
El Niño සහ La Niña නම්වූ එකිනෙකට ප්‍රතිවිරුද්ධ භයානක දේශගුණික අවධීන් දෙක ගැන තමයි අද ලෝකයම කතා වෙන්නෙ. ස්පාඤ්ඤ භාෂාවෙන් El Niño කියන්නෙ “ක්‍රිස්තු දරුවා හෝ කුඩා පිරිමි දරුවා”. “La Niña” කියන්නෙ “කුඩා ගැහැණු දරුවා”.
කෙටියෙන් කියනවා නම්, El Niño මගින් අසාමාන්‍ය උණුසුම් දේශගුණික තත්වයක් ඇති කරනවා. මෙය මධ්‍යම සහ නැගෙනහිර උෂ්ණ කලාපීය පැසිෆික් සාගරයේ මතුපිට ජලය උණුසුම් වීම හේතුවෙන් සිදුවන ස්වාභාවික දේශගුණික රටාවක්. මෙම අවධියේදී, සාමාන්‍ය සුළං දුර්වල වන අතර, එමඟින් උණුසුම් ජලය නැගෙනහිර දෙසට ගමන් කිරීමට ඉඩ සලසනවා. මෙම උණුසුම ජලය සංසරණය හේතුවෙන් ලොව පුරා සාමාන්‍ය කාලගුණ රටාවන්ට බාධා ඇති කරනවා. El Niño සිදුවීමක් ඇති වන විට, එය ලෝකය පුරා උණුසුම වැඩි කරන යාන්ත්‍රණයක්, එය හරියටම ලෝක මට්ටමේ උදුනක් ක්‍රියාත්මක කර තිබෙනවා වගේ දෙයක්.
La Niña මගින් සිදුවන්නෙ El Niño සිදුවීමට හාත්පසින්ම විරුද්ධ සංසිද්ධියක්. La Niña කියන්නෙ මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ සාගර මතුපිට උෂ්ණත්වය අසාමාන්‍ය විදියට සිසිල් වීමෙන් ස්වභාවිකව ඇතිවන ගෝලීය දේශගුණික රටාවක්. එය උණුසුම් El Niño චක්‍රයේ ප්‍රතිවිරුද්ධ හෙවත් සිසිල් අවධිය. පැසිෆික් සාගරයේ සිදුවන El Niño උන්සුම්වීම සහ La Niña මගින් සිදුවන සිසිල්වීම ගෝලීය වායුගෝලීය පීඩනය වෙනස් කරන නිසා එය ලොව පුරා කාලගුණ රටාවන් නැවත හැඩ ගස්වන බවයි කාල ගුණ විද්‍යාඥයින් අනාවැකි පල කරන්නෙ.

ජාතික සාගර හා වායුගෝලීය පරිපාලන සංවිධානයට (NOAA) අනුව El Niño සහ La Niña සිදුවීම් සාමාන්‍යයෙන් සෑම වසර 2-7 සිට හතක් දක්වා වූ කාල පරාසයක අක්‍රමවත් ලෙස සිදුවෙනවා. El Niño සිදුවීම් සාමාන්‍යයෙන් තරමක් වැඩි වාර ගණනකින් සිදුවන අතර එය මාස 9 සිට 12 දක්වා පවතිනවා. එයට ප්‍රතිවිරුද්ධව, La Niña අවධීන් සාමාන්‍යයෙන් වසර 1 සිට 3 දක්වා වැඩි කාලයක් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල උෂ්ණත්වය භයානක ලෙස ඉහලට නැංවූ El Niño ගැනයි මම අද වැඩිපුරම කතා කරන්නෙ.
ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) නව El Niño යාවත්කාලීන වාර්තාවකට අනුව, 2026 ජූනි–අගෝස්තු කාලය තුළ El Niño තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 80%ක්. ඒ වගේම, මෙය අවම වශයෙන් නොවැම්බර් මාසය දක්වාම පවතිනු ඇතියි කියනා සම්භාවිතාව 90% ටත් වැඩි බවයි පැවසෙන්නෙ.
ඇත්තටම, මෙම සංසිද්ධිය සිදුවන්නේ දැනටමත් ගෝලීය උෂ්ණත්වය ඉහළ යමින් පවතින පසුබිමක. එය ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ නංවා, නවතම සර්වකාලීන ගෝලීය උෂ්ණත්ව වාර්තා බිඳ දැමීමට පවා හේතු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් දැඩි ලෙස කම්පාවට පත්ව සිටිනවා. ඔවුන්ගේ කාලගුණ පුරෝකථකයන් අනතුරු අඟවන්නේ, මෙම සිදුවීම ශීත ඍතුව වන විට “ඉතා ප්‍රබල” හෝ සුපිරි El Niño තත්ත්වයක් බවට තීව්‍ර වීමේ ඉහළ සම්භාවිතාවක් තිබෙන බවට.
