
ලොව බලවත්ම රාඡ්‍ය නායකයන් දෙදෙනා වන චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය (30) වැනිදා දකුණු කොරියාවේ Busan නගරයේදී හමුවුණා. චීනයේ හා ඇමරිකාවේ ජාතික තත්ත්වය වෙනස් වීම හේතුවෙන් මතභේද මඟහැරීම කළ නොහැක්කක් වන අතර, ලෝකයේ දැවැන්තම ආර්ථික දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. එබැවින් නොසන්සුන්භාවය හා අභියෝගයන්ට මුහුණ දීමේදී, චීන ඇමරිකා සබඳතාවන් හි විධිමත් හා සුමට ගමනක් සහතික කිරීම සඳහා, තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කළ යුතු යැයි ද ඔහු කියා සිටියේය.
චීනයේ සංවර්ධනය සහ පුනර්ජීවනය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ‘ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම’ යන ඉලක්කයට පටහැනි නොවන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා අවධාරණය කළේය. දෙරටට අන්‍යෝන්‍ය සාර්ථකත්වය සහ පොදු සමෘද්ධිය නියත වශයෙන්ම අත්කර ගත හැකි බව ඔහු කියා සිටියේය. චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතුය. එය ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද ඔහු පෙන්වා දුන්නේය. චීන-ඇමරිකා සබඳතාව වෙනුවෙන් ශක්තිමත් පදනමක් ගොඩනැංවීම සහ දෙරටේ සංවර්ධනයන් සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා එම හමුවේදී ප්‍රකාශ කළේය.
කලාපීය උණුසුම් ගැටළු විසඳීම පෙළඹවීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉදිරිපත් ව සිටින බවත්, චීනය ද තමන්ට අනන්‍ය ආකාරවලින් වර්තමානයේ පවතින විවිධ උණුසුම් ගැටළු පිළිබඳ සාමකාමී ප්රවේශයකින් සාකච්ඡා සිදු කිරීම ප්‍රවර්ධනය කරමින් සිටින බවත් ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. වත්මන් ලෝකයේ දුෂ්කරතාවන් රැසක් පවතී. චීනයට සහ ඇමරිකාවට ප්‍රධාන රටවල් ලෙස සිය වගකීම ඒකාබද්ධව දරමින් දෙරටටම සහ ලෝකයටම වඩාත් වැදගත්, ප්‍රායෝගික සහ යහපත් ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට එක්ව ක්‍රියා කළ හැකි බව ද ෂී ජින්පිං ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බව ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය චීන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ ඇති බවත් නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ඔහු කීය. ජනාධිපති ෂී ජින්පිං මහතා ශ්‍රේෂ්ඨ රටක ශ්‍රේෂ්ඨ නායකයෙකු බව ද ට්‍රම්ප් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ෂී ජින්පිං ජනාධිපතිවරයා සමග දිගුකාලීන යහපත් සම්බන්ධතවක් ගොඩනඟා ගැනීමට හැකි වෙතැයි තමා විශ්වාස කරන බවත් ඒ සඳහා ‘ඔබ අප සමඟ සිටීම මහත් ගෞරවයක්’ බවත් ට්‍රම්ප් පැවසීය.


