ප්‍රේමයේ ශෝකය

පියැස්සේ කෙළවර ගේ කුරුලු කිචිබිචිය,
පෑයූ පුරා හඳ, තරු පිරුණු නුබ ගැබ,
නිරතුරු ගී ගයන ගහකොළෙහි සරසරය,
සැඟවීය මිහිතලේ මහලු ඔදසුන් හැඬුම
පැමිණියෙහි නුඹ ඊළඟට හැඬුම්බර ඔය රත’දර සමග,
නුඹ සමග පැමිණියේ මුළු ලොවෙහිම කඳුළ,
සියලු දුක් වේදනා, පිරිපත සහ ගැහැට,
දියතෙහි කම්කටොලු සත සහස් වසරක
ගේ කුරුල්ලන් දැන් සටනෙහිය පියැසි අග,
සුදුමැළිය සඳවතිය, මළානිකය තරු කැළ
හඬ නගා ගී ගයන නොසන්සුන් ගහකොළ
සලිතව ගොසින් ඇත අසා මිහිතලේ මහලු ඔදසුන් හැඬුම
විලියම් බට්ලර් යේට්ස් (1865-1939)

පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.
පරණ පොතක්

මාවතේ පියසි මත
තදින් වැසි වැටෙද්දී
විවරව ඇති පොත් හලක්
ඉදිරියෙන් හමුවීම
මොනතරම් නම් වාසනාවක්ද!
අනික ඒ සියල්ලම
පාවිච්චි කල පැරණි පොත්
එක් රාක්කයක තනිකරම කවි පොත්!
ඒ මදිවාට ජැරල්ගෙත්, වෙල්ඩන් කීත්ගෙත්
පොත් දෙකකට මැදිව
හුරුපුරුදු නිල්- ලා කහ පැහැති කවරයෙන්
’83 සිට මුද්‍රණය නතර වූ
මගේ කුඩා පොත හමුවීමම
තව වාසනාවක්!
කවරයෙහි ලා කෝපි පැල්ලම්ය.
නිකුත් වූ පසුව එය
ලන්ඩන් මුද්‍රණාලයෙන්
පසුකළ ඍතු ගණන බලද්දී
එය මා තරම්වත් වයස්ගතව නැත.
ඉනික්බිති කියෙව්වෙමි
එතුළ ලියා ඇති නම;
ඒ, මා මියෙන තුරු
මට ප්‍රේම කරාවි යැයි
මා සිතූ මිනිසාගේ නම යි
මගේ වාසනාව එතකින්ම නිම විය.
ජුලී කේන්

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


