සිංහල කෙටිකතාව

උල්ලසිත
හෙදිය රුධිර පීඩනය බලන උපකරණය වින්සන්ට් ලංකාතිලක වැතිරී සිටින ඇඳ මත තැබුවාය. අනතුරුව එහි වූ වාතය රහිත රබර් ටියුබය වින්සන්ට් ලංකාතිලක ගේ දකුණු අතේ වැළමිටට ඉහලින් වෙළා කුඩා අත් පොම්පයෙන් වාතය රබර් ටියුබයට යැවීය. ක්‍රම ක්‍රමයෙන් රබර් ටියුබය වාතයෙන් පිරී තද විය.
හෙදිය වෙද නලාවක් වින්සන්ට් ලංකාතිලක ගේ වැළමිට හන් දිය මත තබා අත් පොම්පය සෙමෙන් සෙමෙන් බුරුල් කලාය. ඒ අතරවාරයේ රුධිර පීඩනය බලන උපකරණයේ රසදිය මට්ටම දෙසටද නෙත් යැවුවාය. ඇයගේ සවන් වෙද නලාවටද දෙනෙත් රසදිය මට්ටම වෙතටද යොමු වී තිබුණු අතර එක් රුධිර පීඩන කියවීමකින් පමණක් සෑහීමට පත් නොවූ හෙදිය තවත් වාරයක් වින්සන්ට් ලංකාතිලක ගේ රුධිර පීඩන පරික්ෂා කලාය.
“”ෙඩාක්ටර් ප්‍රෙෂර් එක අඩුයි වගේ. මට සිස්ෙටාලික් අසූවක් වගේ ලැබුනේ ” ඇය බැරෑරුම් ස්වරයෙන් කීවාය.
“එෆිඩ්‍රීන් එක දෙන්න “ වෛද්‍යවරයා කෙටි විධානයක් දුන්නේය.
******************************************************************
මධ්‍යම රාත්‍රියට පැය භාගයක් තිබියදී ජුල්ස් හෝටලයට ගිය වින්සන්ට් ලංකාතිලක ඇඳුම් මාරු නොකරම ඩිවානයේ වැතිරී Ragtime නවකථාව කියවීම යළි ආරම්භ කලේය.
මඳ වේලාවක් යන විට වින්සන්ට් ලංකාතිලක එව්ලින් නෙස්බෙට්, හැරී තාව් , ජේ.පී මෝර්ගන්, බූකර් ටී. වොෂින්ටන් වැනි චරිත අතර ඔහු අතරමං විය. ඔහු නොකඩවා නවකථාව කියවීමේ යෙදුනේය. අළුයම දෙක පමණ වන විට ඔහු නවකථාව කියවා අවසාන කලේය. ඉන්පසු මුහුණ කට සෝදා ඇඳුම් මාරු කරගෙන රාත්‍රීයට අඳින ඇඳුම් ඇඳගත් වින්සන්ට් ලංකාතිලක ඇඳේ වැතිරුනද නින්ද තවමත් නොආවේය. ඔහු නිදි වර්ජිතව පැයක් පමණ වේලාවක් අඩ අඳුරේ ගත කලේය.
වින්සන්ට් ලංකාතිලක මැල්කම් එක්ස් පිළිබඳව පෙරදා කියවන ලද ලිපියක කොටසක් සිහිපත් කලේය. Ragtime නවකථාව සහ මැල්කම් එක්ස් ගේ සමාජ විශ්ලේශන අතර යම් සමානකමක් ඔහු දකියි. මැල්කම් එක්ස් කියන පරිදි නිග්‍රෝවරු දෙකොටසකි. එක් කොටසක් හඳුන්වන්නේ ගෘහ නිග්‍රෝවරු වශයෙනි. දෙවන කොටස භූමි නිග්‍රෝවරු වෙති. ගෘහ නිග්‍රෝවරු තම සුදු ස්වාමියාගේ ගෘහයේ වසති. ඔවුන් ස්වාමියාගේ ඉවීම් පිවීම් කටයුතු මෙන්ම ගෘහ කටයුතු සපුරා දෙති. භූමි නිග්‍රෝවරු සේවය කරන්නේ සුදු ස්වාමියාගේ තිරිඟු කුඹුරු සහ කපු යායවලය. ඔවුන් දාඩිය වගුරමින් උදේ සිට රාත්‍රිය දක්වා වහල් සේවයේ යෙදෙති.
භූමි නිග්‍රෝවරුන්ට සාපේක්ෂව ගෘහ නිග්‍රෝවරු වඩාත් හොඳ දිවියක් ගත කරති. ඔවුන් ස්වාමියාගේ ඉතිරි වූ ආහාර අනුභව කිරීමේ වාසනාවන්තයන් වෙති. සුදු ස්වාමියා භාවිතා කරන ලද පරණ ඇඳුම් ගෘහ නිග්‍රෝවරු අඳිති. භූමි නිග්‍රෝවරු අඩක් කුසගින්නේ නිසරු ආහාර වලින් යැපෙති. ගෘහ නිග්‍රෝවරු සුදු ස්වාමියාට ආදරය කරන අතර ඔහුව අතුරු අන්තරා වලින් ආරක්ශා කරති. නමුත් භූමි නිග්‍රෝවරු සුදු ස්වාමියාට ද්වේශ කරන අතර ඔහුගේ නපුරු සහ කෘර පාලනයෙන් මිදී නිදහස ලබීමේ සිහින දකිති.
මැල්කම් එක්ස් තමන්ව හඳුන්වා ගත්තේ භූමි නිග්රෝවරයෙකු වශයෙනි.මැල්කම් එක්ස්ගේ මිණිතයට අනුව බැරක් ඔබාමා කවරෙක්ද? ඔහු පද්ධතිය සම්ප්රදාය සංස්ථාව ආරක්ෂා කරන ගෘහ නිග්රෝවරයෙක් ද? වින්සන්ට් ලංකාතිලක දෑස් පියා මොහොතක් කල්පනා කලේය. ඉන්පසු තම දිනපොත ගෙන සටහන් කීපයක් යෙදුවේය.
දුරකථනය අතට ගත් වින්සන්ට් ලංකාතිලක දාලියා ඇමතීය. ඉදිරි දින පිලිබඳ සැලැස්ම හෙලි කල වින්සන්ට් තව සුමාන දෙකක් පමන පැරිස් නගරයේ රැඳී සිටින බව කීවේය. එසේම ගැස්ටන් හමු වීමට තිබෙන බාධයකද පැවසීය. ජිනෝවා හි සිටින ඤාතියෙකුගේ උපකාරයෙන් ගැස්ටන්ට පණිවිඩයක් යැවීමට උත්සහ ගන්නා බව දාලියා පොරොන්දු වූවාය. එය වින්සන්ට් හට සහනයකි.
පැය භාගයක් පමණ දාලියා සමග දුරකථනයෙන් කතා කල වින්සන්ට් සංවාදය අවසන් කොට කාමරයේ විදුළි පහන නිවා නිදා ගැනීමට සූදානම් විය. ජෙට් ලැග්ම නිසා ඔහුට නින්ද ගියේ අළුයම හිරු කිරණ හෝටල් කාමරයේ ජනේලය ස්පර්ශ කරන විටය. නමුත් ඔහු බොහෝ වේලාවක් නිදා ගත්තේය. වින්සන්ට් ලංකාතිලක අවදි වන විට දිවා කාලයද අවසන් වෙමින් තිබුණි.
අවදි වූ පසු හොඳින් ස්නානය කල වින්සන්ට් ලංකාතිලක දිවා ආහාරය ලෙස ටර්කි සැන්ඩ්විච් කීපයක් ඇණවුම් කලේය. ආහාරයෙන් පසු ඇඳ පැලඳගත් ඔහු ජූඩ් හට දුරකථන ඇමතුමක් දුන්නේ ෆ්‍රෙඩ් සිරිමාන්න හමු වීමේ අභිලාශයෙනි. සවස පහ වන විට හෝටලයට එන බව ජූඩ් දැන්වීය. එතෙක් වින්සන්ට් ලංකාතිලක රූපවාහිනිය නැරඹීය.
පොරොන් දු වූ පරිදි ජූඩ් සවස පහ වන විට ජුල්ස් හෝටලයට පැමිණියේය. ජූඩ් පැමිණියේ ඔහුගේ නවතම Peugeot 208 මෝටර් රථයෙනි. ජූඩ් ආවේ තනියමය. ඔහු සමග කරුනානායක පැමිනියේ නැත. සේතන් මාමාට නොසලකා හැරීම පිලිබඳව ජූඩ්, කරුනානායකට නොසෑහෙන සේ දොස් පැවරූ නිසා මෙන්ම සේතන් මාමා පිලිබඳ වරදකාරී හැඟීම් නිසාදෝ කරුනානායක වියාජ හිසේ කැක්කුමක් ගෙන ෆ්‍රෙඩ් සිරිමාන්න හමුවීමට යන ගමන මග හැරියේය.
ෆ්‍රෙඩ් සිරිමාන්න ජීවත් වූයේ ටෝර්සි වල කුඩා නිවසකය. ඔහු දැන් විශ්රාමිකයෙකි. වින්සන්ට් ලංකාතිලක තමා හමු වීමට එන බව දැනගත් ෆ්‍රෙඩ් සිරිමාන්න සිටියේ යම්කිසි නොසන්සුන්කමකිනි. හමු වූ විට ඔවුන් බොහෝ සේ වාද කර ගනිති. නමුත් ෆ්‍රෙඩ් සිරිමාන්න වින්සන්ට් ලංකාතිලක ගේ සමාගම ප්‍රිය කලේය.
ඔවුන් ෆ්‍රෙඩ් සිරිමාන්න ගේ නිවසට යන විට ඔහු සමග් තවත් අමුත්තෙක් සිටියේය. ෆ්‍රෙඩ් සිරිමාන්න ගේ නිවසේ සිටි මහාචාර්ය නොයෙල් , වින්සන්ට් ලංකාතිලක හඳුනාගත්තේය. මහාචාර්ය නොයෙල් ගේ ලිපි වින්සන්ට් ලංකාතිලක කියවා තිබේ.
අමුත්තන් පිලිබඳ මූලික හැඳින්වීමකින් පසු තම මිතුරන්ට සංග්‍රහ කිරීම ඇරඹීය. වාදයකට පෙර අමුත්තන්ට සංග්‍රහ කිරීම ඔහුගේ පුරුද්දකි. මිතුරන් වෙනුවෙන් ඔහු විශේශ රාත්‍රී භෝජනයක් පිලියෙල කරවීය. ආහාර ගැනීමට ප්‍රථම ඔවුන් වයින් පානය කළහ. වාහනය එලවීමට තිබෙන නිසා ජූඩ් පානය කලේ එක වයින් වීදුරුවකි.
“ ෆ්‍රෙඩ් ලංකාවට ආපහු එන්න අදහසක් නැද්ද මහාචාර්ය නොයෙල් ඇසීය
“ අපෝ නැහැ නොයෙල් . මම ආපහු ලංකාවට යන්නේ නැහැ. අපි වගේ මිනිස්සු ඒ සමාජයට ගැලපෙන්නේ නැහැ. අපේ රෙට් බුද්ධිමත් සංවාද නැහැ. ප්‍රධාන මධ්‍ය වලින් පවා ඉදිරිපත් කරන්නේ දේශපාලනයට එන නිලියන් කියන කරන විච්චූරණ ගැන කථා , ඔවුන් ගේ ඕපාදූප , නූගත් දේශපාලකයෙක් කියපු මරි කතාවක් , මේවගේ දේවල්. බුද්ධිම සංවාද නැති තැනක බුද්ධි කලම්බනයක් නැහැ. එවැනි සමාජයක් ප්‍රාථමිකයි . නිරුවත්. ලංකාවේ සමාජයත් මේ වගේ. මේ වගේ නූගත් පාදඩ ප්‍රාථමික සමාජයකින් ඈත් වෙලා සංස්කෘතිය බුද්ධිම සංවාද තිබෙන පැරීසිය වගේ ස්ථානයක සිටීම මට දාහෙන් සම්පතයි” ෆ්‍රෙඩ් සිරිමාන්න පැවසීය.
මහාචාර්ය නොයෙල් ,ෆ්‍රෙඩ් සිරිමාන්න දෙස උපහාසාත්මක අයුරින් බැලීය.
