‘මොනිකා ……….ඕ මයි ඩාලිං’
*************************************
ඇය මුළු ඉන්දියාවම තමන් සතු කර ගත්තාය. ඉන්දියාව පමණක් නොව, ආසියාව, අග්නදිග ආසියාව, යුරෝපය, ඇමරිකාව, බ්රිතාන්ය මේ සියලු රටවල සිනමා ප්රේක්ෂකයන් ඇය රඟන දෙස බලා සිටියේ විශ්මයෙනි.
ඇත්තටම ඇය විදුලියටත් වඩා වේගවත්ය. ඇය විටෙක හිරු මෙන් දිදුලයි. සඳ මෙන් බැබලෙයි. තරු මෙන් දිලිසෙයි. 60, 70 දශකයන් තුළ හින්දි සිනමාවට නැතිවම බැරිවූ, අදටත් ශක්තිමත්ව, සුව පහසුව ජීවත් වන ඇය
‘හෙලන්’ ය.
හෙලන් ඇන් රිචර්ඩ්සන් 1938 නොවැම්බර් 21 වැනිදා බර්මාවේ (වර්තමාන මියන්මාරය) රැන්ගූන් නගරයේදී උපත ලැබුවාය.
ඇගේ පියා ඇන්ග්ලෝ-ඉන්දියානු ජාතිකයෙකු වූ අතර, මව බර්මී ජාතික කාන්තාවකි. ඇගේ පියාගේ නම ජෝර්ජ් ඩෙස්මියර් වූ අතර මවගේ නම මාර්ලීන් විය. ඇයට රොජර් නම් සහෝදරයෙකු සහ ජෙනිෆර් නම් සහෝදරියක සිටියහ.

දෙවැනි ලෝක යුද්ධ සමයේදී ඇගේ පියා මිය ගියේය. ඉන්පසු ජපාන හමුදාව බර්මාව අත්පත් කර ගැනීමෙන් පලා යාම සඳහා, 1943 දී ඇගේ පවුල බර්මාවේ සිට ඇසෑම් ප්රාන්තයේ ඩිබ්රුගාර් වෙත පා ගමනින් ගමන් කළහ. 1964 දී පැවති සම්මුඛ සාකච්ඡාවකදී හෙලන් මේ පිළිබඳව ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවට පැවසුවාය.
පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු පෝෂණය කිරීමට හෙදියක වූ ඇගේ මවගේ වැටුප ප්රමාණවත් නොවූ බැවින්, පවුලට සහාය වීම සඳහා හෙලන් පාසල් අධ්යාපනය අතරමග නතර කළාය. Queen of the Nautch Girls නමැති වාර්තා චිත්රපටයේදී හෙලන් පැවසුවේ ‘හොවාරා බ්රිජ්’ චිත්රපටයෙන් තමන්ට විශාල අවස්ථාවක් ලැබෙන විට ඇගේ වයස අවුරුදු 19ක් වූ බවයි.
පවුලේ මිතුරියක වූ, Cuckoo නමින් ප්රසිද්ධ නිළියකගේ උපකාරයෙන් හෙලන් බොලිවුඩ් සිනමාවට හඳුන්වා දෙන ලදී. ඇය ‘ෂාබිස්ටාන්” (1951) සහ ‘අවාරා’ (1951) යන චිත්රපටවල සමූහ නර්තන ශිල්පිනියක ලෙස රැකියා ලබා ගැනීමට හෙලන්ට උපකාර කළාය.
වැඩි කලක් යාමට පෙර හෙලන් නිරන්තරයෙන් චිත්රපටවල පෙනී සිටිමින්, ‘අලීෆ් ලයිලා’ (1954) සහ ‘හූර්- ඊ-අරාබ්’ (1955) වැනි චිත්රපටවල තනි නර්තන ශිල්පිනියක ලෙස ද ප්රේක්ෂකයන් හමුවේ පෙනී සිටියාය.’මයුර්පන්ක්’ (1954) චිත්රපටයේ ඇය වීදි ගායිකාවක ලෙසද පෙනී සිටියාය.
