දිට්වා නිසා පල්ලම් ගිය උඩරට මැණිකේ යළි කඳු නැංවූ විස්කම් මෙහෙයුම

ත්‍රස්තවාදි ක්‍රියා නිසා උතුරු නැඟෙනහිර දුම්රිය ධාවනය දශක 3ක් පුරා ඇනහිටීම හා වටවල නායයෑමෙන් සිදු වූ දුම්රිය ගමන් බාධාව හැරෙන්නට දීර්ඝ කාලයක් මෙරට දුම්රිය මාර්ගයක දුම්රිය ධාවනය නොකළ දීර්ඝතම කාලය ලෙස වාර්තා වන්නේ පසුගිය නොවැම්බර් මස අවසානයේ සිට මේ දක්වා කොළඹ සිට උඩරටට දුම්රිය ධාවනය කළ නොහැකි වීමය. 2025 නොවැම්බර් 23 වැනිදා උඩරට දුම්රිය මාර්ගයේ පේරාදෙණිය ආශ්‍රිත ප්‍රදේශවල ඇති වූ දැඩි වැසි තත්ත්වය අවසානයේ නොවැම්බර් 27 වැනිදා මෙරටට කඩාවැදුණු දිට්වා කුණාටුව හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි පැමිණියේය.

බ්‍රිතාන්‍ය ජාතිකයන් උඩරට දුම්රිය මාර්ගය ඉදි කිරීමෙන් පසු වරින් වර වර්ෂා කාලයේ එම මාර්ගයට අවහිරකම් ඇති වූ අතර, ලොකුම බාධාව ඇති වූයේ 1978 වසරේ නොවැම්බර් 23 දිනය. ඒ, මහා සුළිසුළං හා ගංවතුර නිසාය. 1974 වසරේ ජූලි මස 7 වැනි දින එවැනි මහා ගංවතුරක් නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති විය. 1957 වසරේ දෙසැම්බර් මස 23 වැනිදා ගංවතුර නිසාද මේ මාර්ගයට හානි සිදු වී ව්‍යසනයක් සිදු වූ අතර, 1933 වසරේ මැයි මස 24 වැනි දින සිදු වූ ගංවතුරද මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති කළේය.

මේ සියල්ලට වඩා මහා ව්‍යසනයක් සිදු කළේ 2025 වසරේ නොවැම්බර් 27 දා හටගත් දිට්වා සුළිකුණාටුවයි. එහිදී උඩරට දුම්රිය මාර්ගය නායයෑම හා සෝදාපාළුවට පත් වීම නිසා දුම්රිය ගමන් ඇනහිටියේය. එහෙත් ඒ බාධාව කෙසේ හෝ ජය ගන්නට අපේ දුම්රිය සේවකයෝ සමත් වූහ. හානියට පත් උඩරට දුම්රිය මඟ යළි තනා නිම කරන්නට වසර ගණනාවක් යන බව කීවද රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මඟ මාස 10ක් ඇතුළත යළි තනා නිම කරන්නට ඔවුහු සමත් වූහ. එහි පළමු දුම්රිය පසුගිය ඹක්තෝබර් (2) සිකුරාදා අලුයම කොළඹ කොටුව සිට පේරාදෙණිය දක්වා විශේෂ දුම්රියක් ලෙස ධාවනය කෙරිණි.

විශේෂයෙන්ම ප්‍රවාහන ඇමැති බිමල් රත්නායක, නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන හා දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රියගේ මඟපෙන්වීම යටතේ මේ කාර්යයන් සිදු කිරීමේ ප්‍රධාන පුරෝගාමියා වූයේ දුම්රිය ප්‍රධාන ඉංජිනේරු ප්‍රියන්ත දීගල ය.

සඳුන් ලොකුආරච්චි – අධිකාරි (ඉංජිනේරු – මධ්‍යම), ඩී.කේ.එල්.පී. කුමාර – අධිකාරි – ඉංජිනේරු (සැලසුම් හා ව්‍යාපෘති), ජී.එච්. ඩබ්ලිව්. මදුසංක (ඉංජිනේරු – මධ්‍යම), හා ඒ.ඒ.එම්. ජුෂාෆි (ඉංජිනේරු) මධ්‍යම මේ කාර්යයේදී තිරය පිටුපස සිට ඔහුට විශාල දායකත්වයක් දැක්වූහ. ඔවුන් පෙන්වා දුන්නේ දිට්වා සුළිකුණාටුව නිසා මාස දෙකක් පමණ යන තුරු උඩරට මාර්ගයේ හානියට පත් ස්ථානවලට ළඟා වීම පවා අපහසු වූ බවයි.

ඒ වන විටත් නායයෑමේ සක්‍රිය තත්ත්වයෙන් එම ස්ථාන තිබූ හෙයින් එම ස්ථානයනට යෑම අතිශය අනතුරුදායක වූ බව ඔවුහු පෙන්වා දුන්හ.

“රඹුක්කන ඉදල පේරාදෙණිය දක්වා ස්ථාන 97ක් නායයෑමට අසු වෙලා සෝදාපාළුවට ලක් වෙලා තිබුණා. ඒ අතරේ නායයෑම් 29ක් හා දුම්රිය මාර්ගය සෝදායෑම් 7ක් හා මාර්ගය යටින් ගිලාබැසීම් 2ක් සිදුව තිබුණා. සෙසු බාධා සාමාන්‍ය තත්ත්වයේ ඒවායි. වර්ෂාව නිසා අපට එම ස්ථානයට ළඟාවීමට නොහැකි තත්ත්වයක් තිබුණෙ. ඒ සඳහා විකල්ප මාර්ග තිබුණෙ නෑ. දුම්රිය මාර්ගයේම තමයි යන්න වුණේ. ඒ නිසා ඇතැම් වෙලාවට අපිට ‘එස්කැවේටර්’ යන්ත්‍රය දුම්රිය මාර්ගය දිගේ අරගෙන යන්න සිදු වුණා. කිලෝමීටරයක් යන්න දවසක් විතර ගියා. ඒ වගේම ඉහළ කෝට්ටෙ ප්‍රදේශයේ දුම්රිය මාර්ගය කිලෝමීටරයක් විතර ගලවලා තමයි ‘එස්කැවේටර්’ යන්ත්‍රය ගෙනියන්න වුණේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් හා සහයෙන් තමයි අපි මේ කාර්යයන් සිදු කළේ.

පේරාදෙණියේ සිට ගම්පොළ දක්වා නම් හානි වූ ස්ථාන 5ක් පමණයි තිබුණෙ. අනෙක් හානි හා සැසඳීමේදී ඒවා ඒ තරම් බරපතළ තත්ත්වයේ තිබුණෙ නැහැ. මේ කාර්යයට ඉංජිනේරුවන් සිව් දෙනකු අධීක්ෂණ කළමනාකරුවන් මෙන්ම දුම්රිය සේවකයන් 100ක් පමණ සහභාගි වුණා. කඩිගමුව දුම්රිය ස්ථානය අසලින් තමයි ලොකුම හානිය සිදු වෙලා තිබුණෙ. අපි මාර්ගයේ තිබිලා පස් කියුබ් 3000ක් විතර ඉවත් කළා.

කොහොමත් මේ වන විටත් කඩිගමුව හා බලන දුම්රිය දෙකක් මාරු කිරීමේ හැකියාවක් නැහැ. ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානයට පමණයි ඒ පහසුකම් සපයා දී ඇත්තේ. ඉක්මනින් පරණ තත්ත්වයට ළඟා වෙන්නට අපට හැකියාව ලැබෙයි.” ඒ, දුම්රිය මාර්ගය තනන්නට වෙහෙසුණු ඉංජිනේරුවන්ගේ හඬයි.

දැන් දිනකට දුම්රිය 8ක් කොළඹ සිට උඩරට ධාවනයට එක් කර ඇත. ඒ අනුව දිනපතා උදෑසන 5.55ට පොඩි මැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට ගම්පොළ දක්වා ධාවනය කෙරේ. සවස 3.35ට පේරාදෙණිය දක්වා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය කෙරෙන අතර සවස 4.35ට සෙංකඩගල මැණිකේ දුම්රිය ගම්පොළ දක්වාත් සවස 5.15ට කාර්යාල ශීඝ්‍රගාමී දුම්රිය පේරාදෙණිය දක්වාත් ධාවනය කෙරේ.

පැමිණීමේ දුම්රිය ලෙස උදෑසන 4.35ට ගම්පොළ සිට කොළඹ කොටුව කාර්යාල දුම්රිය පැමිණෙන අතර, උදෑසන 4.40ට පේරාදෙණිය සිට කොළඹ කොටුව බලා කාර්යාල දුම්රිය හා උදෑසන 6.25ට නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියත් පැමිණේ. පොඩි මැණිකේ ශීඝ්‍රගාමි දුම්රිය සවස 4.10ට ගම්පොළ සිට කොළඹ කොටුව බලා පැමිණේ.

මාස 10ක් තිස්සේ දිනපතා බස් රථවලින් කොළඹ දක්වා ගමන් ගත් කඳුරට ජනතාවට දැන් විශාල සේවාවක් සැලසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …