රූබික් කියුබ් 1,200ක් භාවිත කරමින් ‘චෝලන්’ ලෝක වාර්තාවක් පිහිටු වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවු 11වූ එච්.ඩී. සස්නුල සෙහන්ස ලක්මාල් දරුවා ඉකුත් 3 වැනිදා සමත් විය. ඒ අඟල් 91 × අඟල් 68 ප්‍රමාණයේ රාමුවක් යොදා ගනිමින් පැය 3, විනාඩි 13, තත්පර 7ක කාලයක් තුළ රූබික් කියුබ් 1,200ක් යොදා ගනිමින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අනුරුවක් නිර්මාණය කරමිනි.
අධිෂ්ඨානය හා කැපවීම
එච්.ඩී. සස්නුල සෙහන්ස ලක්මාල් උපන්නේ 2013 වසරේදී ගම්පහ, අමුණුගොඩදීය. ඒ යුද හමුදා සැරයන් තිළිණ ලක්මාල්ට හා දීපිකා උපමාලීට දාවය. පසුව සෙහන්සගේ කැදැල්ලට නැඟණියක ද එකතු වූවාය. ඉඹුල්ගොඩ සුජාතා ප්‍රාථමික විද්‍යාලයේ මුලකුරු කියවූ සෙහන්ස කුඩා කල පටන් අධ්‍යාපන කටයුතුවලට මෙන්ම පරිසරයට මහත් ඇල්මක් දැකු වූ දරුවකු විය. පෙරපාසල් අවධියේ සිටියදී සෙහන්සව රැගෙන ඔහුගේ පියා වූ තිලිණ ලක්මාල් කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණියේ එළකියුෂන් විභාගයක් සඳහා මුහුණදීමටය. එදා විභාගය අවසන පුංචි සෙහන්ස හරි අපූර්ව කතාවක් පියාට කීවේය.
ඒ පිළිබඳ තිලිණ ලක්මාල් අපට පවසා සිටියේ මෙලෙසිනි. “එදා පුතා මට කිව්වා; තාත්තේ මට මේ ඉස්කෝලෙට එන්න ඕන කියලා; මම කිව්වා; පුතා ඔයා ශිෂ්‍යත්ව විභාගය පාස් වුණොත් මේ ඉස්කෝලෙට එන්න පුළුවන් කියලා. මං හිතුවේ නෑ ඒ වෙලාවේ පුතා ඒක ලොකුවට හිතට ගනියි කියලා. පුතා වෙනදාට වඩා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. අපිත් පුළුවන් සෑම දෙයක්ම එයාට ලබා දුන්නා.
එයා තුළ යම් අධිෂ්ඨානයක් හා කැපවීමක් ඇති බව අපට දැනුණා. 2023 වසරේ පුතා ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන්නා. එයා ලකුණු 187 ලබාගෙන ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබුණා. මේ වසරේ රාජකීය විද්‍යාලයට පුතා ඇතුළත් වුණේ ඒ විදයටයි. මේ නිසා දෙයක් තදින් හිතට ගත්තොත් පුතා එයාගේ අරමුණ කරා යන බව අපට පෙනුණා.
රූබික් කියුබ් හදන්න යොමු වුණු හැටි
නංගිත් එක්ක එකතු වෙලා සෙල්ලම් කරන අතරේ එයා රූබික් කියුබ් හදන්න යොමු වුණා. පුතා යූටියුබ් සර්ච් කරලා රූබික් කියුබ් හදන්න ඉගෙන ගන්න අතරේ SL Cube Show කියන රූබික් කියුබ් යොදාගෙන චිත්‍ර අඳින වැඩසටහනක් දැකල තිබුණා. ඊට පස්සේ පුතා ඒ වැඩසටහන හරිම ආශාවෙන් බැලුවා. දවසක් එයා SL cube show යූටියුබ් වැඩසටහන කරන නිමන්ත ජයවීර මල්ලිට කතා කරලා; අයියේ මාත් ආසයි මේවගේ චිත්‍ර අඳින්න මං ආවොත් ඔයාට කියල දෙන්න පුළුවන් ද ඇහුවා. එයා කැමැති වුණා. අපි එතෙන්ට ගියා. පළවෙනි චිත්‍රය පුතා නිර්මාණය කළේ එතනදි. ඊට පස්සේ එයාගේ ආශාව තවත් වැඩි වුණා. ඒත් ගෙදර ඇවිත් එයාට නිර්මාණ කරන්න කියුබ් 600ක් තිබුණේ නැහැ. ඊට පස්සේ අපි පුතාට ලෝන් එකක් දාලා කියුබ් 600ක් අරන් දුන්නා. එයා ඒකෙන් ලංකාවේ ජනප්‍රිය හා විවිධ දක්ෂතා ඇති අයගේ රූප නිර්මාණය කළා. චමරි අතපත්තු, තරුසි කරුණාරත්න, අන්ජලී හේරත්, මනේජ් සංජය, ලකයි සිකයි හා SL cube show යූටියුබ් වැඩසටහන කරන නිමන්ත ජයවීරගේ නිර්මණ ඒ් අතර තිබුණා.
පුතාගේ මේ නිර්මාණ දැකලා මම දවසක් සිටිසන් කනෙක්ට් කියන ආයතනයට කතා කළා පුතාගේ වීඩියෝ එකක් කරන්න. එතකොට ඒ අය කිව්වා නිමන්තත් කියුබ් 600කින් නිර්මාණ කරනවනෙ මේකේ විශේෂත්වයක් නැහැනෙ කියලා. ඒ වෙලාවේ මම කිව්වා; මේ නිර්මාණ මඟින් ගිනස් වාර්තාවක් තියන්න පුතා බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා. එතකොට ඒ අය ලංකාවේ ගිනස් එකෙ ඔෆීස් එකක් නෑ හැබැයි Cholan Book Of World Records කියලා ආයතනයක් තියෙනවා. ඒකේ රෙකොර්ඩ් එකක් තියන්න පුළුවන්. ඒකේ ශාඛාවක් ලංකාවේ තියෙනවා කියලා. ඊට පස්සේ ඔවුන් එහි දුරකතන අංකය මට දුන්නා. ලංකාවේ ඔෆිස් එකට මම කතා කළා. කතා කරල පුතා මේ විදියට නිර්මාණ කරනවා. එයාට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. පුළුවන් දැනට රූබික් කියුබ් 600ක් යොදාගෙන නිමන්ත ජයවීර කරනවා මෙයටත් ඒ දක්ෂතාව තියෙනවා. එතකොට එයා කිව්වා 600ට වැඩියෙන් කළොත් පුළුවන් කියලා.
ඊට පස්සේ මම නිමන්ත ජයවීර මල්ලිට කතා කරලා එයාගෙන් නැවත ලබාදෙන පොරොන්දුව පිට එයාගෙ රූබික් කියුබ් 600ක් ඉල්ලා පුතාට දුන්නා. ඒකත් එක්ක පුතාට අරන් දීපු 600ත් එකතු කරලා 1200කින් මේ නිර්මාණය කරන්න යෝජනා කළා. ඒ අය ඒකට කැමති වුණා. සාමාන්‍යයෙන් නිමන්ත මල්ලිට කියුබ් 600න් මේ නිර්මාණ කරන්න පැය 6ක් පමණ කාලය යනවා. නමුත් පුතා එදා කියුබ් 1200කින් මේ නිර්මාණය කරනකොට පැය 3 විනාඩි13 තත්පර 07කින් ඉවර කළා.
