බැසිල්ට වරෙන්තු – විමල්ට ඇප.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පවරා ඇති නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුරංග එරංග දිසානායක මහතා නියෝග කර තිබේ.

මාතර එළියකන්ද පාර, බ්‍රවුන්ස්හිල් ලිපිනයේ පිහිටි අක්කර එකහමාරක ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවකට ඒ මහතා පසුගිය (22)වැනිදා දිනයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර ඇත.

මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් බැසිල් රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් විදෙස්ගතව ප්‍රතිකාර ලබන බැවින් ඔහු අධිකරණය හමුවේ පෙනී නොසිටින බව වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

දිගින් දිගටම බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය මග හරිමින් සිටින බැවින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මාතර ප්‍රධාන මහේස්තාත් චතුරංග එරංග දිසානායක මහතා බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව වරෙන්තු නිකුත් කිරීමට නියෝග කළේය.

මේ අතර තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර ති‍බේ.

එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පසුගිය (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියේය.

ඒ, මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළවය.ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *