
මොන්ට්‍රියල් හි කෝට්-ඩෙස්-නෙයිජස් (Côte-des-Neiges) ප්‍රදේශයේ පසුගිය සඳුදා සිදු වූ දරුණු වෙඩි තැබීමේ සිදුවීමකින් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මුළු නගරයම දැඩි කම්පනයකට පත්ව තිබේ. මෙම සිදුවීමෙන් තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ සැකකරු ද පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මිය ගොස් ඇත.
මොන්ට්‍රියල් පොලිස් සේවයේ (SPVM) නිලධාරියෙකු රාජකාරියේ නියැලී සිටියදී ඝාතනයට ලක්වීම සහ තවත් සිවිල් වැසියෙකුගේ මරණයත් සමඟ මොන්ට්‍රියල් නුවර ශෝකයට පත්ව තිබේ. මියගිය පොලිස් නිලධාරියා 34 හැවිරිදි මොහොමඩ් ලැමින් බෙන්රෙඩුවාන් (Mohamed Lamine Benredouane) ලෙස හඳුනාගෙන ඇත. ඔහු 2021 වසරේ සිට පොලිස් සේවයේ නියැලී සිටි නිලධාරියෙකු බව වාර්තා වේ.
SPVM ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මහජනතාව ආරක්ෂා කිරීම සඳහා රාජකාරි කරමින් සිටියදී බෙන්රෙඩුවාන් නිලධාරියා අකාලයේ මියයාම පිළිබඳව තමන් දැඩි ශෝකයට පත්වන බවයි. ඔහුගේ රාජකාරිය කෙරෙහි වූ කැපවීම සහ වෘත්තීය මට්ටම සැමදා මතකයේ රැඳෙනු ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම ඛේදවාචකය සිදුවුයේ පසුගිය සඳුදා පෙවරු 11:35 ට පමණ හීල්ටන් (Hilton) හෝටලයේ ජනේලයකින් පුද්ගලයෙකු තුවක්කුවක් එළියට දමාගෙන සිටින බවට 911 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් සමඟිනි. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී සැකකරු විසින් ඔවුන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබේ.
මොන්ට්‍රියල් පොලිස් ප්‍රධානී ෆාඩි ඩැගර් (Fady Dagher) ප්‍රකාශ කළේ සැකකරු දිගු තුවක්කුවක් (long gun) භාවිතා කර ඇති අතර ඔහු එම ස්ථානයේදීම මිය ගිය බවයි. සැකකරු මිය යන විටත් ප්‍රදේශවාසීන් සඳහා වන ආරක්ෂක අනතුරු ඇඟවීම් (alert warning) නිකුත් කර නොතිබූ බව බලධාරීන් පවසයි.
වෙඩි තැබීමෙන් මියගිය සිවිල් වැසියා මයිකල් (මිෂෙල්) මෝෂේ මිස්රාහි (Michael Moshe Mizrahi) ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු මොන්ට්‍රියල් හි යුදෙව් ප්‍රජාවේ ගෞරවයට පාත්‍ර වූ සාමාජිකයෙකු බව ඊශ්‍රායල සහ යුදෙව් කටයුතු පිළිබඳ මධ්‍යස්ථානය (CIJA) නිවේදනය කළේය. මිස්රාහි මහතා මෙම සිදුවීමේ අහිංසක ගොදුරක් බව පවසන එම මධ්‍යස්ථානය ඔහුගේ පවුලේ අයට ශෝකය ප්‍රකාශ කර ඇත.
මෙම ගැටුමේදී තවත් පොලිස් නිලධාරියෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කළ අතර, ඔහුගේ තත්ත්වය මේ වන විට ස්ථාවර මට්ටමක පවතින බව වාර්තා වේ. සිවිල් වැසියාට වෙඩි වැදුණේ කාගෙන්ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිස් ප්‍රධානියා සඳහන් කළේය.
වෙඩි තැබීමත් සමඟ කෝට්-ඩෙස්-නෙයිජස් ප්‍රදේශයේ “සම්පූර්ණ අවුල් සහගත” (complete chaos) තත්ත්වයක් ඇති වූ බව ඇසින් දුටුවෝ පවසති. ප්‍රදේශවාසීන් පවසන්නේ වෙඩි හඬ දුසිම් ගණනක් ඇසුණු බවයි. එම අවස්ථාවේ උද්‍යානයක සෙල්ලම් කරමින් සිටි දරුවන් රැගෙන දෙමාපියන් වහාම ආරක්ෂිත ස්ථාන කරා දිව ගිය බව බ්‍රැන්ඩන් බෙන්චිමෝල්-එල්කයිම් (Brandon Benchimol-Elkaim) නම් ප්‍රදේශවාසියෙකු පැවසීය. මුලදී තමන් සිතුවේ එය අසල ඉදිකිරීම් අඩවියක ශබ්දයක් බව වුවද, පසුව පොලිස් නිලධාරීන් තුවක්කු අතැතිව වාහන පිටුපස සැඟවී සිටිනු දැක තත්ත්වය වටහා ගත් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ආරක්ෂක පියවරක් ලෙස, ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙසත්, දොරවල් ජනේල වසා දමන ලෙසත් පොදු ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණි. මෙම අනතුරු ඇඟවීම සවස 3:00 ට පමණ ඉවත් කරන ලදී.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නි (Mark Carney) සිය කම්පනය ප්‍රකාශ කළේය. පොලිස් නිලධාරීන්ගේ වීරෝදාර කැපවීම අගය කළ ඔහු වින්දිතයන්ගේ පවුල් වෙත සිය ශෝකය පිරිනැමුවේය. ක්විබෙක් මහජන ආරක්ෂක අමාත්‍ය ඉයන් ලෆ්රෙනියර් (Ian Lafrenière) සඳහන් කළේ, මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවට පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බවයි.
බ්‍රිටිෂ් කොලොම්බියාවේ (British Columbia) පොලිසිය විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව ප්රචණ්ඩත්වය පතුරුවන යම් ලේඛනයක් හෝ “ප්රකාශනයක්” (manifesto) පිළිබඳ කටකතා පවතින බවට අනතුරු ඇඟවීමක් කර තිබුණද, මෙම සැකකරුගේ අරමුණ කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
මෙම වෙඩි තැබීම පිළිබඳ පරීක්ෂණ කටයුතු ක්විබෙක්හි ස්වාධීන පරීක්ෂණ ආයතනය (Bureau des enquêtes indépendantes – BEI) වෙත පවරා ඇත. මියගිය පුද්ගලයන්ට ගරු කිරීමක් ලෙස සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු නොකරන ලෙස අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.