“ ෆ්‍රෙඩ් හොඳට ෆ්‍රෙන්ච් කතා කරනවා. නමුත් ෆ්‍රෙඩ් කවදාවත් ප්රන්ස සමාජයේ සාමාජිකයෙක් වෙන්නේ නැහැ. ඔවුන් ව දකින්නේ අසියාතිකයෙක් , ලාංකිකයෙක් ලෙසට. ඒක වලක්වන්න බැහැ ”
“ මට ප්රන්ස ජාතිකයෙක් හෝ ඉංග්‍රීසි ජාතිකයෙක් වෙන්න අවශ්‍ය නැහැ. බාහිර සමාජය මාව දකින විදිහ මට අදාල නැහැ. මම අයිති ජාතිය අතික්‍රමණය කරලා හිතීමට පුලුවන් මිනිසුන් ගේ පවුලට. ඒ කොට්ටාශයේ පටු වාර්ගික හැගීම් නැහැ. ඒ නිසා ජාතිය අතික්‍රමණය කරලා හිතීමට අසීරු මිනිසුන් ගේ විනිශ්චයට මම යටත් නැහැ. නොයෙල් මෙතනට එන්න. මේ චිත්‍ර දිහා බලන්න”
ෆ්‍රෙඩ් සිරිමාන්න මිතුරන්ව යාබද කාමරයට ගෙන ගියේය. එම කාමරය කුඩා නමුත් පියකරු ලෙස කාමරයේ බිත්ති වල රඳවා ඇති චිත්‍ර නිසා කාමරය විශාල බවක් දැනේ. මිතුරන්ට චිත්‍ර එකින් එක පෙන්වමින් ෆ්‍රෙඩ් සිරිමාන්න චිත්‍ර පිළිබඳව විවරණයක් කලේය.
“ මේ පින්තූරය දෙස බලන්න . ඔබ දකින්නේ ශූන්‍ය දර්ශනයක්. එහි කිසිවක් නැහැ. නමුත් ඒ පින්තූරයේ පුළුල් ව්‍යාප්තවූ දර්ශනයක් තිබෙනවා. යළි හොඳින් බලන්න. ඔබ දකිනවා අල්තීනායි ඇතුළු දරුවන් ලෙනින් ගේ පින්තූරය දෙස බලා සිටිනවා. දයාබර ලෙනින් සියළු ලෝ තළයේ දරුවන් ගේ මිතුරා. දුයිෂෙන් හිස්වැස්ම ගලවා ලෙනින්ට ආචාර කරනවා. ගොම ගෑ සීතල පොළවේ වාඩිවී සිටින අයිලයේ දරුවන් දෙස ලෙනින් ගේ කාරුණික නෙත් යොමු වෙලා. දරුවනේ නුඹලාට සුභ අනාගතයක්.
මේ පින්තූරයේ වම් කෙළවර දෙස බලන්න. ඔබ දකිනවා යේ කැතරින්බුර්ග් වල ඉපැටියෙව් නිවස. ලෙනින් ගේ නියෝග මත ස්වෙර්ද්ලෝව් අණ කරනවා යාකොව් යුරෝව්ස්කිට සාර් රජතුමා ඔහුගේ බිසව සහ දරුවන් මරා දමන්න. නිවසේ මුරට සිටි සමහර භටයන් ප්‍රතික්ශේප කරනවා කාන්තාවන්ට වෙඩි තියන්න. ඒ නිසා යාකොව් යුරෝව්ස්කිට සිදු වෙනවා දෘඩ සිත් ඇත්තන් මේ කර්තව්‍ය සඳහා යොදවන්න.
යාකොව් යුරෝව්ස්කි සහ පිරිස දෙවන නිකලස් සාර් රජතුමාට ඇලෙක්සැන්ඩ්රා ෆියදොරොව්නා බිසවට සහ ඔවුන් ගේ දරුවන් වන ඔල්ගා , මරියා , තතියානා, සහ ඇලෙක්සේයිට වෙඩි තබා මරණවා. ඇලෙක්සේයි කුමරුගේ වයස අවුරුදු දහ හතරයි. අල්තීනායි ගේ වයස. වෙඩි වැදී බිම වැටී සිටින ඇලෙක්සේයි කුමරුට ඔවුන් බයිනේත්තු වලින් අනිනවා. නමුත් ඇලෙක්සේයි තවමත් හුස්ම ගන්නවා. යුරෝව්ස්කි ඔහුගේ පිස්තෝලයෙන් ඇලෙක්සේයි ගේ හිසට වෙඩි දෙකක් තබා ඔහුව නිසල කරනවා. බොල්ෂවික්වරු ඇලෙක්සේයි කුමරුගේ සුරතල් බල්ලා- ජිමීටත් වෙඩි තබා මරා දමනවා.
ඉපැටියෙව් නිවසේ කුස්සියේ වැඩ කල කොළු පැටියා ලියොනිඩ් සේද්නේව්. දුප්පත් ගමේ කොල්ලෙක්. ඇලෙක්සිගේ වයස. ඒ නිසා සාර් පවුල ඉපැටියෙව් නිවසේ රඳවාගෙන සිටි කාලයේ ලියොනිඩ් ඇලෙක්සි සමග මිතුරු වෙනවා. ඇලෙක්සි කුමරු ලියොනිඩ්ට කරුණාවයි. මේ මිතුදම බොල්ෂවික්වරුන්ට හිසරදයක්. රොමනොව් පවුල ඝාතනය කිරීමට පෙර ඔවුන් ලියොනිඩ් සේද්නේව්ව පිටමං කරනවා. මේ කොළුවා ගැන පස්සේ කිසිම ආරංචියක් ලැබෙන්නේ නැහැ. කොළුවාව අතුරුදහන් කරවනවා.
එකදාස් නමසිය හතලිස් ගනන් වන විට ලියොනිඩ් සේද්නේව් වැඩුණු මිනිහෙක් නමුත් රාජ්‍ය තන්ත්රය ඔහුව අමතක කරලා නැහැ. ස්ටාලින් ගේ එන් .කේ .වී. ඩී. පොලිසිය ඔහුව හොයාගෙන එනවා. මේ සාක්ෂිකරුවා අතුරුදහන් කළ යුතුයි. ලියොනිඩ් සේද්නේව් අත් අඩංගුවට ගෙන වෙඩිතබා මරා දමනවා. නමුත් මේ රහස අභිරහසක් වූවාද? ඔබලා පවා මේ සිදුවීම ගැන අද දිනයේ දන්නවා.
ලියොනිඩ්ගෙන් ඇලෙක්සිගෙන් ඇරඹෙන භීම සමය ස්ටාලින් යුගයේ හොලදමෝර් යූක්‍රයීනයේ කෘතිම සාගතය දක්වා දිවෙනවා. සාගතය නිසා මිය ගිය ළමුන් ගනන කීයද? දෙමාපියන් ජනතා සතුරන් කියා අත් අඩංගුවට ගෙන පිටුවහල් කිරීම නිසා විනාශ වී ගිය ළමා ජීවිත ගනන කීයද ? ඔබට තක්සේරුවකට එන්න පුලුවන්ද ?
මේ පින්තූරයේ දකුණුකෙළවර දෙස බලන්න. ඔබට පෙනෙනවාද ඇමරිකානු හමුදා විසින් වියට්නාමයේ නේපාම් බෝම්බ හෙලා මරා දමන ලද ළමුන් ?. එසේම ඇමරිකානු හමුදා ප්‍රහාර වලින් මිය ගිය ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ ළමයි. සෑම දේශපාලන ක්‍රමයක්, අත් හදා බැලීමක් , බල අරගලයක් යුද්දයක් ඉලක්ක කලේ ළමා ජීවිත. නමුත් අවසනයේදී මේ වැඩිහිටියන්ම කියනවා ළමයි තමයි අපේ අනාගතය කියලා. ළමයි ඔවුන් ගේ අනාගතයද ? නැත්නම් ඉල්ලක්කයද ?
මේ චිත්‍රය දෙස බලන්න. මේ චිත්‍රය මම මිලදී ගත්තේ කෙන්යාවේ මසායි මාකට් එකෙන්. ඔබට පේනවාද එක් මිනිසෙක් සහ ඔහු වටා රැස් වූ පිරිසක් ? මේ මිනිසා ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයෙක්. ගෝත්‍රික පසුගාමී රාජ්‍යයක් ඔහු පාලනය කරනවා. ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙස බලන්න. ඔහු අධ්‍යාපනයෙන් නූගත්. නමුත් උගත් මිනිසුන් තමයි ඔහුගේ අසූචි අදින්නේ. මේ උගත් මිනිසුන් නායකයාගේ වටා දණගසාගෙන ඉන්නවා. ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන් තොගය දෙස බලන්න. මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයා සවන් දෙන්නේ ඔහුගේ දෙපතුල වටා ඉන්න නෙත් අන්ධ මීයන්ට පමණයි. මේ මීයන් වන්දි භට්ටයන් සේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිකයාගේ නැති ගුණ ගයනවා. නමුත් මේ ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා මිය ගිය දවසට මේ මීයන් ඔහුගේ නුගුණ වයා අළුත් නායකයාගේ දෙපා වටා පොදි කනවා.
ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රික නායකයා දෙපස ඉන්න හයිනාවුන් දෙස බලන්න මේ හයිනාවුන් තමයි නායකයා නියෝග කරන ඝාතන ඉටු කරන්නේ. ඔවුන් ගේ නිය දත් අහිංසකයන් ගේ සත්‍ය කතාකලවුන් ගේ රුධිරයෙන් තෙත් වෙලා. ගෝත්‍රික නායකයාගේ උරපත්තේ දෙපස ගිජු ලිහිණින් දෙදෙනෙකු ඉන්නවා ඔවුන් තමයි නායකයා වෙනුවෙන් මුදල් ගසාකන්නේ. මේ ගිජු ලිහිණින් ඉතා සූක්ෂමයි මුදල් තියන ස්ථාන පුද්ගලයන් ගිජු ලිහිණින් ගේ දෙනෙතට අසු වෙනවා. මේ ගිජු ලිහිණින් ගෙන් ගැලවීමක් නැහැ.
ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා ගේ හිස මත වසා සිටින කපුටා දුටුවාද? මේ කපුටා තමයි ගෝත්‍රික නායකයා ගේ පූජා, යාග ගුරුකම් කරන්නේ. ම්ලේච්ඡ වනචාරී ගෝත්‍රිාක නායකයා සහ පිරිවර මිත්‍යාවේ කර වටක් ගිලිලා. ඔවුන් අනාගතයට විචක්ශනශීලීව මුහුණ දීමට බයයි. ඒ නිසා මිත්‍යා ගුරුකම් වලින් තමයි තම දෛවයට මුහුණ දෙන්න උත්සහ කරන්නේ. කපුටා කපටියි. ගෝත්‍රික නායකයන් තුල තිබෙන අනිසි බිය ප්‍රයෝජයට ගෙන ඔවුන් තුලට අතුරු අන්තරා කිළි පිලිබඳ බිය ඇතුළු කරලා ගුරුකම් යාග හෝම වලින් බඩ වඩා ගන්නවා. මේ චිත්‍ර වලින් අතීතය වර්තමානය අනාගතය නියෝජනය වෙනවා.
මේ චිත්‍රය බලන්න. මේ ලංකාවේ සුන්දර ගම්මානයක්. මේ ගම්මානය මීදුමකින් වැසිලා. ඒ මීදුම තමයි ග්‍රාමීය පසුගාමීත්වය. ග්‍රාමීය පසුගාමීත්වයෙන් වැසී ගිය මේ ගම්මානයේ ඉරිසියාව, කුඩුකේඩුකම, හීනමානය , නවීනත්වයට දක්වන බිය, තාක්ෂණ විද්‍යාව පිලිකුල් කරන නමුත් එහි ප්රතිලාභ වලට ඇති ගිජු බව , ද්විත්ව ප්‍රමිතිය ගම්මානයේ සුන්දර බව විනාශ කරනවා. මේ ගම්මානයේ දරුවන් තමයි නිදහස් අධ්‍යාපනය නම් ඉනිමග ඔස්සේ නගරය කරා එන්නේ. නගරයේදී ඔවුන් විධායකන් බවට පත් වෙනවා. නමුත් ඔවුන් ගන්නා තීරණ , ඔවුන් ගේ ආකල්ප වල ග්‍රාමීය පසුගාමීත්වය පිරිලා. මේ පසුගාමීත්වය තමයි ගුණදාස අමරසේකර ගැමි දෘෂ්ටිවාදය හරහා ඉදිරිපත් කලේ. ගුණදාස අමරසේකර ගේ පටු ගැමි දෘෂ්ටිවාදය මම ප්‍රතික්ශේප කරනවා.
ගැමි තරුණයන්ගේ නොමේරූ බව, අත්‍යන්ත වූ බුද්ධිමය සීමා 71 කැරැල්ල, 88, 89 භීෂණය, හා එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදයෙනුත් අපට පෙනී ගියා. ඒක අපි සක්ෂාත් කළා. පන්ති සතුරා තමයි ඔවුන් හඹා ගියේ.පන්ති සතුරා කියන්නේ කවුද ? සේන සහ සිරි පන්ති පහ නිම කල දුගී ගැමි තරුණයන් දෙදෙනෙක්. ඔවුන් ගමේ උළු ගෙවල් වල ජීවත් වූ තමන්ගේම කුඹුරු වල වැඩ කරගෙන ගෙවත්තේ පොල් ටික එලවළු ටික වගා කරගෙන අවම අවශ්‍යතා නිසා ස්වයංපෝෂිත බවට පත් වී සිටි ගැමියන්ව හැඳින්වූයේ ධනපතියන් ලෙසට. මේ නිසා තම ගමේ සිටි මේ වගේ කොටස් ඔවුන් දුටුවේ පන්ති සතුරන් ලෙසට. ඒ නිසා ඔවුන්ට ද්වේෂ කලා.
කැරැල්ල නිසා සේන සහ සිරි හිරේ ගියා. සේන හිරේදී ඉගන ගත්තා. ඉංග්‍රීසි දැණුම ලබාගත්තා. දෙදෙනාම අවුරුදු හයකට පස්සේ ගමට ආවා. සිරි ගමේ කුලී වැඩ කරලා ජීවිතය ගැටගහගත්තා. සේන කොලඹ පැත්තේ එන්.ජී.ඕවක පොඩි වැඩක් හොයා ගත්තා. ඒ අතරේ බාහිර උපාධිය හැදෑරුවා. සිරි තවම ගමේ කුලී වැඩ කරනවා. අතරින් පතර පරණ දේශපාලන වියාපාරයටත් උදව් කරනවා.සේන පිටරට ගියා එන්.ජී.ඕ වල වැඩ කරා. අවුරුදු ගානකට පස්සේ සේන තඩි කාර් එකකින් ගමට ආවා. සේන සුදු වෙලා ඇඞපතත් මහත් වෙලා. සිරි අකලට නාකි වෙලා. අව්වේ වැඩ කිරීම නිසා මිනිහා පිච්චිලා ගිහිල්ලා , උඩු ඇන්දේ දතකුත් නැහැ. සේනව දකින සිරි තුල ඉරිසියාව , තම ගැන දුක අනුකම්පාව පහළ වෙනවා. ඔහු සේන සමග කථා කරන්නේවත් නැතිව යනවා. සේන ද්‍රෝහියෙක් පන්ති සතුරෙක් කියනවා. මේ තරුණයන් දෙදෙනා අතර වෙනස්කම් ඇති කළ ප්‍රධාන සාධක මොනවාද?
අපේ සමාජයේ බිය පිරිලා. අතීත කාමය නවීනත්වය , නවීනත්වයට ඇති බිය , නවීනත්වයේ ප්රතිලාභ කෙරෙහි ඇති ගිජු බව, ඒවා අත්පත් කර ගැනීමට ඇති නොහැකියාව නිසා මතුවන ඉච්චාභංගත්වයනිසා මිනිසුන් ආකුල වෙලා. තමා ගැන පවතින ආත්ම අනුකම්පාව නිසා අනෙකාට ඉරිසියා කරනවා.
නවීන තාක්ෂණය සමග ගනුදෙනු කිරීමේ නොහැකියාවෙන් පෙලෙන කොටස් ජංගම දුරකථනයට , ෆේස් බුක් එකට, ලැප්ෙටාප් එකට විරුද්ධ වීම අරුමයක් නෙවෙයි. බෝල් පොයින්ට් පෑනට බය වෙච්ච සමාජයක් මේක. ඒ නිසා නවීන තාක්ෂණය තහනම් කරන්න ඔවුන් දරණ උත්සහය මට හිතගන්න පුලුවන්. යුරෝපීය කොකේසියන් මිනිසා මධ්‍යතන යුගයේ මානසික රෝගීන් , උගත්කම තිබූ කාන්තාවන් මන්ත්රකාරියන්, සාතන් ගේ ඒජන්තයන් ලෙස චෝදනා කොට කණු වල බැඳ පණපිටින් පුළුස්සමින් ම්ලේඡ්චයින් ලෙස සිටි කාලයේ අපේ මිනිසුන් වාරි ශිෂ්ටාචාරයක් බිහි කලා. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. යුරෝපීය කොකේසියන් මිනිසා ශිෂ්ට වෙලා. අපි කොළ අතු ඇඳගෙන. දූෂණය කරපු සංඛ්‍යාව සමරන්න පාටි දමන , ගුරුවරියන් දණ ගස්වන ම්ලේඡ්චයින් අපගේ පාලකයන් ලෙස පත් කරගන්නා තරමට අපි පහත් වෙලා.
ලෝකයේ ප්‍රථම අගමැතිවරිය බිහි කෙළේ ලංකාව වුව ද එය කළේ ස්ත්‍රියට සමතැන් දෙන සමාජ මානසිකත්වයකින් නෙවෙයි. එය සිදු උනේ වැඩවසම් මානසිකත්වය නිසයි. වලව්වේ මහත්තයා මැරුණු නිසා ළමාතැනීව ලංකාවේ මිනිස්සු පත් කර ගත්තා. මේක වැඩවසම් හීනමානයෙන් පෙලෙන සමාජයක් ගත් සාමුහික තීරණයක් මිසක් කාන්තාවගේ පැත්තෙන් බලලා ස්ත්‍රියට සමතැන් දිය යුතුයි යන හැඞීමෙන් ගත් තීරණයක් නෙවෙයි.
අපට තාක්ෂණය , කලාව ,විද්‍යාව යන ත්‍රිවේදයන් දියුණු වූ ශිෂ්ටාචාරයක් ගොඩ නැගීමට අසමත් වූයේ මන්ද ? තවමත් පසුගාමී ගෝත්‍රික ගති අපගේ ජාන වල රඳා පවතීම නිසාද? අපි ලෝක තත්ත්වයේ ලාංකිකයන් බවට පත් වන්නේ කවදාද? ලංකාවේ බහුතර සබුද්ධික මිනිසුන්ව පාලනය කරන්නේ බලය පමණක් අතැති නූගත් මිනිස්සු. නූගතුන් විසින් උගතුන් පාලනය කරන දේශයක ජීවත් වීම සාපයක් නොවේද?
ෆ්‍රෙඩ් සිරිමාන්න එක එල්ලයේ මිතුරන් දෙස බලා සිටියේය. කිසිවෙකු නිහඩතාව බින්දේ නැත. මිතුරන් ද ෆ්‍රෙඩ් සිරිමාන්න දෙස බලා සිටියා පමණි
“මිත්‍රයා මේ කතාව අහන්න “ ඔහු නිහඞතාවය බින්දේය.
“ මම හිටියේ ගහළයාගේ කාර්යාලයේ. ගහළයා දේශපාලනයමය වශයෙන් මෙන්ම රාජකාරියමය වශයෙන් බලවත් පුද්ගලයෙලක්. ඔහු ඉදිරියේ හමුදා නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් හැසිරුනේ බයාදු විදිහට. මම විතරක් නිහඬ ව කෙලින් හිටගෙන සිටියා. ඔහු මා දෙස බැළුවා. මම නිසොල්මන්ව ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලයේ බලා සිටියා. කිසිම කෙනෙක් ගහළයා ඉදිරිපිට ඔහුගේ ඇස් දෙක දිහා බලන්නේ නැහැ. බැලුවොත් බලන්නෙ හිස නවාගෙන. ගහළයාට මගෙන් වැඩක් නැහැ. මම නිකම් විශ්ව විද්‍යාලයක උපාධියක් තියන පුද්ගලයෙකු විතරයි. මට වඩා උගත් මිනිසුන් ගහළයා ළඟ දණ ගහනවා.
එක් නිලධාරියෙක් ෆයිල් එකක් අරගෙන ආවා. ෆයිල් එක දැහැත් වට්ටියක් භික්ෂුවකට දෙනවා වගේ අත් දෙකෙන් දුන්නා. සර් තිස් දෙකේ වත්තේ ප්‍රොජෙක්ට් එක කරගන්න විදිහක් නැහැ මිනිස්සු ප්‍රොෙටස්ට් කරනවා කිව්වා. තිස් දෙකේ වත්ත කියන්නේ මුඩුක්කුවක්. මේ මුඩුක්කු ටික කඩලා මෙතන තරු පහේ හෝටලයක් ඉදි කිරීමට තමයි සැලැස්ම. ගහළයාගේ මුහුණට කෝපය ආවා. අයිසේ ඔය මුඩුක්කු ටිකට ගිනි තියනවා කිව්වා. ප්රශ්නය එතනින් හමාරයි. තවත් හමුදා නිලධාරියෙක් ආවා. රිපෝට් එකක් පෙන්නුවා එක මාධ්‍යවේදියෙක් ගැන. මිනිහට වී.අයි.පී. ට්‍රීට්මන්ට් දෙනවා කිව්වා. ඒ කියන්නේ කැපුට් නොහොත් මරණය.
හවස මම ටීවී බලන කොට දැක්කා තිස් දෙකේ වත්තේ හදිසි ගින්නක් ඇති වෙලා නිවාස සීයක් විතර අළු වෙලා. සුන්බුන් අතර කුඩා පාසල් යන වයසේ ළමයෙක්. ඒ ළමයා තමන් ගේ පාසල් පොත් හොයනවා. මුහුනේ අසරණකම දුක පිරිලා. නමුත් පාසල් පොත් අළු බවට පෙරලිලා. ඒ සමගම හදිසි ප්‍රවෘත්තියක්. මාධ්‍යවේදියෙකුට වෙඩි තියලා මරලා. මාධ්‍යවේදියාගේ පවුල පොළවේ හැපී හැපී අඬනවා. මම ටීවී එකෙන් දෑස් මොහොතකට ඉවතට ගත්තා. අද දිනය ඇතුලත ගහළයා මම ඉදිරියේ පාප කර්ම දෙකක් කරලා. මට ගහළයා ගැන පිළිකුලක් ඇති උනා. යළිත් මම ටීවී එකට නෙත් යොමු කලා. පන්සලක පින්කමක් පෙන්වනවා. ගහළයා තමයි ප්‍රධාන අමුත්තා. සංඝ නායක ධාතු කරඬුව ඔහුගේ හිස මත තැබුවා. මම දුටුවා ගහළයාගේ මුහුනේ වූ ශාන්ත ස්වභාවය. ගහළයා කිසිම වරදකරී බවක් නොමැතිව සන්සුන් ලෙස ධාතු කරඬුව හිස් මත තබාගෙන ඉන්නවා. ඔහු දක්ෂයෙක් අනිවාර්යෙන්ම දක්ෂයෙක්. මෙවැනි පුද්ගලයන් තමයි රෝමය නිර්මාණය කලේ. අප වගේ ස්වයං වරදකාරී බව නිසා තිගැස්සෙන නිතරම හෘධ සාක්ෂියට සවන් දෙන බියසුල්ලෙක් නොවෙයි ඔහු. ගහළයා උදාර පුරුෂයෙක්. මේ වගේ පුරුෂයන් තමයි ලෝකයට අවශ්‍ය. අනුකම්පාව කියන්නේ දුර්වළයාගේ චරිත ස්වභාවයේ මූලික ප්රකාශනය. නීට්ෙෂ් ගේ සුපිරි මිනිසා පිලිබඳ භාෂිතය වෙනස් කරලා තමන්ට අවශ්‍ය සුපිරි මිනිසුන් නිර්මාණය කල Wewelsburg එස් එස් පාසල මට සිහියට ආවා. Wewelsburg පාසල බිහි කලේ ගහළයා වගේ ශක්තිමත් මිනිස්සු. අපි වගේ දුර්වළ මිනිසුන් ස්වභාව ධර්මය විසින් ක්ෂය කරලා දමනවා. අපට පැවැත්මක් නැහැ.
