වාර්තා රැසක් බිහි කරමින් වසර 14කට පසු විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ශතකයක් රැස් කළ කුසල් ජනිත් පෙරේරාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් 2025 නව වසර ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හැකි විය.
නවසීලන්තය හමුවේ 3-0ක පූර්ණ පරාජයකින් ගැලවීමේ අරමුණින් පසුගිය 02 වැනිදා නෙල්සන්හිදී පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි විස්සයි20 තරගය ජය ගත්තේ ලකුණු 7කිනි. කෙසේ වෙතත් දෙපිල අතර මුල් තරග දෙක ජය ගැනීම හේතුවෙන් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකි විය.
මින් පෙර ශ්‍රී ලංකා පිල නවසීලන්තය හමුවේ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියක් 3-0ක් ලෙස පරාජය වී නොතිබූ බැවින් මේ ජය සමඟ එම වාර්තාව තවදුරටත් ඉදිරියට ගෙන යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විණි.
නවසීලන්ත පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය නවසීලන්තයට ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 211ක් පමණි.
මේ තරගයේදී වාර්තා වූ කුසල් ජනිත්ගේ මංගල විස්සයි20 ශතකය වාර්තා පොතට එක් වූයේ ශ්‍රී ලංකාවේ තෙවැනි විස්සයි20 ශතකය ලෙසයි. එමෙන්ම විස්සයි20 පිටියේදී ශ්‍රී ලාංකික පිතිකරුවෙක් ශතකයක් වාර්තා කළේ වසර 14කට පසුව වීම විශේෂත්වයක් වන අතර, පන්දු 44කින් වාර්තා කළ මේ ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ වේගවත්ම විස්සයි20 ශතකය ද විය.
මින් පෙර තිලකරත්න ඩිල්ෂාන් (104) සහ මහේල ජයවර්ධන (100) ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ශතක වාර්තා කර තිබූ අතර, ඩිල්ෂාන් 2011 වසරේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පල්ලෙකැලේදී අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 ශතකය වාර්තා කර තිබිණි. ශ්‍රී ලංකා පිල නවසීලන්තයේ විස්සයි20 තරගයක් ජය ගත්තේ වසර 19ක පසුව වීම කැපී පෙනුණු අතර, අවසන් වරට 2006 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමක් නවසීලන්තයේදී විස්සයි20 තරගයක් ජය ගෙන තිබිණි.