1958 වසරේදී, එවකට 19 හැවිරිදි වියේ පසු වූ හෙලන්ට ඇගේ සිනමා ජීවිතයේ විශාලතම අවස්ථාවක් හිමි විය. ඒ ශක්ති සමන්ත අධ්යක්ෂණය කළ ‘හොවාරා බ්රිජ්’ චිත්රපටයේ “මෙරා නාම් චින් චින් චූ’ ගීතයට ඇය ඉදිරිපත් කළ නර්තනය හරහාය. එම ගීතය ගායනා කළේ ගීතා දත් විසිනි.
ඉන් අනතුරුව 1960 සහ 1970 දශක පුරා හෙලන්ට චිත්රපට සඳහා විශාල වශයෙන් ආරාධනා ලැබෙන්නට විය. ඇගේ මුල් සිනමා දිවියේදී ගීතා දත් ඇය වෙනුවෙන් ගීත රැසක් ගායනා කළාය.

එම කාලයේ නිර්මාණය වූ බොහෝ චිත්රපටවල කතා රටාව තුළ හෙලන් ගීතයකට හෝ නර්තනයකට ඉදිරිපත් වී පසුව මරණයට පත්වන චරිතයන් නිරූපණය කළාය. එමඟින් චිත්රපටයේ වීරයාට අවසානයේ “හොඳ කාන්තාව” සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සැලසෙන ආකාරයේ කතා රටාවක් පැවතිණි.
බොලිවුඩ් පසුබිම් ගායිකාවක වූ ආශා බෝස්ලේ ද හෙලන් වෙනුවෙන් නිතර ගී ගැයුවාය. විශේෂයෙන්ම 1960 දශකයේ සහ 1970 දශකයේ මුල් භාගයේදී ඔවුන්ගේ සහයෝගීතාව කැපී පෙනුණි.
1965 දී ‘ගුම්නාම්’ චිත්රපටයේ ‘කිටි කෙලී’ චරිතය වෙනුවෙන් හෙලන් හොඳම සහාය නිළිය සඳහා වන ‘ෆිල්ම් ෆෙයාර්’ සම්මානය සඳහා නිර්දේශ වූවාය.
ශම්මි කපූර් රඟපෑ ‘චයිනා ටවුන්’ සහ ‘සච්චායි’ (1969) වැනි චිත්රපටවල ඇය නාට්යමය චරිතද නිරූපණය කළ අතර, එම චිත්රපට බොක්ස් ඔෆිස් හි ඉතා සාර්ථක විය. ශම්මි කපූර් සහ සාධනා රඟපෑ ‘චෝටෙ සර්කාර්’ (1974) චිත්රපටයේද ඇය සංවේදී චරිතයක් නිරූපණය කළාය.
ශම්මි කපූර් සමඟ හෙලන් ජනප්රිය නර්තන ගීත රැසකටද ඉදිරිපත් වූවාය. ඒ අතර ‘ජංග්ලි’ චිත්රපටයේ “සුකු සුකු”, ‘චයිනා ටවුන්’ චිත්රපටයේ “යම්මා යමිමා”, ටී සිරි මන්සිල්’ චිත්රපටයේ (1966) හි “ ඕ හසිනා සුල්ෆොන්වාලි’ , සිංගප්පූර්’ චිත්රපටයේ “හායි ප්යාර් කා හායි නාම්’ , සහ ‘ප්රින්ස්’ චිත්රපටයේ (1969) හි මුඛාබලා හම්සේ නා කරෝ’ එවැනි ඉදිරිපත් කිරීම්ය. ‘ඉන්ටක්වාම්’ (1968),චිත්රපටයේ ‘ආ ජානේ ජා’ ‘කිස්මත්’ චිත්රපටයේ ‘ වන් ටූ ත්රී බේබි හායි හයි හායි’, ‘ද ට්රේන්’ චිත්රපටයේ ‘ ඕ මෙරි ජා මෛනේ කහා’, ‘රාත් අන්දේරේ තී’ චිත්රපටයේ ‘ ආයි ලව් යූ, යූ ලව් මී’, ‘කහින් දීන් කහී රාත්’, චිත්රපටයේ ‘කමර් පතලී, නගර් බිජිලි’ වැනි ගීත විශේෂයෙන් සඳහන් කළ හැකිය. ඒ අතරිනුත් ‘කැරවෑන්’ (1972) චිත්රපටයේ ආශා බෝස්ලේ ගැයූ ‘පියා තූ අප්කො ආජා'(මොනීකා ඕ මයි ඩාර්ලිං) ගීතය සුවිශේෂිතවම සඳහන් කළ යුතුය.
හෙලන් ලන්ඩන්, පැරිස් සහ හොංකොං යන නගරවලද වේදිකා නර්තන ඉදිරිපත් කිරීම් සිදු කළාය.
1972 දී ඇය කන්නඩ චිත්රපටයක් වූ ‘බහාලේ හුච්චා’ හි රඟපෑවාය. 1973 දී ‘මර්චන්ට් අයිවරි ෆිල්ම්ස්’ විසින් නිෂ්පාදනය කරන ලද, හෙලන් ගේ ජීවත කථාව ඇතුලත් මිනිත්තු 30ක වාර්තා චිත්රපටයක් වූ ’හෙලන්, ක්වීන් ඔෆ් ද නෝච් ගර්ල්ස්’ තිරගත විය. එය ඇන්තනි කෝනර් විසින් අධ්යක්ෂණය කර විස්තර කථනයද සිදු කරන ලදී.
2006 දී ජෙරී පින්ටෝ විසින් හෙලන් පිළිබඳව ‘ද ලයිෆ් ඇන්ඩ් ටයිම්ස් ඔෆ් ඇන් එච්- බොම්බ්’ නමින් ග්රන්ථයක් ප්රකාශයට පත් කළේය. එම කෘතිය 2007 දී සිනමාව පිළිබඳ හොඳම ග්රන්ථය සඳහා වන ජාතික සිනමා සම්මානය (National Film Award for Best Book on Cinema) දිනා ගත්තේය.

තිර රචක සලීම් ඛාන්, ජාවෙඩ් අක්තාර් සමඟ එක්ව තිර රචනා කරමින් සිටි ‘ ඉම්මාන් ධාරම්’ ‘ඩොන්’, ‘දෝස්තානා’ සහ ‘ශෝලේ’ වැනි චිත්රපටවල හෙලන්ට චරිත ලබා ගැනීමටද උපකාර කළේය.
ඉන් අනතුරුව මහේෂ් භාට් අධ්යක්ෂණය කළ ‘ලහු කේ දෝ රාන්ග්’ (1979) චිත්රපටයේ ඇය රඟපෑ අතර, එම චරිතය වෙනුවෙන් හොඳම සහාය නිළිය සඳහා වන ෆිල්ම් ෆෙයාර් සම්මානය ඇය දිනා ගත්තාය.
1999 දී හෙලන්ට Filmfare Lifetime Achievement Award සම්මානය පිරිනමන ලදී.
1983 දී හෙලන් නිල වශයෙන් චිත්රපට රංගනයෙන් විශ්රාම ගත්තාය. එහෙත් ඉන් පසුවද ඇය ‘ කාමෝෂි – ද මියුසිකල්’ (1996) සහ ‘මොහොබත්තීන්’ (2000) වැනි චිත්රපටවල ආරාධිත චරිත කිහිපයකට පෙනී සිටියාය.
‘හම් දිල්කේ දේ චුප්කේ සනම්’ චිත්රපටයේදී ඇය සැබෑ ජීවිතයේ තම සුළු පුත්රයා වන සල්මන් ඛාන් රඟපෑ චරිතයේ මව ලෙස විශේෂ පෙනී සිටීමක් සිදු කළාය. එමෙන්ම ‘හම්කෝ දීවානා කාර් ගයේ’ (2006) චිත්රපටයේද ඇය පෙනී සිටියාය.
2009 වසරේ පද්ම ශ්රී සම්මානය සඳහා හෙලන් තෝරා ගනු ලැබුවේ අයිශ්වර්යා රායි සහ අක්ෂේ කුමාර් සමඟය. එම වසරේ ඉන්දියාවේ පැවති ‘ඩාන්සින් ක්වීන්’ රූපවාහිනී වැඩසටහනේ අවසන් පූර්ව වටයේ සහ අවසන් වටයේ විනිශ්චයකාරියක ලෙසද ඇය කටයුතු කළාය.
