කැනඩාවේ නාවික හමුදා ඉතිහාසයේ දැවැන්තම පියවර: නව සබ්මැරීන බලගණය සඳහා ජර්මානු TKMS සමාගම තේරී පත්වෙයි.

කැනඩා නාවික හමුදාවේ දැනට පවතින පැරණි සබ්මැරීන බලගණය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වූ දැවැන්ත ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව ජර්මානු TKMS (ThyssenKrupp Marine Systems) සමාගම වෙත ලබාදීමට තීරණය කළ බව අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි (Mark Carney) මහතා නිල වශයෙන් නිවේදනය කළේය.

තුර්කියේ අන්කාරා නුවර පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට පෙර, හාලිෆැක්ස් හි පිහිටි කැනේඩියානු සන්නද්ධ හමුදා කඳවුරක නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම තීරණයත් සමඟ කැනඩාවේ සමුද්‍රීය ආරක්ෂක ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් වන බව දේශපාලන විචාරකයෝ පවසති.

කැනඩා රජය විසින් නව සබ්මැරීන 12ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති අතර, මෙය කැනඩා ඉතිහාසයේ සිදුවන විශාලතම ආරක්ෂක මිලදී ගැනීම ලෙස සැලකේ. මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් දැනටමත් රජයේ මූල්‍ය රාමුව තුළ වෙන් කර ඇති බවත්, අයවැය මගින් ඒ සඳහා ප්‍රතිපාදන සලසා ඇති බවත් අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේය.

කෙසේ වෙතත්, කොන්ත්‍රාත්තුවේ අවසාන වටිනාකම මෙතෙක් හෙළි කර නොමැත. අග්‍රාමාත්‍ය කාර්නි මහතා ප්‍රකාශ කළේ, මේ වන විට අදාළ සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එම සාකච්ඡා වාණිජමය වශයෙන් සංවේදී බැවින් කැනඩාවට උපරිම වාසි සහගත තත්ත්වයක් ලබා ගැනීම සඳහා විවෘතව තොරතුරු හෙළි නොකරන බවයි. මෙම ගනුදෙනුවේ එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ කැනඩාව සිදුකරන ආයෝජනයට සමාන වටිනාකමකින් යුත් ආයෝජනයක් එම සමාගම විසින් කැනඩාව තුළ ද සිදුකළ යුතු වීමයි.

මෙම දැවැන්ත කොන්ත්‍රාත්තුව සඳහා ජර්මානු TKMS සමාගම සහ දකුණු කොරියාවේ Hanwha Oceans සමාගම අතර දැඩි තරඟයක් පැවතිණි. අග්‍රාමාත්‍යවරයාට අනුව, මෙය අතිශය දුෂ්කර තීරණයක් වූ අතර, දකුණු කොරියානු සමාගම දැනට අතිරේක සැපයුම්කරු (Reserve supplier) ලෙස නම් කර ඇත. යම් හෙයකින් TKMS සමාගම සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත්, එම අවස්ථාව Hanwha Oceans වෙත හිමිවනු ඇත.

TKMS සමාගම තෝරා ගැනීමට බලපෑ ප්‍රධානතම හේතුවක් වූයේ ඔවුන් ඉදිරිපත් කළ කඩිනම් සැපයුම් සැලැස්මයි. ජර්මනිය සහ නෝර්වේ රාජ්‍යයන් දැනටමත් ඇණවුම් කර ඇති සබ්මැරීනවලින් කොටසක් කැනඩාවට ලබා දීමට එම සමාගම එකඟ වී ඇත. මේ හේතුවෙන්, 2034 වසර වන විට පළමු සබ්මැරීන කැනඩාවට ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

කැනඩාව මිලදී ගැනීමට නියමිත TKMS 212CD මාදිලිය එම සමාගමේ නවතම සබ්මැරීන මාදිලියයි. මෙය සෝනාර් (Sonar) පද්ධතිවලට හඳුනාගත නොහැකි වන පරිදි විශේෂිතව නිර්මාණය කර ඇති (Stealth) මාදිලියක් වන අතර, නේටෝ සංවිධානයේ සාමාජික රටවල් වන ජර්මනිය සහ නෝර්වේ රාජ්‍යයන් ද මෙම මාදිලියම භාවිතා කරයි.

නේටෝ සන්ධානය තුළ ක්‍රියාත්මක වන “අන්තර් ක්‍රියාකාරීත්වය” (Interoperability) එනම් සාමාජික රටවල් අතර පුහුණුවීම් සහ අලුත්වැඩියා කටයුතු පොදුවේ සිදු කිරීමේ හැකියාව, මෙම තීරණයට තවත් ප්‍රධාන හේතුවක් විය. යුරෝපයේ සබ්මැරීන වෙළඳපොලේ ප්‍රමුඛයා වන TKMS, දැනටමත් නේටෝ සංවිධානයේ සාම්ප්‍රදායික සබ්මැරීන බහුතරයක් සපයන සමාගමයි.

කැනඩාව සතුව දැනට පවතින වික්ටෝරියා පන්තියේ (Victoria class) සබ්මැරීන හතර 2035 වසර වන විට සේවයෙන් ඉවත් කිරීමට නියමිතය. වර්තමානය වන විට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින්නේ ඉන් එක් සබ්මැරීනයක් පමණක් වන අතර, ඉතිරි ඒවායේ අමතර කොටස් සඳහා දැනට පවතින සබ්මැරීන පවා විසුරුවා හැරීමට රජයට සිදුවනු ඇතැයි වාර්තා වේ.

මෙම නව ව්‍යාපෘතිය හරහා කැනේඩියානු නාවික හමුදාව ලෝකයේ නවීනතම තාක්ෂණයෙන් සන්නද්ධ වන අතරම, ඉදිරි දශක කිහිපය තුළ කැනඩාවේ සාගර කලාපයේ ආරක්ෂාව සහ ස්වෛරීභාවය තහවුරු කිරීමට මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *