
ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ්, ලෝක ප්‍රකට FIA ෆෝමියුලා 3 තරගාවලියේ ස්ප්‍රින්ට් ඉසව්වේ දෙවැනි ස්ථාන හිමිකරගෙන එවැනි දස්කමක් දැක්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් වූයේය.
මෙයට දින කිහිපයකට පෙර පැවති බ්‍රිතාන්‍ය ග්‍රොන් ෆ්‍රී ස්ප්‍රින්ට් තරගය සුප්‍රසිද්ධ සිල්වර්ස්ටෝන් ධාවන පථයේ පැවති අතර, ඩේවිඩ් ආරම්භයේ සිට තරග අවසානය දක්වා ලොව දක්ෂ ක්‍රීඩයන් හමුවේ තම සන්සුන්භාවය පවත්වා ගෙන ධාවනයේ යෙදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තරග වට 18කින් සමන්විත වූ තරගය යෙවාන් විනාඩි 33යි තත්පර 8කින් අවසන් කළේය. ෆෝමියුලා 3 පළමු ජයග්‍රාහකයා බවට පත් වූ අමෙරිකා එක්සත් ජනපදයේ උගෝ උගොචුක්වුට පමණක් යෙවාන් ඩේවිඩ් දෙවැනි විය. තියෝෆිල් නේල් තෙවැනි ස්ථානය දිනා ගත්තේය.
ඩේවිඩ් සිල්වර්ස්ටෝන් ධාවන පථයේ මේ වාරයේ වැඩි ලකුණු රැස් කිරීමේ අපේක්ෂාවෙන් තරග වැදුණ යෙවාන් ඩේවිඩ් මේ තරගයේදී තත්පර 20ක පරතරයකින් දෙවැනි වීම කැපී පෙනිණි. ෆෝර්මියුලා 3 තරගාවලියේ මීළඟ අදියර බෙල්ජියමේදී මේ මස 17 සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන අතර, එහිදී ද ශ්‍රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


