
ශ්‍රී ලංකාව වෙලාගෙන ඇති විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය හුදු පුද්ගල සබඳතාවලින් ඔබ්බට ගොස් සමස්ත ජාතික ආර්ථිකය, සමාජ දේහය සහ ආචාරධර්ම පද්ධතිය බිඳදමන බරපතළ තර්ජනයක් බවට පත්ව තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මත්ද්‍රව්‍ය ජාලයන් මර්දනය කිරීම සඳහා දැනට පවතින නීති රීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමටත්, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබා දීම කෙරෙහිත් රජයේ විශේෂ අවධානය යොමුව ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පසුගිය (10)වැනිදා රැස් වූ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී මෙම තීරණාත්මක කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ගන්නා අසීමිත ධනය මත පදනම් වූ අපරාධමය වටපිටාව මෙරට සංචාරක කර්මාන්තයට සහ සමාජයේ යහපැවැත්මට එල්ල කර ඇත්තේ සෘජු තර්ජනයකි.
මෙම උවදුර පාලනය කිරීම සඳහා හුදු වැටලීම්වලින් ඔබ්බට ගිය පුළුල් ආයතනික පරිවර්තනයක අවශ්‍යතාව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව, මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබා දීමේ ක්‍රියාවලිය දැඩි කිරීම සඳහා අවශ්‍ය නීති සංශෝධන මේ වන විටත් සකස් කර අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
එසේම, 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත සංශෝධනය කිරීමේ කටයුතු ද කඩිනම් කර ඇත.නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩු සහ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා, විශ්‍රාම ගිය පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.
මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වී තිබූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් වේගවත් කර ඇත. පසුගිය ජූලි මාසයේදී පමණක් වාර්තා 6,414ක් නිකුත් කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මෙම කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට ද තීරණය කර ඇත.
බන්ධනාගාරගතව සිටින සැකකරුවන්ගේ නීතිමය කටයුතු කඩිනම් කිරීම සඳහා, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව (ග්‍රෑම් 5ට අඩු, 10ට අඩු ආදී වශයෙන්) නිශ්චිත දත්ත වර්ගීකරණයක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කර, වාර්තා ලැබුණු සැණින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙස ද නියෝග කර ඇත.
මේ අතර පසුගිය දිනවල මීගමුව, මහර, මැගසින්, පල්ලන්සේන සහ කුරුවිට යන බන්ධනාගාරවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයන් හේතුවෙන් රුපියල් මිලියන 255කට අධික දේපළ හානියක් සිදු වී ඇති බව අනාවරණය විය,. මෙම ගැටුම්වලදී බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා බන්ධනාගාර තුළ ආරක්ෂිත කැමරා (CCTV) පද්ධති සවි කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එසේම, රැඳවියන්ගේ කළහකාරී හැසිරීම් අවම කර ගැනීම සඳහා වැඩි වශයෙන් මනෝ වෛද්‍යවරුන්ගේ සේවය ලබා ගැනීමට ද මෙහිදී සාකච්ඡා විය,.
පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අධ්‍යාපන සහ සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ක්‍රියාත්මක කරන ‘මිතුරු පාසල‘ වැඩසටහන කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු විය. විශේෂයෙන් ජාත්‍යන්තර පාසල්වල දරුවන් අතර මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් දක්නට ලැබෙන බව මෙහිදී අනාවරණය වූ අතර, ජනගහන ඝනත්වය වැඩි ප්‍රදේශවල පාසල් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දෙන ලදී.
දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත්දැයි දෙමාපියන්ට පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි වන පරිදි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධ සැල් මඟින් ලබා ගැනීමට පහසුකම් සලසා ඇත. මත්ද්‍රව්‍ය භාවිත කරන දරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට නිවැරදි මඟපෙන්වීම සඳහා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.
අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු රැසක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන ප්‍රධාන ක්‍රමෝපායන් 06ක් යටතේ ක්‍රියාත්මක වේ:
- මත්ද්‍රව්‍ය භාවිතය වළක්වා ගැනීම.
- මුල් අවදියේම හඳුනා ගැනීම.
- පුනරුත්ථාපනය.
- නීති සංශෝධනය සහ ආයතනික වෙනස්කම්.
- නැවත ඇබ්බැහි වීම වැළැක්වීම සහ පසු විපරම් කිරීම.
- සැලසුම් නියාමනය, සමාලෝචනය සහ වාර්තා කිරීම.
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරන කණ්ඩායම් මැඩලීමට මෙන්ම, මත්ද්‍රව්‍යවලට එරෙහි මතවාදය සමාජගත කිරීමට ද තාක්ෂණය උපයෝගී කර ගැනීමට මෙහිදී තීරණය විය. විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.


