අයවැයෙන් බෙදන හැටි ඡනපති නිලධාරීන්ට කියයි.

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, 2025 අයවැය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පසුගියදා පැවති පූර්ව සාකච්ඡාවට එක්වෙමිනි.

ඵලදායී හා කාර්යක්ෂම ලෙස ආර්ථික ක්‍රියාවලිය මෙහෙයවීමේදී පොදු ප්‍රවාහනය විධිමත් කිරීමේ වැදගත්කම මෙන්ම විමධ්‍යගත මන්ත්‍රී අරමුදල භාවිත කළයුතු ආකාරය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇත.

පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවේ මැදිහත් වීමේ ආකාරයද, පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ගද මේ සාකච්ඡාවේදී සලකා බලා තිබුණි.

පහුගිය රජයන් විමධ්‍යගත අරමුදලට විශාල මුදල් ප්‍රමාණ වෙන්කළද එම මුදල් ඵලදායී ව්‍යාපෘතිවලට යොදවා නොමැති බවත්, එම නිසා විමධ්‍යගත අරමුදලේ ප්‍රතිපාදන ජාතික ව්‍යාපෘතිවලට යොදාගත හැකි අයුරින් වෙන්කිරීම පිළිබඳව ද මෙහිදී අවධානයට ලක් වූ බව ජනාධිපති මාධ්‍ය කළ නිවේදනයේ සඳහන් වේ.

වී මිල දී ගැනීම සඳහා සහල් නිෂ්පාදකයන්ට ලබාදෙන ණය මුදල් වසරක් ඇතුළත නැවත අය කර ගැනීමටත්, එම ව්‍යාපාරිකයන් සතුව තිබෙන සහල් තොග නියාමනය කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා විය.

ඉහළ ස්ථරයේ තිබෙන ආර්ථිකය පහළම ස්ථරය දක්වා විහිදී යන පරිදි ප්‍රසාරණය කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලුම පළාත්වලට බෙදී යන ආර්ථික සැලසුමක් සකස් කිරීමේ වැදගත්කම ද මෙහිදී සඳහන් කළේය.

දැනට පවතින සහනාධාර ලබාදෙන ක්‍රමවේද අඩුපාඩු සහිත බැවින් එම අඩුපාඩු හඳුනා ගනිමින් සහනාධාර අවශ්‍ය ප්‍රජාව නිශ්චය කරගැනීමේ හා එම ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අවශ්‍යතාවද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *