කැනේඩියානු පාර්ලිමේන්තුවතුල කුලී නිවැසියන්ගේ හඬ යටපත් වී ඇති බවට චෝදනාවක්.

කැනඩාවේ නිවාස අර්බුදය දරුණු වෙමින් පවතින පසුබිමක, එරට ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් නිවාස හිමියන් සහ මහා පරිමාණ ඉඩම් හිමියන් (landlords) වීම නිසා නිවාස ප්‍රතිපත්ති සකස් කිරීමේදී කුලී නිවැසියන්ට අගතියක් වන බවට දැඩි විවේචන එල්ල වී තිබේ. මෑතකදී සිදු කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී ඇත්තේ කැනේඩියානු පාර්ලිමේන්තුව තුළ කුලී නිවැසියන්ගේ හඬ යටපත් වී ඇති අතර, එය නිවාස හිමියන්ගේ සහ ආයෝජකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන ආයතනයක් බවට පත්ව ඇති බවයි.

අගමැති මාර්ක් කාර්නිගේ (Mark Carney) 38 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලය පිළිබඳ සිදු කළ මූල්‍ය අනාවරණයන් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එහි සිටින සෑම අමාත්‍යවරයෙකුම සහ රාජ්‍ය ලේකම්වරයෙකුම නිවාස හිමියන් බවයි. ඔවුන් අතරින් කිසිවෙකුත් තමන්ගේ ප්‍රධාන පදිංචිය සඳහා නිවසක් කුලියට ගෙන නොමැත.

වඩාත් කැපී පෙනෙන කරුණ නම්, අගමැතිවරයාගේ අමාත්‍ය මණ්ඩලයෙන් 38% ක්ම කුලී නිවාස හිමියන් හෝ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ආයෝජකයන් වීමයි. නිදසුනක් වශයෙන්, සංක්‍රමණ අමාත්‍ය ලීනා මෙට්ලෙජ් ඩයබ් හැලිෆැක්ස් හි කුලී ඒකක 14 ක හිමිකාරිත්වය දරයි. මුදල් අමාත්‍ය ෆ්‍රැන්සුවා-පිලිප් ෂැම්පේන් ලන්ඩන් නුවර කුලී නිවාස දෙකක හිමිකරුවෙකු වන අතර, ජාත්‍යන්තර සංවර්ධන රාජ්‍ය ලේකම් රන්දීප් සරායි බර්නාබි සහ සරේ ප්‍රදේශවල කුලී ඒකක හයක හිමිකාරිත්වය දරයි. අගමැති කාර්නිගේ වත්කම් අන්ධ භාරයක් (blind trust) යටතේ පැවතියද, ඔහු මීට පෙර හිමිකාරිත්වය දැරූ සමාගම් බොහොමයක් වාණිජ හෝ නේවාසික කුලී මගින් ආදායම් උපයන ඒවා බව හෙළි වී තිබේ.

මෙම තත්ත්වය කැබිනට් මණ්ඩලයට පමණක් සීමා නොවේ. සමස්ත පාර්ලිමේන්තුව (House of Commons) ගත් කළ, මන්ත්‍රීවරුන් 103 දෙනෙකු හෝ ඔවුන්ගේ කලත්‍රයන් කුලී ආදායම් ලබන බව හෝ දේපළ කළමනාකරණ ව්‍යාපාරවල නිරත වන බව අනාවරණය වී ඇත. මෙයට විපක්ෂ නායක පියරේ පොයිලිව්රේ ඇතුළු කොන්සර්වේටිව් මන්ත්‍රීවරුන් 45 දෙනෙකු, ලිබරල් මන්ත්‍රීවරුන් 52 දෙනෙකු, බ්ලොක් ක්විබෙකෝවා මන්ත්‍රීවරුන් 6 දෙනෙකු සහ එන්ඩීපී මන්ත්‍රීවරයෙකු ද ඇතුළත් වේ. අවම වශයෙන් මන්ත්‍රීවරුන් 295 දෙනෙකු තමන්ගේම නිවාස හිමි පුද්ගලයන් වන අතර, කුලී නිවැසියන් ලෙස සිටින්නේ ඉතා සුළු පිරිසකි.

