ටොරොන්ටෝ ප්‍රයිඩ් පෙළපාලියට අගමැති මාර්ක් කාර්නි සහ ඔලිවියා චව්ත් එක්වෙයි.

ටොරොන්ටෝ නගරය පාපන්දු ලෝක කුසලාන උද්යෝගයෙන් ඇලලී යන අතරතුර, එහි වාර්ෂික ප්‍රයිඩ් (Pride) පෙළපාලිය පසුගිය ඉරිදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙවර උළෙලේ සුවිශේෂීම අවස්ථාව වූයේ කැනඩා අගමැති මාර්ක් කාර්නි (Mark Carney) සහ ටොරොන්ටෝ නගරාධිපතිනි ඔලිවියා චව් (Olivia Chow) මෙම පාගමනට සෘජුවම සම්බන්ධ වීමයි. යොන්ග් වීදියේ (Yonge Street) දෙපස රැස්ව සිටි දහස් සංඛ්‍යාත ජනතාව සමඟ අගමැතිවරයා ඉතා සුහදව අතට අත දෙමින් සහ සෙල්ෆි ඡායාරූපවලට පෙනී සිටිමින් උත්සවයේ ප්‍රීතිය බෙදා ගත්තේය.

පාගමන අතරතුර අගමැතිවරයා ජනතාව සමඟ කෙතරම් සමීපව කටයුතු කළේද යත්, ජල තුවක්කු අතැතිව සිටි පිරිසට තමා දෙසට ජලය විදින ලෙස ඔහු විහිළුවෙන් මෙන් ඉල්ලා සිටියේය. ජල ප්‍රහාරයකින් සම්පූර්ණයෙන්ම තෙමී ගියද, ඔහු සිනහමුසු මුහුණින් යුතුව, තෙත් වූ රෝස පැහැති කමිසයකින් සැරසී පාගමනේ ඉදිරියටම ගමන් කළේය. අගමැති ධුරයට පත්වීමෙන් පසු ඔහු ටොරොන්ටෝ ප්‍රයිඩ් පාගමනකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

මෙම පාගමන ආරම්භ වූයේ රොසෙඩේල් වැලි (Rosedale Valley) මාර්ගයෙන් වන අතර, ඒ හේතුවෙන් නගරයේ මාර්ග රැසක් වසා දැමීමට පොලිසිය කටයුතු කර තිබුණි. දහවල් 2 ට පමණ ආරම්භ වූ මෙම දැවැන්ත පෙළපාලිය නැරඹීමට පැමිණි පිරිසෙන් නගරය පිරී ඉතිරී ගොස් තිබුණි.

මෙවර උළෙලේ තේමාව වූයේ අපි නවතින්නේ නැහැ” (We Won’t Stop) යන්නයි. එමගින් LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ ඔවුන් සමාජයට දෘශ්‍යමාන වීම වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ සිදුකරන ලද අරගල සහ ලබාගත් ජයග්‍රහණ සිහිපත් කෙරිණි. අගමැතිවරයා ගමන් කළේ 2016 වසරේ ෆ්ලොරිඩාවේ පල්ස් (Pulse) රාත්‍රී සමාජ ශාලාවේදී සිදුවූ සමූහ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයින් 49 දෙනාගේ නම් සහ රූප රැගත් පුවරු ප්‍රදර්ශනය කළ ස්වේච්ඡා සේවක පිරිසක් ඉදිරියෙනි.

වසර ගණනාවක් පුරා මෙම උත්සවයට සහභාගී වන ක්‍රිස් කොලන්ස් (Chris Collens) පවසන්නේ, අතීතයට වඩා වර්තමානයේ LGBTQ+ ප්‍රජාවට ලැබෙන පිළිගැනීම බෙහෙවින් වැඩි වී ඇති බවයි. 2000 දශකයේ මුල් භාගයේදී තමන් කවුදැයි වසන් කරමින් සොරෙන් නිවසින් බැහැරව මෙම උත්සවයට පැමිණි කාලය ඔහු සිහිපත් කළේය. එකල සමලිංගික වීම හේතුවෙන් රැකියා පවා අහිමි වූ නමුත්, අද ඔහු සිය රැකියා ස්ථානය වන ඔන්ටාරියෝ ගුරු රක්ෂණ සැලැස්ම (Ontario Teachers Insurance Plan) ආයතනයේ නිල සහයෝගය ඇතිව මෙයට සහභාගී වීම විශාල ජයග්‍රහණයක් ලෙස සලකයි.

එසේම, ප්‍රථම වරට මෙම උළෙලට සහභාගී වූ ටී.එල්. සදර්ලන්ඩ් (TL Sutherland) සඳහා මෙය හුදෙක් උත්සවයක් පමණක් නොව, දිවි අහිමි කරගත් තම මිතුරන් සිහිපත් කරන අවස්ථාවක් ද විය. ආගමික පසුබිමක් සහිත පවුලක හැදී වැඩුණු තමාට තමන්ගේ සැබෑ අනන්‍යතාවයෙන් ජීවත්වීම අභියෝගයක් වූ බව සදර්ලන්ඩ් පවසයි. මෑතකදී සියදිවි නසාගත් දක්ෂ පියානෝ වාදකයෙකු වූ සිය මිතුරා සිහිපත් කරමින් සදර්ලන්ඩ් කියා සිටියේ, LGBTQ+ තරුණයින්ට වැඩි සහයෝගයක් අවශ්‍ය බවයි. කැනඩා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, මෙම ප්‍රජාවට අයත් තරුණයින් අතර සියදිවි නසාගැනීමේ සිතුවිලි අනෙක් තරුණයින්ට වඩා වැඩි මට්ටමක පවතින බව ද මෙහිදී අනාවරණය විය.

ටොරොන්ටෝ ප්‍රයිඩ් උළෙල කැනඩාවේ විශාලතම සහ ලොව දෙවන විශාලතම ප්‍රයිඩ් උත්සවය ලෙස සැලකේ. කෙසේ වෙතත්, විවිධත්වය සහ සමානාත්මතාවය පිළිබඳ සමාජයේ පවතින ඇතැම් විරෝධතා හේතුවෙන් ඇතැම් ආයතනික අනුග්‍රාහකයන් ඉවත් වීම නිසා උළෙල මූල්‍ය අර්බුදයකට ද මුහුණ දී සිටී. උළෙලේ විධායක අධ්‍යක්ෂ කොජෝ මොඩෙස්ට් (Kojo Modeste) පවසන්නේ, මෙම වසරේ තේමාව හරහා තිරසාර වෙනසක් සඳහා අවශ්‍ය ජවය සහ ක්‍රියාකාරීත්වය ඇති කිරීමට බලාපොරොත්තු වන බවයි.

මෙම උත්සවය හුදෙක් සැමරුමක් පමණක් නොව, අයිතිවාසිකම් දිනාගැනීමේ අඛණ්ඩ අරගලයක සංකේතයක් බවට මෙවරත් තහවුරු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *