ලංකාවේ විදෙස් ණය ඩොලර් බිලියන 37යි

ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.  මෙයට ද්විපාර්ශ්වික ණය ඩොලර් බිලියන 10.6, බහුපාර්ශ්වික ණය ඩොලර් බිලියන 11.7, වාණිජ ණය ඩොලර් බිලියන 14.7 සහ ස්වෛරී බැඳුම්කර ඩොලර් බිලියන 12.5 ඇතුළත් වන බව ජනාධිපතිවරයා කීය.

ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ අතර  කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේය.

මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර ණයහිමියන් අතර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වන කොන්දේසි සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ තිබේ.රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ පසුගියදා දිනයේ දී අදාළ එකඟතාවයකට පැමිණ ඇති බවය.

ඒ අනුව අමෙරිකානු ඩොලර් බිලියන 12.5ක ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වන එකඟතාවයකට පැමිණ ඇති බව සඳහන්ය.වසරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වේ.

ඒ අනූව ජාත්‍යන්තර බැඳුම්කරවල සියයට 28ක නාමික අඩුකිරීමකට ණයහිමියන් එකඟ වී ඇති බව සඳහන් ය.ජාත්‍යන්තර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති ප්‍රධාන කොන්දේසියක් වේ.

ශ්‍රී ලංකාව ද්වීපාර්ශවීය ණයහිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මේ වන විටත් ගිවිසුම් අත්සන් කර තිබේ.මේ අතර 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 වන දිනට පෙර අවසන් කළ යුතු බව  මුදල් ආර්ථික, ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශ ලේකමවරයා විසින් ඊට අදාළ චක්‍රලේඛයක් නිකුත් කරමින් මෙම දැනුම්දීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *