
මගේ පළමු දේව දූතිය
අවමඟුල් දා
අපව එකා බැගින් ඈ වෙත ඔසවමින්
‘නංගී ට හාද්දක් දී සමුදෙන්න…
ඈ දැන් දේව දූතියක් ’
තාත්තා කීවේය
සුදු පැහැති කැටයම් පෙට්ටියක
සති දහයක් වයසැති, සුදුමැලි නංගී
වැතිර සිටියේ නිදා සිටි අයුරිනි
අත්තටු හෝ රිදී තරුවක් නොමැතිව
නිහඬව, නිසොල්මන් ව
මගේමයි කිව හැකි දේව දූතියක්ව සිටින්නේ
මා නැලවූ, හිනැස්සූ ඈ ම බව
අදහන්නටත් නොහැකි විය
කාලය ගතවෙද්දී
මට බොහෝ දේ පැහැදිලි විය
යුද්ධයට ගිය ඥාති සොයුරන් වෙනුවෙන්
අප ඈ වෙත යාඥා කළෙමු
බෝම්බ හා සටන් නවතන ලෙස
අප ඈ වෙත යාඥා කළෙමු
ඈ මේ හැම දෙයින් ම බේරුණා
අම්මා නිතර කීවාය
පරිවර්තනය -හෙල්මලී ගුණතිලක
1935 දී ඕස්ට්‍රේලියාවේ උපන් Katherine Gallagher, දශක හතරකටත් වඩා කාලයක් තිස්සේ ලන්ඩන්හි වෙසෙන්නීය. වැඩිහිටියන්ට මෙන්ම ළමුන්ටද කවි ලියන ඇය පොත් රැසක් ලියා ඇත. ඇගේ කවි ප්‍රංශ, ජර්මන්, ඉතාලි, රුමේනියානු භාෂාවලට පරිවර්තනය කර තිබීම විශේෂත්වයකි.

Translation of the poem ‘My First Angel’ by Katherine Gallagher, from the book ‘Fish-Rings on Water’ (1989)
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි
http://hotchocolatedays.blogspot.com/
නිදහස

කියනු මැන අප හට නිදහස පිළිබඳව
පැවසීය එක් දේශකයෙක්
පිළිවදන් දිණි හෙතෙම මෙලෙසට:
තමන් මරනා බව දැනම රුදු වහල් හිමියෙකු අස
දණින් හෙව ඔහු පසසන වහලුන් බඳුව
පුරදොර අබියසද, ගිනි මැලය පසෙකද වැතිර
ඔබ ඔබේ නිදහසටම වඳින පුදනා‘යුරු මම දිටිමි
ඔබ අතරින් නිවහල්ම මිනිසුන් සිය නිදහස
වියගසක්, විලංගුවක් ලෙස පළඳින අයුරු
දෙව්මැඳුරු අරඹෙහිද, බළකොටු ඇතුළෙහිද මම දිටිමි
නිදහස සොයා යන ආශාවම පවා සන්නාහයක් වූ කල,
අරමුණක්, ජයග්‍රහණයක් ලෙස නිදහස ගැන දෙඩුම
ඔබ නැවැත්වූ කල පමණක්ම ඔබ නිදහස් වන බැවින්
මගේ හද ඇතුළතින් තුවාලව ලේ ගැලීය
ඔබ සැබැවින්ම නිදහස ලබනුයේ,
ඔබගේ දිවා කල කම්කටොල්ලෙන්ද
ඔබගේ රෑ කල ශෝකයෙන්ද තොරවූ විට නොව
මේ සියලු පිරිපත මැඩ නිවහල්ව, නිරුවත්ව
ඔබ නැගී සිටින විට පමණකිය
ඔබගේ බුද්ධියේ අලුයම් කල සිට
දහවල් වනතුරුත් බැඳ ඇති යදම් නොකඩා
කෙසේනම් දුක් ගැහැට පිරිපත
මැඩගෙන නැගිටිනුද ?
හිරු රැසින් දිලිසී ඔබ නෙත් අඳ කරන
පුරුකෙන් සුසැදුණද
නිදහස යැයි ඔබ කියන දෙය
ඒ අතරින් සවිමත්ම යදමය සැබැවින්ම
නිදහස ලැබුම උදෙසා ඔබ ඉවතලන්නේ
ඔබගේම ආත්මයේ බිඳුණු කැබිලිති විනා
අන් කවරක්ද ?
ඔබ අහෝසි කරනුයේ අසාධාරණ නීතියක් නම්
එය ඔබ විසින්ම ඔබ නළලත ලියා ගත්තකිය
නීතිපොත් ගිනිබත් කළද, විනිසුරන් නළල මත
මහ මුහුද වත් කොට සෝදා හළද
ඒ නීතිය මකා දමනු නොහැකිය
ඔබ පළවා හරිනුයේ ඒකාධිපතියෙකු නම්
ඔහුගේ සිහසුන ඔබ ඇතුළාන්තයෙන්
විනාශ කොට ඇතිදැයි
පළමුව බලනු මැන
ඔබගේම නිදහසෙහි ගැති බවත්, ඔබගේ අබිමනෙහි අවමනත්
නොමැත්තේ නම්
දරුණු පාලකයෙකු කෙසේ නම්
නිදහස්, අබිමන් මිනිසුන්
පාලනය කරන්නේද ?
ඉදින් ඔබ ඉවතලන්නේ බරක් නම්
ඒ බර ඔබම තෝරාගත්තක් මිස
ඔබ මත බලෙන් පටවනු ලැබූවක්
නොවන්නේමය
ඉදින් ඔබ ඉවතලන්නේ බියක් නම්
ඒ බිය ඇත්තේ ඔබගේම හදවතේ මිස
වෙනෙකෙකු සතුව නම් නොවේ
ආශාවද බියද, පිළිකුල් කටයුතු දෙයද අදරින් වැලඳගත් දෙයද,
ඔබ සොයා යන දෙයද ඔබ කෙරෙන් පළා යන දෙයද,
යන මේ සැමෙකක්ම ඔබ තුළ නිරතුරු ගැවසිගත් ඒවාය
එකිනෙක වෙත ඇලුණු එළිය හා සෙවණැලි පරිද්දෙන්
ඒවා ඔබ තුළ නිරතුරු සැරි සරයි
සෙවණැල්ල මැකී ගොස් අතුරුදන් වූ කල
රැඳුණු ආලෝකය තවත් එළියක සෙවණැල්ල වන ලෙද
ඔබගේ නිදහසද යදමින් මිදුණු විට
තව විසල් නිදහසක බන්ධනය වනු ඇත

ඛලීල් ජිබ්රාන් (1883-1931)
(අනාගත වක්තෘවරයා කෘතියෙනි)
පරිවර්තනය නිලූක කදුරුගමුව
පරිවර්තන බ්ලොග් අඩවියෙන් .
http://nilukakadurugamuwa.blogspot.com/
*අවසර ඇතිව උපුටා ගැනුනකි.