ඔබලාට තේරෙනවද මම කියන දේ . ඔහු මිතුරන් ගෙන් ඇසීය. කිසිවෙකු පිළිතුරක් දුන්නේ නැත.
(පරිකල්පනික අතික්‍රමණය – වෛද්‍ය රුවන් එම් ජයතුංග )
වෛද්‍ය රුවන් එම්. ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි
අපි අතින් ගෙවලා ලයිසමක් අරං රේඩියෝ අහපු පරපුරක අය! දැන් වාගේ වෛවාරණ රෙඩියෝ චැනල් ඒකාලේ තිබ්බෙත් නෑ! තිබ්බත් ඒ වායෙන් අහන එවුංට පගාව දුන්නෙත් නෑ “අපේ රෙඩියෝ එක ඇහුවොත් සල්ලි තමා!” කියලා.
අපේ ගෙදර තිබ්බේ ෆිලිප් රේඩියෝ එකක්. රේඩියෝ එක මෙච්චර විතර ඇති! රෙඩියෝ එක තියලා තිබ්බේ ගෙදර තිබ්බ තාත්තාගේ ෆයිල් කැබිනට් එක උඩ. රේඩියෝ එක තිබ්බාම කබර්ඩ් එකෙන් ඉතිරි උනේ අඟල් හතරක විතර තීරුවක් විතරයි. ඒ තීරුවේ තිබ්බේ මොකක්ද දන්නවාද? නිල් පාට “බෙරෙක්” ඩ්‍රයි බැටරිය!බෙරෙක් ඩ්‍රයි බැටරිය ආවරණය කරලා තිබ්බේ කාඩ්බෝර්ඩ් කවරයකින්. ඒකෙ තරම ඇති A4 එකක් තරම්. එහෙ මෙහෙ උනානම් ඒ අඟල් භාගයකින් විතර! මේ කවරෙ එක තැනක රවුමක් ලකුණු කරලා තිබ්බා අඟල් දෙකක විතර විෂ්කම්භය ඇතිව. අළුතින් බැටරියක් ගෙනාවාම මේ රවුම වටේට ඉරාගෙන ගියාම මතුවෙනවා; රෙඩියෝ එකේ ඉඳන් එන; මගේ මතකයේ හැටියට පින් හතරක ප්ලග් එක අමුනන හිල් හතර හෙවත් ප්ලග් බේස් එක! මේ බැටරිය කිලෝ තුනක විතර බරක් තිබ්බා! දැන් හිතා ගන්නකෝ මෙච්චර විතර රේඩියෝ එකේ ඇත්තම සයිස් එක!? රෙඩියෝ එකේ පිටිපස්ස වහලා තිබ්බේ කලු පාට; තද හාඩ් බෝඩ් එකකින්. රෙඩියෝ එක තද දුඹුරු පාටයි. පසුපස කාඩ් බෝඩ් එක ගැලෙව්වාම ඒක උඩයි යටයි තට්ටු දෙකකට බෙදලා තිබ්බා! උඩ තට්ටුවේ තිබ්බේ තඩි පීකරයක් හෙවත් ස්පීකර් එක. යට තටුව ගැලෙව්වාම ඒක විසිතුරු ලෝකයක්! ඒකේ තිබ්බේ තැනින් තැන දිළුණු වීදුරු බල්බ! ඒවාට කිව්වේ වැල්ව් කියලා. රෙඩියෝ එක හදිසියේ අසනීප උනාම පිටු පස කවරය ගලවා බැලුවාම එක වැඇල්වයක් නිල් පාට වී ඇති බව පෙනුනොත් එය ගලවාගෙන ගොස් රේඩියෝ හදන එකෙක් ගෙන් ඒ වෑල්වයක් ගෙන සවිකල විට රෙඩියෝව නැවත පන ගසා නැගිට එයි! ඉදිරි පසින් රේඩියෝවේ දෙපසින් කරකැවීමට එක උඩ එක රවුං දෙක බැගින් දෙකක්ද ඉදිරි පසින් දත් සැට් එක වැනි සුදු පැහැති බොත්තං හයක්ද දකුණු පස උඩ කෙළවරේ කුඩා ලයිට් එකක්ද තිබුනි!
අපේ ලක්ෂ්මන් බාප්පාගේ ගෙදර තිබුනේ PYE වර්ගයේ රේඩියෝ එකකි. එයාලගේ රේඩියෝ ලයිසමේ “වරිගය” ලියන පේලියේ අමු හිංගලෙන් “පයි” කියා කළු පෑනකින් ලියා තිබුනු අතර රේඩියෝ ලයිසම ගන්න මේ වචනෙත් එක්ක යන්න ලැජ්ජා හිතුණු අපේ ඉංදු ඇංටි එයට ඉස්සරහින් නිල් පෑනකින් කොම්බුවක් දමා “පෙයි” කරගෙන තිබුනු හැටි මට අද වාගේ මතකය! මටත් මතක හිටින්නේම ඔවැනි අවලං කථාමය!
රේඩියෝ ගැන කථාවේදී මාගේ මතකයට එන පැරණි කථාවකි. “දෝන කමලාවතී”, “බයිසි මොටෝ එක”, “මුළු හදින් මම ඇයට පෙම් කොට”, “බයිසි මොටෝ එක” වැනි නවකතා රචනා කල ගුලී හෙවත් ගුණදාස ලියනගේ ගේ නිවසේ තිබී ඇත්තේ “එකෝ” නම් ලත් නො එසේනම් ඒම වරිගයේ රෙඩියෝ පොඩ්ඩෙකි. එයට ගුලී කෙතරම් ඇළුම් කලේද කියනවානම් ; එය හැඳින්වූයේ “පොඩි එකෝ” කියලා ලු!
මේ ඊයේ පෙරේදා ඉන්න් බැරි කඩි ගායට ඔක්කම්පිටියේ ගිහින් එමින් ගමන් අපේ කුරුණාගල යකඩ ලියවන පල්ලියගුරු මල්ලි කීවේ; එයාලගෙ සීයා සතුව තිබුනු පරම්පරා ගනනක් පැරණි ගෘන්ඩිග් ජර්මානු රේඩියෝව සීයාගෙන් ඉල්ලාගෙන ඇවිත් එහි පීකරේ ගලවා එය වටේ තිබුනු කාන්දම් වලල්ල තමා සතු කරගත් අනුවේදණීය කථා පුවතකි!
මේ සියල්ල කිව්වේ රේඩියෝ එකේ යාන්ත්‍රික වටා පිටාවය. එහෙත් අසන්නන් අතින් ගෙවා රෙඩියෝව ක්‍රියාත්මක කලේ මෙම යාන්ත්‍රික වට පිටාව පිළිබඳව පතල මහා කරුණාවකින් නොව; එයින් ප්රචාරයට පත්වූ වැඩ සටහන්, ඒවා නිශ්පාදනයකල නිශ්පාදකයින් හා ඉදිරිපත් කල නිවේදක නිවේදකයින්ගේ කලාත්මක හා බහුසෘත වපසරිය නිසාය!
“කාබාසිනියාතුමෙකු” වූ අපේ තාත්තාගේ ප්‍රියතම වැඩ සටහන් තුන හතර වූයේ උදෑසන, මධ්‍යහන ප්‍රවෘති, සන්ධ්‍යා ප්රවෘත්ති හා රාත්‍රී නමයට ප්‍රචාරය වූ රාත්‍රී ප්රවෘත්ති! එකල වැඩිපුරම ප්‍රවෘති කීවේ සිරිල් රාජපක්ෂය. ඔහුගේ ගැඹුරු හඬටම ගැලපී යන පළමු ප්‍රවෘත්තිය අසන්නන්ගේ මවිල් කෙලින් සිටුවීමට සමත් විය! දැන් වාගේ අර උන්නැහේ පංසල් ගිය ඒවාත් අනිත් උන්නැහීට අතීසාරය සෑදීමත් ප්‍රවෘති නොවූ එකල පෙර වාදනය යද්දීම ගෙදරක, කඩයක් පිලක සිටිය වුන් අමුඩ තද කරගෙන සවන්දීමට සැරසෙන්නෝය! සිරිල් රාජපක්ෂට අමතරව, අමරබන්දු රූපසිංහ, ප්‍රේමකීර්තිද අල්විස්, වැනි අය ප්රවෘත්ති විද්දේය! එදා ඒ හඬ පෞර්ෂය හා උක්ත ආඛ්‍යාත ගැලපුනු වැකි වලින් කියන්නට ගැලපුනු නිව්ස්ද තිබුනේය. අද තිබෙන “බල්ලා රට ගියා – රට බල්ලට ගියා” වැනි වැකි එදා තිබුනේ නැත!
පෙර වාදනයට දෙශපාලනයක් තිබුනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ සමගි පෙරමුණු ආණ්ඩුවබලයට පත්වූ කාල්යේදී වාදනය වූයේ “ඩඩ්ලි ඩඩ්ලි දැන් කොහොමද” අනුවාදනය වනාතර යූ ඇන් පිය බලයට පැමිණි වහාම වාදනය වූයේ “ඇන් ඇම් ට පුළුවංද – හත් හවුළ පෙරළන්න” අනුවාදනයයි.
ගුවන් විදුලියේ ස්වර්ණමය අවදිය ලෙස සැලකෙන්නේ රිජ්වේ තිලකරත්න යුගයයි. ගුවන්විදුලියේ සුපිරි ගනයේ නිවේදකයෙකුවූ කරුණාරත්න අබේසේකර, චිත්‍රානන්ද අබේ සේකර, නාට්‍ය ශිල්පී හෙන්රි ජයසේන, ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක ස්ටැන්ලි ජයසිංහ, හා දොස්තර ගුණදාස අමරසේකර ඔහුගේ නාලන්දාවේ සමකාලීනයෝ වූහ. බොහෝ නව නිර්මාණාත්මක වැඩසටහන් බිහිවූ මෙතුමාගේ යුගය සමකල හැක්කේ ලංගමයේ අනිල් මුණසිංහ, රේල්ලුවේ ඩී. බී. රම්පාල යුගයන්ටය!
මාගේ මතකය නිවැරදි වේනම් ටී. එම්. ජයරත්න ගායනා කරන “ඔබ හා මෙමා අතිනත් අරන්” ගීතය ලියා ඇත්තේද රිජ්වේ තිලකරත්න මහතා විසින් වන අතර එම පදමාලාව ටී එම් හට භාරදී ඇත්තේ “මෙන්න මේ කවුද සිංදුවක් එවලා තියෙනවා! හොඳනං කියන්නකෝ!” කියාය!
තිලකරත්න මහතා ගැණ කථා කරන කොට කරුණාරත්න අබේසේකර පිළිබඳව කියැවුනු නිසා එතුමා ගැනත් ඇති මතකය මෙහිම දිග අරිණ්නම්. ඔහු පිළිබඳ මාගේ මතකය නැවතී ඇත්තේ දාස සමූහ ව්‍යාපාර වෙතින් ප්‍රචාරය වූ “පිබිදෙන ගායක පරපුර” වැඩසටහනෙනි. ඔහු එය ඇද පැද; උත්කර්ශවත් හඬින් “පිබිදෙන . . . .ගායක . . . .පරපුර . . . ” කියන අයුරු අදත් සවනේ රැව්දේ! ලංකාවේ වැඩිම ගීත ගනනක් ලියා කප් ගසා සිටින මෙතුමා ගීතයක් ලියන්නට පෙර සරස්වතී දේවියට පොල්තෙල් පහන් හඳුන්කූරු දල්වා පූජාවක් කල බව මාහට පැවසූවේ පත්තර ලොවේ පෙරළි කාර චරිතයක් වූ චින්තන ජයසේනයන් විසින්ය. දිනක් චින්තන අයියා මුණ ගැහුනු අවස්ථාවක “අඩියක්”ගැසීමට “සීගිරියට” එන ලෙස කරුණාරත්න අබේසේකර ආරාධනා කලේලු. සීගිරිය යනු කාෂ්‍යප බලකොටුව නොව; පුංචි බොරැල්ලේ සිරිධම්ම මාවතේ ගෝතමියට යන පාරේ (සැලස්කි පෙදෙස නේද නම?) අද එතුමාගේ නමින් හැඳින්වෙන පටු මාවතේ පැවති ඔහුගේ නිවෙසයි. චින්තන අයියා යනු හිටගෙන ගල් අරක්කු බෝතලය; “බත් කා කට දනවාට බොන” පන්නයේ බෙබේ බී බොතේජුවෙකි! එසේම ඔහු මධුවිතට ආලය කලේ; ඔහුගේත්; ටයිටස් තොටවත්තයන්ගේ හඳයාහි “සූප්පුවාට” පන පෙවූ කිත්සිරි මෙවන් ජයසේනගේත් අම්මාට තාත්තට මෙන්ය! එදින ඉක්මණින් කණ්තෝරුවෙන් පැනගත් චින්තනයාණන් පාටියක් විඳීමේ අධිටනින් යුතුව සීගිරියට කිට්ටු කලේය. ඉතාමත් ආදරයෙන් සාදරයෙන් හා ගෞරවයෙන් යුතුව චින්තන අයියාව පිලිගත් කරූ ඔහුව සාලයේ කෙළවරක; කනප්පුවක් ඉදිරියේ අසුන් ගන්වා ලයන් ලාගර් බෝතලයක් හා වීදුරු දෙකක් ගෙනැවිත් කනප්පුව මතින් තැබුවේලු. “වෙහෙර ගිල්ල යකාට අග්ගලාවත් කජ්ජක්ද?” කීවා සේ චින්තන අයියා බීර වීදුරුවකින් සංතෘප්තවී ගේට්ටුවෙන් එළියට ඇවිත් කඩප්පුලි භාෂාවෙන් කුණුහරුපෙන් බැන බැන කොලෝනියල් එකට ටැක්සියකින් ගියාලු.
ගුවන් විදුලියට අදාල නොවුනත් චින්තන අයියා කියපු තවත් රසවත් කථාවක් පවසන්නට තරහ අවසර!
හෙළයේ මහා ගත්කරු;මාර්ටින් වික්‍රමසිංහයන් මධුවිත ඔෆර් කරණ්නේ ඔහුගේ පොත් ගුල තුලදීලු. පොත් රාක්කයේම පසෙක තිබුනු කුඩා කබර්ඩ් එක තුලින් බෝතලය ගෙන වීදුරු වලට වත් කොට නැවත කබර්ඩය තුලට දමා යතුරු ලන්නේලු. ඒම මදුවිත වඩිය සියල්ලෝම බී අවසන් වූ විට නැවතත් කබර්ඩ් එක ඇර වීදුරු පුරවා නැවතත් පෙර පරිදිම යතුරු ලන්නේලු! ඔය මදෑ ඒ ගැන කිව්වා!
ඉතින් කරුණාරත්න අබේසේකරද ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රකාශ කල බව මා අසා ඇත! ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්රචාරයේ මුදුන් මල්කඩ වූයේ පාලිත පෙරේරා සහ ප්‍රෙමසර ඈපාසිංහයන්ය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියංගම් වලට ගෙන යෑමේ ගෞරවය කරපින්නාගෙන සිටින්නේ ගුවන් විදුලියත්, පාලිතත් ඈපාත්ය. ඔවුන් පලමුවෙන්ම විස්තර විචාරය කොට ඇත්තේ “ආනන්ද – නාලන්දා සුලෝහිත මහා සංග්‍රාමය” ලෙස විරුදාවලිය ලැබූ මහා ක්‍රිකට් තරගය පිළිබඳවයි. ක්‍රිකට් ක්‍රීඩාවට උචිත බොහෝ වචන සෑදීමටද කරුණාරත්න අබේසේකර මැදිහත්වී ඇත!
ඇපාසිංහ විසින් ඉදිරිපත් කෙරුණු තවත් අගනා වැඩසටහනක් වූයේ “බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු” වැඩසටහනයි. මාගේ මතකය නිවැරදිනම් එය ප්‍රචාරය වූයේ ඉරිදා රාත්‍රී 8.15 ටය! දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සිදුවූ නවතම ආරංචි රැගෙන; “ගෙවී ගිය සතියේ ක්‍රීඩා ලෝකය තුල . . ” යනුවෙන් පටන්ගෙන කට කම්මිස්සිරියාවක් නැතිව වේගයෙන් සියළු ක්‍රීඩා විස්තර කියා පා ඈපාසිංහ හුස්මක් ගන්නේ “යලිත් ලබන සතියේත් බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සමගින් හමුවන බලා පොරොත්තුවෙන් ඔබෙන් සමු ගන්නේ ප්‍රේමසර . .ඈපාසිංහ ආයුබෝවන්!” කියාය. ඔහුගේ තිබුනු “කඩදාසි ලිපේ දැම්මාසේ” පවසන වේගවත් වචන තුලින් අසන්නන් තුලද ජවයක් ඇතිකර ලීමට සමත් විය. ඔහු වචන; පිටපතට ලෝඩ් කොට රේඩියෝවෙන් වෙඩි තැබීය! ඔහුගේ වෙඩි මුරය අවසන් වූ වහාම 8.30ට පටන් ගැනෙන්නේ මොණරතැන්න ය. ජේ. එච්. ජයවර්ධනයන් එහි පන පෙවූ “රජ්ජුරුවො” චරිතය තවමත් මතකයේ ඇති අය සිටිති. බ්‍රිස්ටල් ක්‍රීඩා විසිතුරු සඳහා අනුග්‍රහය දැක්වූයේ සිලෝන් ටුබේකෝ ආයතනය වන අතර මොණරතැන්න ගුවන් ගත්වූයේ ජයතිස්ස ඉන්ඩස්ට්‍රීස් හට පින් සිදු වන්නටය.
සඳුදා රාත්‍රියේ ප්‍රචාරය වූයේ වික්ටර් මිගෙල්ගේ නව මුවන් පැලැස්සය. මුවන් පැලැස්ස පසුව නව මුවන් පැලැස්ස වී ඇති අතර එහි පලමු රචකයා වූයේ මුදලිනායක සෝමරත්න වූ අතර පසුව එය වික්ටර් මිගෙල් විසින් රචනා කරණා ලදී. එහි ප්‍රධාන චරිතය වූ කදිරාගේ චරිතයට පන පෙව්වේද විටර් මිගෙල්ය. මාහට මතක ඇති කාලයේ එය ප්‍රචාරය වූයේ කඳානේ “ලින්ටන්ස්” ආයතනය අනුග්රයෙනි. මුවන් පැලැස්ස ගැන වැඩි දුර මෙතනින් කියවන්න! මේන්න මෙතනත් තියෙනවා හොඳ විස්තරයක් ඒකත් බලන්නකෝ! 1964 මාර්තු 12 වනි දින ඇරඹි මෙම ගුවන් විදුලි නාටකය ලොව දෙවෙනි වන්නේ 1951 ජනවාරි 1 වන දින එංගලන්තයේදී ප්‍රචාරය ඇරබි “ආර්චර්ස්” නාට්‍යයට පමණි. මුවන්පැලැස්ස සමග තරග වැදුනු අනෙකුත් නාට්‍ය වූයේ ධර්ම ශ්‍රී මුණසිංහයන්ගේ මොනරතැන්නය! මීට අමතරව “ගජ මුතු”, “වජිරා” වැනි නාට්‍යය වටාද ශ්රාවකයින් රොද බැඳ ගත්හ.
රේඩියෝ නාට්ටි හෙවත් ගුවන් විදුලි නාට්‍යය පිළිබඳව කතා කෙරෙණ විට අමතක කල නොහැකි නාටයයක් සමන් ආතාවුද හෙට්ටි අතින් ලියැවුනි. ඒ අන් කිසිවක් නොව සෙනසුරාදා උදේ වරුවේ ප්‍රකාශය වූ “ලන්දේසි දූපත” නමැති ළමා රහස් පරීක්ෂක කථාවයි. සත්තකින්ම අදද ඒ නාටයය ඇසීමට ඇත්නම් යැයි මට සිතුණු වාර අනන්තය. එහි ප්‍රධාන චරිතයක් වන රොන්ජන්හට පණ පෙව්වේ සමන්ම වන අතර ජිල්ජෝන් හා වැන්දබෝනා චරිත ද්විත්වයෙන් එකකටද ඔහු හඬ මුසු කලේය. අනෙක් චරිතය පනපෙව්වේ කොළඹ නගර සභාවේ පරාක්‍රම පෙරෙරාය. එකල නිරංජලා සරෝජනී හා රෝහණ සිරිවර්ධන වැනි අයද හඬ නළුවන් විය. අංක එකේ කාන්තා ලාලිත්‍යය වූයේ නම් කුසුම් පීරිස්මය! එය ඒතරම්ම හැඟීම් දැනවූ හඬකි!
නෙතලී නානායක්කාර, වොලී නානායක්කාර, ශ්‍රීනිමල් පද්ම කුමාර, ඇග්නස් සිරිසේන, විජේරත්න වරකාගොඩ, වැනි බොහෝ අය; රේඩියෝ චරිත ජීවත් කර වූවේය. වරක් මුවන් පැලැස්සේ උක්කු බණ්ඩාට හා නාමලීට පන පෙවූ වොලී නානායක්කාර හා නෙතලි නානායක්කාරගෙ ඇඩ්රස් නැතිකරේ නාට්‍යානුසාරයෙන්මය!
මීට අමතරව විනෝද සමය, හංදියේ ගෙදර වැනි වැඩ සටහන් වලින් සැමුවෙල්, බර්ටි, ඇනර්ස්ලි, ඇලෝ පෙරෙරා, මර්සි, ගැමුණු වැනි අයද අපගේ ඉළ ඇට සම්භාහනය කලෝය. හංදියේ ගෙදර්ට රෙඩියෝ නාට්ටියේ; ප්‍රවීණ ගායක බන්ධුල විජේවීරයන්ද හඬ කැවූ බව යාන්තම් මතකය. එහි “කල්කදුරු තිත්තගේ ගල්නෝමිස් ඉරිවේරිස්” නම් චරිතයක්ද තිබුනු බව මතකය. සැමුවෙල් ගේ “අමාරිස් අයියා” චරිතයද ඇනර්ස්ලිගේ හාමු මහත්තයා චරිතයද “නාමෙ නොදිරණා – කුණු කය දිරණා” යන ගීත කණ්ඩයට අරුත් සැපයූවේය!
ගුවන් විදුලියේ තම හඬ පෞර්ෂයෙන් ආමන්ත්‍රණය කල අමරබන්දු රූපසිංහ, ලලිත් එස් මෛත්‍රීපාල, ප්‍රේමකීර්තිද අල්විස් පිළිබඬව ඇත්තේ සුපහන් මතකයකි. මෙම තිදෙනාම ප්‍රවෘති ප්රකාශයටද සහභාගී විය. මින් වැඩහටහන් සම්පාදකවරයෙකු ලෙස ඉමහත් කීර්තියට පත් ප්‍රේම්ගේ ශනිදා සාදය දුහුනන් සඳහා විවරවූ වැඩ සටහනකි. එසේම රේඩියෝ සඟරාවද (සෙනසුරාදා සවස 4.00) ඔහුගේ වැඩ කිඩ වලින් ඔපවත් උනා යැයි මාහට මතකයක් පවතී. වැඩසටහන අවසානයේ ” . . . . . . . . හි පදිංචි . . . . .ගේ දොන් ප්‍රේමකීර්තිද අල්විස් වන මා විසින් කොළඹ හතේ . . . . .ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී . . . . . . . .” යනාදී වශයෙන් අවසන් කලේ රේඩියෝ සඟරාව යැයි මාහට මතකයක් පවතී.