වාර්තා පිට වාර්තා
මේක වාර්තා අතරට ගියේ වැඩිම රූබික් කියුබ් ගණනකින් සිතුවම් නිර්මාණය කරන අඩුම වයසේ දරුවා ලෙසයි. එයාගේ ටයිම් එකත් රෙකෝඩ් එකක් වෙන්න පුළුවන්. ඒක මම හරියටම දන්නේ නැහැ. මෙම ශූරතාව වෙනුවෙන් මෙඩ්ල් එකක් සහ සහතිකයක් ලැබුණා.” මෙම උත්සවය සංවිධානය කර තිබුණේ Cholan Book of World Records සහ Peoples Helping People Foundation යන ආයතන විසිනි. ඒ යක්කල රණවිරු ඇඟලුම් පිහිනුම් තටාක සංකීර්ණයේදී කඳවුරු අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් එම්. දුවක්කාර් සහ නියෝජ්‍ය අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් වාසගේ ගේ ප්‍රධානත්වයෙනි.
Cholan Book Of World Records (CBWR) සංවිධානය යනු යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් විසි හයක නියෝජනය සහිත සංවිධානයකි. මෙම ලෝක වාර්තාව පිහිටුවීම විනිශ්චය කිරීම Cholan Book Of World Records සංවිධානයේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා, එහි ශ්‍රී ලංකා ශාඛාවේ ලේකම් කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා, ජර්මනියේ ස්ටෙප්ස් ආයතනයේ සභාපති වින්සන්ට ෆැන්සිස් ජේසුදාසන් සහ People Helping People Foundation සංවිධානයේ අධ්යක්ෂ ක්ලැරන්ස් සැමුවෙල් යන මහත්වරුන් කටයුතු කර තිබුණා.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවෙහි ලේකම් කපිතාන් ඉන්ද්‍රනාත් පෙරේරා සඳහන් කර සිටියේ මෙතෙක් මෙම වයසේ දරුවකු විසින් රූබික් කියුබ් භාවිත කරමින් විශාල ප්‍රමාණයේ රාමුවක් තුළ මෙවන් නිර්මාණයක් සිදු කරමින් වාර්තාවක් තබා නොමැති බවයි.
ගුවන් නියමු සිහිනය
මෙවැනි දක්ෂතා ප්‍රකට කරන සෙහන්ස මේ වන විට කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් වගේම පාසල් වාදක කණ්ඩායමේ සාමාජිකයෙකි.
ඔහුගේ දක්ෂතා පිළිබඳ අදහස් දක්වමින් ඔහුගේ මෑණියන් වන දීපිකා උපමාලී පවසා සිටියේ මෙවැන්නකි.
“පුතා ගොඩක් දේවල්වලට දක්ෂයි. වෙසක් පෝයට තනිවම තොරණක් පවා නිර්මාණය කර තිබෙනවා. ඕනෑම දෙයක් දුටු විගස පුතාට එය කිරීමේ හැකියාව සහජයෙන්ම උරුම වී තිබෙනවා.
ඔන්ලයින් ක්‍රමයට ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන කරුණාරත්න ගුරුතුමියගේ රූබික් කියුබ්වලින් මෙවැනි නිර්මාණයක් පුතා කළා. ඒකට ගුරුතුමිය පුතාට ගොඩාක් ප්‍රශංසා කළා. ඒ විතරක් නෙමෙයි පුතා විශ්වවිද්‍යාලයට යනතෙක් පුතාගේ ඉගෙනීම සඳහා යන සියලු වියදම් එතුමියගේ වියදමින් කරන්න භාර ගත්තා. පුතාගේ මීළඟ බලාපොරොත්තුව රූබික් කියුබ් 120,000ක් යොදාගෙන සිතුවමක් නිර්මාණය කර ගිනස් ලෝක වාර්තාවක් තැබීම. ඒකට හැකි අයට උදව් කරන්න කියා මා ඉල්ලා සිටිනවා” යැයි සෙහන්සගේ මව ඉල්ලා සිටියාය.
සෙහන්සගේ සිහිනය වන්නේ හොඳින් උගෙන ගුවන් නියමුවෙක් වීමය. අප ඔහුගේ සිහිනය සැබෑවේවා කියා ප්‍රර්ථනා කරමු.