයක් බවට පත් කරගත් හ.
සූ සහ ජොන්සි ජීවත් වූයේ මෙහි නූස් තෙමහල් ගොඩනැගිල්ලක ඉහළම මහලේ වූ කුඩා නිවසක ය. ‘’ජොන්සි’ නම ජොආනා නමේ කෙටි ව්‍යවහාරය විය. මේ දෙදෙනාගෙන් එක් අයෙකු මේන් නගරයෙන් ද අනෙකා කැළිෆෝනියාවෙන් ද පැමිණ තිබිණි. අටවෙනි වීදියේ “ඩෙල්මෙනිකෝ’නම් අවන්හලකදී මුලින්ම හමුවූ මොවුහු, කතාබහේදී තමන් එකම වර්ගයේ කලා නිර්මාණ, චිකරි සලාද සහ ලොකු අත් දැමූ ගවුම් වලට කැමති බව සොයාගත් අතර පසු කලෙක දෙදෙනා එක නිවසක් කුළියට ගැනීමේ තීරණයට මේවා හේතු විය.
මේ පහුගිය මැයි මාසයේ දී ය.
ශීත කාලය එළඹෙද්දී ග්රීනිච් විලේජ් වෙත අමුතුම අමුත්තෙක් පැමිණියේ ය. දොස්තරවරු නියුමෝනියාව ලෙස හැඳින්වූ ඔහු, අයිස් මෙන් සීතල තම අතැඟිලි වලින් අතර මඟ දී හමුවන අය ස්පර්ශ කරමින් ජනපදය පුරා ඇවිද්දේය. මේ අමුත්තා නගරයෙන් නැගෙනහිර පෙදෙසේ එඩිතරව ඇවිද්දේ මහත් සෙනඟක් ගොදුරු කර අඩපණ කර දමමිනි. එහෙත් වංකගිරියක් සේ සැදුණු පටු මාවත් සහ පාසියෙන් හැඩ වූ ‘පෙදෙස්’ සහිත නගරයේ මේ කොටසේ ඔහු ඇවිද ගියේ හෙමි හෙමිනි.
නියුමෝනියා මහතා යහපත් ගති ඇති කරුණාවන්ත මහතෙක් නොවීය. කැලිෆෝනියාවේ මෘදු සුළඟ වැදී තුනී වූ ලේ සහිත, සිරුරෙන් කුඩා තරුණියක් ඔහු වැනි කලහකාරී, තදින් හුස්ම ගන්නා වියපත් මිනිසෙකුට ගැලපෙන ප්රතිමල්ලවයෙක් වූයේ නැත. නමුත් ජොන්සි ඔහුගේ ප්‍රහාරයට හසු වූවාය. ඉනික්බිති ඇය තම යකඩ ඇඳේ නිසොල්මන්ව වැතිර, කවුළුවෙන් එපිට යාබද නිවසේ ගඩොල් බිත්තිය දෙස බලාගත්වනම බලා සිටියා ය.
දිනක් කාර්යබහුල දොස්තරවරයා සූ ව කොරිඩෝව වෙත කැඳවූවේය.
“ඇගේ ජීවිතේ බේරීමේ සම්භාවිතාව දහයෙන් එකක් වගේ තමයි,” ඔහු තම අත වූ උෂ්ණත්වමානය සොලවමින් කීවේය. “ඒකත් ඈට ජීවත්වෙන්න උවමනාවක් තියෙනවා නම් විතරයි. අසනීප වුණාම මිනිස්සු මෙහෙම මල්ශාලා ගැනම හිතන්න ගත්තාම වෛද්‍ය විද්‍යාව විහිළුවක් වෙනවා. ඔයාගේ යාලුවා හිත හදාගෙන ඉන්නේ එයාට හොඳ වෙන්නේ නැහැ කියලා. එයාගේ හිතේ මොකක් හරි කරදරයක් තියෙනවද?”
“එයාට කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න වුවමනා වෙලා තිබුණා.” සූ කීවා ය.