නිවේදක නිවේදිකාවන් ගැන කථා කරණ විට බණ්ඩාර කේ විජේතුංගය පිළිබඳව අමතක වුවහොත් එය විසල් අඩුපාඩුවකි.මා ගේ මතකය නිවැරදි නම් ඉරිදා දහවල් 1.00 ට ජාතික චිත්‍රපට සංස්ථාවේ “සිනමා පුවත්” වඩසටහන ගුවන් ගත විය. මීට කලකට පෙර ඉන්දියානු චිත්‍රපට ශ්‍රී ලංකාව තුල ජය කෙහෙළු නංවමින් තිරගත වූ කාලයේ ඒ පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහන මෙහෙය වූවේ බණ්ඩාරය. “ඔවුන් දෙදෙන එක් කලේද සංගීතයයි – වෙන් කලේද සංගීතයයි දෙවෙනි අභිමානවත් මාසයේ අභිමාන්” ඔහුගේ වදන්ය! “ළඳුනි මා ඔබට ද්‍රෝහි වූවා නොවේ! පියෙකු නැති දරුවෙකුට පියෙකුවූවා පමණි!”, “එක මලයි බඹරු දෙන්නයි!” මේ ඔහුගේ යෙදුම්ය. මේව්වා කියැවුනේ ඔහුගේ ගැඹුරු ස්වරයෙනි. එවන් හඬක් මා කිසිදා අසා නැත! “ඉන්දීවරියේ අඬනු එපා” – සනත් නන්දසිරි, “දිනෙන් දින ඔබ මා කෙරෙන්” – සනත් නන්දසිරි වැනි රසාලිප්ත ගීත රචනා ගනනාවක් පබැදූ ඔහු අකාලයේ මීවිත සමගම අපෙන් වෙන්ව ගියේ හයිකු කවියෙකු ලෙසද ඔහුගේ මුද්‍රාව අපගේ හදවතේ ගැඹුරුම තැන ස්ථාපිත කරමින්ය!
එසේම පැණ විසඳුම් වැඩ සටහන් වන “පුළුවන්නම් දිනාගන්න”, “ඕවල්ටීන් පැන පොඩි”, වැනි බොහෝ වැඩ සටහන් වලින් ගුවන් කාලය පිරීතිබුනි. ඊට අමතරව කේ ජයතිලක මහතාගේ ප්‍රිය බිරිඳව සුමනා ජයතිලක නැන්දා; සෑම සතියකම සිකුරාදා සවස 5.00 ට ලැම්බර්ට් පෙම්මාවඩු මාමා සමග එක්ව ගෙන ආ හඳ මාමා වැඩ සටහන පොඩිත්තන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. එහි තේමා ගීතය; “ලොව ඝනඳුරු දුරු කරන්න . . . . . කියමින් පටන් ගෙන හඳ මාමට සවන් දෙන්න . . ” යනුවෙන් කරටියෙන් ගැයූවේ ජේ ඒ මිල්ටන් පෙරෙරා විසින්ය.
සෑම උදෑසනකම 5.30 ට පටන් ගන්නා විකාශය තුල පන්සිල්, සෙත් පිරිත්, ධම්ම චින්තා, දවසේ සිතුවිලි, ජාතික ශරීර සුවතා වැඩසටහන, අරුණ කිරණ, ප්රවෘත්ති, අසන්නන්ගේ ඉල්ලීම්, ලෝක ප්රවෘත්ති, නිවේදක තෝරයි වැනි වැඩ සහන් වලින් දිනය ඇරඹීය. ඉක්බිති ගීතමය වැඩසටහන් ලෙස සරල ගී, ශාස්ත්‍රීය ගී, චිත්‍රපට ගී. සමූහ ගී, කණ්ඩායම් ගී, ලමා ගී, පැරණි ගී, දිවා ගී, බයිලා ලෙසින් සෘජුව ප්‍රචාරය විය. ඊට අමතරව නිවේදක තෝරයි, ස\ස්කාරක තේරීම්, රංග තරංග, අසන්නන්ගේ ඉල්ලීම්, කාන්තා ඉල්ලීම් අඟහරුවාදා සවස 5.00 ට නොවරදවා ප්‍රචාරය වන “ලේ පරිත්‍යාගශීලීන්ගේ ඉල්ලීම්” වැනි වැඩ සටහන් වලින්ද උතුරු ඉන්දීය සංගීතය, ශාස්ත්‍රීය සංගීතය, හිංදි චිත්‍රපට ගීත වැනි වැඩ සටහන් වලින්ද පිරී පැවතුනි.
ඉරිදා දහවල් 2.00 ට; ජර්මන් තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය වූ ප්‍රචාරය වූ ජර්මන් ජන හඬ වැඩ සටහනේ සිට ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුවෙන්; සෑම දිනකම ඉරමුදුං සමයට ප්‍රචාරයවූ “පොලීසියෙන්” , සිට විනෝද මේළා -ඔව් නෑ බෑ (ඩී. පී මොරවක), සාරභූමි (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව), මව සහ ළදරුවා (ජේ එල් මොරිසන්ස්), පුෂ්පාංජලී (ජයරත්න මල් ශාලාව), පහන්සිළුව (ඩී සැම්සන් ඉන්ඩස්ට්‍රීස්), සෞඛ්‍ය ගැටළු (ජා ඇල වෛද්‍ය දිනපාලද සිල්වා – ජා ඇල) විනාඩියක් පමණයි (නිකාඩෝ), ජය ලලිතා රත්තරන් පැතුම් (ජයලලිතා ජුවලර් හෙට්ටිවීදිය), වජිරා (ගුරුගේ මැණික්), පුළුවන්නම් දිනාගන්න (ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව), ගීත කතන්දර (ලෙච්චමී ජුවර්ලර්ස්), හංදියේ ගෙදර (ද ෆිනෑන්ස්), කුසුම් රේණු (කොළඹ මල් ශාලාව), ඊ. එච් ගීත ධාරා (ඊ එච් කුරේ) වාසනා උදාව (සෙන්ට් ඇන්තනීස් සමූහ ව්‍යාපාර), වැනි රසාලිප්ත වැඩ සටහන් රාශියක් ඒවායේ අනුග්රහකයින් සමග මතකයේ ඇත!
මෙවන් අතීතයක් විඳි අපගේ ගුවන් විදුලිය මේ වන විට පන අදිමින්ය. එහි අවසන් කටයුතු සඳහා මේ දිනවල ආයතන පාලකාධිකාරිය සූදානම් වෙනවා ඇති! කාලයක් අප සමග සිටි නෑදෑයෙක් හිත මිතුරෙක් වෙනුවෙන් තවමත් හිතේ දුකක් ඇත! මළ ගෙදරටවත් යන්නෝන!
මංජුල ශ්‍රීනාත් පෙරේරා
තට්ටයාගේ කොලම බ්ලොග් අඩවිය https://thattayagekolama.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

වීරයාගේ වීදි කොණ
ඔහුගේ ව්‍යාපාරික ආයතනය තිබුණේ සති පොළ පාරත් ෆාමසියට යන පාරත් කැපෙන තැන වීදියේ කෙළවරයි. මෙයට ‘ආයතනය’ යැයි කීම ගැන විරෝධය පෑමට ඕනෑම කෙනෙකුට හැකියාව තිබුණේ එහි පැවැත්ම දෘෂ්ඨි මායාවක් තරම් වූ බැවිනි. ඔබ රාත්‍රී අටට එහි ගියහොත් ඔහුව දකින්නේ නැත, එමෙන්ම රාත්‍රී දහයටත් ඔහු එතැන නැත. නමුත් අටත් දහයත් අතර කාලයේදී ඔහු පැමිණ තම භාණ්ඩ විකුණා යන්නට යයි.
“උගේ වාසනාව! දවසටම පැයක් විතර වැඩකරලා රුපියල් දහයක් සාක්කුවේ දාගෙන යනවා, අරෙහෙ උපාධිකාරයෝ ඉන්නවා රස්සාවල් නැතිව – මූට මාසෙට රුපියල් තුන්සීයක්!” ඔහුව දකින්නෝ එසේ කියති. මෙවැනි දේ ඇසෙන විට ඔහුට දැනෙන්නේ නොරිස්සුමකි. “මම දවසම ලිප ළඟ ඉඳන් මේ කෑම ජාති බදින හැටි එයාලා දන්නේ නැහැනේ…” ඔහු කියයි.
තම යාබද නිවසේ කුකුලා හඬලන විට ඔහු පිබිදෙන නමුත් ඒ කුකුලා පාන්දර තුනට අවදි වී ලතෝනි දෙන දවස් ද ඇත. “අද මොකද කුකුලා කලින් නැගිටගෙන?” රාමා මෙවන් දිනවල පිබිදෙමින් කල්පනා කරන නමුත් ඒ සංඥාව කුමන වෙලාවක ලැබුණත් ඔහුට එය මගහැරිය නොහැක. එබැවින් වේලාව තුන වුවත් හතර වුවත් පිබිදෙන ඔහු, තම දවස අරඹයි.
රාත්‍රී 8.15 පමණ වෙද්දී තම බඩු මුට්ටු රැගෙන ඔහු නියමිත තැනට පැමිණියේය. ඔහු කෙතරම් දේ ඔසවාගෙන ආවේද යත් බැලූ බැල්මට පෙනුණේ ඔහුට අත් සතරක් ඇති බවයි. විවධ කෑම ජාති සහිත බන්දේසියක් ඔහු තම හිස මත සමබරව විය. ඔහුගේ එක් බාහුවක කුඩා බංකුවක් එල්ලිණි. එක් අතක ලාම්පුවක් සහ අනෙත් අතේ බංකුවේ ගැලවිය හැකි කකුල් විය. මේ ලාම්පුවට පස්තෑල පහක වටිනාකමින් යුතු භූමිතෙල් වැය වූවත් ඔහු එය දල්වා ළඟින්ම තබාගත්තේ විදුලි ආලෝකය පමණක් මත යැපෙන්නට ඔහු අකමැති වූ බැවිනි. ඔහුට සුරැකීමට මාරු කාසි සහ ආම්පන්න බොහෝ විය.
ලාම්පුවේ එළියෙන් ආලෝකමත් වූ ඔහුගේ කෑම බන්දේසිය දුටු විට ආම රෝගයෙන් පෙලෙන්නෙකුට පවා ඒ දෙස නොබලා එතැනින් යාමට අපහසු විය. එහි එක් පසෙක බොන්ඩා අහුරකි. ඒවා පිම්බී, විශාල ව පෙනුණද මුව තුළම දියවී යාමට සමත් ය. තව පසෙක තට්ටු ගැසූ මස්ලින් රෙදි කැබලි සේ පෙනෙන සුදු පැහැති තෝසේ මිටියකි. ඔහුගේ චපාති කෙතරම් සැහැල්ලු ද යත් සුලැඟිල්ලක් මත ඉන් පනහක් වුව එසවිය හැක. තැම්බූ තාරා බිත්තර පෙනුණේ ඇත්දළින් නිමවූ ගෝල ලෙසයි. මීට අමතරව උදුනක් මත නිරතුරුව නටන කෝපි පෝච්චියක් ද විය. රාමා සතුව වෙනම ඇලුමිනියම් බඳුනක චට්නියක් තිබුණු අතර ඔහු හැම මිළදී ගැනීමක් සමඟම පාහේ ඉන් ස්වල්පයක් නොමිලේ බෙදුවේය.
සිනමා ශාලාවේ හවස තිරගතවීම අවසන් වූ පසු ඉන් නික්මෙන සෙනඟ තමන්වෙත කැඳවා ගැනීමට ඔහු හැම දිනකම නියම වෙලාවටම ඒ වීදි කොණට පැමිණියේ ය. ඔහු පැමිණීමට පෙර වැරහැලි පෙනුමකින් යුතු වූ එක්තරා කෙසඟ තරුණයෙක් මේ සිංහාසනයට හැමදාම බොරු කිමිකම් පෑ නමුත් අපගේ මිත්‍රයා ඒ ගැන අනවශ්යව වද වූයේ නැත. “ඔන්න ඔහේ මම නැති අතරේ ඒ අසරණ මීයාට මෙතැන බිස්නස් කරන්න ඉඩ අරිනවා” යැයි කීමට පවා ඔහු කරුණාවන්ත විය. වීදි කෑම ලෝකයේ කුමාරයා එහි පැමිණෙන්නට විනාඩියකට පෙර අනෙකා අතුරුදන්වීම නිසා මේ කරුණාවට මනා සේ ගරුසරු ලැබී තිබුණු බවක් පෙනුණි.
රාමාගේ ගනුදෙනුකරුවන් ඔහු ව ප්‍රිය කළේ ය.
