සිංහල කෙටිකතාව

බැටළුවෝ
“ආලෝක, ඔන්න ඔයාගෙ වොලට් එක ගන්න හරිද! නැත්නම් මෙයා පාර්ටි දීලා අන්තිමේ අපිට ගෙවන්න වෙයි.”
සමහර ගෑනුන්ගේ කටහඬවල් හිසේඇම්ම ඇතිකරවන තරම් ඉහළ තානයකින් ඇහෙන්නේ. ඒ මදිවට හිකිහිකි ගෑවිල්ල. උන්ට තියෙන්නෙ බටනලා වගේ හීන්වෙච්ච උගුරුදඬු වෙන්න ඕනෙ.
රාජ්‍ය ආයතනයක ප්‍රධානියෙක් උනානම්, එහෙම නැතත් සාම්ප්‍රදායික ප්‍රධානියෙක් උනානම් මටත් තිබුණා මේසෙට මිටිගුලි පහරවල් දෙකක් ගහලා මුන් සේරෝම නිස්සද්ද කරන්න. එහෙම උනානම් මේ රිපෝර්ට්ස් ටික නිවීහැනහිල්ලේ බලලා ඉවරයක් කරන්නත් තිබුණා.ඇත්තම කියනවනම් ලෝකෙ මීට වඩා සැනසිලිදායකව දැනෙන්න තිබුණා.
ඒත් කෑකෝගැහිල්ල හෙමින් අඩුවෙලා ගියා. කියුබිකල් එකේ දොර යන්තම් ඇරිලා බව මම දැක්කෙ ඒ වෙලාවෙ. හත්වලාමෙ, මේ වටේටම තියෙන්නෙ හඬ-වරන වීදුරු බව මට අමතකවුණේ කොහොමද! මනුස්සයෙකුට ඒ තරම් ලේසියෙන් දේවල් අමතක වෙන්න පුළුවන්ද?
බෙල් එකක් ගහලා දොර වහන්න කෙනෙක් ගෙන්වා ගන්නෙ සාම්ප්‍රදායික බොස්ලා. අපේ කම්පනි එකේ තේමාවම “සාම්ප්‍රදායෙන් ඔබ්බට” කියන එක. මමම අනුමත කරපු තේමාවක් නිසා මට මේ පුටුවෙන් බැහැලා දොර ගාවට ඇවිදින්න වෙලා.
දොර පියන අදින්න අත දිගුකරනකොටමයි මම ඒක දැක්කෙ.
ලුමිනස් රෝස පාට අඩි උස සපත්තු දෙකක්!
තත්පරයක් ගතවෙන්නත් කලින් මම බිමට නැමිලා ඒ සපත්තු ජෝඩුව දෝතින්ම බදාගෙන හිටියා.
මද තිගැස්මකින් ඔළුව උස්සලා හතරවටේ බැලුවේ එකෙක් හරි, වැරදිලාවත් බලාගෙන ඉන්නවද කියලා සැකයක් හිත ඇතුළෙ දෙමෝලෙ පිටිකොටන්න පටන්ගත්තු නිසා. දකුණු කෙළවරේ වීදුරු බිත්තිය ඇතුළේ උන්න රන්මාළු උන්ගේ පාඩුවේ බිත්තිය පුරා ඉහළපහළ පීනනවා. මාළු කියන්නේ හිත ඒකාත්මික කරවන ආරම්මණයක් කියලා කිව්වෙ ගොඩනැගිල්ල සැලසුම් කරපු එළු රැවුලා. එළු රැවුලා නොදන්නව උණාට ගෑනු සපත්තු ජෝඩුවක් කියන්නේ මාළු ටැංකියකට වඩා විජ්ජා බලයක් තියෙන ආරම්මණයක්.
මම කියුබිකල් එකේ දොර වහන්න කලින් ආයෙමත් හැරිලා බැලුවා. විවේක කාමරයේ දොර ළඟ එල්ලා තිබුණ හැමොක් තොටිල්ල උඩ ඉඳගෙන බටර් පාට ටෙඩි වලහෙක් මා දිහා ඇස් ඩොගිත්තාගෙන බලන් උන්නා.
මම සපත්තු දෙක නැහැයට ලං කළා. සිහින් කෝමාරිකා කුයිලක් නැහැපුඩු අතරේ සක්මනක. ගුප්ත සුවඳක්. පෙරදිග සුවඳක්.අත්දෙක සපත්තු ඇතුළට ඔබාගෙන බෙල්ල වටේ යන්තම් මසාජ් කරගන්න ආශා හිතෙන විදියේ සුවඳක් ඒක. දැනටමත් මම ඇතුළතින් දැල්වෙන්න පටන් අරන්. ඒත්, දැල්වීම සම්පූර්ණ වෙන්න කලින් මම සපත්තු ජෝඩුව කබඩ් එකක් ඇතුළට එබුවා.
“ඊයියා අමෝදි අර පුඩින් එකේ තිබිච්ච ස්ට්‍රෝබෙරි කෑලි අහුල අහුල බෙදාගත්තා. ඉතියෝපියාවෙන් ඇවිත් කියල හිතන්න ඇති!”
කෙල්ලන්ට මේ ඇඟ හිරිවැටෙන උච්ච ස්වර නැතුව හිත නිවන මන්ද්‍ර ස්වරයෙන් කතා කරන්නම බැරිද? වයි ජෙනරේෂන් එක කියන්නේ නාහෙට නාහන බැටළු රැළක්. හැබැයි කලට වෙලාවට ලොම් කපාගන්නනම් පුළුවනි.
“තොපි හින්දා තමයි මට අර ඉරානියන් කෙල්ලගෙන් මොබයිල් නම්බර් එක ඉල්ලගන්න බැරි වුණේ.”
ඒත් එක්කම ඇහෙන කොස්සන් හිනාවක ඉරානියන් කෙල්ල ගිලිලා ගියා. බටර්පාට ටෙඩි වලහා පියාඹලා ගිහින් මේසයක් උඩට ‘තඩ්’ හඬින්පතිත වෙන හැටි විනිවිද පෙනෙන සිහින් වීදුරු තීරුව අතරෙන් පෙනුනේ යන්තමට. ආයෙමත් කොස්සන් හිනා හඬ.
“කවුද මගේ ෂූස් දෙක ඉස්සුවේ. වගීස! ඔයා තමයි ඔහොම වැඩක් කළොත්. !!”
“ආලෝක ඔයා මොකද හිනාවෙන්නෙ? කියනවා. ඔයා නේද හැංගුවේ?”
එතකොට මම නමයේ පන්තියේ. එයා කිරි සුදුපාට උල් සපත්තුවෙන් පෑගුවේ මගෙ සෙරෙප්පු කකුල. ඕනෑම සාමාන්‍ය කොලු ගැටයෙක් වේදනාවෙන් බෑඟිරි තියමින් දෙකට නැමිලා කකුල බදාගන්න අවස්ථාවක මම ඇස් පියාගෙන ආයෙමත් ආයෙමත් ඈට පෑගුණා. ගෑනු සපත්තුවලට පෑගෙන්න තියෙන ආශාව පිළිකාවක් වගේ මගේ සෛලයක්, සෛලයක් ගානේ පැතිරෙන්න වුණා. නහරයක්, නහරයක් ගානේ වැතිරෙන්න වුණා.
මම නීරස කළු පිරිමි සපත්තු ජෝඩුව ගලවලා ඇඳ යටට තල්ලු කළා. ටයිගැටය ලිහිල් කරමින් මෙට්ටය මතට කඩා වැටුණා. ලුමිනස් රෝසපාට සපත්තු දෙක ගෙදර ගේන්න අමතකවුණ එක හැබෑ අපරාධයක්! සාප්පුවලින් එන සපත්තු ජෝඩුවලින් හමන හම් සුවඳ වගේ නෙමෙයි ගෑනු පතුල්දෙකකින් ගැබ්බර වෙලා උන්නු සපත්තු ජෝඩුවකින් එන කෝමාරිකා කුයිල!
කොක්ටේල් පාටියකින් පස්සෙ ගෙදර ආපු දිලිසෙන දම්පාට තනි සපත්තුවක් මගේ වම් කලව දිගේ ඉහළපහළ යන්න ගත්තා. රත්තරන් පාට මනාලී සපත්තු ජෝඩුවක් පපුව උඩ වැතිරිලා රෝම කූප ඇද ඇද ඒ ගැන නෝක්කාඩු කියනවා. ඇලපත දිගේ ඉහළ නගින්න හදන්නේ අලුත් සැම්පළේ සුදු බාලිකා සපත්තු ජෝඩුවක්.
ඉන් පස්සෙ මං ගැස්සිලා ඇහැරුණා.
සීතල කාමරය ඇතුළෙ හුවමාරු උණේ උණුසුම් අදහස්. බැටළුවො වුණත්, වයි ජෙනරේෂන් එක බොහොම උද්‍යෝගිමත්. වැදගත්ම දේ උන් තවම සපත්තු දානවා.
“ඔයා ඔහොම කිව්වට ට්‍රෙන්ඩ් ලයින්ස් දිහා නොබල අපිට එකපාර උපකල්පන වලට පනින්න බැහැ.”
“ඒක හරි. ඒ විස්තර ටික ඇති කබඩ් ලාච්චුවේ.” මම සර්ප ආකෘතියක් සිර කල වීදුරු බරුව දකුණතේ පිටි අත්ලෙන් මේසය මත ඒ මේ අතටපෙරළන අතරේ වමතින් සීනුව නාද කළා.
‘ටිව්හෝයි! ටකස් ටක්ටකස් ට්ලන්ක්’
හඬ ඇහුණ අතට ඔළුගෙඩි දහනමයක් හැරවුණා. විසිවැනියා; මම උන්නේ කලබගෑනියට හරි කෙළින් මුහුණලා ඇති ආසනයක.
කැඩුණ ස්පීකර් හිසක්, ඩීවීඩී රාක්කයක් සහ ලුමිනස් රෝස පැහැ සපත්තු ජෝඩුවක් වැටුණ වැටුණ තැන්වල ඔහේ දිගාවෙලා හිටියා.
“කාගෙද මේ සපත්තු ජෝඩුව?”
සාමාන්‍ය බොස් කෙනෙක්ගේ සාම්ප්‍රදායික ගිගුරුම් හඬක් එක්ක මම වගේ කෙනෙක් කැරකෙන පුටුව පිටුපසට තල්ලු කරලා නැගිට්ටා.
*******************
ඊළඟට වුණ දේ බොහොම සරලයි. ශීත කාමරයේ මමත්, රෝස සපත්තුකාරියත් මුහුණට මුහුණලා වාඩිවී උන්නා. සපත්තු හොරකම් කළේ කවුද කියලා තමන් නොදන්නා බව කඳ සෘජුව තබා ගනිමින් බොහොම විශ්වාසයෙන් යුතුව ඈ කියා හිටියා.
“දරුවෝ, මේක කළේ විහිළුවට විතරක් වෙන්න බෑ!” මම නිවුනු ස්වරයෙන් කිව්වා.
“මේක කළේ කවුරු වුණත්, මෙක නිකම්ම නිකම් විහිළුවක් කියලා අමතක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.”
දොරට එපිටින් ඇහෙන්නේ බොහොම සැනසිලිදායක මන්ද්‍ර තානයක කටහඬක්. කෝමාරිකා කුයිල අහිමිවීම සෑහෙන පාඩුවක් තමයි. ඒ වුණාට, බැටළු හමක් පොරවගත්තු වෘකයෙක් ගැන හිතමින් බයෙන් බිරන්තට්ටු වෙලා ඉන්න බැටළු රැළක් පාලනය කරන එක බොහොම පහසුයි.
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය https://bassigenawathana.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

හොල්මන් ගුහාවට වෙච්ච දේ!
වෙසක් පොසොන් කාලේ ලංකාවේ නම් හැම හන්දියකම දන්සැල් මතු වෙනවානේ. දන්සැල් ‘වඳිනවා’කියන්නේ වෙනමම සබ්ජෙක්ට් එකක්. මේ වතාවේ ලංකාවේ ගංවතුර තිබුණු නිසා දන්සැල් වල දෙන ජාතිත් ඒවා හදන ක්‍රම ගැනත් PHI මහත්තුරු වැඩියෙන් අවධානය යොමුකරනවා කියලා ආරංචි වුණා.
දන්සැල් වලට අමතරව මේ කාලෙට සංවිධානය කෙරෙන ආගමට සම්බන්ධයක් නැති දේවල් දෙදාස් ගණන් වල මුල කාලේදී යම් තහනමකට ලක් වුණා කියලා මතකයක් තියෙනවා. ඒ කියන්නේ ඔය ඔලු බක්කෝ නටනව වගේ දේවල්. ඒ වගේම දැන් දැන් බුද්ධාගම ගැන අලුත් සැලකිල්ලක් තියෙන නිසා වෙසක් පොසොන් කාලවලට හොල්මන් ගුහාවල්, අපායවල් වගේ දේවලුත් නැවතිලාද කියලා මම නම් දන්නේ නැහැ. මතක ඇති කාලෙක වෙසක් පොසොන් කාලෙට ලංකාවේ නොහිටිය නිසා මේවා ගැන අප්ඩේටඩ් නැහැ.
ලංකාවේ අපේ පළාතේ නම් හොල්මන් ගුහා තහනම් වුණේ ඒ කාලෙමයි. ඒක වුණේ මෙහෙමයි.
එක වෙසක් පෝයකට අපේ පැත්තේ මල්ලිලා සෙට් එකක් හොල්මන් ගුහාවක් හදන්න ලෑස්ති වුණා. මේක ටවුමට කිට්ටුව ලෑස්ති කළ නිසා ටවුමේ තොරණ බලන්න එන සෙනඟ මේකත් බලන්න එයි කියලා තමයි ප්ලෑන් කළේ. ඉතින් වට පිට ඇවිදලා ආධාර එහෙම හොයාගෙන කොල්ලෝ ටික වැඩේට බැස්සා. එක මල්ලි කෙනෙක්ගේ ගෙදරට ඉස්සරහ තිබුණු හිස් ඉඩමේ තමයි මේ ප්‍රොජෙක්ට් එක කෙරුණේ. මෙයාලා කළු ඉටිකොළ වලින් සැහෙන්න දුරට වංගු සහිත ගුහාවක් හදලා, ඒකෙ තැන තැන ඉඳන් නරඹන්නන්ගේ ඇඟට පනින්න වෙස්මූණු දාපු යක්ෂයෝ භූතයෝ ලෑස්ති කළා. ඒ වගේම යටිගිරියෙන් කෑ ගහන සද්ද රෙකෝඩ් කරලා ගුහාවේ තැනින් තැන ඇහෙන්න ස්පීකර් හයිකරන්නත් මේ කොල්ලෝ කුරුට්ටෝ අමතක කළේ නැහැ. මීට අමතරව දෙමව්පියන්ට කණිපින්දම් කියලා එයාලගේ ඇඳිරුම්කම් හරහා මෙයාලා මල් ශාලාවකින් මිනී පෙට්ටියක් පවා හොයාගෙන තිබුණේ ඒකේ මිනියක් වගේ කවුරුහරි වැතිරිලා ඉන්නත් ප්ලෑන් කරමින්. මේ වියදම් කවර් කරන්නත් හදිසියෙවත් ලාබයක් ලැබුණොත් කියලා හිතලාත් හොල්මන් ගුහාවට ඇතුල්වෙන දොරටුවෙන් ටිකට් එකකුත් කඩන්න තමයි නියමිතව තිබුණේ. ඉතින් පලවෙනි දවසේ ඇඳිරි වැටෙද්දී නමෝ විත්තියෙන් කොලු නඩය කළු ඇඳුම් ඇඳලා බය හිතෙන වෙස් මූණු දාගෙන එහෙම ලෑස්ති වුණා. එක කොලුවෙක් අත් දිග සුදු ෂර්ට් එකක්, කළු කලිසමක් එහෙම ඇඳලා මූන සුදු වෙන්න පවුඩර් උලාගෙන අර මිනී පෙට්ටියේ වැතිරිලා හිටියා. එයාට භාරව තිබුණේ, කළුවරේ එතැනින් කවුරු හරි යද්දී එකපාරට නැගිටලා පෙට්ටිය ඇතුළේ ඉඳගන්න.
ඉතින් මෙයාලා හිතුව විදිහටම හොල්මන් ගුහාව ගැන ආරංචිය ලැව් ගින්න වගේ පැතිරිලා තිබුණු නිසා පලවෙනි දවසෙම හොල්මන් ගුහාවේ ඇතුල්වීමේ දොරටුව ළඟ දිග පෝලිමක් තිබුණා. මුල ඉඳන්ම වැල නොකැඩී සෙනඟ ආවා. අර රෙකෝඩ් කරපු යටිගිරියෙන් කෑ ගහන සද්දවලට අමතරව හොල්මන් ගුහාව ඇතුලේ ඉන්න අය බයවෙලා කෑ ගැහුව සද්දෙත් වටපිටේ දෝංකාර දුන්නා. ටිකට් විකිණීමත් ජයටම කෙරුණා. මේ කාලේ ‘අක්කලා’ කියන කැටගරියට අයිති වෙලා හිටිය අපි කෙල්ලෝ ටික මේ වැඩ වලට කෙලින්ම සම්බන්ධ වුණේ නැහැ. හැබැයි හොල්මන් ගුහාව තිබුණු ඉඩමට ඉස්සරහ ගෙදර ඉඳන් ඒකෙ ප්‍රගතිය බලාගෙන ඉන්න අපි අමතක කළේ නැහැ.
රෑ වෙලා හොල්මන් ගුහාව අවට නොහිතුව තරමේ සෙනඟක් එකතු වෙලා හිටිය වෙලාවක එකපාරට ඒක ඇතුළේ කලබලයක් ඇහෙන්න ගත්තා. හොයලා බලද්දී මිනී පෙට්ටියෙන් නැගිට්ට මිනිය දැකලා ගෑනු ළමයෙක් බයවෙලා කලන්තේ දාලා! දැන් මොකද කරන්නේ? වෙස් මූනු දාපු යක්කු භූතයෝ ඔක්කොම එතැනට එකතු වුණා. මේ කලබලේ මැද ප්‍රධාන දොරටුවෙන් අලුතින් සෙනඟ ඇතුල් කිරීම නැවැත්තුවා. ටික වෙලාවක් ගියත් කෙල්ල ට සිහිය එන්නෙම නැති පාටයි. ඉතින් අන්තිමේදී යක්කු භූතයෝ ටිකයි මළ මිනියයි හැමෝම එකතුවෙලා කෙල්ල ව ඉස්සරහ ගෙදරට උස්සගෙන ගිහින් ඒ ගෙදර සෙටියේ හාන්සි කෙරෙව්වා. එයා ඇවිත් තිබුනේ තව යාළුවො ටිකක් එක්ක මිසක් වැඩිහිටියෝ එක්ක නෙමෙයි. ඉතින් ඒ ඉතුරු ගෑනු ළමයි ටිකත් තුෂ්නිම්භූත වෙලා බලාගෙන හිටියා විතරයි. අන්තිමේදී වටපිටේ හිටිය වැඩිහිටියෝ මැදිහත් වෙලා මූනට වතුර එහෙම ගහලා අමාරුවෙන් ඒ දැරිවි ට සිහිය ගත්තා. අමාරුවෙන් ඇස් අරින කෙල්ල ව දැකලා වැඩියෙන්ම සතුටු වුණේ මළ මිනියට හිටිය කොලුවා. වට වුණු සෙනඟ එහා මෙහා කරගෙන ඉක්මනින් එතැනට කිට්ටු වුණු ඒකා කෙල්ලගේ මූන ට පහත් වෙලා
“නංගි, මොකද වුණේ? දැන් ඔයාට සනීප ද?”කියලා ඇහුවා.