“චිත්‍ර? පුහ්! එහෙම නෙමෙයි, දෙසැරයක් හිතන්න වටින මොනවා හරි දෙයක් එයාගේ හිතේ තිබුණා ද? පිරිමියෙක් ගැන එහෙම?”
“පිරිමියෙක්?” සූ අසද්දී ඇගේ කටහඬේ යුදෙව්වන්ට ආවේනික උච්ඡාරණය පැහැදිලිව රැව් දෙනු ඇසිනි. “පිරිමියෙක් ගැන දෙසැරයක්- නෑ නෑ ඩොක්ටර්, එහෙම දෙයක් තිබුණේ නැහැ.”
“ඒක තමයි දුර්වලකම එහෙනම්,” දොස්තරවරයා කීවේය. “විද්‍යාවට කරන්න පුළුවන් හැම දේම මම කරන්නම්. හැබැයි මගේ ලෙඩෙක් තමන්ගේ අවමංගල පෙරහැරේ අශ්ව කරත්ත ගාන ගණන් කරන්න පටන් ගත්ත ගමන් මම මගේ බෙහෙත් වල ඇති සුව කිරීමේ ගුණයේ අනාවැකිය සීයට පනහකින් අඩු කරනවා. ඔයා කොහොමහරි කරලා එයාව ළඟ එන සීත ඍතුවට ගැලපෙන කබා මෝස්තර ගැන කතා කරන්න පෙළඹෙව්වොත් එයාගේ ජීවත් වීමේ සම්භාවිතාව පහෙන් එකක් දක්වා ඉහළ යාවි.”
දොස්තරවරයා යන්නට ගිය පසු සූ ඔවුන් චිත්‍ර අඳින කාමරයට ගොස් ජපන් කඩදාසි නැප්කිනයක් පෙඟෙන තුරු හැඬුවාය. ඉනික්බිති ඈ ජොන්සිගේ කාමරයට තම චිත්‍ර ආම්පන්න ද රැගෙන ගියේ කිසි බරක් පතලක් නැති ගමනින්, තාලයක් උරුවම් බාමිනි.
ජොන්සි කවුලුව වෙත මුහුණ හරවා වැතිර සිටියේ ඇඳේ රැල්ලක් වත් නොනඟා ය. ඈ නින්දේ පසු වේ යැයි සිතමින් සූ උරුවම් බෑම නැවත්වූවාය.
ඈ තම ආම්පන්න සකසාගෙන සඟරාවක් වෙත යැවීමට තීන්තයෙන් සිතුවමක් අඳින්නට විය. තරුණ සිත්තරුන් කලාව වෙත මං පාදා ගැනීම සඳහා තරුණ ලේඛකයන් සාහිත්‍යය වෙත මං පාදා ගැනීමට සඟරා වෙත එවූ කතන්දර වෙනුවෙන් සිතුවම් ඇඳිය යුතු ය. සූ මේ කතාවේ කතානායකයා වූ අයිඩහෝ ගොපල්ලාගේ සිතුවම ඇඳ, අශ්වයන් මත ගමනටම ගැලපෙන සේ ඔහු හැඳ සිටි අගනා කලිසම සිතුවම් කරද්දී ඇයට ඇඳ දෙසින් නොකඩවා නැඟෙන පහත් හඬක් ඇසුණි. ඈ වහා වහා ඒ අසලට ගියා ය.
ජොන්සි දෑස් අයාගෙන කවුළුවෙන් පිටත බලා ආපස්සට ගණන් කරමින් සිටියා ය.
“දොළහයි,” ඈ කීවා ය. ඉනික්බිති ටික වෙලාවකින් “එකොළහයි,” කී ඇය, “දහයයි, නමයි, අටයි, හතයි” යැයි එකවරම මෙන් කීවා ය.
