ඔබ මට හඬගැසුවොත්

ශාරදයේදී කහ පැහැ වූ ගින්කෝ පත්
සුළඟ සමඟ දඟ කරමින් නටද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
විල මිහිදුම් සළුවෙන් වැසී ඇති නිශාවේදී
කඳු මුදුන් වලට ඉහළින් නිහඬව අලුත් සඳ ඇදී යද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
මෘදු ව දියවුණු වසත් අහස යට
ස්වර්ගය අද්දරින් දිය දහර සෙමෙන් ඇදෙද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
ඍතුවේ මුලදී තණබිම හිරු එළිය උරා ගනිද්දී
ඉග්රට් කොකුන් පැහැදුල් අවකාශය මැදින් ගී ගයද්දී
ඔබ මට හඬගැසුවොත්, ප්‍රේමිය
පැමිණෙන්නෙමි මම
Translation of the poem ‘If you call me’ by Korean poet Sin Sok-Chong
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
මවුබිම අතැර ගොස්…..

ඔබ නයන කැළුම්වල
ජීවිතේ සෝ තැවුල් දුරලන
මායාවක් රැඳී ඇත
අහෝ පෙම්බර දේශය
බරැති වූ මී දුමක්
හදවතේ රැඳී ඇත
ඔබ අතැර යන විට
කෑ ගසා මොරදුන්
පිපාසයකින් මගේ
ජීවිතය පිරී ඇත
කඳුළින් වැසී ගිය
නිහඬ වූ දෙනෙතකින්
හංස ගීතිකා ගයන
උපන් බිම අතැර ගිය
පිටුවහලා මා ය
මහපොළොව ගැඹරෙන්
යැදුමෙහි නාදයෙන්
දෑස තුළ සැඟවුණු
අඳුරෙහි මධ්‍යයෙන්
විප්‍රවාසයේ දුක
නැගී එයි යළි යළිත්
බුර බුරා නැගෙන දුක්
හදවතේ සඟවමින්
අකුරු පදවැල් ලියමි
බොඳවූ දෑසකින්
–මෝනා අල්-ගසල් අලිවට්
පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.


