22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ. මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ලැබුණා – රඡය කියයි.

අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය (11)වැනිදා පැවසීය.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමා සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවයි.

මහානාහිමිවරුන් විසින් ඉදිරිපත් කළ ලිපිය… මහානාහිමිවරුන් මේ සම්බන්ධයෙන් ලිපියක් ජනාධිපතිට ඉදිරිපත්කරලා තියෙනවා. ඒ තිබෙන කරුණු සැලකිල්ලට අරගෙන 22වන ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සේවා පනත සංශෝධනය කැබිනට් එකට ඉදිරිපත්  කරන්න කලින් මමත් අධිකරණ ඇමතිතුමත් කරුණු පැහැදිලි කිරීමක් කළා. අපේ පැත්තෙන් අපි අදහස් දැක්වුවා. අපි බලාපොරොත්තු වුණේ කැබිනට් මණ්ඩලයට මේ ව්‍යවස්ථා සංශෝධනය සහ පනත් සංශෝධනය ගෙන එන්න කලින් මේ කරණු ඉදිරිපත් කරන්න. ඒ අනුව අපි මල්වතු, අස්ගිරි සහ රාමඤ්ඤ මහා නිකායන්වල ස්වාමීන්වහන්සේලාට අපි කරුණු ඉදිරිපත්කළා “

කෙසේවෙතත් පසුගිය 04 වනදා පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ත්‍රෛිනාකයික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපිය සම්බන්ධව තමන් මෙතෙක් දැනුවත් නොමැති බවයි.

 ඊට පෙර දින එනම් අගෝස්තු 03 දිනයේදී තමන් සහ අධිකරණ අමාත්‍යවරයා මල්වතු, අස්ගිරි, සහ රාමඤ්ඤ නිකායේ මහනාහිමිවරුන් මුණ ගැසුණු බවත් එහිදී 22වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධව උන්වහන්සේලා දැනුවත් කළ බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහිදී පවසාසිටියේය.

මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නීතීඥ සංගමයට (BASL) සාකච්ඡාවක් ලබාදී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිය ස්ථාවරය පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිඛිත දැනුම්දීමක්ද සිදුකර තිබුණි.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහාවන පනත් කෙටුම්පත, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි මේ වනවිට ගැසට් කර තිබේ.

එම පනත් කෙටුම්පතට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 67ක් වන අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65ක් ලෙස සංශෝධනය කර ඇත.

කෙසේ නමුත් නීතිඥ සංගමයේ ස්ථාවරය වී ඇත්තේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ අදාළ ව්‍යවස්ථා සංශෝධනය මෙම අවස්ථාවේ නොකරන ලෙසය.

එම තීරණය සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා ඇතුළු පිරිසක් පසුගියදා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා සමගද විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වීය.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඔහු පවසා සිටියේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමට අවස්ථාවක් සලසා දෙන තමන් අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today