ආලෝකයෙන් ලිවීමේ කලාව, රෝමන් පොලන්ස්කි පියැනිස්ට් හැදූ බාබෙල්ස්බර්ග් චිත්‍රාගාරය

ලොව පළමු ඡායාරූපය ලෙස සැලකෙන්නේ 1826දී ප්‍රංශ ජාතික රසායන විද්‍යාඥයකු වූ ජෝසප් නිසෙපො නීප්සේ විසින් ගන්නා ලද ප්‍රතිබිම්බයක්. එහි සටහන් වූයේ උඩුමහලක සිට පහතින් දර්ශනය වූ නිවෙස් කිහිපයක පියැසි සමූහයක්. ඔහු වීදුරු තහඩුවක් මත රසායන ද්‍රව්‍යයක් තවරා පැය අටක පමණ කාලයක් තුළ අනාවරණය කරගත් එම ප්‍රතිබිම්බය ලොවට නව මාධ්‍ය්‍යක් හඳුන්වා දුන්නා. පසුකාලීනව ඔහු හා චිත්‍ර ශිල්පියකු වූ ලුයී යාක් මැන්ඩේ ඩැගියුරේ ඡායාරූප ශිල්පයේ ප්‍රගමනය උදෙසා බොහෝ පර්යේෂණ සිදු කළ අතර ප්‍රතිබිම්බයක් සාර්ථකව තහඩුවක් මත සටහන් කරගත හැකි ක්‍රමයක් ඩැගියුරේ විසින් සොයා ගත්තා. එම ක්‍රමය හැඳින්වූයේ ‘ඩැගියුරේ ටයිප්’ නමින්. 1839දී ඩැගියුරේ විසින් සටහන් කරගත් ප්‍රතිබිම්බයේ අන්තර්ගත වූයේ ගොඩනැඟිලි කිහිපයක් හා ගහකොළින් පිරුණු ජන ශූන්‍ය මාවතක සපත්තුවක් මදින පුද්ගලයකුගේ සටහනක්. මිනිස් රූපයක් සහිත ලොව ප්‍රථම ඡායාරූපය ලෙස පිළිගැනෙන්නේ එම සේයාරුවයි. ඡායාරූප ශිල්පයේ සැබෑ උපත එම සේයාරුවත් සමඟ ආරම්භ වුණා.

නීප්සේ හා ඩැගියුරේ මෙන්ම කලක් මුළුල්ලේ ඡායාරූපයේ රසායනික භාවිතාව පිළිබඳ විවිධ පර්යේෂණයන්හි නිරත වූ තවත් පුද්ගලයකු වන්නේ විලියම් හෙන්රි ෆොක්ස් ටැල්බට්. ඔහු සිල්වර් හේලයිඩ් හා පොටෑසියම් අයඩයිඩ් යොදාගනිමින් ආලෝක සංවේදී කඩදාසි පටයක් නිර්මාණය කළා. ලොව ප්‍රථම නෙගටිව් පටය හෙවත් සෘණ ඵලකය නිර්මාණ වූයේ ඔහු වෙතින්. ‘කැලෝටයිප්’ නමින් හැඳින්වුණු එම කඩදාසි පටලයේ ඡායාව සටහන් වූයේ සෘණ ප්‍රතිබිම්බයක් ලෙසිනුයි. එය යොදා ගනිමින් පෙරට වඩා අඩු කාල පරාසයක් තුළ ඡායාරූපයක පිටපතක් සකස් කරගත හැකි වුණා.

සෙලියුලොයඩ් සොයා ගත්තෙ ජර්මන් ජාතික හැනිබල් ගොඩ්වින්. 1887දි..ඔහු එහි පේටන්ට් අයිතිය කොඩැක් සමාගමට වික්කා පවුම් 1000කට 1888දී ඇමෙරිකාවේ ජෝජ් ඊස්ට්මන් කඩදාසි පටලය වෙනුවට සෙලියුලොයිඩ් පටලය නිර්මාණය කළා එමගින් ඡායාරූප කලාව තවත් සුවිශේෂී වෙනසකට ලක්වූ අතර එම සෙලියුලොයිඩ් පටලය භාවිත කිීම සඳහා කැමරාවක් නිර්මාණය කිරීමටද ඊස්ට්මන්ට හැකි වුණා. 1888දී ඔහු එම කැමරාවත් පටල පටයත් ලොවට හඳුන්වා දුන්නේ ‘කොඩැක්’ නමින්. කොඩැක් කැමරාවේ හඳුන්වාදීමේ මිල වූයේ ඩොලරයක්.