හෙලන්ගේ පළමු විවාහය සිදු වූයේ 1957 දී ‘දිල් දවුලට් දුනියා’ චිත්රපටය සම්බන්ධයෙන් ප්රසිද්ධ වූ චිත්රපට අධ්යක්ෂ ප්රේම් නාරායන් අරෝරා සමඟය. ඔහු හෙලන්ට වඩා වසර 27කින් වැඩිමහල් විය. ඔවුන් වසර 17 ක් එකට සිට 1974 දී දික්කසාද වූහ.
1981 දී හෙලන් ප්රකට බොලිවුඩ් තිර රචකයෙකු වූ සලීම් ඛාන් සමඟ විවාහ වූවාය. සලීම් ඛාන්, වර්ථමානයේ හින්දි සිනමා සුපිරි තරුවක් වූ ”සල්මාන් ඛාන්’ ගේ පියාය. එවකට සලීම් ඛාන් විවාහ වී සිටි අතර, දරුවන් සිව්දෙනෙකුගේ පියෙකුද විය.
හෙලන්, ඛාන් පවුලට එක් වූ අතර, සලීම් ඛාන්ගේ පළමු බිරිඳ වූ සල්මා ඛාන් සමඟද එක්ව පවුල එකමුතුව පවත්වාගෙන යාම සඳහා වැදගත් කාර්යභාරයක් ඉටු කළාය.
හෙලන්ගේ සියලුම සුළු දරුවන් ඇය සමඟ ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩනඟාගෙන ඇත. හෙලන් ප්රසිද්ධියේ පෙනී සිටින බොහෝ අවස්ථාවලදී සලීම් ඛාන්ගේ පළමු බිරිඳ වන සල්මා ඛාන්ද ඇය සමඟ සිටිනු දැකිය හැකිය.හෙලන් එක් දියණියක දරුකමට හදාගෙන ඇත.
ක්රිස්තියානි ආගමික භක්තිකාවියක් වූ හෙලන් මේ වන විට අව්රුදු 87 ක කාන්තාවක් විය.
හින්දි සිනමාව තුළ කෙතරම් නාට්යාංගනාවන් රැසක් පසු කලෙක පැමිණියද ඒ කිසිවකට හෙලන්ව අභිබවා යෑමට නොහැකි විය. ඉදිරියටද එසේමය.
-ශෝන් මැක්ස්මස් දිසානායක-

“බහුවිධ කලාකරු ‘ධර්ම ශ්රී මුණසිංහ’
**************************************
ධර්ම ශ්රී මුණසිංහ යනු ප්රකට සිංහල ගුවන්විදුලි නාට්ය රචකයකු, චිත්රපට තිර රචකයකු සහ අධ්යක්ෂවරයකු වූ අතර, ඔහු වඩාත් ප්රසිද්ධියට පත්වූයේ ජනප්රිය සිංහල ගුවන්විදුලි නාට්ය වන මුවන් පැලැස්ස සහ මොණරතැන්න රචනා කිරීම හේතුවෙනි. ඔහු සම්මානලාභී සිංහල වේදිකා නළුවකු ද වූ අතර, මනමේ නාට්යයේ ද රංගනයෙන් දායක විය.
ධර්ම ශ්රී මුණසිංහ 1930 මාර්තු 1 වැනිදා මහනුවර දන්තුරේ ආසන්නයේ පිහිටි උඩවැල්ල ගම්මානයේ උපත ලැබීය. ඔහු මහනුවර ධර්මරාජ විද්යාලයෙන් අධ්යාපනය ලැබූ අතර, අධ්යාපනයෙහි විශිෂ්ට දක්ෂතා දැක්වීය. ඔහු විශ්වවිද්යාල ප්රවේශයට ද තේරී පත් වූ නමුත්, ධර්ම ශ්රීට තිබුණේ වෙනත් අරමුණුය. ඔහු විශ්වවිද්යාලයට ඇතුළත් වීම ප්රතික්ෂේප කර රැකියාවක් සොයා කොළඹට පැමිණියේය.
