යකඩ මයික් යනු මයික් ටයිසන්ට තවත් නමකි. එහෙත් මේ සටන්කාමීයාගේ අපූර්ව දක්ෂතා යට කරමින් මතු වුණේ නොසැළකිල්ල සහ නොහොබිනා හැසිරීම් නිසා මතු වුණ කළු චරිතයක්ය. ඒ නිසා සමහර විට ඔහුව ”The Badest Man on the Planet˜ යනුවෙන් විශ්වයේ නරකම මිනිසා ලෙස ද හඳුන්වන්නට විය. එහෙත් ඒ කිසිම නරක නාමයකින් ඔහුගේ හැකියාව අවතක්සේරු නොකළ විචාරකයෝ, ප්රේක්ෂකයෝ ඔහු ලොව පහළ වූ විශිෂ්ටතම හෙවිවේට් බොක්සිං ක්රීඩකයෙකු ලෙස පිළිගත්හ. දැන් වයස අවුරුදු 58 ක් වන මේ ඉතිහාසයට අයත් විය යුතු හිටපු සටන්කාමියා යළිත් ලෝකයේ කතා බහට ලක් වන්නට ගත්තේ ඔහුගේ වයසින් අඩකටත් වඩා බාල 27 හැවිරිදි ජේක් පෝල් නම් තරුණයකු සමඟ බොක්සිං සටනක් කළ නිසාය. තරගයේ ආරම්භයේ දී 58 හැවිරිදි ටයිසන් වේගවත්ව හැසිරුණත්, වේලාව ගතවෙත්ම ඇයගේ ක්රියාකාරීත්වයේ තිබිය යුතු වේගවත් බව දියව යන බවක් ප්රදර්ශනය විය. විශේෂයෙන් ඔහු තරගයේ ආරම්භක අවධියේ ලකුණු ලබාගැනීම අතින් ඉදිරියට ගියත්, පසුව මන්දගාමී චලනයන් හේතුවෙන් පහර එල්ල කිරීමටත් වඩා 27 හැවිරිදි ජේක් පෝල්ව වළක්වා ගැනීම ටයිසන්ට අපහසු විය. ඒ චලනයන්ගේ තිබෙන පසුබෑම නිසා පෝල් ටයිසන් පසු කර ඉදිරියට පැමිණියේය. ඇත්තෙන්ම මෙම ගැටුම තරුණ පෝල්ට විශාල අභියෝගයක් ඇති කළ තරගයක් හැටියට මේ තරගය ගත නොහැකියි.
මේ අතර ජේක් පෝල් හමුවේ තමන් පරාජය වුවද තමාට කිසිදු පසුතැවිල්ලක් නොමැති බවත් එය තම අවසන් තරඟය බවත් ජනප්රිය බොක්සිං ක්රීඩක මයික් ටයිසන් පවසා තිබේ..
“මෙය පැරදුණුත් ජයග්රහණය කළ අවස්ථාවලින් එකක්. ඊයේ රාත්රියට මම කෘතඥ වෙනවා. බොක්සිං වළල්ලට මම ආවේ අවසන් වරට කියලා පසුතැවීමක් නැහැ. මම බොහෝ දුරට ජුනි මාසයේදී මිය ගිහින් හිටියේ. රුධිර පාරවිලයනය 8ක් කරන්න වුණා. මගේ රුධිරයෙන් අඩක් සහ රාත්තල් 25ක් රෝහලේදී අහිමි වුණා. මේ සටන වෙනුවෙන් නිරෝගී වීමට මට සටන් කිරීමට සිදු වූ නිසා මම ජයග්රහණය කරලයි තියෙන්නේ. පිරීගිය ඩලස් කව්බෝයි ක්රීඩාංගණයේ මගේ දරුවන් ඉදිරිපිට මගේ වයසින් අඩක් වන දක්ෂ සටන්කරුවකු සමඟ මම වට 8ක් නිමා කරනු මගේ දරුවන්ට දැකීමට ලැබීම කිසිම මිනිසකුට ලබා ගත නොහැකි අත්දැකීමක්,” යනුවෙන් ටයිසන් සිය X ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.
ජේක් පෝල්, ටයිසන්ගේ සටහනට ප්රතිචාර දක්වමින් ලියා ඇත්තේ “ආදරෙයි මයික්. එය මට ගෞරවයක් වුණා. ඔබ අප සැම දිරිගන්වන්නෙක් සහ පොළඹවන්නෙක් .”යනුවෙනි.
ටයිසන් මෙම තරඟයට සහභාගී වීම මගින් ඩොලර් මිලියන 20ක් පමණ උපයා ගත් බව වාර්තා විය.