
කැනඩාවේ, Windsor සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ Detroit නගර අතර ඇති ගෝර්ඩි හව් (The Gordie Howe) ජාත්‍යන්තර පාලම 2026 ජූලි 27 වන දින වාහන ගමනාගමනය සඳහා නිල වශයෙන් විවෘත කරනු ලැබුවා. කෙසේ වෙතත්, පයින් ගමන් කරන්නන් සහ පාපැදිකරුවන් සඳහා එය විවෘත කරනු ලැබුයේ 2026 අගෝස්තු 5 වන දිනයි. මෙම පාලමට, කැනඩාවත්, මිචිගන් (Michigan) ප්‍රාන්තයත් සමානව හිමිකාරීත්වය දරනු ලබනවා. නමුත් මේ සඳහා වූ මුළු වියදම වූ ඩොලර් බිලියන 6.4 ක විශාල ආයෝජනය සම්පුර්ණයෙන්ම දැරුවේ කැනඩාවයි. මංතීරු (Lanes) හයකින් යුත් ගෝර්ඩි හව් පාලමට දෙරට අතර සිදුවන සියලුම ට්‍රක් රථ මත පදනම් වූ වෙළඳාමෙන් 30% කට ආසන්න ප්‍රමාණයක් හැසිරවිය හැකි ශක්තිය තිබෙනවා.
අති විශිෂ්ට ගෝර්ඩි හෝව් ජාත්‍යන්තර පාලම ඉදිරියට පරම්පරා ගණනාවක් පුරා කැනේඩියානු සලකුණක් ලෙස අපට සාඩම්බරයෙන් හැඳින්විය හැකි වේවි. එය “Mr. Hockey” ලෙස ප්‍රසිද්ධියට පත් වූ, අභිමානවත් කැනේඩියානු සංකේතයක් වූ ජනප්‍රවාද ගත කැනේඩියානු අයිස් හොකී ක්‍රීඩක “ගෝර්ඩි හව්ගේ” නමින් තමයි නම් කර තිබෙන්නෙ. මෙම හොකී පුරාවෘත්තය කැනඩාවේ Saskatchewan හි උපත ලබා, හැදී වැඩී පසුව ඔහුගේ කීර්තිමත් වෘත්තීය ජීවිතයේ වසර 25 ක් Detroit “Red Wings” වෙනුවෙන් ක්‍රීඩා කරනු ලැබූවා. ඒ හේතුව පාදක කරගෙනයි කැනඩාව සහ ඇමෙරිකාව යන රටවල් දෙකම ඔහුගේ නමින් පාලම නම් කිරීමට එකඟතාවයකට පැමිණියේ.



අපි මේ අලුත් පාලමේ වාසි මොනවද කියලා බලමු. Windsor-Detroit දොරටුව කියන්නෙ උතුරු ඇමරිකාවේ තිබෙනා ප්‍රමුඛතම වාණිජ ගොඩබිම් දේශසීමාව. මෙම නගර දෙකේම මෝටර් රථ නිෂ්පාදකයන්ට දිනපතාම වේගවත්, පුරෝකථනය කළ හැකි කොටස් බෙදාහැරීමක් දැඩි ලෙස අවශ්‍ය වෙනවා. මෙම නව පාලම මගින් එම අවශ්‍යතාවය සපුරා දැවැන්ත ද්විපාර්ශ්වික වෙළඳ පරිමාවන් හැසිරවීමේ හැකියාවක් ලබා දෙයි කියනා බලාපොරොත්තුව රටවල් දෙක තුලම තිබෙනවා. ගෝර්ඩි හව් පාලම, වාණිජ වාහන (Trucks with commercial goods) සඳහා වාර්ෂිකව ගමන් කරන පැය ලක්ෂ ගණනක් ඉතිරි කර දෙනු ඇති. ඒ වගේම, ඒ මගින්, දැඩි දේශසීමා තදබදය අඩු කිරීම වගේම, මෝටර් රථ සැපයුම් දාමයද ආරක්ෂා කර දේවි. ඊට අමතරව, අත්‍යවශ්‍ය යටිතල පහසුකම් පුනරාවර්තනයක් සපයා දෙන බලාපොරොත්තුවද තිබෙනවා. මෙම පාලම ඔන්ටාරියෝහි Highway 401 මාර්ගය මිචිගන්හි Interstate 75 මාර්ගයට සෘජුවම සම්බන්ධ කරමින්, කලාපීය ගමනාගමන දාමය සරල කර, අතිරේක ආර්ථික ආරක්ෂාව සහ හැකියාව සපයා දීමට ප්‍රබල සාධකයක් බවට පත්වෙන බව නොඅනුමානයි. සමස්තයක් ලෙස, එයට පාලම් මංතීරු හයක්, ගාස්තු අය කරන මංතීරු 16ක් සහ කැනඩා හා එක්සත් ජනපද පරීක්ෂණ මංතීරු 60ක් ඇතුළත් වෙනවා.