1952 දී ඔහු එවකට රේඩියෝ සිලෝන් ලෙස හැඳින්වූ ශ්රී ලංකා ගුවන්විදුලි සේවයට ලිපිකරුවකු ලෙස එක් විය.
තරුණ ධර්මශ්රීට රේඩියෝ සිලෝන්හිදී එවකට සිංහල ගුවන්විදුලි ක්ෂේත්රයේ සිටි විශිෂ්ටයන් රැසක් සමඟ කටයුතු කිරීමට අවස්ථාව ලැබිණි. තේවිස් ගුරුගේ, ඩී.එම්. කොළඹගේ, එච්.එම්. ගුණසේකර, පී. වැලිකල සහ ප්රභා පෙරේරා වැනි ප්රවීණයන් ඒ අතර වූහ. ඔහුගේ ජීවිතයේ වැදගත් අවධියක් වූ එම කාලයේදී, මෙම විශිෂ්ට පුද්ගලයන්ගෙන් ධර්ම ශ්රී මහත් ආභාසයක් ලැබීය.
1956 දී ඔහු රේඩියෝ සිලෝන් සේවයෙන් ඉවත්ව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාවකට එක් විය. එහෙත් ඔහු ගුවන්විදුලි නාට්ය රචනය අත් නොහැරියේය. ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සමඟ නිවේදකයකු ලෙස ද කටයුතු කළ ඔහු, ඇනස්ලි ඩයස්, බර්ටි ගුණතිලක, සැමුවෙල් රොද්රිගූ, ඇල්ෆ්රඩ් පෙරේරා සමඟ ජනප්රිය ගුවන්විදුලි ප්රහසන වැඩසටහනක් වූ ‘විනෝද සමය’ සඳහා ද සහභාගි විය.
සමස්තයක් ලෙස ධර්ම ශ්රී ගුවන්විදුලි නාට්ය මාලා 20 කට අධික සංඛ්යාවක් රචනා කර ඇත. ධර්ම ශ්රී මුණසිංහ ජනප්රිය කලා ක්ෂේත්ර රැසකම දක්ෂතා දැක්වූ බහුවිධ කලාකරුවෙකි. ඔහු සිංහල ගුවන්විදුලි නාට්ය රචකයකු, ගුවන්විදුලි නාට්ය ශිල්පියකු, නිවේදකයකු, ප්රහසන ශිල්පියකු, නිෂ්පාදකයකු සහ නළුවකු විය. එමෙන්ම ඔහු සම්මානලාභී වේදිකා නළුවකු, ටෙලිනාට්ය තිර රචකයකු හා නළුවකු, සම්මානලාභී චිත්රපට නළුවකු, තිර රචකයකු හා අධ්යක්ෂවරයකු මෙන්ම පෙරදිග නර්තන ශිල්පියකු ද විය.
ඔහු චිත්රපට රංගනයට එක්වූයේ 1970 වසරේ තිරගත කළ ‘ ලස්සෙට කොඩි’ චිත්රපටයෙනි. ඉන්පසු අපූරු චරිතයක් රඟපෑවේ ‘හුලවාලි’ චිත්රපටයේය. එම රඟපෑමට ඕ.සී.අයි.සී සම්මාන උළෙලේදී කුසලතා අගැයිම් සම්මානය ඔහුට හිමි විය. ‘හුලවාලි’ චිත්රපටයේදී සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා, ධර්මශ්රී ගේ බහුවිධි දක්ෂකම් හදුනා ගතී. එලෙසම ඔවුන් දෙදෙනා අතරේ දැඩි මිතු කමක් ඇති විය. ඒ 1976 දීය.
නැවත ධර්මශ්රී ට ඔහු විසින් සම රචනා කළ ‘මුවන් පැලැස්ස’ චිත්රපටයේ රඟපෑමට ලැබුණි. ඉන්පසු 1979 දී ඔහු විසින්ම ගුවන් විදුලියට ලියූ ‘මොනරතැන්න’ නාට්ය සිනමාවට නංවන විට එහී මුදලාලිගේ චරිතයට පන පෙවීය.
