විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් කැනඩාව පරදවා කඩුලු 7ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට සම සත්කාරකයන් වන අමෙරිකානු කණ්ඩායම සමත් විය.
අමෙරිකාවේ ඩලස්හිදී පැවති මේ තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් කැනඩාව දුන් ලකුණු 195ක දැවැන්ත ඉලක්කය හඹා ගිය අමෙරිකානු ක්‍රීඩකයෝ ඕවර 17.4කදී කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් ජය වාර්තා කළහ.
අමෙරිකාවට පළමු කඩුල්ල ලකුණු ලබාගැනීම ආරම්භ කිරීමටත් පෙර අහිමි වූ අතර, දෙවැනි කඩුල්ල ලකුණු 42දී බිඳ වැටිණි. අනතුරුව අංක 4 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇරෝන් ජෝන්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ නොදැවී ලකුණු 94ක් රැස් කරමිනි. හතරේ පහර 4ක් සහ හයේ පහර 10කින් ඉනිම වර්ණවත් කරගත් ඔහු වැය කළේ පන්දු 40ක් පමණි. ජෝන්ස්ට අනගි සහායක් දුන් ඇන්ඩ්රිස් ගෝස් තෙවැනි කඩුල්ලට ලකුණු 131ක් එක් කළේ පන්දු 58කිනි. ගෝස් පන්දු 46කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 65ක් රැස් කළේය. පන්දු යැවීමේදී ඩිලොන් හයිලීගර්, කලීස් සනා සහ නිඛිල් දත්තා කඩුල්ල බැගින් දවා ගත්හ.
කාසියේ වාසිය දිනූ අමෙරිකානු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කැනඩාව පිල වෙනුවෙන් නවනීත් ධලිවාල් ලකුණු 61ක් රැස් කළේ පන්දු 44කදී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟිනි. නිකලස් කිර්ටන් පන්දු 31කින් ලකුණු 51ක්, ශ්‍රෙයාස් මොව්වා නොදැවී ලකුණු 32ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී හර්මිට් සිං, කොරේ ඇන්ඩර්සන් සහ අලි ඛාන් කඩුල්ල බැගින් දවා ගත්හ.
කැනඩාව – 194/5 (ඕවර 20) නවනීත් ධලිවාල් 61, නිකලස් කිර්ටන් 51, ශ්‍රෙයාස් මොව්වා නොදැවී 32
අමෙරිකාව – 197/3 (ඕවර 17.4) ඇරෝන් ජෝන්ස් නොදැවී 94, ඇන්ඩ්රිස් ගෝස් 65