හිටපු ඇමැති විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කරයි.
බහුතර බලයක් නොලැබුණහොත් තීරණවලට බලපෑම් කළ හැකි අනෙකුත් සභාග පක්ෂවල සහයෝගය මත විශ්වාසය නොතබමින් නව ජනාධිපති අනුර කුමාර දිසානායකට ආණ්ඩු කිරීමට ඉඩ සැළසීම සඳහා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය තහවුරු කර ගැනීමට අවස්ථාව දීම මෙම තීරණයේ අරමුණ බව එම පක්ෂය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ජනතා විමුක්ති පෙරමුණේ අතීත උරුමයට අයිතියක් ඇති සහ ඊට ගරු කරන, අධිරාජ්‍ය විරෝධය මුල් කරගත් දේශපාලන ව්‍යාපාරයක් ලෙස, ජනාධිපතිවරයා බලයට පත් කළ ජනවරම ආරක්ෂා කිරීමට සහ එම ජනවරම නිර්මාණය කළ මහජනයාගේ අපේක්ෂා වෙනුවෙන් පෙනී සිටීමට තම පක්ෂය බැඳී සිටින බව විමල් වීරවංශ පවසයි.
මෙම තීන්දුව පක්ෂයේ සියලුම මට්ටම්වල සංවිධාන යාන්ත්‍රණය තුළ සාකච්ඡා කිරීම මගින් සහ තීන්දු තීරණ ගනු ලබන මණ්ඩප සහ සමූහයන්ගේ එකඟතාව මත ගනු ලැබූ දේශපාලන තීන්දුවක් බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වේ.
මේ අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සන්ධානයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවකගේ පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන බලවේගයට නිල වශයෙන් දැනුම් දී තිබේ.
චම්පික රණවක සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දෙන්නේ සමගි ජන සන්ධානය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුමට අනුව එක්සත් ජනරජ පෙරමුණ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ප්රචාරක කටයුතුවල නිරත වූ බවයි.
කෙසේ වෙතත්, දෙපාර්ශවය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ රෙගුලාසි පිළිපැදීමට සජබ අපොහොසත් වී ඇති බවත්, එමඟින් ගිවිසුම උල්ලංඝනය කර ඇති බවත් ඔහු පවසයි.
එබැවින් එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානය සමඟ කිසිදු දේශපාලන කටයුත්තක නිරත නොවන බව චම්පික රණවක සඳහන් කරයි.පාඨලී චම්පික රණවක පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළේ කොළඹිනි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර නොතිබූ බව වාර්තා වේ.
නාමයෝජනා ලැයිස්තුවේ මතුව ඇති ගැටළු හේතුවෙන් එක්සත් ජනරජ පෙරමුණ ඉදිරි මහමැතිවරණයට තරඟ නොකරන බව නිවේදනය කර තිබේ.