

2026 දී, අධ්‍යාපනය සඳහා වන ලෝක ශ්‍රේණිගත කිරීම්වල අනුව, කැනඩාව 4 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, US News ශ්‍රේණිගත කිරීමේදී කැනඩාව 19 වැනි ස්ථානය දක්වා පහත වැටී තිබීම දක්නට ලැබෙනවා. එසේ වුවද, තවමත් බොහෝ සංක්‍රමණිකයන් කැනඩාව තම නිවහන ලෙස තෝරාගැනීමට හේතු රැසක් තිබෙනවා. ඒවා නම්:
• දේශපාලන ස්ථාවරත්වය
• ආරක්ෂාව
• පොදු සෞඛ්‍ය සේවාව
• ශක්තිමත් අධ්‍යාපන පද්ධතිය
• බහුසංස්කෘතික සමාජය
• පිරිසිදු පරිසරය
• නීතිමය ආරක්ෂාවන්
• පුරවැසිභාවය ලබාගැනීමේ අවස්ථා
• සමස්ත ජීවන තත්ත්වය
එසේ වුවද, කැනඩාවෙන් පිටව යන කැනේඩියානුවන්ගේ සංඛ්‍යාව 2025 දී වාර්තාගත ඉහළම මට්ටමකට ළඟා වී තිබෙන අතර, එම වසර තුළ කැනේඩියානුවන් 120,000 කට අධික පිරිසක් සංක්‍රමණය කර තිබෙන බව Statistics Canada දත්ත වාර්තාවට අනුව පෙන්වා දෙනවා. සිත්ගන්නා සුලු කරුණ වන්නේ සියලු සංක්‍රමණිකයන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ඔන්ටාරියෝ ප්‍රාන්තයෙන් වීම. සංක්‍රමණය අතින් දෙවන ස්ථානය දරන්නේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයයි. මෙය පුදුම විය යුතු කරුණක් නොවේ. ඔන්ටාරියෝ කැනඩාවේ වැඩිම ජනගහනයක් සහිත ප්‍රාන්තය මෙන්ම ටොරොන්ටෝ සහ ඔටවා වැනි ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල නිවහනද වෙනවා. තෙවනුව වැඩිම ජනගහනයක් ඇත්තේ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රාන්තයෙයි. මෙම දත්ත මගින් පෙන්වන්නේ කැනඩාවේ වර්ධනය වන විදේශ සංක්‍රමණ ප්රවණතාවයේ ප්‍රධාන මෙහෙයුම් බලවේගය ඔන්ටාරියෝ බවයි. එබැවින් මෙය සාකච්චා කලයුතු වැදගත් මාතෘකාවක් වනවා.


දැන් අපි බලමු කැනේඩියානුවන් කැනඩාව හැර යන්නේ ඇයි කියා.
1. ජීවන වියදම ඉහළ යාම
ප්‍රධානතම හේතු අතරින් එකක් වන්නේ දෛනික ජීවිතයේ වියදම ඉතා ඉහළ යාමයි. බොහෝ කැනේඩියානුවන්ට හැඟෙන්නේ වැටුප්, ආහාර ද්‍රව්‍ය, ප්‍රවාහනය, කුලිය, රක්ෂණය, ළමා සුරැකුම් සේවා සහ උපයෝගිතා සේවා වියදම්වල වැඩිවීම සමඟ සමාන ලෙස ඉහළ ගොස් නැති බවයි. ස්ථාවර රැකියා ඇති පුද්ගලයින්ට පවා, විශේෂයෙන්ම ටොරොන්ටෝ, වැන්කූවර්, මිසිසාගා, කැල්ගරි සහ ඔටවා වැනි විශාල නගරවල, මූල්‍යමය පීඩනය ඉතා අධික වීම දක්නට ලැබෙනවා.