මෙසේ ගණන් කිරීමට ඇත්තේ කුමක්දැයි සූ මහත් උනන්දුවෙන් කවුළුවෙන් එපිට බැලුවා ය. පහත පෙනෙන්නට තිබුණේ හිස්, මූසල ගෙවත්තකි. අඩි විස්සක් එපිටින් වූයේ යාබද නිවසක හිස් ගඩොල් බිත්තියයි. මුල කොටස දිරූ පැරණි අයිවි වැලක් මේ ගඩොල් බිත්තියේ මඟක් දුර පැමිණ තිබිණි. ශාරදයේ සීතල හුස්ම වැදී මේ වැලේ බොහෝ පත් ගිලිහී තිබුණු අතර, නිරුවත් වීමට ආසන්න එහි ඉපල් අතු, කැඩී යමින් තිබුණු ගඩොල් අතරේ එල්ලී තිබෙනු පෙනුණි.
“මොකක්ද අනේ?” සූ ඇසුවා ය.
“හයයි,” ජොන්සි රහසින් මෙන් කීවා ය. “දැන් ඒවා ඉක්මණින් ඉක්මණින් වැටෙනවා. දවස් තුනකට කළින් එතැන සීයක් විතර තිබුණා. ඒවා ගනිද්දී මගේ ඔලුවත් රිදුණා. ඒත් දැන් ලේසියි. අන්න තව එකක් වැටුණා. දැන් ඉතිරි පහක් විතරයි.”
“මොනවා පහක් ද කෙල්ලේ? කියන්නකෝ මට”
“අර අයිවි වැලේ කොළ. අන්තිම කොළේ වැටුණාම මාත් යන්න ඕන. ඒ බව මම දවස් තුනක් තිස්සේ දැනගෙන හිටියා. ඇයි දොස්තර ඔයාට කිව්වේ නැද්ද?”
“මේ මොන විකාරයක්ද?” සූ කීවේ මනා සේ මවා ගත පිළිකුලෙනි. “මේ වැලක පරණ අයිවි කොළ වලයි ඔයාට සනීප වෙන එකෙයි මොකක්ද තියෙන සම්බන්දෙ? ඔයා හරි නරකයි, ඉස්සර මේ වැලට ඔයා හරි ආදරෙයි නේ. නිකම් පිස්සියෙක් වෙන්න එපා. මොනවද දන්නවාද දොස්තර උදේ කිව්වේ? එයා කිව්වා ඔට්ටු අල්ලන බාසාවෙන් කිව්වොත් ඔයාට හොඳ වෙන්න තියෙන ඉඩ දහයට එකක වාසියක් කියලා. ඒක නිකම් අපි ට්රෑම් එකක නැගලා නිව් යෝක් යන්න, එහෙම නැත්නම් අලුත් ගොඩනැගිල්ලක් පහු කරගෙන යන්න තියෙන සම්භාවිතාව වගේ. දැන් මේ කැඳ ටිකක් බොන්නකෝ. ඊටපස්සේ මේ සුඩී එයාගේ චිත්‍රෙ ඇඳලා ඉවරකරන්න ඕන. එතකොට එයාට පුළුවන් අර කතෘ මිනිහාට ඒක විකුණලා සල්ලි අරගෙන එයාගේ අසනීප දරුවාට පෝට් වයිනුත් කෑදර තමන්ට ඌරු මස් ගාතයකුත් අරගන්න.”
“ඔයා තව වයින් ගේන්න අවශ්‍ය වෙන එකක් නැහැ,” ජෝන්සි කීවේ තම දෑස කවුළුවෙන් එපිට රඳවාගෙනම ය. “අන්න තව එකක් වැටුණා. එපා, මට කැඳ ත් එපා. දැන් ඉතුරු හතරයි. කළුවර වැටෙන්න කලින් අන්තිම කොළෙත් වැටෙනවා මට බලන්න ඕන. ඊටපස්සේ මාත් යනවා.”
