ලොව ලාබාලතම චෙස් ශූරයා ඉන්දියාවෙන්.

සිංගප්පූරුවේ පැවති 2024 ලෝක චෙස් ශූරතා තරගාවලියේදී ලෝක ශූරයා බවට පත්වෙමින් ලොව ලාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත් වීමට දහ අට හැවිරිදි ඉන්දීය චෙස් ක්‍රීඩක ගුකේශ් දොම්මරාජු (Gukesh Dommaraju) පසුගිය දා සමත්විය. ගුකේශ් ශූරතාවලියේ අවසාන තරගයේ දී හිටපු ලෝක ශූරයා වූ චීන ක්‍රීඩක ඩිං ලිරෙන් (Ding Liren) ව ලකුණු 7.56.5ක් ලෙසින් පරාජයට පත්කරමින් මෙම ජයග්‍රහණය ලබාගැනීමට සමත් විය. තරග වට 14කින් සමන්විත වූ මෙම අවසන් තරගය ජයග්‍රහණය කළ ගුකේශ් චෙස් ලෝක ශූරතාවය ජයග්‍රහණය කළ දෙවන ඉන්දියානුවා බවට ද පත් විය.

මින් පෙර මෙම තරගාවලිය පස්වරක් ජයග්‍රහණය කළ විස්වනාතන් ආනන්ද් (Viswanathan Anand) ගුකේශ්ට පෙර මෙම සමත්කම දැක්වූ එකම ඉන්දියානුවා වූ අතර ඔහු මෙවර තරගාවලියේදී ගුකේශ්ගේ උපදේශකයෙකු ලෙසින් කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

සිංගප්පූරුවේ පැවැති ලෝක ශූරතා තරගාවලියේදී ගුකේශ් රුසියානු ක්‍රීඩක ගැරී කැස්පරොව් (Garry  Kasparov )විසින් වයස අවුරුදු 22දී ලෝක ශූරයා වෙමින් තබන ලද වාර්තාව අලුත් කිරීමට සමත් විය. කුඩා කල සිටම මෙම ඉලක්කය වෙනුවෙන් කැප වූ ගුකේශ් ඔහුට වයස 11ක්ව තිබියදී ජයග්‍රහණය කළ දේශීය චෙස් තරගාවලියකින් අනතුරුව තමාගේ අභිප්‍රාය ලොව ලාබාලතම චෙස් ලෝක ශූරයා බවට පත්වීම බව ප්‍රකාශ කර තිබුණි. ඉන් වසරකට පසු චෙස් ග්‍රෑන්ඩ් මාස්ටර්තරගාවලිය ජයගත් ගුකේශ් එම සිහිනය සැබෑවක් කරගනිමින් 2024 ලෝක ශූරයා බවට පත් වූ අතර ඔහුට මෙම ජයග්‍රහණයත් සමඟින් ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ත්‍යාග මුදලක්ද හිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *