
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කෙසෙල් වගාකරුවන්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් කෙසෙල් කඳ භාවිතයෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේ නව කර්මාන්තශාලාවක් ආරම්භ කිරීමට වත්මන් රජය කටයුතු යොදා ඇත. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ පරිදි, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ චීන රජයේ තාක්ෂණික සහාය ඇතිවය. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා ඇඹිලිපිටිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වා ඇති අතර, මේ වන විටත් ආයෝජකයින් ඒ සඳහා සිය කැමැත්ත පළ කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පවතින වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි අඩංගු නවීන තාක්ෂණික ක්‍රියාවලියයි. කෙසෙල් කඳක් කර්මාන්තශාලාවට ඇතුළු කළ පසු, එයින් තන්තු වෙන් කර නූල් නිපදවීම, එම නූල් වර්ණ ගැන්වීම (Batik) සහ අවසානයේ සම්පූර්ණ නිමි ඇඳුමක් ලෙස නිෂ්පාදනය පිටතට පැමිණීම දක්වා වූ සම්පූර්ණ ක්‍රියාවලිය මෙම එක් මධ්‍යස්ථානයක් තුළම සිදුවේ. නියෝජ්‍ය අමාත්‍යවරයා මෙය සරලව විස්තර කරමින් පැවසුවේ, “කෙසෙල් කඳ මේ පැත්තෙන් දැමූ විට නූල් නිෂ්පාදනය වී, සායම් වී අන්තිමට නිමි ඇඳුමක් විදිහට එළියට එනවා” යනුවෙනි.
එමෙන්ම, මෙම නිෂ්පාදන ක්‍රියාවලියේදී ඉතිරිවන රොඩු කොටස් අපතේ නොයවා ඒවා මගින් තවත් අතුරු නිෂ්පාදන රැසක් සිදු කිරීමට සැලසුම් කර ඇත. නව රෙදිපිළි කර්මාන්තශාලාව සඳහා දැනට භාවිතයට නොගන්නා රජයේ ගොඩනැගිලි පරිශ්‍රයක් යොදා ගැනීමට නියමිත අතර, මීට පෙර ද ඇඹිලිපිටිය මොලකැටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කෙසෙල් ගෙඩි පිරිසිදු කර පැකට් කර විදේශ රටවලට යැවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. මෙම නව ව්‍යාපෘතිය හරහා කෙසෙල් වගාකරුවන්ට තම අස්වැන්නට අමතරව එතෙක් ඉවත දැමූ කෙසෙල් කඳ සඳහා ද ඉහළ වෙළඳපොළ වටිනාකමක් හිමිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රකාශයත් සමඟ දේශපාලන කරළිය තුළ යම් මතභේදයක් හටගෙන තිබේ. හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ ඉවත දමන කෙසෙල් කඳේ තන්තු උපයෝගී කර ගනිමින් රෙදිපිළි සහ ඇගළුම් නිෂ්පාදනය කිරීමේ නවෝත්පාදන වැඩසටහන මුලින්ම ඇරඹූයේ තමා කර්මාන්ත අමාත්‍ය ධුරය දැරූ සමයේ බවයි. වත්මන් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් වීරවංශ මහතා සඳහන් කළේ, “එහෙන් කෙසෙල් කඳ දැම්මම මෙහෙන් ඇඳුම් එළියට එන ෆැක්ටරියක් හදනවා” යැයි පැවසීම දෙස තමන් උපේක්ෂාවෙන් බලා සිටින බවයි.
වීරවංශ මහතා පෙන්වා දෙන්නේ 2019 වසරේදී කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇගළුම් ආයතනය (SLITA) මගින් මොරටුව විශ්ව විද්‍යාලයේ පර්යේෂණ අංශය සමඟ එක්ව මෙම කාර්යය ආරම්භ කළ බවයි. එහිදී නිපදවූ රෙදිපිළි සහ ළදරු ඇඳුම් සඳහා අවශ්‍ය සෞඛ්යාරක්ෂිත තත්ත්ව සහතික පවා ලබා දී තිබූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි,. එපමණක් නොව, එම නවෝත්පාදක ක්‍රියාවලියෙන් පසු මේ වන විටත් පෞද්ගලික ආයතන රැසක් කෙසෙල් තන්තු වලින් ඇඟලුම් නිෂ්පාදනය කරමින් සිටින බවත්, සමහර නවෝත්පාදකයන් ඒවා අපනයනය කරන බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.
මේ අතර, රජයේ මෙම වැඩපිළිවෙළ විවේචනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අදහස් පළ කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ මෙරට පවතින ඇඟලුම් කර්මාන්තශාලා මේ වන විට අස්ථාවර සහ අවදානම් තත්ත්වයකට පත්ව ඇති බවයි. රජය කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කිරීමට අවධානය යොමු කිරීමට ප්‍රථම, දැනට පවතින ඇඟලුම් කර්මාන්තශාලා සහ එම ක්ෂේත්රය සුරක්ෂිත කිරීමට ප්‍රමුඛතාව ලබා දිය යුතු බව ඔහු අවධාරණය කළේය. “කෙසෙල් පටවලින් රෙදි නිෂ්පාදනය කරන්න හිතන්න කලින් රජය මේ ප්‍රශ්නයට විසඳුම් සෙවිය යුතුයි” යනුවෙන් විපක්ෂ නායකවරයා ජනහමුවක් අමතමින් ප්‍රකාශ කළේය.


