වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු….

වැනීසියේ වෙළෙන්දා එක්ක ගොන්ඩෝලාවක යමුද ?…….

වැනීසියේ සිටි ඇන්ටෝනියෝ නම් වෙළෙන්දෙක් යුදෙව් ජාතික මුදල් ණයට දෙන්නෙකුගෙන් ව්‍යාපාර සදහා මුදල් ලබා ගන්නවා . ෂයිලොක් නම් ඒ ගිනි පොලී කරුගෙන් ගන්නා මුදල් ගෙවා ගැනීමට නොහැකිව කරදරයට පත්වන ඔහු ගැන සුප්‍රකට ගත් කතුවර විලියම් ශේක්ස්පියර් 1596-199 දී ලියූ Merchant Of Venice වැනීසියේ නම ලොවට ගෙනගිය පොතක් .

ඉතාලියේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටා තිබෙන වැනීසිය දූපත් 118 කින් සමන්විත ලෝකයේ ලස්සනම නගරය ලෙස විරුදාවලිය ලැබූ බිම් කඩක් Adriatic මුහුදට මුහුණලා පිහිටා තිබෙන කලපුවක් වන වැනීසිය ගිලබැස්මේ අවදානමට තදින්ම මුහුණපා සිටින යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන පරිශ්‍රයක්. යුනෙස්කෝ ලෝක උරුම රැසක සංචාරය කිරීමේ වරම මටත් ඒ ගැන කියැවීමේ වරම අවුරුදු 3 ක් තිස්සේ මේ ලිපි පෙල කියවන ඔබටත් ලැබුණා . ඒ වෙනුවෙන් දසතට ස්තුතියි .

වැනිසියට ලගාවීමට බොහෝ ක්‍රම තිබෙනවා . ගුවන් මගින් මාර්කෝ පොලෝ ගුවන් තොටුපොලින් , අධිවේගී දුම්රිය මගින් යුරෝපයේ බොහෝ ගමනාන්ත තුලින් Mestre. දුම්රිය ස්ථානයට සේම අති සුඛෝපභෝගී Cruise Ships මගින් Giudecca Canal හරහා වැනිසියේ වරායටත් එන්නට පුළුවන් . අප නවාතැන් ගත් Mestre. නගරයේ ඉදන් වැනිසියට යන්නට අප භාවිතා කලේ පොදු ප්‍රවාහන බස් රථයක් . බස් එකෙන් බැහැල පාලම් කිහිපයක් ඔස්සේ ගිහින් අපි වැනිසියට ළගා වුණා . 

අපි කුඩා මාවත් අතරින් , ඇලවල් උඩින් තියෙන පාලම් වලින් අපේ මග පෙන්වන්නා පස්සෙන් යනවා . ඔහු තැනින් තැන නැවතිලා විස්තර කියනවා . වැනිසිය කියන්නෙ පාරවල් නැති රථවාහන නැති ඉස්සව්වක් හින්ද සියළු ප්‍රවාහන කටයුතු කෙරෙන්නෙ ඇල මාර්ග හරහා යන විවිධ වර්ගයේ බෝට්ටු වලින් . පුංචි කාලෙ ලංකාවේ ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණු විස්තර සිහියට එනවා . අද්රියාතික් මනාලිය, පාවෙන නගරය වගේ විරුදාවලි අතරෙ අපි පැරණි ඉතාලි සහ යුරෝපා ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ දක්ෂතා බලනවා . කථාවට කියන්නෙ වැනිසියට අළුතින් ගිය කෙනෙක් අතරමං වෙනවාමයි කියලා . අපට ඒ අත්දැකීම දෙන්නට අපේ මග පෙන්වන්නා කටයුතු කල හින්දා කෝකටත් සිතියම් එහෙම අරගෙන ගියොත් හොදයි .

St. Mark Square

මේ චතුරශ්‍රය වැනිසියේ හදවත කියල කිව්වත් වරදක් නැහැ . පරෙවියන්ට කෑම දෙන්න , ෆොටෝ ගහන්න පොරකන සෙනග අතරේ Campanile Di san Marco කියන ඝන්ඨර කුළුණට විදුලි සෝපානයෙන් යන්නත් පුළුවන් .

Rialto Bridge

වැනිසියේ ප්‍රධාන ඇල මාර්ගය වන Grand Canal උඩින් යන මේ පාලම වැනිසියට යන කවුරුත් යන තැනක් . ඉර නගින සහ බහින වෙලාවට මේක උඩ ඉදන් ෆොටෝ ගන්න පිරිස් පොරකනවා . වැනීසිය හොදටම බලන්න පුළුවන් තැනක් විදිහට මෙය නම් දරා තියෙන්නෙ ඒ නිසා .

Gondola Tour

වැනිසියට ගියොත් අත නෑර කරන්න ඕන මේ බෝට්ටු චාරිකාවට පාවිච්චි වෙන්නෙ පාරම්පරික බෝට්ටු විශේෂයක් . වැඩ දාල බෝට්ටු පදින කළු සහ සුදු හරස් ඉරි සහිත කමිස වලින් සැරසුණු බෝට්ටු පදින්නෙක් එක්ක සුවපහසු අලංකාර බෝට්ටුවක  මේ විසිතුරු සංචාරයේදී පැය භාගයක් විතර ඇල මාර්ග දිගේ වැනිසියේ විසිතුරු බලන්න පුළුවන් .

Doge’s Palace

පැරණි වැනීසියේ පාලකයාගේ නිල නිවස වන මෙය ගොතික් සම්ප්‍රදායට අයත් ක්‍රි ව 697 තරම් ඈතට දිවයන අතීතයක් තියෙන තැනක් . සමහරු කියන්නෙ ඒකෙ තියෙන ආවරණය වුණු පාලම වන Bridge of Sighs බලන්නම කියලයි .

Saint Mark Basilica

ගිම්හාන කාලවලදී සහ සති අන්ත වලදී ඉතා දිගු පෝලිමක් තියෙන මේ පල්ලිය ඉතා අගනා කැටයම් වලින් යුතු තැනක් . වැනීසියේ ධනවත් බව පෙන්වන්න රන් ආලේප කර තිබෙන මෙහි ඉතිහාසය ක්‍රි ව 1117 තරම් දුරට දිව යනවා . එහි ඇතුලත සහ පිටත ඇති අගනා කැටයම් කලාගාර රැසක ඇති මොසෙයික්  චිත්‍ර එකතුවක් තරම් විශාලයි .අපේ මූලික චාරිකාවට ඇතුළු වුනේ වැනිස් නගරය විතරක් හින්ද අපි කලේ අමතර මුදලක් ගෙවල වැනීසියේ තිබෙන තවත් ප්‍රධාන දූපත් 3 ක් අපේ සංචාරයට එකතු කර ගත්ත එකයි .

Murano Island

විවිධ අමුතු හැඩයේ වීදුරු භාණ්ඩ , විසිත්ත කාමරයේ තබන සැරසිලි වගේම සුවිසල් අලංකාර  Chandelier සදහා ඉතාලියේ මේ දූපත තරම් ජනප්‍රිය තවත් තැනක් නැහැ . යුරෝපය පුරා පැරණි රජමාලිගා සහ මන්දිරවල අදත් උජාරුවට තියෙන නිර්මාණ රැසක් බිහිවුණු මේ පාරම්පරික කර්මාන්තය අද හැබෑම සංචාරක ආකර්ශනයක් . හරිම අපූරු ඒ නිර්මාණ සකස් කෙරෙන ආකාරය දැක්වෙන ජීවමාන ඉදිරිපත් කිරීම් ඔබට මේ දූපතේදී දකින්නට පුළුවන් .

