ඉතිහාසයේ පළමු වරට ‘ක්‍රිකට්’ඔලිම්පික් යන හැටිICCය කියයි.

වසර 128කට පසු ක්‍රිකට් ක්‍රීඩාව නැවත වරක් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන 2028 ලොස් ඇන්ජලීස් (LA28) ඔලිම්පික් උළෙල සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබාගන්නා ආකාරය පිළිබඳ නිල ක්‍රියාවලිය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සහ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් පසුගියදා නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම නව ක්‍රියාවලිය යටතේ ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට “ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියක්” (ICC Olympics Qualifier) 2027 වසරේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙලේ පිරිමි සහ කාන්තා විස්සයි20 (T20) තරග ඉසව් සඳහා රටවල් 6 බැගින් සහභාගි වීමට නියමිතයි.එහිදී අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනියා යන කලාප නියෝජනය කරමින් අවම වශයෙන් එක් කණ්ඩායමකට බැගින් අවස්ථාව හිමිවීම සහතික කර තිබෙනවා.

පිරිමි සහ කාන්තා ඉසව් ද්විත්වයේම කණ්ඩායම් 5 බැගින් පවතින ICC තරගාවලි සහ ජාත්‍යන්තර විස්සයි20 ශ්‍රේණිගත කිරීම් (T20I Rankings) මත පදනම්ව සුදුසුකම් ලබනු තිබෙනවා.අවසන් සහ 6 වන කණ්ඩායම තෝරාගනු ලබන්නේ 2027 දී පැවැත්වෙන ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන්.

කාන්තා අංශයෙන් රටවල් 4ක් දැනටමත් සුදුසුකම් ලබා අවසන්

දැනට පැවැත්වෙන 2026 ICC කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රතිඵල අනුව, අදාළ කලාපයන්හි වැඩිම දක්ෂතා දැක්වූ සුදුසුකම් ලත් කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියාව (ඕෂනියා), මහා බ්‍රිතාන්‍යය (යුරෝපය – එංගලන්තය හරහා), ඉන්දියාව (ආසියාව) සහ දකුණු අප්‍රිකාව (අප්‍රිකාව) 2028 ඔලිම්පික් වරම් දැනටමත් දිනාගෙන තිබෙනව.මෙම අවස්ථාව එක් මහද්වීපයකට එකක් බැගින් සීමා වුණා.

පිරිමි අංශයේ සුදුසුකම් ලැබීම

පිරිමි අංශයේ කණ්ඩායම් තෝරා ගැනීම 2026 දෙසැම්බර් 31 දිනට පවතින ICC විස්සයි20 ශ්‍රේණිගත කිරීම් අනුව සිදුවේ. එහිදී අප්‍රිකාව, ආසියාව, යුරෝපය සහ ඕෂනියා කලාපවලින් පෙරමුණේ පසුවන සුදුසුකම් ලත් කණ්ඩායම් සෘජුවම ඔලිම්පික් වරම් ලබනවා.

සත්කාරක ඇමරිකාවට සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වලට ඇති නීති

සත්කාරක රට ලෙස ඇමරිකාවට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව හිමිවන්නේ 2026 ජූනි 30 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ඕනෑම අවස්ථාවක ඔවුන් පිරිමි හෝ කාන්තා විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි මුල් 15 දෙනා අතර රැඳී සිටියහොත් පමණයි.

ඔවුන් එය අසමත් වුවහොත්, එම ස්ථාන ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින අනෙකුත් රටවලට හිමිවනවා.කොදෙව් කණ්ඩායම රටවල් කිහිපයක එකතුවක් වන බැවින් සහ ඔවුන් ස්වාධීන ඔලිම්පික් කමිටුවක් (NOC) ලෙස පිළි නොගන්නා බැවින් ඔලිම්පික් උළෙලට සෘජුව සහභාගි විය නොහැක.

කෙසේ වෙතත්, 2026 දෙසැම්බර් 31 වන විට ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටියහොත්, කැරිබියන් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පවත්වා, එම කලාපය නියෝජනය කරමින් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට යන නිල රට (NOC) තෝරාගැනෙනවා.

2027 ICC ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලිය

මෙම නව තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා අංශවලින් කණ්ඩායම් 8 බැගින් තරග වදිනවා.

ඉහත සඳහන් කළ කැරිබියන් කලාපීය ජයග්‍රාහකයාට අමතරව, එතෙක් ඔලිම්පික් වරම් ලබා නොමැති, ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින අනෙක් රටවල් 7 මීට සුදුසුකම් ලබනවා. (ශ්‍රී ලංකාව සෘජුවම සුදුසුකම් නොලැබුවහොත්, ඔලිම්පික් වරම් ලැබීමට මෙම තරගාවලිය ප්‍රබල අවස්ථාවක් වනු ඇත.) මෙහි දින වකවානු සහ සත්කාරක රට පසුව ප්‍රකාශයට පත් කෙරෙනවා.

ඔලිම්පික් ක්‍රිකට් තරග රටාව

සංචිත: සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් තෝරාගත හැකියි.

කාණ්ඩ: කණ්ඩායම් 3 බැගින් වන කාණ්ඩ දෙකකට (Groups) කණ්ඩායම් බෙදා වෙන් කෙරෙනවා.

තරග වට: මූලික වටයේදී තම කාණ්ඩයේ කණ්ඩායම් සමඟ තරග වැදීමෙන් පසු, අනෙක් කාණ්ඩයේ සමාන ස්ථාන නොගත් කණ්ඩායම් සමඟ තවත් තරග 2 බැගින් ක්‍රීඩා කළ යුතුයි.

පදක්කම්: වැඩිම ප්‍රසාද ලකුණු ලබන මුල් කණ්ඩායම් දෙක රන් සහ රිදී පදක්කම් සඳහාද, 3 සහ 4 වන ස්ථාන ලබන කණ්ඩායම් ලෝකඩ පදක්කම සඳහාද තරග වදිනවා.

මුළු තරග 28ක් පැවැත්වීමට නියමිත අතර, සියලුම තරග ලොස් ඇන්ජලීස් හි පොමෝනා (Pomona) හි ඉදිකරන විශේෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *