කැනඩාවේ කවි සිතුවිලි

රජයේ රැකියාව

ලැබිලා රැකියාව රජයේ, පෙර          පිනට

ජීවන ගමන ගෙවුණා හර බර        ලෙසට

හැ⁣ට  පිරිලා  වැඩ වරලා ගිය           දිනට

සැලකිලි මොටද යනවිට සොඳුරු   නිවසට

අටලෝ දහම නොදැනද සිරවී        ඉන්නේ

ලෙඩදුක් නැතිව සසරේ නැත සැප  දෙන්නේ 

අතමිට හිග වුනත් ගැම්මෙන් නොව ඉන්නේ

සේවය නොදුන්නත් පඩිපත ගෙට     එන්නේ

පොදු අරමුණට එක්රොක්වී වැඩ    පෙන්නා 

ගලපා ගමින් හැකි තරමට රඟ        දුන්නා

තනතුරු වලට නිල බලයට සිත      බැඳුණා

අපගෙන් සේවෙ ගන්නට පිරිසක්       උන්නා 

සැමදා සැමදේම නැහැ නොවැ   පවතින්නේ 

තිරවූ කිසිත් නැහැ වෙනසයි        සිදුවන්නේ   

එන එන හොඳ නරක සතුටින්     පිළිගන්නේ

යහලෙස ගෙවන දිවියේ නැහැ  තනිවෙන්නේ

දින සති ගෙවී කාලය පියඹා             යනවා

කලකී හැමදේම පසු කරමින්            යනවා

මිතුරන් කළණ කවදත් සිත          පිනවනවා

මිය යන තුරා සැනසිල්⁣ලේ         වැජඹෙනවා

ඉන්ද්‍රා මැණිකේ

ජීවිතේ මල් පොතේ සුන්දරම පෙරවදන….

නිදිකිරන සදකිරණ , තරු අතර ඉගිමරන 

මතකයේ තවම ඔබ ඉන්නවා 

අඩසදට පෙම්කරන , පිනි මතින් ඇවිදයන 

මතකයේ තවම ඔබ ඉන්නවා 

තෙරපෙනා දුම්රියේ කවුළුවෙන් කවුළුවට 

මගේ ඇස් තවම ඔබ හොයනවා 

පෙම්මුල්ලේ තුරුළුවී හීන් වදනක් දොඩන 

ඔබේ රුව තවම මම හොයනවා 

ජීවිතේ මල් පොතේ , සුන්දරම පෙරවදන 

හදවතේ තවම තව තියෙනවා 

පිටු අතර පෙරලිලා , ජීවිතය ගිලිහිලා 

පසුවදන දැන්  මමම ලියනවා 

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

නුඹය මගෙ කවිමල්ල

රහසින බාල කාලේ සිට පෙම්            බැන්ද

සිතිවිලි ගඟේ පිහිනා සතුටකි              වින්ද 

සහසකි පැතුම් ගොනුකල නොමැ තිව   නින්ද

නුඹ හද රිදී මා මඟහැර යනු             මන්ද 

කෙළිලොල් වියේ සිටි ඔබ හරි        දඟමල්ල

නව යෞවනය එලබී වුනෙ           හැඩමල්ල

විසිතුරු වදන් සැමටම බෙදු           රසමල්ල

සිතුනෙම මෙමට ලැබුනා යැයි         ජයමල්ල

හද තුල නිමක් නෑ සෙනෙහේ           ඉතිරිල්ල

වලකනු කෙලෙස හද දවනා            මැසිවිල්ල

පෙර ලෙස නොවේ දැන් නුඹ ගේ      සැලකිල්ල

නෙතු යුග බොඳ කරයි නැගෙනා      කදුලැල්ල

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

ජීවිතය බැරි ගැහෙනවා

අදත් හිරු ඇහැරවා ගෙන මම

වැඩට දිව්වා කලබලයෙන්,

ගතේ හයියට වඩා තිබුනේ

හිතේ හයිය යි මා ලගින්,

රිදී පාටට මහ උජාරුවට

රීදී කෙස් මතුවී ඇවිත්

සිහින පස්සේ ම දුවලා දුවලා

මමත් දැන් වයසට ගිහින්,

බොහොම වේගයෙන් ඇවිද ගෙන ගිය

පා යුග පටලැවෙනවා,

හමේ දිලිසෙන පාට පරදා රැලි

මතුපිට්න් පෙනෙනවා.

මගේ කරදඩු වලට ඉහලින්

දරුවො මුදුනට ඇදෙනවා.

හිතේ හයියට කොහොම 

හිතුවත් ජීවිතය ය බැරි ගැහෙනවා.

නයනා සුමිත්‍රාරච්ච්ගේ 

මිසසාගා

~~~~~~~~~~

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today