කැනඩාවේ මුළු නිවාස ඒකකවලින් 30% ක් පමණ කුලී නිවාස වන අතර, මෙම විශාල ජනගහනය වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් පවසන්නේ පාර්ලිමේන්තුවේ මෙම සංයුතිය ප්‍රතිපත්තිමය වශයෙන් තමන්ට අවාසිදායක බවයි. කැනේඩියානු ප්‍රතිපත්ති විකල්ප මධ්‍යස්ථානයේ (Canadian Centre for Policy Alternatives) රිකාඩෝ ට්‍රැජන් පෙන්වා දෙන්නේ, නගර සභා, පළාත් සභා සහ ෆෙඩරල් පාර්ලිමේන්තුව තුළ කුලී නිවැසියන්ගේ නියෝජනයක් නොමැති වීම නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තර්ක කිරීම දුෂ්කර වී ඇති බවයි.

“ද ෂිෆ්ට්” (The Shift) නම් මානව හිමිකම් සංවිධානයේ සමනිර්මාතෘ ජුලියටා පෙරුකා පවසන්නේ, වර්තමාන නිවාස පද්ධතිය කැනඩාවේ වඩාත්ම ලාභදායී ව්‍යාපාරය බවට පත්ව ඇති බවයි. මන්ත්‍රීවරුන්ගේ මූල්‍ය අවශ්‍යතා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය සමඟ බැඳී පවතින තාක් කල්, කුලී නිවැසියන්ට හිතකර සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීමට ඔවුන් පෙළඹෙන්නේ නැති බවට ඇය තර්ක කරයි.

කාර්නි රජය විසින් ඉදිරිපත් කරන ලද ‘C-20: බිල්ඩ් කැනඩා හෝම්ස් ඇක්ට්’ (The Build Canada Homes Act) පනත අධ්‍යයනය කළ පාර්ලිමේන්තු කමිටුව වෙත කුලී නිවැසියන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන රැසක් වැදගත් සංශෝධන යෝජනා කළහ. එම යෝජනා අතර:

  • කුලී පාලනය (Vacancy Control): නිවාස හිමියන්ට හිතුමතේ කුලී මුදල් ඉහළ නැංවිය නොහැකි වන පරිදි නීතිමය සීමාවන් පැනවීම.
  • කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනත (Renter Bill of Rights): ආබාධිත පුද්ගලයින් ඇතුළු කුලී නිවැසියන් සූරාකෑමෙන් ආරක්ෂා කිරීම සඳහා වන ජාතික වැඩපිළිවෙළක්.
  • කුලී ආරක්ෂණ අරමුදල (Rental Protection Fund): කුලී නිවැසියන් නිවාසවලින් ඉවත් කිරීම වැළැක්වීම සඳහා වන විශේෂ අරමුදලක්.
  • සහනදායී නිවාස යන්න නැවත අර්ථ දැක්වීම: සහනදායී නිවාස යන්න වෙළඳපල මිල මත තීරණය නොකර, කුලී නිවැසියෙකුට ගෙවිය හැකි මට්ටම මත පදනම්ව තීරණය කිරීම.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කමිටුව මෙම කිසිදු සංශෝධනයක් පිළිගැනීමට සූදානම් නොවීය. කුලී නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ඉදිරිපත් වූ යෝජනා ලිබරල් මන්ත්‍රීවරුන්ගේ බහුතරය සහිත කමිටුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම කුලී නිවැසියන්ගේ සංවිධානවල දැඩි කලකිරීමට හේතු වී තිබේ.

හිටපු අධිකරණ අමාත්‍ය අරිෆ් විරානි විසින් මීට පෙර හඳුන්වා දීමට උත්සාහ කළ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් පිළිබඳ පනතට පළාත් පාලන ආයතන එකඟ නොවීම නිසා එය අසාර්ථක විය. වර්තමාන නිවාස අමාත්‍ය ග්‍රෙගර් රොබට්සන් එම පනතේ අනුප්‍රාප්තික වැඩපිළිවෙළක් සකස් කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *