උසාවි තීන්දුව පිලිගන්නේ නෑ.අගමැති කියයි.

පොලිස්පති ධුරය පුරප්පාඩු වී නැති හෙයින්  වැඩ බලන පොලිස්පතිවරයකු පත් කිරීමට ජනපතිවරයාට බලයක් නැති බව   අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා  පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවසීය.ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණ ආපස්සට හැරවීමට ශ්‍රේෂ්ඨාධිකරණයට නොහැකි බව කී  අගමැතිවරයා පොලිස්පතිවරයෙකු කනෙන් අල්ලා එළියට දැමීමට කිසිවකුටත් නොහැකි බවද සඳහන් කළේය.පොලිස්පති ධූරයේ කටයුතු තහනම් කිරීමට නීතියේ ප්‍රතිපාදන නැතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.අගමැතිවරයා මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ  කටයුතු අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන්  විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ නොසලකා හැරීමෙන් රට ලොකු අවුලකට යන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊට ප්‍රතිචාර දක්වමින් පැවසීය.ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පිළිගනිමින් ව්‍යවස්ථාවට  අනුකූලව කටයුතු කළ යුතු බව පැවසූ විපක්ෂනායකවරයා මෙලෙස   හිතු හිතූ තීරණ ගැනීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පුස්සක් බවට පත්වන බවද සඳහන් කළේය.ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති ධූරයේ කටයුතු අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගය සම්බන්ධයෙන් අගමැතිවරයා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ පිළිබඳව අදහස් දක්වමිනි.

මේ අතර පොලිස්පතිවරයා පත් කිරීමේදී තමා කිසිදු වැරැද්දක් කර  නැතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.බොහෝ  නිවැරදිව කල්පනා කර බලා ව්‍යවස්ථානුකූලව  එම තීරණය ගත් බවද  ඔහු සඳහන් කළේය.

“ඒක ඔබතුමාලට වැරදි වෙන්න පුළුවන් තව කෙනෙකුට වැරදි වෙන්න පුළුවන්. නමුත් අපි හෘද සාක්ෂියට එකඟව ඒ තීරණය අරගෙන තියෙනවා.  හැම දෙයක්ම හොයලා බලලා තමයි ඒ තීන්දුව ගත්තේ.” යැයිද   ඔහු සඳහන් කළේය.තමා එය ගෙදර සිට ගත් තීරණයක් නොවේ යැයිද  අබේවර්ධන මහතා කීවේය.පොලිස්පතිවරයාගේ තනතුර නතර කරනවා  නම් ඒ සඳහා වෙනම වැඩපිළිවෙළක් ඇති බවද  හෙතෙම පැවසීය.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *