අපි දෙදෙනා අද ……………

අද දෙවෙනියත් ගියා
විශ්ව විද්‍යාලෙට
විදු පියසේ නතර වුනා
අපි දෙන්න ඉතින්
ආව ගෙදර
දූවරු දෙන්නම
දැන් නිවහනේ නැහැ
පොඩි කාලේ දඟකාර හිනාවන්
කෙල්ලන්ගේ කිංකිණි හිනාවල්
වලින් පිරිලා තිබ්බ නිවස නිහඬයි
තාත්ත කෙනෙකුට දුවල කියන්නේ
ඇස් දෙක වගේ
ලෝකේ බලන්නෙත් සමහර වෙලාවට
ඒ දෙන්නා ගැන හිතල
ඒ ඇහින්මයි
ඉතින්, කාලෙකට පස්සේ
අපි දෙන්න විතරයි
එයා ෆිල්ම් එකක එල්ලිලා
මම බ්ලොග් එකක එල්ලිලා
ජිවිතේ ආයිත් අළුත්
අවධියක
තුන්වෙනි බ්ලොග් රැල්ල
තෙවෙනි යාමය
නැත්නම්
ජිවිතේ සැඳෑ සමයට
කලින් එකද
මොකද තවම වැඩනේ
විශ්‍රාම ගිහින් නැහැනේ
ඒකට
මොකද්ද කියන්නේ
නමක් තියනවද
දෙවෙනි වසන්තය
කියල යාළුවෙක් කියනවා
ඒකත් ඇත්ත
වේදනාබර දෙවන වසන්තයක්
කොළඹ ගමයා
https://kolambagamaya.blogspot.com
තේ විවේකය

ඇහිබැමි වැහෙන තරමට
වැහි බ්ලැන්කට්ටු ඔසවා
ඈනුමක් දෙකක් පා කර යවද්දී
අලස බන්ග්සාර් නුවර
“තේ-තරික් පමා මන්දැ’යි?”
මෆින් කන්දක හැංගී,
බ්ලූබෙරි සිඟිත්තෙක් විමසයි
මචා වන වදුල දැල්වී,
අල කූරු කරස් ගා බඳ නලවයි
චීස් කේක් සානුව අසබඩ
පෙන්ග්වීනයෙක් පාඩුවේ හිමබෝල පෙරලයි
ජපානෙන් ආ දෝසි කැබලිති අතගෙන
වියට්කොං හිමකිරම බලඇණි රැස් වෙයි
තායි අඹ ඇතිරිලි සිසාරා
පැණි කැවූ උකුකිරි දියත්තක් වැතිරෙයි
නොරට්ටුන් මොන රැඟුම් රැඟුවත්
චෙන්ඩෝල් නොසැලෙයි!
දුම්ගුලාවක් මැද්දට
සෝබනකාර පළතුරු සුවඳ මුහුවෙයි
සකුරා – මින්ට් – මී පැණි පසුගමන් එනු දැක
තුටින් මුසපත් පෙණහැල්ල සිහිසුන් වෙයි
කුළුණු හිස් කිවිසුම් යවද්දී
කුස පිරුණු පෙන්ග්වීන සෙබළුන්
උකුළු පරිගණක වෙත එලැඹෙයි
ඉනික්බිති
කේ පොප් ගීත ඇහැරෙයි!
බස්සි (Yash) – යශෝධා සම්මානි ප්‍රේමරත්න
කදෝකිමි හදවතකි…

නිවි නිවී දිලෙන
තාරුකා අඳුරක ගිලී
කදෝකිමි දහසක් එළි මැද
මතකයන් පා කර හරින්නෙමි
ඉන්ද්‍රජාල ස්වප්නයක තනිවී
කඩා හැලෙන තරුවක් සොයා
හද මතට පතිත වන්නට හරිමි
ප්‍රේමයත් පතිත වීමකැයි
සිත සිතා සැනහෙමි
මැවි මැවී යළි මියෙන එළි රටා මැදට වී
නුඹ සිනාසෙන හැටි බලා
නුඹත් එක්කන් හිනැහෙමි..
නුඹ මතක ගිනිකඳු පුපුරමින්
හද රිදුම් දෙන විටක වුව
අත් හරින්නට ලොබ බඳින
සුවහසක් මතක මැද
තවත් තව තවත් කිමිද
දුක් අඳුරකම ගිලෙමි
කදෝකිමි හදවතක් සොයා
සිත කියා හිනැහෙමි
ප්‍රේමයට තවත් ඉඩ ඇතැයි
උන් කිය කියා යන කතාවන් අසා ඉමි
සිනහවෙමි.. නුඹ වෙතම බැඳී ඉන්නෙමි..
මහේෂ් රත්නායක
සුදු කලු සහ අළු….

අන්ඃතයට පාවිගිය සිහින ලොවක නුඹ සතුටින්
හීන අහුරු තුරුළුකරන් ආ හැටි මා සමග සෙමින්
පියවි සිහිය අහිමි රැයක සිහිනය බිම වැටුන සොවින්
දැනෙනවාද පාළුව අද මා නැති විට සිහින තුලින්
හමනා සුළඟට මුසුවුනු අපේ පැතුම් සුවඳ මැදින්
දකිනවාද නුඹ මා රුව බොඳවුන සිතුවමක් ලෙසින්
ජීවිතයම පුදකරනට ඔබ ගිවිසපු වචන රැසින්
නටඹුන් වූ රුව දුටුවද නුඹ තැනු මාළිගා දොරින්
වෙනස උරුම ලොව පාමුළ නොවෙනස් වෙනසම මවමින්
කියාදුන්න පාඩම අද අකුරු කරමි සෙනෙහෙ සිතින්
ආදරයක නියම පැහැය සුදු කලු නොව අළු කියමින්
කියාදීල මට නුඹ අද හිනහෙනවද වියරු වෙසින්
කටුසු හදවත