යන්තම් සිහිය ආව ගෑනු ළමයා තමන්ගේ මූන ඉස්සරහින්ම දැක්කේ අර මිනී පෙට්ටියේ ඉඳන් කෑ ගහගෙන නැගිට්ට මළ මිනිය. කළින් වතාවේ වගේ නෙමෙයි මේ වතාවේ මළ මිනිය කතාකරනවා! අනේ කෙල්ල ආයෙමත් කලන්තේ දැම්මා! මේක දැකලා මළ මිනියට කට්ටියගෙන් දෝස් මුරේ, වැඩියත්ම එතැන හිටිය වැඩිහිටියන්ගෙන්. අන්තිමේදී කවුදෝ ඇවිත් මළ මිනිය අහකට ඇදගෙන ගියාට පස්සේ තමයි ඒ ගෑනු ළමයාට ආයෙත් සිහිය අරගෙන ගෙදරට ඇරලුවේ.
කොහොමින් කොහොමින් හරි පහුවෙනිදා වෙද්දී හොල්මන් ගුහාවේ සිද්ද වුණු මේ ජවනිකාව ගැන විස්තර පළාතේ පැතිරිලා තිබුණා පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කණටත් මේක යන්න වැඩි වෙලාවක් ගිහින් තිබුණේ නැහැ. ඉතින් ඊළඟට වුණේ හාමුදුරුවන්ගෙන් මේ කොලු නඩයට කැඳවීමක් ලැබුණු එක. එතැන සංවිධායක පිරිසෙන් වැඩිහරියක් දහම් පාසල් ශිෂ්‍යයෝ වෙච්ච නිසාත් මේ කැඳවීමට නොගිහින් ගමේ වසන්න ලැබෙන්නේ නැති නිසාත් කොල්ලෝ ටික පන්සලට ගිහින් බොහොම යටහත් පහත් ව හාමුදුරුවෝ ඉස්සරහ හිට ගත්තා ලු.
හාමුදුරුවෝ ඇහුව පළවෙනි ප්‍රශ්නේ ‘වෙසක් පෝය සමරන්න හොල්මන් ගුහාව වැදගත් වෙන්නේ කොහොමද?’කියලා ලු!
අන්තිමේදී කොලු නඩේ අර තරම් මහන්සි වෙලා හදපු හොල්මන් ගුහාවට තිත තියන්න වුණා. ඒ විතරක් නෙමෙයි ඊළඟ වතාවේ ඉඳලා මෙහෙම මැරෑටි වැඩ නොකර පන්සලෙන් සංවිධානය කරන දන්සැලටත් වෙසක් කූඩුවටත් සම්බන්ධ වෙන්න හාමුදුරුවෝ එයාලා ව බලෙන්ම පොරොන්දු කරගත්තා ලු.
දැන් මේ කොලු තාත්තලා ඇත්තටම තාත්තලා. මළ මිනියට හිටිය ඉලන්දාරියා එහෙම අපිට නිතර හම්බවෙනවා. එහෙම වෙලාවට මේ පරණ හොල්මන් ගුහා කතා ඇතුළු පරණ කතා වල නොස්ටැල්ජියාවත් විනෝදයත් විඳින්න ලැබෙනවා. ඒත් දන්සැල් වල, හොල්මන් ගුහා වල ආතල් එක ලංකාවෙන් පිට ඉපදිලා හැදෙන වැඩෙන අපේ ළමයින්ට කවදාවත් පහදලා දෙන්න බැරි බව දැනුණාම පොඩි දුකක් නොදැනෙනවා නෙමෙයි. ඒ විස්තර in context මිසක් බාහිරින් විස්තර කරලා තේරුම් ගන්න බැරි දේවල් නේ. ඒත් ඉතින් කවදාහරි උන්ටත් උන්ගේ ළමයින්ට පහදලා විස්තර කරන්න බැරි වෙනම විනෝද ජවනිකා තියේවි!
හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
පරිවර්තිත කෙටිකතාව

දුරු රටක සිට
සරත් සමයේදී යුද්ධය දිගින් දිගටම පැවතියද අපි තවත් එයට නොගියෙමු. මිලානෝ නුවර සරත් ඍතුව දැඩි ලෙස ශීත වූ අතර ඉක්මනින් අඳුරු වැටිණි. අනතුරුව විදුලි පහන් දැල්විණි. වීදියේ සිට බලන විට පෙනෙන ආලෝකවත් ජනේල ප්‍රසන්න දසුනක් මවා පෑය.
වෙළෙඳසල්වල පිටත දඩයම් කරන ලද සතුන්ගේ සිරුරු විශාල ප්‍රමාණයක් එල්ලා තිබිණි. නරින්ගේ ලෝම පිරුණු සම් මතුපිට හිම ධූලි තැවරී තිබූ අතර සුළඟට උන්ගේ වල්ගා සෙලවිණි. ඇතුළත හිස්, මුව මළ සිරුරු දරදඬු සහ බරැති ලෙස එල්ලී තිබුණේය. කුඩා කුරුල්ලන්ගේ සිරුරු සුළඟෙහි ඒ මේ අත වැනිණි. සුළඟෙන් උන්ගේ පිහාටු හැරිණි. එය ශීතල සරත් සමයක් වූ අතර කඳුකරයේ සිට සුළඟ හමා ආවේය.