“ආදර ජොන්සි,” සූ ඈ වෙත නැඹුරු වෙමින් කීවා ය. “මට පොරොන්දු වෙනවද මම මේ වැඩේ කරලා ඉවර වෙනකම් ජනේලෙන් එළිය නොබලා, ඇස් දෙක වහගෙන ඉන්නවා කියලා. මම මේ චිත්‍ර ටික හෙට වෙද්දී දෙන්න ඕන. මට ඒකට ආලෝකය ඕන, නැත්නම් මම මේ පැලැල්ල පහත් කරනවා.”
“ඔයාට බැරිද එහා කාමරේ ඉඳන් චිත්‍ර අඳින්න?” ජොන්සි සීතල හඬකින් ඇසුවා ය.
“මම වඩාත් කැමතියි ඔයා එක්ක මෙතන ඉන්න,” සූ කීවාය. “අනික මම කැමති නැහැ ඔයා ඔය විකාර අයිවි කොළ දිහා බලනවාට.”
“එහෙනම් ඔයා ඉවර වුන ගමන් මට කියන්නකෝ,” කී ජොන්සි දෑස් පියාගෙන නිසොල්මන් වූවේ බිමට ඇද වැටුණු පිළිමයක් ලෙසිනි. “මට ඒ අන්තිම කොළයත් වැටෙනවා බලන්න ඕන. මට දැන් බලාගෙන ඉඳලා මහන්සියි. මට කල්පනා කරලාත් මහන්සියි. මට හැමදේම අත ඇරලා අර මහන්සිය නිසා වැටිලා යන අසරණ කොළ වගේ පහතට පාවෙලා යන්න ඕන.”
“දැන් නිදාගන්න උත්සාහ කරන්නකෝ,” සූ කීවාය. “මම දැන් යන්න ඕන බර්හ්මන් ට කතා කරලා මට පතල් කාරයාගේ චිත්‍රෙ අඳින්න එයාට ඒ චරිතේ අනුරුවක් හැටියට ඉන්න පුළුවන් ද අහන්න. මම විනාඩියෙන් එනවා, මම එනකම් හෙල්ලෙන්න එපා.”
බර්හ්මන් ඔවුන්ට පහත මාලයේ විසූ වයස්ගත චිත්‍ර ශිල්පියෙකු විය. වයස හැටත් පසු කරමින් සිටි ඔහුට මයිකල් ආන්ජලෝගේ චිත්රයේ මෝසස්ට වැනි කැරළි සහිත යටි රැවුලක් තිබිණි. නරාශ්වයෙකුගේ වැනි හිසක් තිබුණත් ඔහුගේ සිරුර කුඩා බහිරවයෙකුගේ වැනි විය. බර්හ්මන් කලාවේ පරාජිතයෙකි. හතලිස් වසරක් තිස්සේ ඔහු පින්සල් හරඹ කළත් කලාවේ දෙවඟනගේ දිගු ගවුමේ වාටිය ස්පර්ශ කිරීමටවත් ඔහුට හැකි වී නැත. හැම විටම ඔහු විශිෂ්ඨ කළා නිර්මාණයක් බිහි කිරීමට සූදානම් ව සිටියත් කිසි දිනක ඒ කාර්යය ආරම්භ කර නොතිබුණි. වසර ගණනක් පුරාවටම ඔහු ඉඳහිට වෙළඳ දැන්වීමක් වෙනුවෙන් නිර්මාණ ඉදිරිපත් කළා මිස වෙන කිසිම චිත්‍රයක් ඇඳ තිබුණේද නැත. ජනපදයේ තරුණ සිත්තරුන්ට චිත්‍ර ඇඳීමට වෘත්තීය ලෙස පෙනී සිටින මිනිස් අනුරුවක් වෙනුවෙන් ඉහළ මිළක් ගෙවීමට නොහැකි නිසා ඔහු ඒ කාර්යය කර දී යම් මුදලක් ඉපයුවේය. වුවමනාවට වඩා ජින් පානයට ලැදි වූ ඔහු නිතරම කතා කළේ බිහිවන්නට නියමිත තම විශිෂ්ඨ කලා නිර්මාණය ගැනයි. අන් අය ඔහුව දුටුවේ දෙවෙනි මහලේ විසූ තරුණ සිත්තරියන් දෙදෙනා ව ආරක්ෂා කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් ව සිටින, අනුන්ගේ දුර්වලකම් ගැන අවඥාවෙන් සලකන සැර පරුෂ කුඩා වයසක මිනිසෙකු ලෙසයි.