1924 පමණ විට ඡායාරූපය ශිල්පයක්, කලාවක් හා ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්තවෙමින් පැවතුණා. ඒ 1931 මි.මී. 35 පළමු කැමරාව වූ ‘ලයිකා’ කැමරාව වාණිජ පදනමින් වෙළෙඳපොළට පැමිණීම හේතුවෙන්. ඡායාරූප කලාව සඳහා නව යෙදුම් එක්වුණා. ඡායාරූපයක් නිර්මාණය වූයේ ආලෝකයේ හා අඳුරේ සම්මිශ්‍රණයක් ලෙසින්. එහෙයින් ග්‍රීක බසින් ‘ආලෝකයෙන් ලිවීම’ යන අරුත ඇති ‘ෆොටෝග්‍රැෆි’ යන වදන ඒ සඳහා යොදා ගැනුණා. එම නම නිර්මාණය කළේ ජෝන් හර්ෂල් විසින්. සෘණ ඵලකය සඳහා ‘නෙගටිව්’ ’හා ධන ඵලකය සඳහා ‘පොසිටිව්’ යන වදන් නිර්මාණය කළේද ඔහු විසින්.

ලොව ප්‍රථම වර්ණ ඡායාරූපය බිහි වූයේ 1861දී. ඒ ස්කොට්ලන්තයේ ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් රතු, කහ, සහ නිල්පැහැති පෙරහන තුනක් භාවිත කරමින් ගන්නා ලද රිබන් පටයක්. ඡායාරූප තුනක් ලෙස ගන්නා ලද එය පසුව එකට තබා මුද්‍රණය කිරීමෙන් එම වර්ණ පිටපත නිර්මාණය කර තිබුණා. ප්‍රථම වරට වර්ණ සෘණ ඵලකයක් වෙළෙඳ පොළට පැමිණියේ 1928දී. ඒ ජෝජ් ඊස්ට්මන් නිපදවූ කොඩැක් වර්ණ පටලයයි.

විශ්ව ඡායාරූප දිනය යන සංකල්පය බිහිවූයේ 2009 වසරේ. 21 හැවිරිදි ඔස්ට්‍රේලියානු ඡායාරූප ශිල්පියකු වූ කොර්ස්කේ අරාට ලොව වෙසෙන සියලු ඡායාරූප ශිල්පීන් එක් කිරීමේ අවශ්‍යතාවක් ඇති වුණා. ඒ සඳහා ඔහු ‘ලෝක ඔන්ලයින් වෙබ් ගැලරිය’ නිර්මාණය කළා. එයට ලොව රටවල් 100කට අධික සංඛ්‍යාවක ඡායාරූප ශිල්පීන් 270 දෙනකුගේ ඡායාරූප එක්කර තිබුණා. එය අන්තර් ජාලය ඔස්සේ පැවැති ලොව ප්‍රථම විශ්ව ඡායාරූප ප්‍රදර්ශනය බවට පත් වුණා. විශ්ව ඡායාරූප දිනය ආරම්භ වූයේ එම ප්‍රදර්ශනයත් සමඟයි.

ලොව පළමු ස්වයං ඡායාරූපය හෙවත් සෙල්ෆි ඡායාරූපය ගන්නා ලද්දේ 1839දී එක්සත් ජනපදයේ රොබට් කොර්නේලියස් විසින්. ඔහු තම කැමරාව සකසා එහි කාච වැස්ම ඉවක් කර ඒ ඉදිරියේ සිටගනිමින් එම ඡායාරූපය ගෙන තිබුණා.

පළමු ඩිජිටල් ඡායාරූපය ගන්නා ලද්දේ ඇමෙරිකානු ඉංජිනේරුවකු වූ රසල් කිර්ෂ් විසින්. ඉන් වසර 20කට පමණ පසු ඩිජිටල් කැමරාව ලොවට හඳුන්වා දුන්නා. ඩිජිටල් කැමරාවේ උපතින් වසර 15කට පමණ පසු ජංගම දුරකතනයටද කැමරාව එකතු වුණා. ඒ සමඟ ලොවපුරා වෙසෙන බාල, තරුණ, මහළු සැම අතරම ඡායාරූප ගැනීම ප්‍රචලිත වුණා. ඡායාරූපය යනු කලාවක්. ඒ ඒ පුද්ගලයාගේ නිර්මාණාත්මක කුසලතාව, පරිකල්පන ශක්තිය, ආලෝකය මෙහෙයවීමේ හැකියාව මත කලාත්මක ඡායාරූප බිහි කෙරුණා. එහෙත් ජංගම දුරකතනය නිසා ඡායාරූප ගැනීම ප්‍රචලිත වුවත් එහි කලාත්මකබව හා නිර්මාණශීලිත්වය ඉන් බැහැර වී තිබෙන බව දැකිය හැකියි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

උපුටා ගත්තේ ප්‍රින්ජන් සුරේෂ් ද සිල්වා මහතාගේ මුහුණු පොත් පිටුවෙන්

https://www.facebook.com/priyanjan.suresh.2025

රෝමන් පොලන්ස්කි පියැනිස්ට් හැදූ බාබෙල්ස්බර්ග් චිත්‍රාගාරය

තවමත් චිත්‍රපට නිෂ්පාදනය කරන ලොව පැරණිතම චිත්‍රාගාර අතුරින් ජර්මනියේ බර්ලින් නුවර පිහිටි බාබෙල්ස්බර්ග් චිත්‍රාගාරයට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. 1911දී ආරම්භ කෙරුණු බාබෙල්ස්බර්ග් ජර්මන් චිත්‍රපට කර්මාන්තයට මෙන්ම හොලිවුඩ් සිනමාවටද විශාල සේවයක් කළ චිත්‍රාගාරයකි.

එහි චිත්‍රපට නිර්මාණය ආරම්භ වූයේ 1912දී උර්බන් ගැඩ් නම් ඩේනිෂ් ජාතික චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ‘ඩාන්ස් ඔෆ් ද ඩේඩ්“ නමැති චිත්‍රපයට නිෂ්පාදනය කිරීමත් සමඟිනි. 1926 දී ෆ්‍රිට්ස් ලැංග් විසින් පළමු ජර්මානු කතානාද චිත්‍රපටය නිෂ්පාදනය කළ අතර 1933 සිට 1945 අතර නට්සි පාලන සමයේ හිට්ලර්ගේ ප්‍රචාරක චිත්‍රපට දහසකට අධික ප්‍රමාණයක් මෙම චිත්‍රගාරයේදී නිර්මාණය වූයේ ජෝසෆ් ගොබෙල්ස්ගේ අධීක්ෂණය යටතේය.

1946 දී ඩොයෂ්ට ෆිල්ම් නමැති ආයතනය ජර්මනියේ ස්ථාපනය කරන ලද අතර එමගින් වෘත්තාන්ත චිත්‍රපට 800ක්, ළමා චිත්‍රපට 150ක් සහ රූපවාහිනී චිත්‍රපට 600ක් පමණ මෙම චිත්‍රාගාරයේ නිර්මාණය කරන ලදි.

බාබෙල්ස්බර්ග් චිත්‍රාගාරය පිහිටා ඇත්තේ ජර්මනියේ බර්ලින් නුවරය.වර්තමානයේ ජර්මනියේ නිෂ්පාදනය කෙරෙන චිත්‍රපටවලින් 80%ක් පමණ නිර්මාණය කෙරෙනුයේ මෙහිදීය. වර්ග මීටර 150,000ක භූමිභාගයක් පුරා පැතිර ඇති බාබෙල්ස්බර්ග් චිත්‍රාගාරය චිත්‍රගාර 16කින් සහ එළිමහන් පසුතල අති විශාල සංඛ්‍යාවකින් සමන්විතය.

මිලියනයකට ආසන්න පසුතල උපකරණ හා ආම්පන්නද, 250,000 පමණ වූ විවිධ ඇදුම් ආයිත්තම්ද, එහි ඇති අතර ඕනෑම චිත්‍රපයටක් ස්‍රදහා අවශ්‍ය සෑම පහසුකමක් එහි තිබේ. සමස්ත යුරෝපයේම ඇති විශාලතම චිත්‍රාගාරය වන බාබෙල්ස්බර්ග් ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට බොහෝ අධ්‍යක්ෂවරුනට තම සේවය සැලසූ ආයතනයකි. ඒ අතර ඇල්ෆ්‍රඩ් හිච්කොක්, රෝමන් පොලන්ස්කි, කෙවින් ස්පේසි, පෝල් වර්හෝවන්, ජැකී චෑන්, ක්වින්ටින් ටරන්ටිනෝ වැනි අධ්‍යක්ෂවරුන්ද වේ. නිෂ්පාදනය කෙරී ඇති චිත්‍රපට නාමාවලිය දෙස බලන කළ ලොව බිහිවූ උසස්ම චිත්‍රපට රැසක් එහි නිෂ්පාදනය කෙරී තිබේ. ඇතැම් චිත්‍රපට ඔස්කා සම්මානයෙන්ද පිදුම් ලබා තිබේ.

ද බ්ලූ ඒන්ජල්, නාක්ට් උන්ටර් වුල්ෆන් (වෘකයන් අතර නග්නව), ජේකබ් ද ලයර්, ද පියැනිස්ට්, අරවුන්ඩ් ද වර්ල්ඩ් ඉන් 80 ඩේස්, ද බෝන් සුප්‍රමසි, බියොන්ඩ් ද සී, බ්ලැක් බුක්, වල්කිරි, ස්පීඩ් රේසර්, ද රීඩර්, නින්ජා ඇසසින්, ඉන්ග්ලෝරියස් බාස්ටඩ්ස්, කවුන්ටර්ෆීටර්ස්, මිෂන් ඉම්පොසිබල්, ගෝස්ට් වැනි චිත්‍රපට එහි නිර්මාණය කෙරුණු අති දැවැන්ත පසුතලයන්හි නිර්මාණය වූ චිත්‍රපට වේ.

බොහෝ චිත්‍රපට සදහා නිර්මාණය කෙරුණු පසුතල තවමත් එහි දැකිය හැකි වන අතර ඒ අතුරින් මගේ සිත් ගත් දැවැන්ත පසුතල දෙකක් වූයේ පියැනිස්ට් සහ ඉන්ග්ලෝරියස් බාස්ටඩ්ස් සදහා නිර්මාණය කෙරුණු පසුතල ය. අති විශාල භූමි ප්‍රෙද්ශයක් පුරා නිර්මාණය වී තිබූ පියැනිස්ට් දර්ශනතලය එදා චිත්‍රපටයට නිර්මාණය කළ අයුරින්ම තවමත් පවතී.

සති අන්තයන්හි යුරෝ 20ක් වැනි මුදලකට සාමාන්‍ය ජනතාවට මෙම චිත්‍රාගාරය නැරඹීමට පහසුකම් සලසා තිබේ. තමන් කැමති ආකාරයක වේශ නිරූපනයක් කර ගැනීමටත්, කැමති ඇුම් ආයිත්ම්වලින් සැරසී ඡායාරූප ගැනීමටත් එහි පිවිසෙන්නකුට අවකාශ සැලසෙයි. එමෙන්ම චිත්‍රපවල විවිධ චරිතවල අනුරූ සමගද ඡායාරූප ගත හැකිය. බාබෙල්ස්බර්ග් බලන්නට එක් දිනකින් නොහැකිය. අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ඒ සදහා වෙන් කළ යුතුය. මා ඒ අතින් වාසනාවන්තයකු වූයේ ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියේ උසස්‍ අධ්‍යාාපනය ලැබීමට අවකාශ සැලසීම නිසාවෙනි.

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

උපුටා ගත්තේ ප්‍රින්ජන් සුරේෂ් ද සිල්වා මහතාගේ මුහුණු පොත් පිටුවෙන්

https://www.facebook.com/priyanjan.suresh.2025

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today