සෑම සවස් භාගයකම අපි සියලු දෙනාම රෝහලට ගියෙමු. ගොම්මන් අඳුර අතරින් රෝහල වෙත ඇවිද ගෙන යාමට නගරය පුරා එකිනෙකට වෙනස් පාරවල් කිහිපයක්ම තිබිණි. ඇල මාර්ග ඔස්සේ වැටුණු පාරවල් දෙකක් වූවද ඒවා දීර්ඝ විය. කෙසේවුවද, රෝහලට ඇතුළු වීමට නම් කෙනෙකුට ඇල මාර්ග මතින් වැටුණු පාලමකින් එතෙර වීමටම සිදු වූයේය. එවැනි පාලම් තුනක් තිබිණි. ඉන් එකක් මත ගැහැනියක් කර කරන ලද චෙස්නට් ගෙඩි විකුණුවාය. ඇගේ අඟුරු උඳුන ඉදිරිපිට සිටගෙන සිටින විට ගත උණුසුම් වූ අතර පසුව කර කරන ලද චෙස්නට් ගෙඩි සාක්කුවේ දමා ගත් විට ඒවායින් උණුසුමක් ලැබිණි. රෝහල ඉතා පැරණිද මනරම්ද විය. ගේට්ටුවකින් ඊට ඇතුළු වන කෙනෙකුට මැදමිදුලක් හරහා ඇවිද ගොස් තවත් ගේට්ටුවකින් අනෙක් පැත්තට පිටවී යා හැකිය. මේ මැද මිදුලෙහි බොහෝ වේලාවට අවමංගල්‍ය උත්සව පැවැත්විණි. පැරණි රෝහලෙන් ඔබ්බෙහි පිහිටියේ ගඩොලින් ඉදිකරන ලද නව ක්‍රීඩාගාර ය. සෑම සවස් වරුවකම එහිදී හමුවන අපි ඉතා විනීත ලෙසත් එතැන කෙරෙන කාර්ය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් යුතුවත් අපගේ තත්ත්වය දැඩි ලෙස වෙනස් කිරීමට සමත්යැයි කියන ඒ යන්ත්‍ර මත වාඩි වී සිටියෙමු.
මා හිඳගෙන සිටින යන්ත්‍රය වෙත පැමිණි වෛද්‍යවරයා මගෙන් ප්‍රශ්න කරන්නට විය: “යුද්දෙට ඉස්සර වෙලා මේ ඉලන්දාරියා මොනවටද වැඩියෙන්ම ආසා කළේ ? මොනවා හරි ක්‍රීඩාවක් එහෙම කළාද ?”
“ඔව්. ෆුට්බෝල් ගැහුවා.” මම පිළිතුරු දිනිමි.
“බොහොම හොඳයි. මින් පස්සෙ වෙන කවදාටවත් වඩා හොඳට ඔයාට ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයි.”
මගේ දණහිස නොනැවුණු අතර දණහිසේ සිට වළලුකර දක්වා පාදය බත්කෙණ්ඩකින් තොරව ඍජුව තිබිණි. යන්ත්‍රයේ අරමුණ වූයේ මේ දණහිස නැවීමත් එය රෝද තුනේ පාපැදියක් පදින විටෙකදී මෙන් ක්‍රියාත්මක කරවීමත්ය. එහෙත් තවමත් එය නොනැවිණි. දණහිස නවන තැනට ළඟා වූ විට යන්ත්‍රය ඉදිරියට තල්ලු වූවා පමණය. ” ඕක හරි යයි. ඔයා වාසනාවන්ත තරුණයෙක්. ඔයාට සුපිරි ක්‍රීඩකයෙක් වගේ ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයි.” වෛද්‍යවරයා පැවසීය.
ඊළඟ යන්ත්‍රයේ සිටියේ සිඟිති දරුවෙකුගේ බඳු සිහින් අතක් ඇති මේජර්වරයෙකි. සම් පටි දෙකක් මැදින් තබන ලද ඔහුගේ අත වෛද්‍යවරයා විසින් පරීක්ෂා කරනු ලබන විට ඔහු මා වෙත ඇසක් වසා ඉඟි කරමින් කතා කළේය: “මටත් ෆුට්බෝල් ගහන්න පුළුවන් වෙයිද කැප්ටන්-ඩොක්ටර් ?” ඔහු ඉතා දක්ෂ කඩු සරඹ ක්‍රීඩකයෙකුව සිටි අතර යුද්ධයට පෙර ඉතාලියේ සිටි දක්ෂතම කඩු සරඹ ක්‍රීඩකයා විය.
පසුපස පිහිටි සිය කාර්යාල කාමරයට ගිය වෛද්‍යවරයා නැවත පැමිණියේ මේජර්වරයාගේ අත මෙන්ම සිහින්ව ගිය අතක ඡායාරූපයක් රැගෙනය. ඒ අත යන්ත්‍රයේ භෞත චිකිත්සක ප්‍රතිකාරවලට පෙර තිබූ අයුරුත් ප්‍රතිකර්මවලින් පසුව එය ඊට මඳක් විශාලව තිබූ අයුරුත් එහි දැක්විණි. මේජර්වරයා එම ඡායාරූපය සිය හොඳ අතින් අල්ලාගෙන ඉතා පරීක්ෂාවෙන් ඒ දෙස බැලුවේය. “තුවාලයක්ද?” ඔහු ඇසුවේය.”කර්මාන්තශාලාවක වෙච්ච අනතුරක්,” වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය.
“හරිම අපූරුයි. හරිම අපූරුයි.” කී මේජර්වරයා ඡායාරූපය නැවත වෛද්‍යවරයා අතට දුන්නේය.
“ඔයාට ප්‍රතිකාරය ගැන විශ්වාසයක් තියෙනවාද?”
“නෑ,” මේජර්වරයා කීවේය.
මගේ වයසේම මෙන් වූ යෞවනයෝ තිදෙනෙක් දිනපතාම පැමිණියෝය. ඒ තිදෙනාම මිලානෝ නුවර වැසියෝය. ඉන් එක් අයෙකු ඉගෙන ගෙන තිබුණේ නීතීඥයෙකු වීමටය. දෙවැන්නා සිත්තරෙකු වීමටද තුන්වැන්නා සොල්දාදුවෙකු වීමටද ඉටා ගෙන තිබිණි. අපේ ප්‍රතිකාර නිමවූ විට, සමහර විටෙක අපි ලා ස්කාලා ඔපෙරා රඟහල අසල වූ කෝවා අවන්හල වෙත ඇවිදගෙන ගියෙමු. අප සිවු දෙනෙකු වූ බැවින් අප ඇවිද ගියේ කොමියුනිස්ට් පාලනයට යටත් කොටස මැදින් වැටී තිබූ කෙටි පාරෙනි. අප නිලධාරීන් වූ බැවින් මිනිස්සු අප පිළිකුල් කළහ. අප ඇවිද යන අතර, අසල වූ වයින් හලක සිට කිසිවෙක් කෑ ගැසුවේය, “නිලධාරීන් භංග වේවා !”. ඇතැම්විටෙක තවත් තරුණයෙක් අප සමග යාමට පැමිණි අතර අපට ඔහුගේ මුහුණ වැසෙන සේ කලු පැහැති සේද ලේන්සුවක් බඳින්නට සිදු වූයේ ඔහුට නාසයක් නුවූ බැවිනි. ඔහුගේ මුහුණ ශල්‍යකර්මයකින් නැවත සෑදීමට නියමිතව තිබිණි. ඔහු යුදහමුදා ඇකඩමියෙහි සිට කෙලින්ම යුද පෙරමුණට ගිය කෙනෙකු වූ අතර, පළමු වතාවට යුද පෙරමුණට ගොස් පැයක් ඇතුළත ඔහු තුවාල ලබා තිබිණි. ඉතා පැරණි වැදගත් පවුලකින් පැවත ආ ඔහුගේ මුහුණ ශල්‍ය කර්මයකින් නැවත සාදනු ලැබූවද නාසය නිවැරදිව සෑදීමට ඔවුන්ට නොහැකි විය. පසුව දකුණු ඇමෙරිකාවට ගිය ඔහු බැංකුවක සේවය කළේය. එහෙත් මේ ඊට බොහෝ කලකට පෙර වූ අතර අනාගතයේ කුමක් වේදැයි අපි කිසිවෙකුත් දැන නොසිටියෙමු. අප දැන සිටියේ තවදුරටත් යුද්ධය දිගින් දිගටම පැවති බවත්, එනමුදු අප තවත් ඊට නොගිය බවත් පමණකි.
මුහුණෙහි කලු පැහැති ලේන්සුවක් බැඳගත් තරුණයා හැරුණු විට අප සියලු දෙනාටම එකම ආකාරයේ පදක්කම් ලැබී තිබිණි. පදක්කම් ලැබීමට තරම් කාලයක් ඔහු යුද පෙරමුණේ ගත කොට තිබුණේ නැත. නීතිඥයෙකු වීම පිණිස ඉගෙන ගත්, ඉතා සුදුමැලි මුහුණක් සහිත උස් තරුණයා විශේෂ අර්දිති බළකායේ ලුතිනන්වරයෙකුව සිටි අතර ඔහු සතුව අප සතුව එක බැගින් පමණක් තිබූ වර්ගයේ පදක්කම් තුනක්ම විය. මරණය සමග දීර්ඝ කාලයක් ගත කොට තිබූ ඔහු මඳක් හුදෙකලා වූ ගතියක් පෙන්නුම් කළේය. අප සියලු දෙනාම හුදෙකලාව ප්‍රිය කළ අතර අප සියලු දෙනාම එක් කළ එකම සාධකය වූයේ අප සෑම සැන්දෑවකම රෝහලේදී එකට හමුවීම හැර වෙනකක් නොවේ. එසේ වුවද, වයින් හල්වලින් පෙරී එන ආලෝකය සහ ගීත රාවය මැදින්, පදික වේදිකාවල පොදිකන සෙනඟ තල්ලු කරමින් ඇතැම්විට වීදියට බසින්නට පවා සිදුවෙමින් නගරයේ අසීරු පෙදෙස් මැදින් කෝවා අවන්හල වෙත අඳුරේ ඇවිද යන විට, අප පිළිකුල් කළ ගැහැනුන්ට හා මිනිසුන්ට නොතේරුණු යමකින් අප බැඳී සිටින වග අපට දැනිණි.
අපි සියලු දෙනාම කෝවා අවන්හල තේරුම් ගෙන සිටියෙමු. ආඪ්‍ය සහ උණුසුම්, දැඩි දීප්තියෙන් ආලෝකවත් නොකළ, ඇතැම් විට ඝෝෂාවෙන් සහ දුමෙන් පිරුණු කෝවා අවන්හලෙහි මේසවල සෑම විටම තරුණියන්ද බිත්තියේ රාක්කවල චිත්‍රකතා පත්තරද විය. කෝවා අවන්හලෙහි සිටි තරුණියන් ඉතාමත් දේශප්‍රේමී වූ අතර, ඉතාලියේ සිට ඉතාම දේශානුරාගී ජනතාව අවන්හල්වල සේවය කළ තරුණියන් බව මම වටහාගෙන සිටියෙමි. ඔවුන් තවමත් එපරිදිම දේශානුරාගයෙන් යුතු යැයි මම විශ්වාස කරමි.
මුලදී මගේ සගයෝ මා ලද පදක්කම් සම්බන්ධයෙන් ඉතා විනීත ලෙස ප්‍රශ්න කළෝ මා ඒවා ලබා ගැනීමට කුමක් කළේදැයි විමසූහ. ඉතා සුන්දර භාෂාවකින් වැල්වටාරම් සහිතව ඒ සම්බන්ධයෙන් ලියා තිබූ ලියවිලි මම ඔවුන් පෙන්වීමි. එහෙත් ඒවායේ විශේෂණ පද සහ වැල් වටාරම් ඉවත් කළ විට එයින් සැබෑවටම කියැවුණේ මා ඒ පදක්කම් ලැබුයේ මා ඇමෙරිකානුවෙකු වීම යන කාරණය නිසා පමණක්ය යන්නය. එයින් පසුව ඔවුන් මා කෙරේ හැසිරුණු ආකාරය මඳක් වෙනස් විය. එසේවතුදු මම පිටස්තරයන් සමග වූ සතුරුකමෙහිදී ඔවුන්ගේ මිතුරා වීමි. මා ඔවුන්ගේ මිතුරෙකු වූවද මගේ පදක්කම් හේතු පාඨ කියැවීමෙන් අනතුරුව කිසි දිනෙක ඔවුන්ගෙන් එකෙකු වූයේ නැත. ඔවුන් පදක්කම් ලබා ගැනීම සඳහා කර තිබුණේ මා කළාට වඩා ඉතා වෙනස් වූ ක්‍රියාවන්ය. මා තුවාල ලබා සිටියා සැබෑය. එහෙත් ඒ හදිසි අනතුරකින් බව සියලු දෙනාම දැන සිටියෝය. එහෙත් මම පදක්කම් එල්ලූ රිබන් පටි ගැන කිසි දිනෙක ලජ්ජා නොවීමි. ඇතැම් විටෙක අපගේ සැන්දෑ සාදයෙන් අනතුරුව පදක්කම් ලබා ගැනීම සඳහා ඔවුන් කළ සියලු දේම මාත් කළ බව මම සිතෙහි මවා ගත්තෙමි. එහෙත් වසා දැමූ වෙළෙඳසල් පසු කරගෙන ශීතල සුළඟින් පීඩිතව වීදිපහන් අසලින්ම යෑමට උත්සාහ දරමින් හිස් වීදි ඔස්සේ පෙරළා නවාතැනට ඇවිද යන විට මා එවැනි දේ කිසි දිනෙක නොකරන බව මම දැන සිටියෙමි. මා මිය යෑමට දැඩි ලෙස බිය වූවෙම් රාත්‍රියේ ඇඳෙහි හුදෙකලාව වැතිර මරණයට බියෙන් කල්පනා කරමින් හුන්නෙමි.
පදක්කම් ලබා තිබූ අනෙක් තිදෙනා දඩයම් උකුස්සන් මෙන් වූහ. කිසිදිනෙක දඩයමෙහි නොයෙදුණු අයට මා උකුස්සෙකු ලෙස පෙනෙන්නට ඉඩ තිබුණද මම උකුස්සෙක් නොවීමි. ඔවුහු තිදෙනා එය මැනවින් දත්තෝය. ඉදින් අප එකිනෙකාගෙන් සෙමෙන් ඉවතට පාවී යන්නට පටන් ගෙන තිබිණි. එහෙත් යුද පෙරමුණේදී පළමු දවසේම තුවාල ලැබූ තරුණයා දිගටම මගේ හොඳ මිතුරෙක් වූයේය. එයට හේතු වූයේ තමන් කවරෙකු වේදැයි ඔහු ඒ වන විට නොදැන සිටීම ය. මා ඔහුට කැමති වූයේ ඔහු ඇතැම්විට උකුස්සෙකු බවට පත් නොවෙනු ඇතැයි මා සිතූ නිසාය.
ඉතා ශූර කඩු සරඹ ක්‍රීඩකයෙකු වූ මේජර්වරයා නිර්භීතබව ගැන විශ්වාස නොකළේ අප යන්ත්‍රවල වාඩිවී සිටින අතරතුර වැඩිපුරම කාලයක් ගත කළේ මගේ ඉතාලි ව්‍යාකරණ නිවැරදි කිරීමටය. මා ඉතාලි බස කතා කළ ආකාරය ගැන ඔහු මට ප්‍රශංසා කොට තිබූ අතර අපි ඉතා පහසුවෙන් එකිනෙකා සමග කතා කළෙමු. ඉතාලි භාෂාව ඉතා පහසු යැයි මට පෙනෙන බවත් ඒ ගැන එනිසා වැඩි උනන්දුවක් දැක්වීමට මට නොහැකි බවත් මම දිනක් ඔහුට කීමි. ඕනෑ දෙයක් කියන්නට ලේසිය. ” ආ, ඔව්” මේජර්වරයා කීවේය. “ඇයි එහෙමනම් ඔයා ව්‍යකරණානුකූලව ඉතාලි කතා නොකරන්නේ ?” ඉදින් අපි ව්‍යාකරණානුකූලව කතා කරන්නට පටන් ගතිමු. ඒ හාම ඉතාලි බස කෙතරම් අසීරු දැයි මට වැටහුණු අතර මගේ සිතෙහි පළමුව නිවැරදි ව්‍යාකරණය ගොනු කොට නොගෙන ඔහු හා කතා කරන්නට මම බිය වීමි.
මේජර්වරයා නිරතුරුවම රෝහලට ආවේය. ඔහු යන්ත්‍ර ගැන විශ්වාසය නොතැබූ බව මට සක්සුදක් සේ පැහැදිලි වූවද රෝහලට ඒම ඔහු එක් දිනක්වත් වැරැද්දුවේ යැයි මම නොසිතමි. අප කිසිවෙකුත් යන්ත්‍ර ගැන විශ්වාසය නොතැබූ සමයක් වූ අතර මේ සියල්ල විකාරයකැයි ඔහු දිනක් කීවේය. ඒ දිනවල භෞත චිකිත්සක යන්ත්‍ර අලුත් ඒවා විය. ඒවා පරීක්ෂා කර බලන්නට යොදා ගත්තේ අපය. එය මුග්ධ අදහසකැයි ඔහු කිවේය. “මේකත් අනෙක් ඒවා වගේම සිද්ධාන්තයක් පමණයි”. මම මගේ ව්‍යාකරණ පාඩම් කර නොතිබූ හෙයින් මා මුග්ධ, හදන්නට බැරි අවමානයකැයිද මට උගන්වන තමන් මෝඩයෙකැයිද ඔහු කීවේය. කුඩා මිනිසෙකු වූ ඔහු සිය පුටුවේ ඍජුව හිඳ සිය දකුණත යන්ත්‍රය තුළ ඔබාගෙන ඉදිරියෙන් වූ බිත්තිය දෙස බලා සිටියේය. අතට සවිකොට තිබූ සම් පටි උඩ පහළ ගියේය.
“යුද්දේ ඉවර වුණොත් ඊට පස්සෙ ඔයා මොකද කරන්නේ ?” ඔහු මගෙන් විමසීය. “ව්‍යාකරණානුකූලව උත්තර දෙන්න.”
“මම ඇමෙරිකාවට යනවා.”
“ඔයා බැඳලද ?”
“නෑ. ගිහින් බඳිනවා.”
“තමුසෙ වගේ ගොනෙක්.” ඔහු කීවේය. ඔහු කෝප වූ බවක් පෙනිණි. “මිනිහෙක් වුණාම බඳින්න හොඳ නෑ.”
“ඇයි සිංඤෝර් මේජර් ?”
“මට සිංඤෝර් මේජර් කියන්න එපා.”
“ඇයි මිනිහෙක් බඳින්න හොඳ නැත්තේ ? “
” මිනිහෙකුට කසාද බඳින්න බෑ. මිනිහෙකුට කසාද බඳින්න බෑ.” ඔහු කෝපයෙන් කීවේය. “ඒ මිනිහගෙ හැමදේම නැතිවෙනවනම්, තමන්ගෙ කසාදයත් නැතිවෙන තත්ත්වයකට මිනිහෙක් පත් වෙන්න හොඳ නෑ. ඒ වගේ තත්ත්වයකට පත්වෙන්න මිනිහෙක් ඉඩ තියන්න හොඳ නෑ. මිනිහෙක් හොයා ගන්න ඕනෑ එහෙම නැති නොවෙන දෙයක්.”
හෙතෙම ඉතා කෝපාන්විතවද වේදනාවෙන් බරවද කතා කළේය. කතා කරන අතර ඔහු කෙලින්ම ඉදිරිය බලා ගෙන සිටියේය.
“ඒත් ඇයි අනිවාර්යයෙන්ම මිනිහෙක්ගේ කසාදය නැතිවෙන්නේ ?”
“ඒක නැති වෙනවා,” මේජර්වරයා කීවේය. ඔහු සිටියේ බිත්තිය දෙස බලාගෙනය. අනතුරුව යන්ත්‍රය දෙසට නෙත් හෙලූ හෙතෙම සම් පටිවලට සවිකොට තිබූ සිය සිහින් අත ඉන් එළියට ඇද ගෙන ඉන් තම කලවයට තදින් පහරක් ගසා ගත්තේය. “ඒක නැති වෙනවා,” ඔහු මහහඬින් කීය. “මාත් එක්ක තර්ක කරන්න එපා !” ඉන් අනතුරුව යන්ත්‍ර ක්‍රියාත්මක කළ හෙද සහායකයාට හෙතෙම අඬගැසීය ” ඇවිල්ලා මෙන්න මේ මළදානෙ නවත්වලා දානවා.”
සැහැල්ලු භෞත චිකිත්සක ප්‍රතිකාර සහ සම්බාහනය පිණිස ඔහු යාබද කාමරයට ගියේය. තමාට ඔහුගේ දුරකථනය පාවිච්චි කළ හැකිදැයි ඔහු වෛද්‍යවරයාගෙන් අසනු මට ඇසිණි. ඔහු දොර වැසීය. ඔහු නැවත කාමරයට පැමිණෙන විට මම වෙනත් යන්ත්‍රයක හිඳගෙන සිටියෙමි. සිය හිස්වැසුමද සිරස්කයද පැළඳ සිටි හෙතෙම කෙලින්ම මා කරා පැමිණ මගේ උරැහිසට අත තැබීය.
“මට සමාවෙන්න,” කී ඔහු සිය නිරෝගී අතෙන් මගේ උරැහිසට තට්ටු කළේය. “මම මෙච්චර සැරපරුෂ වෙන්න හොඳ නෑ. මගේ නෝනා ළඟදී මැරුණා. ඔයා මට සමාවෙන්න ඕනෑ.”
“ඕහ්-” මා කීවේ ඔහු ගැන හටගත් අනුකම්පාවෙනි. “මට බොහොම කනගාටුයි.”
ඔහු සිය යටි තොල සපමින් එතැන සිටගෙන සිටියේය. “ඒක බොහොම දරන්න අමාරු දෙයක්.” ඔහු පැවසීය. “මට මගේ හිත හදා ගන්න බෑ.”
ඔහු මා පසු කරගෙන ජනේලයෙන් කෙලින්ම එළිය බලාගෙන සිටින්නට විය. ඉන්පසුව ඔහු හඬන්නට පටන් ගත්තේය. “මට කොහොමත්ම මගේ හිත හදා ගන්න බෑ,” ඉකියකින් ඔහුගේ උගුර සිර විණි. ඉන් අනතුරුව කිසිවක් දෙස නොබලා හඬමින් දෙකොපුල දිගේ රූරා වැටෙන කඳුළින් යුතුව තොල් සපමින් සොල්දාදුවෙකු මෙන් කය ඍජු කරගත් හෙතෙම යන්ත්‍ර පසු කරගෙන කාමරයෙන් පිටව ගියේය.
මේජර්වරයා තමන් යුද සේවයට නුසුදුසු බව ස්ථිරවම දැනගන්නා තුරුම ආවාහ කොට නොගත්, ඔහුගේ ඉතාමත් තරුණ බිරිය නියුමෝනියාවෙන් මිය ගොස් තිබුණු බව වෛද්‍යවරයා මට කීවේය. ඇය රෝගීව ගතකොට තිබුණේ දින කිහිපයක් පමණි. ඇය මිය යනු ඇතැයි කිසිවෙකු අපේක්ෂා කර නොතිබිණි.
මේජර්වරයා දින තුනක් යන තුරු රෝහලට නොපැමිණියේය. ඉන් අනතුරුව හෙතෙම සුපුරුදු වේලාවට නැවත පැමිණියේ සිය නිල ඇඳුමෙහි අත වටා පැලඳි කලු පැහැති පටියක්ද සමගිනි. ඔහු නැවත පැමිණෙන විට, යන්ත්‍ර මගින් සුව වන්නට පෙර සහ සුව වීමට පසු දැක්වෙන තුවාලවල විශාල ඡායාරූප රාමු කොට බිත්තිය පුරා එල්ලා තිබිණි. මේජර්වරයා භාවිතා කළ යන්ත්‍රය ඉදිරිපිට වූයේ ඔහුගේ රෝගී අත බඳුව තිබී සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරන ලද අත්වල ඡායාරූප තුනකි. වෛද්‍යවරයා මේවා කොහෙන් සොයා ගත්තාදැයි මම නොදනිමි. මට සෑමවිටම වැටහුණේ මෙම යන්ත්‍ර පළමුවැනි වතාවට භාවිතා කරන්නේ අප බවයි. එහෙත් ඒ ඡායාරූප මේජර්වරයා තුළ වැඩි වෙනසක් සිදු කළේ නැත. ඒ ඔහු ජනේලයෙන් එළිය පමණක් බලාගෙන සිටි හෙයිනි.
අර්නස්ට් හෙමිංවේ (1899-1961)

නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් . http://nilukakadurugamuwa.blogspot.com
අවසර ඇතිව උපුටා ගත්තකි .