El Niño මගින් උතුරු ඇමරිකාවට සිදුවන බලපෑම සලකා බැලුවොත්, ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශවලට වඩාත් උණුසුම් සහ වියළි ශීත ඍතුවක් ගෙන ඒමට නැඹුරුවක් තියෙනවා. ඊට හාත්පසින්ම වෙනස්ව, ඇමෙරිකාවේ දකුණු ප්‍රදේශවලට සහ මෙක්සිකෝවේ සමහර ප්‍රදේශවලට වෙනදාට වඩා සිසිල්, බොහෝ තෙත් කාලගුණික තත්ත්වයන් අත්විඳිය විය හැකියි බවයි WMO පුරෝකථනය කරන්නෙ.

2026 “සුපිරි” El Niño දැනටමත් යුරෝපයට ඉතා ප්‍රබල ලෙස දේශගුණික විපර්යාසයක් ඈති කරලා තියෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානය (WMO) සහ සෞඛ්‍ය බලධාරීන්ට අනුව, ජුනි මාසයේ පමණක් දැඩි උෂ්ණ ත්වය හේතුවෙන්, යුරෝපයේ අතිරේක මරණ 1,300 ත් 3,700 ත් අතර සංඛ්‍යාවක් සිදුවී තිබෙනවා. ඉතා දරුණු උෂ්ණත්ව රැල්ල මගින් ඇතිවූ වියළි කාලගුණ තත්ත්වය කෘෂිකර්මාන්තයට, සහ කැලෑවලට භයානක බලපෑමක් දැනටමත් ඇතිකර ඇති බව දිනපතා ලෝක ප්‍රවෘත්ති මගින් අපට අසන්න ලැබෙනවා. අවාසනාවකට යුරෝපා රටවල නිවාසවලින් වායු සමීකරණ තිබෙන්නේ ආසන්න වශයෙන් 20% කට පමණයි. එයට සාපේක්ෂව, උතුරු ඇමෙරිකාවේ වායු සමීකරණ පහසුකම 90%කට ආසන්න ප්‍රමාණයකට තිබෙනවා. ඇත්තටම මෙම දරුණු මාරාන්තික තත්වය ඓතිහාසික ලෝක වාර්තාවක් තබනවා.
El Niño මගින්, නිවර්තන කලාප, ආසියාව, ඉන්දුනීසියාව, ඕස්ට්‍රේලියාව සහ දකුණු ආසියාව වැනි රටවලටද දැඩි දරුණු නියඟ තත්ත්වයන් ඇති විය හැකියි. එමෙන්ම, දකුණු ඇමරිකාවේ සහ අප්‍රිකාවේ අඟ ප්‍රදේශයේ සමහර කොටස්වලට අධික වර්ෂාව සහ ගංවතුර ගෙන ඒමේ ප්‍රබල සම්භාවිතාවක් තිබෙන බව WMO පවසනවා.
El Niño මගින් මෙම රටවලට කෙටි, දැඩි ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි උනත්, වේගවත් වාෂ්පීකරණය සහ මතුපිට ගලා යාම මගින් මහා පොළොවට ජලය කිඳා බැසීමක් නැතිව, වියළි තත්ත්වය වඩා උග්‍ර කිරීමක් සිදුවනවා. El Niño මඟින් ඇතිවන උග්‍ර උණුසුම සහ අසාමාන්‍ය වර්ෂාපතනය එකට එකතුවීමෙන් දේශීය කෘෂිකාර්මික වගාවන්ට දැඩි පීඩනයක් එල්ල වෙමින් පැවතීමේ ඉඩකඩ ඉතා ඉහල බව WMO පවසනවා.

2026 ජුනි මස මුල තමයි El Niño කැනඩාවට ලඟා වුයේ. එහි බලපෑම් ප්‍රධාන වශයෙන් අසාමාන්‍ය ලෙස උණුසුම් සහ වියළි ශීත ඍතු ඇතිවේයැයි කියලයි කැනඩා පරිසර දෙපාර්තමේන්තුව(Environment Canada) පවසන්නෙ, විශේෂයෙන්ම බටහිර සහ මධ්‍යම කැනඩාවේ. මෙම මෘදු උෂ්ණත්වයන් හිම වැටීම සහ හිම තට්ටු සැලකිය යුතු ලෙස අඩු කර, උණුසුම් වසන්ත සහ ග්‍රීෂ්ම ඍතු තත්ත්වයන් British Columbia සහ Alberta වැනි පළාත්වල ඇති කිරීම නියඟය සහ ලැව්ගිනි අවදානම් ඉහළ නැංවීමට විශාල වශයෙන් දායක වෙයි කියලයි ඔවුන් පුරෝකථනය කරන්නෙ. කැනඩාව පුරා El Niño හි විශේෂිත බලපෑම්, ඍතුව සහ කලාපය අනුව වෙනස් වෙනවා.