සූ යද්දී ඔහු පහත මාලයේ තම කුටියේ අඩ අඳුරේ සිටි අතර ඔහු වෙතින් ජුනිපර් බෙරී සුවඳක් තදින් වහනය විය. ඔහුගේ කුටියේ එක් කෙළවරක හිස් කැන්වසයක් තිබුණේ ඔහු විසිපස් වසරක් තිස්සේ බලා සිටින විශිෂ්ඨ නිර්මාණයේ නිමිත්ත එළඹෙන තුරුයි. ජොන්සිගේ හිතළුව ගැන ඔහුට විස්තර කළ සූ, ඇයත් නොබෝ දිනකින් ලෝකය අතහැර පත්‍රයක් ලෙසටම දුර්වල ව, සැහැල්ලු ව පාව යනු ඇතැයි තමන්ට ඇති බිය ගැන පැවසුවාය.
මෙවැනි විකාර රූපී මනස්ගාත ගැන තමන්ගේ ඇති පිළිකුලත් අවඥාවත් ගැන බර්හ්මන් කෑ ගසා කීවේ බමන මතින් රත් පැහැ වූ තම දෑසින් කඳුළු වැගිරෙද්දී ය. “මොන විකාරයක්ද?” ඔහු කෑ ගැසුවේය. “වැලකින් කොළ වැටුණා කියලා මිනිස්සු මැරෙනවා කියලා හිතන්න තරම් මෝඩයෝ ඉන්නවාද? මම එන්නේ නැහැ තමුන්ගේ චිත්‍ර ඇඳිල්ලට පෙනී ඉන්නත්, තමුන්ට බැරි වුණා මේ විකාරවලින් යාලුවාව බේරාගන්න. පවු අසරණ ජොන්සි මිස්!”
“ඈට බොහොම අසනීපයි, ඒ වගේම ඈ දුර්වලයි.” සූ කීවාය. “උණ විකාරය නිසා එයාට මේ වගේ අමුතු දේවල් හිතෙනවා. කමක් නැහැ බර්හ්මන් මහත්තයා, මගේ චිත්‍රයට පෙනී ඉන්න ආවේ නැතිවාට කාරි නැහැ, මම නම් හිතන්නේ තමුන් මහා නරක නාකි මිනිහෙක් කියලා.”
“කවුද දැන් එන්න බැහැ කිව්වේ?” බර්හ්මන් කෑගසන්නට විය. “හරි හරි මම එන්නම්, මේක අසනීප ජොන්සි මිස් ට ඉන්න සුදුසු තැනක් නෙමෙයි. මම කවදාහරි මගේ හොඳම චිත්‍රය ඇන්ද දවසට අපි ඔක්කොම මෙහෙන් යමු, දෙවියනේ ඇත්තටම යමු!”
ඔවුහු ඉහල මාලයට යද්දී ජොන්සි නින්දට වැටී සිටියා ය. සූ කවුළුවේ පැලැල්ල පහත් කර බර්හ්මන්ට අනෙත් කාමරය වෙත එන්නට සන් කළා ය. මෙහි සිට ඔවුහු බියපත් දෑසින් කවුළුවෙන් එපිට අයිවි වැල දෙස බලා නිහඬව එකිනෙකා දෙස බැලූහ. හිම ද මුසු වූ නොනවතින වැස්සක් ඇද වැටෙමින් තිබිණි. බර්හ්මන් සූ ගේ චිත්‍රය වෙනුවෙන් පතල්කරුවෙකුගේ අනුරුවක් වන්නට යටිකුරු කරන ලද කේතලයක් මත වාඩි විය.