“පයිස හයකට කෝපි කෝප්පයකුත් ඇනාවකට චපාති හතරකුත් වෙන කොහෙන්ද ලැබෙන්නේ?” ඔවුහු ඔහුව අගය කරමින් පැවසූහ. ඔවුහු රාමාගේ බන්දේසිය වටා වටවී ඉන් රිසි රිසි දේ ගත් හ. හැම මොහොතකම ඒ වටා අත් දුසිමක් තරම් කැරකෙනු පෙනුණි. මීට හේතුව ඔහුගේ ගණුදෙනුකරුවන්ට විවිධ ආහාර වර්ග මිළදී ගැනීමට පෙර ඒවා අල්ලා, හොඳින් පරීක්ෂා කර බැලීමට බලය ලැබී තිබීමයි.
තමන් විකුණන ද්‍රව්‍ය අල්ලා බලන බොහෝ දෑත් ඔහු වටා තිබුණ ද, කවුරුන් විසින් කුමන කෑමක් ගනු ලැබී ද යන්න ඔහු නිවැරදිව දැන සිටියේ ය. ඕනෑම වේලාවකදී චපාති තෝරන්නේ කවර අශ්ව කරත්තකරු ද යන වග විස්මය දනවන ඉවකින් දැන සිටි ඔහුට, අවශ්‍ය නම් ඒ කරත්තයේ ලියාපදිංචි අංකය පවා කියන්නට හැකියාව තිබිණි. බියෙන් සැකයෙන් යුතුව සෙනඟ අතරින් මතුවෙන මේ පැල්ලම් සහිත අත නම් සපත්තු මදින කොලුවාගේ බවත්, මල්ලව පොර ශූරයාගේ අත ඉස්තරම් තාරා බිත්තරයක් සොයා මතුවන වෙලාවත්, කෑමට පෙර ඒ බිත්තරය බන්දේසියේ වැදෙන මොහොතත් ඔහු හරියාකාවරම දැන සිටියේය.
රාමාගේ ගනුදෙනුකරුවෝ පදික වේදිකාවේ සැරිසැරූ ජනගහනයෙන් කොටසක් විය. උදාහරණයක් හැටියට ඔහු වෙතට එන සපත්තු මදින කොල්ලෝ දවස පුරාවටම සපත්තු පොලිෂ් සහ බුරුසුවක් ලූ මල්ලක් කරේ එල්ලාගෙන “පොලිෂ් සර්, පොලිෂ්!” කියමින් ඒ මේ අත යන අයයි. මේ අසරණයන් වෙනුවෙන් ඔහුගේ හදවතේ මෘදු පදාසයක් තිබිණි. කිසියම් තරබාරු ගනුදෙනුකරුවෙකු මේ කොල්ලන් සමඟ සපත්තු මැදීමේ සේවාවේ මිළ පිළිබඳ ව හෙට්ටු කරනු දුටු විට “ලෝබකම් නොකර ඒ අහිංසකයාට ටිකක් වැඩිපුර කීයක් හරි දෙනවා! තව අන්නාවක් වැඩිපුර ලැබුණොත් ඌ ට තෝසෙකුයි චපාතියකුයි කන්න පුළුවන්. නැත්නම් ඌ ට බාගෙට කාලා දවස පුරාම බඩගින්නේ ඉන්න වෙන්නේ” යැයි කෑ ගසා කීමට ඔහුට සිතේ.
ඒ දරුවන්ගේ ගිලී ගිය කුසගිනි දෑස් ඔහුගේ හදවත රිදවුවේය. ඔවුන් ඇඳ සිටි වැරහැලි දැකීම ඔහුට වේදනාවක් විය. ඔවුන් තම දුඹුරු පැහැ මලු පසෙක තබා ඔහු වෙත එද්දී පෙන්වන දැඩි උනන්දුව ඔහුව ශෝකයෙන් පුරවාලීය. එහෙත් ඔහුට කළ හැක්කේ කුමක්ද? ඔහුට ඔහුගේ වෙළඳාමද පින් පිණිස කළ හැකි වූවක් නොවේ. ඔහු ඔවුන් වෙනුවෙන් සකසන කෝපි කෝප්ප බාගය අඟලට මැන දුන් නමුත් ඔවුන්ට ඕනෑතරම් වෙලාවක් ඒ වීදුරුව වෙත ඇලී ගැලී සිටීමට ඉඩ ලැබුණි.
දවස පුරාම විශාල හෝටලය ඉදිරිපස හිඟමන් ඉල්ලා බැගෑපත් වන අන්ධ හිඟන්නා දවස අවසානයේ තමන්ගේ ඉපයීම් වලින් කොටසක් රාමා වෙත ගෙනැවිත් දී කෑම බීම ඉල්ලා සිටියේය. තණකොළ විකුණන ගැහැණුන් ද මෙසේ පැමිණි ගනුදෙනුකරුවන් අතර විය. ඔවුන් පැමිණියේ තම හිස් මත තබාගෙන උන් තණකොළ මිටි සාර්ථකව විකුණා අවසන් වූ පසු ය. ඔවුන්ගේ උස් කරච්චල් කටහඬ ඔහුට නොරිස්සුම්සහගත වූ අතර ඔවුන්ට කෑම ලබාදීමට ඔහු ප්‍රිය කළේ නැත. නොන්ඩියක් සහිතව ඇවිදින කපටි මිනිසාත් දිනපතා ඔහු වෙත පැමිණෙන ගනුදෙනුකරුවන් අතර විය. හැම ආහාර වර්ගයක්ම එක් කර සැකසූ පාර්සලයක් මිළදීගන්නා ඔහු, එය පාරෙන් අනෙත් පස පදික වේදිකාවේ ගසක් යට සිටගෙන සිටින වෛශ්‍යාවක් වැනි ගැහැනියක් වෙත ගෙන ගියේ ය.
මේ පෙදෙසේ ගැහැනුන් සහ මිනිසුන් විවිධ රැකියා කර උපයාගත් කාසි සියල්ලම දවස අවසානයේදී පැමිණියේ රාමා වෙතටයි. මේ මුදල ඔහු කුඩා රෙදි මල්ලක බහා තම කමිසය යටින් බෙල්ලේ එල්ලාගෙන සිටියේය. සිනමා හලේ රාත්‍රී විකාශය ඇරඹී, එහි යන හැම කෙනෙකුම චිත්‍රපටිය බලද්දී කන්නට දෙයක් මිළදී ගත් බවට සැක හැරගත් පසු ඔහු තම නිවස බලා පිටත් වේ.
ඔහු ජීවත් වූයේ සති පොළ පසුපස වූ දෙවන වීදියේ ය. ඔහුට ඇතුළු වන්නට බිරිඳ දොර විවර කළ විට ඒ නිවසේ නිරතුරුව දැනුණු දැවුණු තෙල් පුසුඹ රාත්‍රී අවකාශයට එක් විය. ඇය ඔහු අත වූ බඩු මුට්ටු ඩැහැගෙන, ඔහුගේ කමිසය යටින් අත යවා රෙදි මල්ල ඉවතට ඇද වහා වහා එහි වූ මුදල ගණන් කළා ය. ඉනික්බිති එළඹුණේ ඔවුන් ඒ මුදල ගැන උදම්වන වෙලාවයි. “උදේ ආයෝජනය කළ රුපියල් පහට දැන් තව රුපියල් පහක් ලැබිලා..” ගණිතයේ ගුණකිරීම නම් විශිෂ්ඨ මායා බලැති ක්‍රියාව ගැන ඔවුහු මෙනෙහි කළහ. පසුදින ආයෝජනය සඳහා සෑහෙන මුදල නැවතත් රෙදි මල්ලට දැමූ ඈ, ප්‍රවේසමෙන් ලාභය වෙන් කර, වසර ගණනකට පෙර තමන් විවාහ වී මෙහි එද්දී ගෙන ආ කුඩා ලී පෙට්ටියක එය බහාලූවාය.
රාත්‍රී ආහාරයෙන් පසු රාමා බුලත් කොළයක් සහ දුම්කොළ කැබැල්ලක් හක්කට තද කරගෙන නිවසේ බරාඳයට ගොස් නින්දට වැටුණි. ඔහු සිහිනයෙන් දුටුවේ තමන්ට පදික වේදිකාවෙන් ඉවත් වන්නැයි ගෝරනාඩු කරන පොලිස් කොස්තාපල්වරුන් සහ තමන් විවිධ ලෙඩ රෝග පතුරවමින් නගරයේ ජනගහනය අඩු කරන බව චෝදනා කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ය. නමුත් වාසනාවකට මෙන් සැබෑ ජීවිතයේදී නම් කිසිවෙකු ඔහුට මෙවැනි බරපතල කරදරයක් කළේ නැත. තම සේවා මුරය අවසන් ව එතැනින් නිවස බලා යන පොලිස් කොස්තාපල් ට සහ සෞඛ්‍ය පරීක්ෂක කන්තෝරුවේ සේවකයාට ඉඳහිට කෑම පාර්සල දෙන්නට ඔහු අමතක කළේ නැත.
සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණි වෙලාවට නම් “මේ කෑම ඔක්කොම වීදුරු පෙට්ටියක දාලා නොවික්කොත් මට දවසක ඒවා විනාශ කරන්න වෙයි, බලාගෙන!” යැයි කීවත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙකු වූ බැවින් ඉන් ඔබ්බට ඒ කාරණය ගැන එළවූයේ නැත. නමුත් ඔහු තනිවම නම් ඒ ගැන බොහෝ කලපනා කර තිබිණි. “මේ මිනිස්සු මේවා කාලා කොහොම ජීවතුන් අතර ඉන්නවද කියලා මට නම් හිතාගන්න බැහැ. එක පැත්තකින් දූවිලි, අනෙත් පැත්තෙන් කුණු කානුව- සමහර විට මේවා කාලා කාලාම මිනිස්සුනට මේ වස විස වලට ප්‍රතිශක්තියක් ගොඩ නැගෙනවා ඇති.” පිරිසිදුබවේ සහ සනීපාරාක්ෂාවේ මූලික නීති මාලාව රාමා අතින් උල්ලංඝනය වූ බවට සැකයක් නැතත් ඔහුගේ ගනුදෙනුකරුවන් වසර ගණනක් තිස්සේ කිසිම ගැටළුවක් රහිතව ඒ ආහාර අනුභව කර නොමැරී බේරුණා පමණක් නොව යහතින් වැජඹුණු බවක් ද පෙනුණි.
රාමාගේ ජීවිතය කිසිදු සෝ සන්තාපයක් රහිතව ගෙවුණු ඉතා තෘප්තිකර එකක් බව කිව හැක. තමන්ගේ මහන්සියෙන් පමණක්ම තම ජීවිකාව කළ බව ඔප්පු කළ මේ මනුෂ්‍යයාගේ ජීවිතය, විශ්වය ඝනීබහවනය වී විනාශ වන තුරුම නොවෙනස් ව පැවතීමට ඉඩ තිබිණි. ඔහුගේ වෙළඳාමත් මුදල් සෙවීමත් නිසා කිසිවෙකුට හානියක් නොවූ අතර, ඔහුගේ ආහාර අනුභවයෙන් වැඩිදෙනෙකු මිය ගොස් තිබුණේ නැත. නගරසභාවේ අවිචාරවත් කටයුතු වල ප්‍රතිපලයක් ලෙස ඇතිවන හදිසි අනතුරුත් ඔහුගේ කෑම බීම සැපයීම නිසා ඇති වූ ඒවාත් අතර වැඩි වෙනසක් තිබුණේ නැත.
නමුත් සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතයේදී සදාකාලිකව මෙවැනි සුරක්ෂිතබවක් ළඟා කරගැනීම දුෂ්කර ය. වැඩියෙන් සන්තුෂ්ඨිය ඇති තැන් දකින දෙවිවරු ඒ ගැන කෝප ගෙන හදිසියේම තම නොපහන් බව පෙන්වති. දිනක් රාමා සුපුරුදු ලෙස තම වීදි කොණ වෙත පැමිණි විට එහි සෙනඟ රැස් ව සිටින බවක් දුටුවේය. “කරුණාකරලා අයින් වෙලා ඉඩදෙන්න” ඔහු ආඥාත්මක හඬින් කීවද කිසිවෙකු එය ගණන් ගත්තේ නැත.
“හවස ඉඳන් කට්ටිය මොකක්දෝ දෙයකට රණ්ඩු වෙනවා!” ලිපිද්‍රව්‍ය වෙළඳසැලේ කුඩා කොලුවා රාමාගේ කමිස අතින් ඇද කීවේය.