2. නිවාස මිලදී ගැනීමේ පිළිබඳ අර්බුදය
නිවාස ප්රශ්නය කියන්නෙ බොහෝ විට මිනිසුන් වෙනත් තැන්වලට යාමට බලපාන ප්රබලතම හේතු අතරින් එකක්. කැනඩාවේ බොහෝ නගරවල, තරුණ පවුල්වලට, නව සංක්‍රමණිකයන්ට සහ මධ්‍යම ආදායම් ලබන්නන්ට නිවසක් මිලදී ගැනීම දුෂ්කරව තිබෙනවා. විශේෂයෙන්ම ඔන්ටාරියෝ සහ බ්‍රිටිෂ් කොලම්බියා ප්‍රදේශවල, ගෙවල් කුලියද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් බවයි දත්ත පෙන්වා දෙන්නේ.
3. විදේශයන්හි වඩා හොඳ රැකියා අවස්ථා
විශේෂයෙන්ම ඉහළ කුසලතා ඇති වෘත්තීන්හි නියැලෙන සමහර කැනේඩියානුවන්, වැටුප් වැඩි හෝ වෘත්තීය වර්ධනය වේගවත් වන රටවලට පිටත්ව යාම සුලභ දර්ශනයක්. විශේෂයෙන්ම, මෙය පහත ක්ෂේත්රවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙනවා:
• තාක්ෂණය
• ඉංජිනේරු ශිල්පය
• මූල්‍ය ක්ෂේත්රය
• සෞඛ්‍ය සේවා
• පර්යේෂණ
• ශාස්ත්‍රීය ක්ෂේත්රය
• ව්‍යවසායකත්වය
බොහෝ විට ඇමරිකා එක්සත් ජනපදය සුලභ ගමනාන්තයක් වන්නේ සමහර කර්මාන්තවල වැඩි වැටුප්, විශාල වෙළඳපොළවල්, වැඩි ව්‍යාපාර ප්රාග්ධනය (venture capital), සහ වේගවත් උසස්වීම් අවස්ථා ලබා දෙන බැවින්. ඉහළ අධ්‍යාපනයක් ලබා ඇති කැනේඩියානුවන් සංක්‍රමණ ප්රවණතාවයේ වැදගත් කොටසක් වන අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් විදේශයන්හි වඩා හොඳ වෘත්තීය අවස්ථා සෙවීමට පෙළඹෙනවා.
4. අඩු බදු හෝ වෙනස් බදු පද්ධති
සමහර කැනේඩියානුවන්ට තමන්ට ලැබෙන සේවාවන්ට සාපේක්ෂව බදු ඉහළ බව හැඟෙනවා. මෙය විශේෂයෙන්ම ඉහළ ආදායම් ලබන්නන්, ආයෝජකයන්, ව්‍යාපාර හිමියන්, සහ වෘත්තීයවේදීන් අතර දක්නට ලැබෙනවා. ඔවුන් කැනඩාව, පුද්ගලික ආදායම් බදු අඩු ව්‍යාපාරික බදු අඩු, හෝ ආයෝජන සඳහා වඩාත් වාසිදායක නීති ඇති රටවල් හෝ එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශ සමඟ සංසන්දනය කිරීමෙනුයි මෙම තීරණයට එළැඹෙන්නේ.
එසේ වුවද, බදු පමණක් තීරණාත්මක සාධකය නොවේ. බොහෝ දෙනා පොදු සේවාවන් ශක්තිමත් බව තමන්ට හැඟේ නම් ඉහළ බදු ගෙවීමට පැකිලීමක් නැහැ. නමුත් ගැටලුව වන්නේ, තමන් වැඩි බදු ගෙවමින් සිටියදීත් සෞඛ්‍ය සේවා සඳහා, විශේෂයෙන්ම ආරෝග්‍ය ශාලාවල හදිසි අසනීප අංශවල, දිගු පෝලිම්, නිවාස මිල අධිකවීම, හෝ සීමිත පොදු යටිතල පහසුකම් වැනි ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව මිනිසුන්ට හැගීමයි.
5. සෞඛ්‍ය සේවා ප්‍රවේශය සහ බලාපොරොත්තු කාලය
මහජන අරමුදල් මඟින් පවත්වාගෙන යන කැනඩාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය ලොව ඉතා ඉහළින් අගය කරනු ලබනවා. එහෙත්, ආරෝග්‍ය ශාලා හදිසි අසනීප අංශවල දිගු කාලයක් බලා සිටීමට සිදුවීම බොහෝ දෙනාට විශාල අපහසුතාවයක් වී තිබෙනවා. අපහසුතාවයට පත්වන බොහෝ අය රට හැර යාමට පෙළඹෙනවා. දිගු කාලයක් බලා සිටීමට සිදුවන සමහර සේවා:
• පවුල් වෛද්‍යවරුන් සඳහා
• විශේෂඥ වෛද්‍යවරුන් සඳහා
• ශල්‍යකර්ම සඳහා
• රෝග විනිශ්චය පරීක්ෂණ සඳහා
• මානසික සෞඛ්‍ය සේවා සඳහා
• වැඩිහිටි සත්කාර සේවා සඳහා


6. වෘත්තීය ප්රගතියේ සීමාව සහ “බුද්ධි ප්‍රවාහය” (Brain Drain)
සමහර කැනේඩියානුවන්ට හැඟෙන්නේ කැනඩාවේ අභිලාෂයන්ට යම් සීමාවක් ඇති බවයි. එයට හේතුව වන්නේ කැනඩාවේ විශාල සමාගම් අඩු වීම, ගෝලීය මූලස්ථාන අඩු වීම, පර්යේෂණ තනතුරු අඩුවීම හෝ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව හෝ යුරෝපයේ ඇතැම් ප්‍රදේශවලට සාපේක්ෂව වේගයෙන් වර්ධනය වන අවස්ථා අඩු වීමයි.
ඉහළ අධ්‍යාපනයක් ලැබූ හෝ ඉහළ කුසලතා ඇති පුද්ගලයින් වඩා හොඳ අවස්ථා සොයා රට හැර යන විට, එය කැනඩාවේ අනාගතයේ සංවර්ධනය සහ තරඟකාරීත්වය පිළිබඳ සැලකිල්ලක් ලෙස සැලකෙනවා.
7. බලාපොරොත්තු කඩවීමෙන් පසු රට හැර යන නව සංක්‍රමණිකයන්
කැනඩාව හැර යන සමහර පුද්ගලයන් කැනඩාවේ උපන් පුරවැසියන් නොව, වඩා හොඳ අවස්ථා බලාපොරොත්තුවෙන් පැමිණි සංක්‍රමණිකයන් හෝ ස්ථිර පදිංචිකරුවන්. ඔවුන් පහත සඳහන් අභියෝගවලට මුහුණ දීමෙන් පසු රට හැර යා හැකියි:
• තම වෘත්තීය ක්ෂේත්රයට අදාළ රැකියාවක් සොයා ගැනීමේ අපහසුව
• කැනේඩියානු සේවා අත්දැකීම් අවශ්‍යතා
• වෘත්තීය සුදුසුකම් පිළිගැනීමේ ගැටලු
• ඉහළ කුලී ගාස්තු
• හුදෙකලාව
• දැඩි කාලගුණය
• පවුලේ සහාය නොමැති වීම
• ආදායම් වර්ධනය මන්දගාමී වීම
උදා: ලෙස, ජාත්‍යන්තරව පුහුණුව ලැබූ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීවරුන් සහ අනෙකුත් වෘත්තිකයන්ට තමන්ගේ වෘත්තීය බලපත්‍ර ලබා ගැනීමට හෝ පෙර සිටි මට්ටමේ රැකියාවක් ලබා ගැනීමට අපහසු වීම සැලකිය හැකියි. වෘත්තීයමය වශයෙන් තමන් පසුපසට ගමන් කරන බව ඔවුන්ට හැඟේ නම්, ඔවුන් වෙනත් රටකට සංක්‍රමණය වීමට තීරණය කළ හැකියි.