ගාමිණි ෆොන්සේකා අව්රුදු ගනනාවකට පසු අධ්යක්ෂනය කළ ‘ උතුමාණෙනි’ චිත්රපටයේ ධර්මශ්රී ව රඟපෑමට තෝරා ගත් අතර, ධර්මශ්රී, තමා විසින් සිළුමිණ පුවත් පතට නව කථාවක් ලෙස ලියූ ‘මයුරිගේ කථාව’ ගාමිණී ෆොන්සේකා විසින් සිනමාවට නංවන විට එහී තිරනාටකය ලියා චරිතයක්ද රඟපෑවේය.
ලාල් පෙරේරා ‘තවලම’ චිත්රපටය අධ්යක්ෂනය කළද, එහී නළු නිළියන්ව තේරුවෙි ගාමිණි ෆොන්සේකාට උවමනා අන්දමටය. ඒ අනුව ගාමිණී විසින් ධර්මශ්රී ව ‘තවලම’ චිත්රපටයේ චරිතයකට තෝරා ගතී.
‘බාදුරා මල්’ ගාමිණි ෆොන්සේකාගේ අධ්යක්ෂනයකි. ගාමිණි, ධර්මශ්රීට ‘බාදුරා මල්’ චිත්රපටයේ කැපී පෙනෙන චරිතයක් ලබා දුනී. ධර්මශ්රී ගේ එම රඟපෑමටද, එවර ජනාධිපති සම්මාන උළෙලේ දී කුසලතා අගැයිම් සමිමානයක් හිමි විය.
ගාමිණි ෆොන්සේකාගේ විශිෂ්ඨ අධ්යක්ෂනයක් වූ ‘සාගරයක් මැද’ චිත්රපටයේ තිරනාටකය ලිවීමට ගාමිණී භාර කළේ ධර්මශ්රී මුණසිංහටය. එතරම් අගැයීමක් ධර්මශ්රී ට ගාමිණීගෙන් ලැබුණි. එම තිර නාටකය ඔහු මුලින්ම නම් කළේ ‘සීතම්බරපට’ කියාය. පසුව එය ‘සාගරයක් මැද’ ලෙස නම් කෙරීය. ධර්මශ්රී ලියූ එම තිරනාටකයට එම වසරේ සරසවිය සම්මාන උළෙලෙදී හොඳම තිරනාටක රචකයාට හිමි සම්මානය ඔහු ට ලැබිණි.
එලෙසම ගාමිණි ෆොන්සේකා ගේ ඊලඟ අධ්යක්ෂනය වූ ‘රෑ මනමාලි’ චිත්රපටයට ගාමිණි රඟ නොපෑවද, එහී ධර්මශ්රීට චරිතයක් දුනී. ඉන්පසු ධර්මශ්රී ‘මුවන් පැලැස්ස 2,’, ‘මොණර තැන්න 2’ ‘සසර චේතනා’, ‘අම්මයි දුවයි’, වැනි චිත්රපට වල රඟපෑවේය. ඔහු අවසාන වරට රඟපෑ චිත්රපටය වූයේ ‘පුනරුත්පත්තිය’ ය.
ලංකාවේ නිර්මාණය වූ ප්රථම ටෙලි නාට්ය වන, නිහාල්සිංහ ගේ ‘දිමුතු මුතු’ හී ප්රධාන චරිතයක් රඟපෑමට ධර්මශ්රී මුණසිංහ වාසනාවන්ත විය. ඒ ජයසේන ලෙස රඟපෑ අමරසිරි කලංසූරිය ගේ පියා ලෙසටය. එපමණක් නොව ලංකාවේ ප්රථම ටෙලි නාට්ය වූ එම ‘දිමුතු මුතු’ ටෙලි නාට්යයේ තිර රචකයා වීමටද ඔහු වාසනාවන්තයෙක් විය.
ඉන්පසු ටෙලි නාට්ය ගනනාවක ඔහු රඟපෑවේය. ටෙලි නාට්යය 7 ක පමණ තිර රචනය ලියුවේය. ගාමිණි ෆොන්සේකා රඟපෑ එකම ටෙලිනාට්ය වූ නිහාල් සිංහයන් අධ්යක්ෂනය කළ ‘සුදු සහ කළු’ ටෙලිනාට්ය යේ තිර රචනය ලීවෙිද ධර්මශ්රී මුණසිංහය.
ඔහුගේ සුවිශේෂත්වයන් අතර, 1965 වසරේ වේදිකා ගතවූ ‘ දරුදුක’ වේදිකා නාට්යයේ රඟපෑම පිණිස ‘හොඳම නළුවා’ ට හිමි සම්මානය ඔහුට හිමි විම,
මනමේ නාට්යයට පෙරවදනක් ලෙස සැලකෙන බහුබූත කොලම හි රංගනය වෙනුවෙන් ද ඔහු සම්මානයක් දිනා ගැනීම,.

ගුවන්විදුලි නාට්ය අතරින් ධර්මශ්රී විසින් රචනා කළ ‘මොණරතැන්න තනි රචකයකු විසින් රචනා කරන ලද පළමු සිංහල ගුවන්විදුලි නාට්ය මාලාව ලෙස සැලකීම ඒ සුවිශේෂත්වයන්ට අයත් වේ.
එලෙසම ඔහු සම රචකයෙකු වූ ‘මුවන් පැලැස්ස’ ගුවන් විදුලි නාට්යය– වසර 40කට අධික කාලයක් විකාශනය වූ ගුවන්විදුලි නාට්ය මාලාවක් විය. ගුවන් විදුලියට ධර්මශ්රී විසින් රචනා කළ ‘ගජමුතු’ හා ‘ගුවන්විදුලි රඟමඬල’ ද, ඉතාමත් ජනප්රිය විය.
ධර්මශ්රී මුණසිංහ විසින් 1971 වසරේදී රචනා කළ ‘ආදරණීය ජූලියස්’ නාට්යය, ශ්රී ලංකාවේ පළමු රහස් පරීක්ෂක ගුවන්විදුලි නාට්යය ලෙස සඳහන් වූවද පසුව එය තහනම් කරන ලදී.
‘මුදලි මංකඩ’ , ඔහුගේ පර්යේෂණ මත පදනම්ව රචනා කළ ගුවන් විදුලි නාට්යයක් වන අතර, එය ද ශ්රී ලංකාවේ තහනම් කරන ලදී.
එලෙසම ඔහු විදේශීය කෙටිකතා සහ නවකතා රාශියක් සිංහලට පරිවර්තනය කර ඒවා ගුවන්විදුලි නාට්ය ලෙස අනුවර්තනය කළේය.
ගුවන් විදුලි ළමා පිටිය, ග්රාමීය සන්ධ්යාව සහ ගුවන්විදුලි රඟමඬල යන වැඩසටහන්වල නිෂ්පාදකයකු, නිවේදකයකු සහ නළුවකු ලෙස ද ධර්මශ්රී මුණසිංහ කටයුතු කළේය.
ධර්මශ්රී මුණසිංහ වැනි කලා ක්රේෂ්ථ රැසක දක්ෂතා දැක්වූ බහුවිධි කලාකරුවෙකු ගැන පොතක් හෝ ලිවීමට කරුණු ඇත. එතරම් දක්ෂතා සපිරූ මෙවන් පුද්ගලයෙකු ව නිසි ලෙස අගය කෙරුනේ නම් නැත. අවසානයේදි ධර්මශ්රී මුණසිංහ වැනි සකල කලා නිපුණ පුද්ගලයෙක් සිටියාද කියාවත් බොහෝ අය දන්නේ නැත. එය නම් මහත් ඛේදවාචකයකි.
මහාමාර්ගය පැනීමට ගොස් වාහනයක හැපී දින කීපයක් ඔත්පලව සිට ඔහු අභාවප්රාප්ත වූයේ 2004 අගෝස්තු මස 30 වන දිනය. මිය යන විට ඔහුගේ වයස අව්රුදු 74ක් විය.
-ශෝන් මැක්ස්මස් දිසානායක
https://www.facebook.com/shaun.dissanayake
ශෝන් මැක්ස්මස් දිසානායක මහතාගේ මුහුණු පොත් සටහනකින්.
සියළු හිමිකම් ඒ මහතා සතුයි.