“මොනවටද?” ඔහු ඇසුවේය.
“මොනවට හරි…” කොලුවා කීවේය. “මිනිස්සු කියනවා වෙළඳ බදු කන්තෝරුව ළඟ මොකක්ද ඡන්දයක් ගැන පත්‍රිකා බෙදුව කෙනෙකුට පිහියෙන් ඇනලා ලු. කාගේ හරි කෝන්තරයක් වෙන්නත් පුළුවන්. අපිට මොකද? රණ්ඩු වෙන්න ඕන කෙනෙක් රණ්ඩුවුන දෙන්!”
“තමුසේ කවුද අපි ගැන එහෙම කියන්න?” මෙය ඇසුණු කෙනෙක් කීවේය.
හැම දෙනාම ඔහු දෙස නොමනාපයෙන් බලන්නට විය. “මනුස්සයෙකුට කතාකරන්නවත් බැරිද දැන්..?” රැස්ව සිටි පිරිසෙන් අයෙක් කීවේය. එය අසා ඔහු අසල සිටි අයෙක් ඔහුට අතුල් පහරක් එල්ල කළේය. රාමා තම බඩු මුට්ටු එල්ලාගෙන අසරණව වටපිට බලමින් පසුවිය. මේ අතුල් පහර සේව නූලක් ඇවිලුවා සේ විය. නොබෝ වෙලාවකින් එතැන රැස්ව සිටි උන් ගුටි ඇන ගනු පෙනුණි.
“පවතින ක්‍රමය භංග වේවා!” කවුරු හෝ කෑ ගැසීය.
“අපි හිතුවා වගේම අපිව යටත් කරන්න මේ හැම දෙයක්ම කළින් සැලසුම් කළ, සංවිධානය කළ දේවල්..” තවත් පැත්තකින් ඇසුණි.
මිනිස්සු කෑ ගැසූහ, සෝඩා බෝතල ප්‍රහාර එල්ල විය, හැම කෙනෙකුම තව කෙනෙකුට පහර දෙන බවක් පෙනුණි. වීදියේ වූ කඩ වෙත කඩා වැදුණු පිරිසක් ඒවා වසා දමන්නට අණ කරනු පෙනුණි.
“ඇයි අපි වහන්න ඕන?” කඩහිමියෝ විමසූහ.
“මේ තරම් දෙයක් වෙද්දී තමුසෙලාට බිස්නස් කරන්න හිත හදාගන්න පුළුවන් ද?”
ශිෂ්ඨ සමාජයේ සීමා මායිම් හදිසියේ අතැර දමන ලද බවක් පෙනුණි. හැම කෙනෙක්ම තව කෙනෙකු හා කේන්තියෙන් පසු වූහ. පැයක් යද්දී වටපිට යුධ පිටියක් බවට පත්විය. ටික වෙලාවකින් පොලිස් නිලධාරීන් පැමිණියත් ඉන් තත්ත්වය තවත් නරක අතට හැරුණේ සටනට තවත් පාර්ශවයක් එක් වූ බැවිණි. නීතිය හා සාමය රැකීමටත්, තමන්වම ආරක්ෂා කර ගැනීමටත්, තුවාල වූ බවට සැලකෙන අයව රැකීමටත් පොලිසියට තුන් ආකාරයක රාජකාරියක් විය. වසා නොදැමූ කඩ සාප්පු මංකොල්ලකා තිබිණි.
එක්වරම සිනමා ශාලාවේ දර්ශනවාරය අවසන් වී මහා ජනකායක් මාවතට ඉහිරුණි. මොවුන් ද මේ ගැටුමේ විවිධ තැන් වලට එක් වූහ. පිහි අතින් ගත් මිනිස්සු ඒ මේ අත දිවූ අතර ලේ පෙරා ගත් අය කෙඳිරි ගාමින්, කෑ ගසමින් විය. ගිලන් රථ තැන තැන දක්නට ලැබිණි. පොලීසිය මුලදී පොලු වලින් පහර දීමත්, කඳුළු ගෑස් ප්‍රහාරත් සිදු කළ අතර අන්තිමේදී පිරිස වෙත වෙඩි තබන්නට විය. බොහෝ දෙනා මරණයට පත්විය. තුවාල ලත් සංඛ්‍යාව තුන්දහසට වැඩි බවට මිනිසුන් අතර කතාවක් පැතිරුණද, නිල ආරංචි මාර්ග කියා සිටියේ තුවාල ලැබුවේ පස් දෙනෙකු පමණක් බවත් මරණයට පත් වූ සංඛ්‍යාව හතරකුත් කාලක් බවත් ය. මැදියම් රැයේදී රාමා තමන් සැඟව සිටි බෝක්කුවෙන් පිටතට පැමිණ නිවස බලා ගියේ ය.
“අද මම වෙනදා ගෙනියන ප්‍රමාණ ගෙනියන්නේ නැහැ, අද වැඩි සෙනඟක් ඉඳී කියලා මම හිතන්නේ නැහැ. මේ මිනිස්සුන්ට මොන යකෙක් වැහුණාද කියලා දෙවියෝ තමයි දන්නේ! ඡන්ද කීපයක් වෙනුවෙන් උන් එකිනෙකාව මරාගන්න ලෑස්තියි…” ඊට පසු දින රාමා සිය බිරිඳ ට කීවේය. ඔහුගේ අනුමානය නිවැරදි විය. එදින සති පොළ වීදියේ සාමාන්‍ය ජනතාවට වඩා පොලිස් නිලධාරීන් දක්නට වූ අතර ඔහුගේ සුපුරුදු වීදි කොණ තදින් රැකවල් ලා තිබිණි. පොලිස්කරුවෙකු පෙන්වූ ඉන් ඈත තැනක ඔහුට තම වෙළඳාම කරන්නට සිදු විය.
කෝලාහලයේදී සිදු වූ වෙඩි තැබීම් සාධාරණ ද යන වග සහ මින් මතු මෙවැන්නක් සිදුවීම වළක්වන්නට පොලිසිය ගත් පියවර යනාදී දේ ගැන විධිමත් පරීක්ෂණයක් ඉල්ලා සියලුම පුවත්පත් ඝෝෂා කරන්නට පටන් ගෙන දින දහයක් පමණ ගතවෙද්දී තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. තමන් ඉදිරිපිට නූතන ඉතිහාසය දිගහැරෙන ආකාරය පුවත්පත් විකුණන කොලුවන්ගේ සිරස්තල කෑ ගැසීම් ඔස්සේ නිරීක්ෂණය කළ රාමා, ටික දවසක් ගතවෙද්දී නැවතත් තමන්ගේ සුපුරුදු වීදි කොණ වෙත යන්නට උත්සාහ කළේය. ඔහු එහි තම බන්දේසිය සූදානම් කර බංකුවේ අසුන් ගත් සැණින් නිල පදක්කම් පැළඳු තරුණයන් දෙදෙනෙක් ඔහු වෙත පැමිණියහ.
“මෙතැන වෙළඳාම් කරන්න බැහැ.”
“ඇයි බැරි සර්?”
“මෙතැන තමයි එදා අපේ නායකයා තුවාල ලැබූ ශුද්ධ වූ තැන. පොලිසියේ උන් මෙතැනදී තමයි එයාගේ හදවතට තුවක්කු එල්ල කළේ. අපි මෙතැන එයා වෙනුවෙන් ස්මාරකයක් හදනවා. දැන් මේක අපේ තැන. නගර සභාවෙන් අපට මෙතැන දුන්නා.”
නොබෝ දිනකින් මේ වීදි කොණ ලණු ඇද වෙන්කර දැමුණු අතර එහි නිතරම කිසියම් පිරිසක් රැස්ව සිටි බව පෙනුණි. ආධාර සඳහා කැට සෙලවීමත්, ඒවාට මිනිසුන් මුදල් දැමීමත් සිදුවිය. එතැන මුදල් ආකර්ෂණය අතින් කෙතරම් බලගතු ද යන වග රාමා නම් හොඳින් දැන සිටියේය. ගලින් තැනු ස්මාරකයක් ඉදි කිරීමට මුදල් එකතු වූ අතර ඊට අලංකාර වැටක් සහ මල් පෝච්චි එකතු වූ පසු ඒ වීදි කොන සම්පුර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගත්තේය.
බරපතල, සැර පරුෂ පෙනුමෙන් යුත් විවිධ පුද්ගලයෝ මෙතැනට පැමිණ නිතරම කතා බහේ යෙදී සිටියහ. මෙතැන සිට මීටර් දෙසීයක් තරම් දුර, වීදියේ මැද තැනකට රාමා ට විතැන් වීමට සිදුවිය. මේ නිසා ඔහුගේ ගනුදෙනුකරුවන්ට ඔහු ව එකවර නොපෙනුණි. සිනමා ශාලාවෙන් පිටතට එන්නෝ වෙනත් පැති වලට ඇදී ගියහ. රථවාහන පොලිස් නිලධාරියාගේ මඳ ඉවසීමෙන් ප්‍රයෝජන ගෙන තම රිය පාරේම නවතා යමක් මිළදී ගැනීමට දිව ආ අස් රිය රියැදුරන්ට මෙතරම් දුරක් ඒම දුෂ්කර විය. පෙරදී රාමා ඒ වීදි කොණෙහි නොමැති වෙලාවට එතැන අයිති කරගෙන සිටි කෙසඟ තරුණයා පාරෙන් අනෙත් පස විය. සපත්තු මදින කොලුවන් ඔහු වෙත යමින් සිටි අතර ඔහුගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙමින් තිබිණි.
කොයිතරම් අඩුවෙන් කෑම වර්ග සැකසුවත් හැම දිනකම බොහෝ කෑම ඉතිරි වී ආපසු නිවසට ගෙන යාමට රාමාට සිදු විය. මින් කොටසක් ඔවුහු ආහාරයට ගත් අතර බිරිඳගේ උපදෙස් මත ඉතිරිය රත් කර ඔහු පසු දින නැවතත් විකිණීමට ගෙන ආවේය. මේවා ආහාරයට ගත් කීප දෙනෙක් ඔක්කාර කර රාමාගේ කෑම දැන් පෙර සේ රසවත් නොමැති බවට කතාවක් පැතිරවූහ. දිනක් අන්නා දෙකක් පමණක් රෙදි මල්ලේ ඇතිව නිවසට ගිය ඔහු නිවසේ බරාඳයේ හිඳ තම බිරිඳට මේසේ නිවේදනය කළේය.
“මම හිතන්නේ දැන් අපේ ව්‍යාපාරය අසාර්ථකයි. අපි මීට පස්සේ ඒ ගැන හිතන්නේ නැතිව ඉමු.”
තම භාජනත්, බන්දේසියත්, ලාම්පුවත් පසෙකට දැමූ රාමා විශ්‍රාම සුවයෙන් ජීවිතයේ ඉතිරි ටික ගෙවන්නට සූදානම් වූයේය. ටික කලකින් තම ඉතුරුම් අවසන් වූ පසු ඔහු නිතරම ශබ්ද විකාශන යන්ත්‍ර ඝෝෂාවෙන් යුක්ත වූ කෝහිනුර් නම් ආපානශාලාවක රැකියාවක් ලබාගැනීමට කටයුතු කළේ ය. එහි ඔහු මසකට රුපියල් විස්සක් ඉපයීම වෙනුවෙන් දවසට පැය අටක් වේටර් රැකියාව කළේය. කොහෙන්දෝ නිරතුරුව ඇසුණු රේඩියෝ හඬ නොරිස්සුවත්, දවස පුරාම ගනුදෙනුකරුවන් යන එන එතැන රැකියාවේ ඔහු රැඳී සිටියේ වෙන කළ හැකි දෙයක් නොමැති බැවිනි. කිසියම් ගනුදෙනුකරුවෙක් ඔහුට ගරු සරු නොමැතිව කතා කළහොත් ඔහු මෙසේ කියනු ඇසේ.
“පරෙස්සමෙන් කතාකරන්න සහෝදරයා, ඉස්සර කාලෙක මාත් හෝටලයක අයිතිකාරයෙක්!”
මේ කුඩා ස්මරණයෙන් රාමා මහත් තෘප්තියක් ලැබූ බවක් පෙනුණි. පරිවර්තනය – හෙල්මලී ගුණතිලක

Translation of the short story ‘The Martyr’s Corner’ by R. K Narayan
පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