ශීත ඍතුව සහ වසන්තය(Winter and Spring) : කැනඩාවේ එල් නීනෝ බලපෑම් වඩාත් ප්‍රබල වන්නේ මෙම කාලයේදී. බටහිර, වයඹ සහ මධ්‍යම කැනඩාව සාමාන්‍යයට වඩා බෙහෙවින් උණුසුම් සහ වියළි තත්ත්වයන් අත්විඳිය හැකි වෙන්න පුළුවන්. නැගෙනහිර කැනඩාවට සාමාන්‍යයෙන් සෘජු බලපෑමක් අඩු වුවද, සමහර විට මෘදු උෂ්ණත්වයන් නැගෙනහිර දෙසටද පැතිර යා හැකි බව පරිසර දෙපාර්තමේන්තුව පවසනවා.
ග්‍රීෂ්ම ඍතුව (Summer): කැනේඩියානු ග්‍රීෂ්ම කාලගුණයට El Niño සෘජු බලපෑම සාමාන්‍යයෙන් දුර්වල වන අතර, බටහිර ප්‍රදේශ උණුසුම් සහ වියළි තත්ත්වයන් අත්විඳිය හැකියි. වායුගෝලීය පීඩන රටාවන් වෙනස් වීම හේතුවෙන් නැගෙනහිර ප්‍රදේශ බොහෝ විට වෙනස්වන, සිසිල් සහ තෙත් කාලගුණයක් අත්විඳිමටයි බොහෝ විට ඉඩකඩ තියෙන්නෙ.
ලැව්ගිනි: උණුසුම් ශීත ඍතු සහ අඩු හිම තට්ටු හේතුවෙන් හිම ඉක්මනින් දියවී යන අතර, එමඟින් ග්‍රීෂ්මයට පිවිසෙන විට බටහිර වනාන්තර අතිශයින් වියළි තත්ත්වයක පවතින අතර, එය නියඟය සහ ලැව්ගිනි අවදානම් සැලකිය යුතු ලෙස උග්‍ර කරන බවයි කාල ගුණ විද්‍යාඥයින් අනාවැකි පළකර ඇත්තෙ. ඔවුන්ගේ පුරෝකථන සනාථ කරමින්, මේ දිනවල Toronto නගරය වනාන්තර ගිනිවලින් ඇති වූ දුමාරය හේතුවෙන් තැඹිලි (Orange) වායු තත්ත්ව අනතුරු ඇඟවීමක් යටතේ පවතින අතර, ඉතා නරක වායු තත්ත්වය සියලුම පදිංචිකරුවන්ගේ සෞඛ්‍යයට අවදානම් ඇති කරයි.
සුළි කුණාටු: ග්‍රීෂ්ම සහ සරත් ඍතුවල කැපී පෙනෙන අතුරු බලපෑමක් වන්නේ, පැසිෆික් සාගරයේ El Niño මගින් ජනනය වන සුළං කැපුම (wind shear) නිවර්තන සුළි කුණාටු ඇතිවීම මර්දනය කිරීමය හේතුවෙන්. එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍යයෙන් අත්ලාන්තික් සුළි කුණාටු සමය වඩාත් සන්සුන් වන අතර අත්ලාන්තික් වෙත ළඟා වන කුණාටු සංඛ්‍යාවද අඩුවීම සිදුවෙනවා.

අපි මේ කතාකල සෘණාත්මක බලපෑම් වගේම El Niño මගින් ලොවට පහත සදහන් ධනාත්මක බලපෑම්ද සිදුවිය හැකියි
දේශගුණික බලපෑම්:
El Niño මගින් ඇතිවන උණුසුම් දේශගුණය නිසා, දකුණු කැනඩාව සහ උතුරු එක්සත් ජනපදයේ බොහෝ ප්‍රදේශවලට සීත සෘතුව වඩාත් මෘදුවී හිතකර බලපෑමක් ඇති කරාවි යැයි බලාපොරොත්තු වෙන්න පුළුවන්. එසේම, මෙම ප්‍රදේශවල වියළි කාලගුණය හේතුවෙන් රෝග පැතිරීමේ අවදානමද අඩු වේ යැයි විද්වතුන් බලාපොරොත්තු වෙනවා.
පාරිසරික ප්‍රතිලාභ:
මාළු ගහනය අඩුවන කාලවලදී පේරු වෙරළ තීරයේ (පැසිෆික් සාගරයට මුහුණලා පේරූවෙහි බටහිර මායිම දිගේ විහිදී ඇති කිලෝමීටර් 3,000ක් දිග පටු කාන්තාර තීරය) විලෝපිකයන්ගේ සංඛ්‍යාව අඩුවන නිසා, El Niño සංසිද්ධිය කුඩා හා වේගයෙන් වර්ධනය වන ජීවී විශේෂවල පැවැත්මට දායක වෙනවා. එමෙන්ම, නිවර්තන කලාපයේ මෙම විලෝපිකයන් හේතුවෙන් කූඩු තැනීම සඳහා ඈත සීතල ප්‍රදේශවලට ගමන් කිරීමට සිදුවන සංක්‍රමණික පක්ෂීන්ටද මෙයින් ලැබෙන්නේ ප්‍රතිලාභයක්.
ආර්ථික බලපෑම:
බොහෝ විට El Niño අපනයන කරුවන්ට වාසි ගෙනදෙනවා. කෘෂිකාර්මික නිෂ්පාදනවල ඉහළ මිල අපනයන රටවලට ලබාදෙන්නේ ප්‍රතිලාභයක්. El Niño සංසිද්ධිය පැවති කාලයේදී ගෝලීය බලශක්ති සහ ඉන්ධන නොවන භාණ්ඩවල මිල ඉහළ යන අතර, එයින් අපනයනකරුවන්ට ලාභ ලැබීමක්ද සිදුවෙනවා. සංඛ්‍යා ලේඛනවලට අනුව, ප්‍රබල El Niño සංසිද්ධියකට එක්සත් ජනපදයේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 0.5% කිරීමේ හැකියාවක් තියෙනවා.

අපි දැන් බලමු, 2026-2027 El Niño ශ්‍රී ලංකාවට අපේක්ෂිත බලපෑම
ලංකාවේ පරිසර අමාත්‍යාංශයට අයත් විශේෂඥයන් අපේක්ෂා කරනුයේ, ලංකාව සාගරවලින් වටවූ දිවයිනක් වීම නිසා, El Niño මගින් ශ්‍රී ලංකාවට ඇතිවන බලපෑම අවම වනු ඇති බව. එමෙන්ම, එම බලපෑම්ද මතුවීමට ඉඩ ඇත්තේ ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසුව බව. 2026 නොවැම්බර් සිට 2027 ජනවාරි දක්වා කාලය තුළ ඉතා ප්‍රබල එල් නීනෝ (El Niño) තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 63% ක් සහ දුර්වල තත්ත්වයක් ඇති වීමේ සම්භාවිතාව 33%ක්. ශ්‍රී ලංකාවේ මධ්‍යම ප්‍රදේශවල තිබෙනා උස්බිම් ප්‍රදේශ, ප්‍රමාණවත් තෙතමන මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වීම, මෙවැනි ගෝලීය දේශගුණික සංසිද්ධිවලින් දැඩි බලපෑම් ඇතිවීමේ සම්භාවිතාව අඩු වීමට තවත් හේතුවක්.
මහජනතාව දැනුවත් කරමින් ආපදා අවදානම අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුවක් පත්කර තිබෙනවා. රටේ ආහාර සුරක්ෂිතතාව, පානීය ජලය, වාරිමාර්ග සහ බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගෙන යාම ඇතුළු අත්‍යාවශ්‍ය කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය කෙටිකාලීන, මධ්‍යකාලීන, සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීම සහ සියලුම රාජ්‍ය ආයතන අතර නිසි සම්බන්ධීකරණයන් ඇති කිරීම මෙම කමිටු මගින් කිරීමට බලාපොරොත්තු වෙනවා.
El Niño කියලා කියන්නෙ පැසිෆික් සාගරයේ ස්වභාවිකව සිදුවන දේශගුණික චක්‍රයක්. මානව වර්ගයාට මෙම ස්වභාවික චක්‍ර නවත්වන්න බැහැ, නමුත්, ගෝලීය කාබන් විමෝචනය අඩු කිරීමෙන්, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ශක්තිමත් කිරීමෙන්, සහ මෙම අතිශය වෙනස්වීම්වලට මුහුණ දිය හැකි ලෙස අපගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමෙන් ඒවායේ දරුණුතම ප්‍රතිවිපාක වළක්වා ගන්න පුළුවන්.
නමුත් සමස්තයක් ලෙස ගත්තොත්, අප වට තිබෙනා ස්වභාවික සම්පත් ආරක්ෂා කර අප අනාගත පරපුරට ජීවත්වීමට සුවදායි පරිසරයක් ඉතිරි කර යාම අපගේ යුතුකමක් වන බව මතක් කරදෙමින්, නැවතත් ලිපියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!