8. කාලගුණය සහ ජීවන රටා අභිරුචි
කැනඩාවේ ශීත ඍතු බොහෝ ප්‍රදේශවල දිගු සහ ඉතා දුෂ්කර වෙනවා. සමහර අය පිටව යන්නේ ඔවුන්ට වඩා උණුසුම් දේශගුණයක්, වැඩි එළිමහන් ජීවිතයක් හෝ මන්දගාමී ජීවන රටාවක් අවශ්‍ය නිසා. විශ්‍රාමිකයන් වඩා හොඳ කාලගුණය සහ අඩු ජීවන වියදම් සඳහා මෙක්සිකෝව, පෘතුගාලය, කොස්තෝරිකාව හෝ දකුණු එක්සත් ජනපදයේ සමහර ප්‍රදේශ වැනි රටවලට සංක්‍රමණය වීමට ප්රවනතාවක් දැක්විය හැක.
9. දුරස්ථ වැඩ(Remote Work) නිසා රට හැර යාම
දුරස්ථ වැඩ කිරීම සමහර වෘත්තිකයන් සඳහා විදේශගත වීම පහසු කර ඇත. යම් පුද්ගලයෙකුට කැනේඩියානු, ඇමරිකානු හෝ ජාත්‍යන්තර සමාගමක් සඳහා මාර්ගගතව වැඩ කළ හැකි නම්, ඔහු හෝ ඇය තම ආදායම් මූලාශ්‍රය පවත්වාගෙන යමින් අඩු වියදම් සහිත හෝ වඩා උණුසුම් රටක ජීවත් වීමට තෝරා ගත හැක.
මෙය විශේෂයෙන් ආකර්ෂණීය වන්නේ:
• නිදහස් වෘත්තිකයන්ට;
• මෘදුකාංග සංවර්ධකයන්ට;
• උපදේශකයන්ට;
• ව්‍යවසායකයන්ට;
• ඩිජිටල් අලෙවිකරණ ශිල්පීන්ට;
• නිර්මාණකරුවන්ට;
• දුරස්ථ ආයතනික සේවකයන්ට.
11. විදේශයක විශ්‍රාම ගැනීම
සමහර කැනේඩියානුවන් කැනඩාවෙන් පිටත විශ්‍රාම ගන්නේ ඔවුන්ගේ විශ්‍රාම වැටුප, RRSP ඉතුරුම්, හෝ ආයෝජන ආදායම වෙනත් රටවල වැඩි අගයකින් ප්‍රයෝජනවත් විය හැකි බැවින්. අඩු නිවාස වියදම්, ලාභදායී ආහාර, සහ උණුසුම් දේශගුණයක් ඇති රටවලට ඔවුන් ආකර්ෂණීය විය හැක.
මින් අදහස් වන්නේ කැනඩාව කඩා වැටෙමින් තිබෙනා බව නොවේ. ඒ වෙනුවට, වැඩි පිරිසක් කැනඩාව වෙනත් රටවල් සමඟ සංසන්දනය කරමින්, තම පෞද්ගලික අවශ්‍යතාවයන් අනුව, වඩා හොඳ, දැරිය හැකි ජීවන වියදම්, වෘත්තීය වර්ධනය, හෝ ජීවන රටාවක් ලබාගත හැකි වෙනත් රටකට සංක්‍රමණය වීමයි.
ඉහත සඳහන් කරුණු තිබියදීත්, තවමත් බොහෝ සංක්රමණිකයින්ගේ මුල්ම තේරීම වන්නේ කැණඩාවයි.
තවත් ලිපියකින් නැවත හමුවන තුරු, ඔබ සැමට ආයුබෝවන්!
සටහන – අසෝකා ජයලත්