පසුදා උදයේ පැයක නින්දෙන් පසු අවදි වූ සූ දුටුවේ කවුළුවේ පැලැල්ල වෙත අයාගත් උදාසීන දෑසින් බලා සිටින ජොන්සි ගේ රුවයි.
“මේක අයින් කරන්න, මට බලන්න ඕන” ඈ රහසින් අණ කළා ය.
සූ වෙහෙසුණු මනසින් යුතුව ඒ අණ පිළිපැද්දා ය. පසුගිය රාත්‍රිය පුරාවටම ඇද හැලුණු මහා වැස්සත් හැමූ වියරු සුළඟත් ඉවසාගෙන එකම එක අයිවී පතක් බිත්තිය අද්දර පෙනුණි. එය වැල මත වූ අවසාන පත්‍රය විය. එහි නටුව අසල තවමත් කොළ පැහැති ව පෙනුණු අතර දාර යන්තමින් කහ පැහැති වී තිබිණි. පොළොවෙන් අඩි විස්සක් පමණ උසකින් වූ එය, එඩිතරව වැල මත එල්ලී සිටියේය.
“මේ අන්තිම කොළය,” ජොන්සි කීවාය. “ඊයේ රෑ හුළඟ හමනවා මට ඇහුණා. මම නම් හිතුවේ මේක ඊයේ වැටෙයි කියලා. අද වැටෙයි, ඒ වෙලාවටම මාත් මැරෙයි.”
“අනේ අනේ!” සූ ජොන්සි වෙත නැඹුරුවෙමින් කීවාය. “ඔයාට තමන් ගැන හිතන්න බැරි නම් මං ගැන හිතන්න. එතකොට මම මොකද කරන්නේ?”
එහෙත් ජොන්සි පිළිතුරු දුන්නේ නැත. කෙනෙක් මේ මායාකාරී දුර ගමනට සූදානම් වීම මහත් සේ තනිකම දනවන ක්‍රියාවකි. මේ ගමනේ අරුමෝසම කෙතරම් ඇගේ සිත් ගෙන තිබිණිද යත් ඇගේ ජීවිතයේ වූ සෙසු මිතුදමේ බැමි බුරුල් වූවා සේ විය.
ඒ දවස ගෙවී ගියේ ය. අන්තිම අයිවී පත්‍රය බිත්තිය අද්දර එල්ලී ඇති අයුරු සැන්දෑ අඳුර අතරින් පවා ඔවුන්ට පෙනුණි. ඒ රාත්‍රියේ නැවතත් උතුරු සුළඟ වියරුවෙන් හැමූ අතර වර්ෂාව කවුළුවට පහර දෙනු ඇසිණි. පසු දින උදා වූ විගස කවුළුවේ පැලැල්ල විවර කරන ලෙස ජොන්සි සිත් පිත් නැති ලෙස අණ කළා ය.
එහෙත් අයිවි පත එලෙසම තිබිණි.
ජොන්සි බොහෝ වෙලාවක් ඇඳේ වැතිර ඒ දෙස බලා සිටියා ය. ඉනික්බිති ඈ උදුන අසල කුකුල් මස් සුප් හැඳි ගාමින් සිටි සූ ට කතා කළා ය.
“මම හරි නරක කෙල්ලෙක් සූඩී,” ජොන්සි කීවා ය. “මම කොයි තරම් නපුරු ද කියලා ඔප්පු කරන්න මොකක් හරි බලවේගයක් නිසා අර අන්තිම කොලය ඉතිරිවෙලා. මැරෙන්න හිතෙන එක පවක්. මට දැන් සුප් ටිකක් ගේන්න. ඊටපස්සේ කිරි වලට පෝට් වයින් ටිකක් දාලා ගේන්න- නැහැ මුලින්ම මට අර පොඩි කණ්නාඩිය ගේන්නකෝ. ඊටපස්සේ මගේ කොට්ට ටික ටිකක් උස්සන්න, මම ඇඳේ වාඩිවෙලා ඔයා උයන හැටි බලාගෙන ඉන්නම්.”
ඉන් හෝරාවකට පසු ඈ මෙසේ කීවාය
“සූඩී මගේ බලාපොරොත්තුවක් තියෙනවා කවදාහරි නේපල්ස් වරායේ චිත්‍රයක් අඳින්න.”
ඒ හවස්වරුවේ දොස්තර පැමිණියේය. “දැන් ඈ ජීවත්වීමේ සම්භාවිතාව පනහට පනහයි. හොඳට හෙදකම කළොත් ඔයා දිනන ලකුණු තියෙන්නේ.” ඔහු කොරිඩෝවේදී සූ ගේ දුර්වල වෙව්ලන අත අල්ලා කීවේය. “දැන් මම යන්න ඕන පහල තට්ටුවේ තව ලෙඩෙක් බලන්න. බර්හ්මන් කිව්වා එයාගේ නම, සිත්තරෙක් ලු. එයාටත් නියුමෝනියාව. වයසයි දුර්වලයි නිසා එයාගේ නම් තත්ත්වේ බරපතලයි, බේරගන්න බැරි හැඩයි, ඒත් වැඩි සුවපහසුව වෙනුවෙන් අද ඉස්පිරිතාලෙට ගෙනියනවා.”
ඊට පසු දිනයේදී දොස්තර සූ ට මෙසේ කීවේය. “ඔයාගේ යාලුවා ගැන බය වෙන්න දෙයක් නැහැ, ඔයා දිනුවා. හොඳට කෑම බීම දීලා බලාගන්න, එච්චරයි.”
ඒ හවස්වරුවේ සූ, ජොන්සි ඇඳේ වාඩිවී සාළුවක් ගොතමින් සිටි තැනට පැමිණ ඈ වැළඳ ගත්තාය.
“පුංචි සුදු මීයෝ, මට ඔයාට කියන්න දෙයක් තියෙනවා. අද බර්හ්මන් මහත්තයා නිවුමෝනියාව හැදිලා ඉස්පිරිතාලේදී නැතිවුණා. එයා අසනීපෙන් හිටියේ දවස් දෙකයි. ගොඩනැගිල්ල පිරිසිදු කරන මනුස්සයා තමයි එයා කාමරේ වේදනාවෙන් ඉන්දැද්දී හොයාගෙන තියෙන්නේ. එයාගේ ඇඳුම් සපත්තු එහෙම තෙතබත් වෙලා ලු තිබුණේ. කාටවත් හිතාගන්න බැරි වෙලා එයා ඒවගේ සීතල වැස්ස දවසක කොහේ ගියාද කියලා. ඊටපස්සේ එයාලා දැකලා එළියේ ඒ වෙද්දීත් පත්තු වෙන ලන්තෑරුමකුත්, ඉනිමගකුත්, කොළ කහ පාට මිශ්‍ර කළ චිත්‍ර අඳින පලත්තකුත් තියෙනවා. අර බලන්න අර බිත්තියේ අන්තිම අයිවි කොලය දිහා. ඒක එක වතාවක් වත් හුළඟට හෙලවුණේ නැත්තේ ඇයි කියලා ඔයාට හිතුණා ද? ඒක තමයි බර්හ්මන්ගේ විශිෂ්ඨ කලා නිර්මාණය. ඒ වැලේ අන්තිම කොලය වැටුණු දවසේ එයා බිත්තියේ ඔය චිත්‍රය ඇඳලා.”
Translation of the short story ‘The Last Leaf’ by O. Henry

පසු සටහන – මේ කතාව හොයාගන්න ඔත්තුව දුන්න ප්‍රවීණ බ්ලොග් රචක රවී වීරසිංහ තුමා ට ස්තූතියි.
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