මෙම ව්‍යාපෘතියට පෙර, වාණිජ ට්‍රක් රථ (Commercial Trucks) බොහෝ දුරට ගමනාගමනය කලේ ඇම්බැසඩර් පාලම(Ambassador Bridge) හරහායි. 1929 නිර්මාණය කරන ලද මෙම පාලම ඉතා පැරණි හේතුවෙන් ගමනාගමනයට ඉතා අවදානම් සහිතයි. දෙවන ප්‍රධාන වාණිජ පාලමක් තිබීමෙන්, එම පාලම හරහා තිබෙනා තදබදය අඩුකර ගැනීමට හැකිවනවා මෙන්ම, අනතුරු හෝ නඩත්තු කටයුතු හේතුවෙන් ඇම්බැසඩර් පාලම වසා දමනා අවස්ථාවල ඇති විය හැකි බාධා වලකා, ආර්ථිකයට සිදුවන අවාසි වළක්වා ගත හැකියි. ගෝර්ඩි හෝව් පාලමේ දියුණු තාක්ෂණයට ප්‍රවේශ මෙන්ම රේගු සැකසුම්ද වේගවත් කිරීමට හැකිවන අතර දේශසීමා ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය වැඩි දියුණු කර ගැනීමට හැකි වන අතර, ඇම්බැසඩර් පාලමට සාපේක්ෂව, ගෝර්ඩි හව් ජාත්‍යන්තර පාලමේ ගාස්තුව මගී වාහන සඳහා 42.5% සිට 56.5% දක්වාත්, වාණිජ ට්‍රක් රථ සඳහා 54% සිට 56.2% දක්වාත් අඩුයි. මෙම නව පාලමට මංතීරු 6ක් ඇති අතර ඇම්බැසඩර් පාලමට ඇත්තේ මංතීරු හතරක්. එමනිසා, ඉන් සිදුවන පහසුව කැනේඩියානු සහ එක්සත් ජනපද ආර්ථිකයන්ට අතිශයින් වැදගත් වෙනවා.
ගෝර්ඩි හව් (The Gordie Howe) පාලමේ විස්තර සහ ප්‍රතිලාභ කතා කරන විට, එක්සත් ජනපදය සහ කැනඩාව අතර මෙම සංකේතය වටා ඇති දේශපාලන පසුබිම අපට කිසිසේත් නොසලකා හරින්න බැහැ.
පාලම සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ දේශපාලන අක්‍රියතාව මඟහැරීම සඳහා, කැනඩාව ඩොලර් බිලියන 6.4 ක මුළු වියදම මූල්‍යකරණය කල හේතුවෙන්. එකඟවූ මුල් කොන්දේසි යටතේ, දශක ගණනාවකට පසුව මිචිගන් සමඟ ආදායම් බෙදා ගැනීමට පෙර, කැනඩාව සිය සම්පූර්ණ ප්‍රාග්ධන ආයෝජනය ගාස්තු ආදායම්වලින් (Income from Toll) ආපසු ලබා ගැනීමටයි නියමිතව තිබුණෙ. කෙසේ වෙතත්, ඇම්බැසඩර් පාලමේ හිමිකරුවන්ගෙන් එල්ලවූ දැඩි පීඩනය හේතුවෙන්, එක්සත් ජනපදය පාලම විවෘත කිරීම ප්‍රමාද කරනු ලැබුවා. ඇම්බැසඩර් පාලමේ (Ambassador Bridge) හිමිකරුවන් වන මැතිව් මොරවුන් සහ බිලියනපති මොරවුන් පවුල, ඔවුන්ගේ ගාස්තු ඒකාධිකාරය ආරක්ෂා කිරීම සඳහා මහජන හිමිකාරීත්වය යටතේ ඇති ගෝර්ඩි හෝව් පාලමට මුල සිටම විරුද්ධ වූවා. ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා ඇමෙරිකාව, බිලියනපතියකු ඉදිරියේ දණ ගැසුවේ ඇමෙරිකාවේ ආර්ථිකය සත පහකටවත් මායිම් නොකර.



ඊටත් එහා ගියහොත්, මෙම පාලම විවෘත කිරීම පිටුපස ඇති සමහර දේශපාලන හේතු සදාචාර විරෝධීයි. නව පාලම විවෘත කිරීම සම්බන්ධයෙන් හදිසියේ එක්සත් ජනපද පරිපාලන අවහිරයක් ඇතිවීමට පෙර, ඇම්බැසඩර් පාලමේ හිමිකරුවන මොරූන් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන සුපර් PAC (ට්‍රම්ප්ට සම්බන්ධ බාහිර දේශපාලන ක්‍රියාකාරී කමිටු) කමිටුවට ඩොලර් US මිලියනයක් පරිත්‍යාග කළ බව New York Times පුවත්පත අනාවරණය කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස, විවෘත කිරීම සුරක්ෂිත කර ගැනීම සඳහා, මුල් වසර 15ක ආදායම එක්සත් ජනපදය සමඟ බෙදා ගැනීමේ නව ගිවිසුමකට එකඟ වීමට කැනඩාවට සිදු වුවා.
ශුද්ධ ආදායම් බෙදා ගන්නේ කවදාද සහ කෙසේද යන්න සම්බන්ධයෙන් කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ අපැහැදිලි නිවේදන සහ වෙනස්වන පැහැදිලි කිරීම්වලින් පසුව ‘රජය පීඩනය යටතේ ඕනෑවට වඩා ඇමෙරිකාවට සහන ලබා දුන් බවට’ කැනේඩියානු විරුද්ධ පාක්ෂික විවේචකයන්ගෙන් ඔහුට දෝෂාරෝපණ එල්ල වුවා.



ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරුබදු ක්‍රියාමාර්ග හේතුවෙන්, කැනේඩියානුවන්ට මෙන්ම අමෙරිකානුවන්ටද ප්‍රෞඪතත්වයක් හිමි කරදෙන, ගාම්භීර නව ගෝර්ඩි හව් (The Gordie Howe) පාලම, එක්සත් ජනපදය බැහැර කරමින් වින්ඩ්සර් හිදී රිබන් කැපීමේ උත්සවය පැවැත්වුවා. ගෝර්ඩි හව්ගේ මුනුපුරා වන, Corey Gordie ගෝර්ඩි තමයි පාලම හරහා රිය පැදවූ පළමු පුද්ගලයා වුයේ. රිය පැදවූ පළමු පුද්ගලයන්ගෙන් තවත් එක් අයෙකු වන්නේ පාලම් නිර්මාණ ශිල්පී Erik Behrens. සත්‍ය වශයෙන්ම මෙම විවෘත කිරීම ඓතිහාසික සංසිද්ධියක්.
ආදරණීය කැනේඩියානුවනි, මෙම ආශ්චර්‍යමත් අත්දැකීම භුක්ති විඳීමට අපි සියලු දෙනාම නව ගෝර්ඩි හෝව් පාලම හරහා ගමන් කළ යුතුයි.
තවත් රසවත් ලිපියකින් අප හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්!
https://gordiehoweinternationalbridge.com/
ඉංග්‍රීසි බසින් මා කල යූ ටියුබ් වැඩසටහනේ දිගුව
Gordie Howe International Bridge-Bridging The Sovereignty-How Gordie Howe Affects Canada/ US Economy