Burano Island

ඉතා තද පාටවලින් හැඩවුණු ගෙවල් තියෙන මේ දූපත ප්‍රසිද්ධියක් උසුලන්නේ රස ඉතාලි මුහුදු ආහාර ගන්න පුළුවන් තැනක් විදිහටයි . විනාඩි 30 ක තරම් බෝට්ටු ගමනකින් පස්සෙ අපි මේ දූපතට ගොඩවුණේ  ඒකෙ තියෙන ඇලවුණු කුළුණ ගාවින් . ගමන මතක හිටින්නත් එක්ක අපි  risotto al nero di seppia කෑවා . අපේ මග පෙන්වන්නා කිව්වෙ ඒ කෑමවල තියෙන දැල්ලන්ගේ වර්ණක ඇගේ ගා ගන්නෙ නැතුව කන්න කියලයි . මේ දුපත අගනා රේන්ද ( Lace  ) නිර්මාණ වලටත් නම් දරාපු තැනක් .

අපේ චාරිකාවට නටබුන් වූ පල්ලියක් තියෙන තවත් කුඩා දුපතකුත් ඇතුලත් වුණා . අප කණ්ඩායමක් එක්ක ගිය හින්ද වෙනමම යාත්‍රාවක් අපේ ගමනට යොදා ගත්තත් වැනීසියේ ක්‍රියාත්මක වන පොදු බෝට්ටු බස් සේවාව භාවිතයෙන් ඔබට මේ දුපත් වලට යන්නත් පුළුවන් . ඒ බස් සේවාව ප්‍රධාන සංචාරක ස්ථාන සහ ගොඩබිම් රථගාල සම්බන්ධ වන ලෙසින් ක්‍රියාත්මක වෙනවා .

සටහන – අනුරුද්ධ වැලිගමගේ  

සේයාරූ – හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්

අපි ගිම්හානයේදී ගැ රඩියා කන්දෙන් අරඹා ශීත කාලයේදී හිම මත ලිස්සා ගියෙමු….

.කැනේඩියානු සංචාරයක මතකය…

මනරම් නයගරා දියඇල්ල අප නෙතට මවන්නේ මහත් චමත්කාරයක්. ඉතිහාසය දෙස බැලීමේදී නයගරාව බිහිවූ භූගෝලීය වෙනස්වීම් සමග ඇතිවූ කලාපයක් ඔන්ටරියෝ පළාතේ දකින්නට පුළුවන්. සොබාදහම මවා ඇති ඒ වෙනස්කම ඔබට, මට සංචාරය කරන්නට අපුරු තැන් රැසක් ඉතිරි කර තිබෙනවා. හොල්ටන් රක්ෂිතය මගින් පාලනය වන උද්‍යාන කිහිපයකම නිස්කලංක,විචිත්‍ර , පහසුකම් සපිරි මේ පරිශ්‍ර ගිම්හානයේ දවසක් ගතකරන්නට කදිමයි.ඇවිදින්නට,බයිසිකල් පදින්නට, හිතවත් පවුල් කිහිපයක් සමග බිත්ති වලින් කොටුවූ ගේදොරින් මිදී සිතල මද පවනක සාමීචියකට මේවා නියම වෙනසක් මවනවා. ටොරොන්ටෝවේ සිට පැයකට අඩු දුරකින් පිහිටි මේවා ඉතා සාධාරණ මුදලකට සේවා සපයනවා. අන්තර්ජාලයෙන් මේ වසරේ විශේෂ වැඩසටහන් දිනදසුන පිරික්සන්නට පුළුවන්.

ගැ රඩියා මුදුන ( Rattlesnake Point)

 උස්ව නැගුණු කදු මුදුනක් වන මෙහි සිට ඔබට මේ කලාපයම නිරීක්ෂණය කරන්නට පුළුවන්. බහුලව රාජාලියන් වෙසෙන ඉසව්වක් බැවින් රජාලියෙකු දැකීම ගිම්හානයේදී සුලබ දසුනක්. වනගත බිමක් වන මෙහි නිතර ගැ රඩියන්  වැනි විෂ රහිත සර්ප විශේෂ බහුල වීම නිසා මේ නම ලැබෙන්නට ඇති. කඹවලින් එල්ලී කදු නගින අය‍ට ඒ සදහා කොකු සහ මංපෙත් පර්වතයේ සකසා තිබෙනවා. මෙහි ඇති උද්‍යානය විශාල පිරිසකට රැස්වන්නට පහසුකම් සහිතයි. අන්තර්ජාලයෙන් එම පරිශ්‍ර වෙන්කරවා ගන්නටත් පුළුවන්. පාරිසරික සේයාරූ සදහා පසුතල බොහොමයක් මෙහිදී දැකිය හැකියි.

ක්රෝෆොර්ඩ් විල ( Crawford Lake )

අතීතයේදී ඉරකුයිස් (Iroquois) )  ජනාවාස මේ ආශ්‍රිතව පැවති අතර එය ප්‍රතිනිර්මාණය කර මෙහි තනා ඇති අංග සහ කෞතුකාගාරය මහත් අධ්‍යාපනික වටිනාකමකින් යුත් බව කිව යුතුය.අතීතයේදී පැවති ගෝත්‍රික නිවහන සක්‍රිය කරන්නට සේවකයින් කරන පැහැදිලි කිරීම් සහ නිරුපණ  විශිෂ්ටයි.ගිනි දල්වා ගත් හැටි ආහාර කල්තබා ගත් හැටි මෙන්ම ඔවුනගේ ක්‍රීඩා අත්හදා බැලීම සදහා මෙහි පහසුකම් සලසා තිබෙනවා. කලක් පවුලේ ගොවිපොලක්ව පැවැති මේ පරිශ්‍රය 1971 දී රක්ෂිතයක් බවට පත්කර තිබෙනවා. කිලෝමීටර 19 ක දුරින් යුතු ඇවිදින මංපෙත් වලින් පිරි විලක් මැදිවූ මෙහි විල වෙත යන මාවත දෙපස ඇති රුක් කැටයම් ඉතා අගනා කලා නිර්මාණ බව ඉදිරිපස හෝ ආසන්නයේ සිට සේයාරූ ගන්නට පොරකන පිරිස් නිසා පැහැදිලියි.

 

නෙමෝ කන්ද ( Mount Nemo)

 

පක්ෂීන් පිළිබදව අප නොදන්නා දේ දන්නා දේට වඩා වැඩියි. මෙම පරිශ්‍රයේදී ඔබට කුඩුවල රැදවුණු විවිධ පක්ෂීන් දකින්නටත් කුරුළු සංදර්ශනයක් ( Birds of Prey) අත්විදින්නටත් පුළුවන්. පිරිසක් සමග විවේකය ගත කරන්නටත් ඇති පදම් ඉඩ පහසුකම් මෙහි තිබෙනවා. ගොවිපොල සතුන් ගැන ඇල්මක් දක්වන යට, විශේෂයෙන් කුඩා දරුවන්ට ඒ සදහා මෙහි ඇති ආදර්ශ ගොවිපොලට ගොඩ වැදෙන්නට  පුළුවන්.

 

හිල්ටන් ඇල්ල  ( Hilton Falls)

19 වන සියවසේ ක්‍රියාත්මක වූ අඩි 40 ක් වටප්‍රමානයෙන් යුතු ජල රෝද මගින් ක්‍රියාත්මක වුණු  ලී මෝල් 2ක් සදහා උදව් වුණු සොබාවික දියඇල්ල ක් සහිත මේ  පරිශ්‍රය ගිම්හානයේදී ඇවිදින්නටත්, බියිසිකල් පදින්නටත්, ශීත කාලයේදී හිම මත ලිස්සා යන්නටත් , චිකඩි (Chickadees)නම් කුඩා කුරුල්ලන් සදහා කෑම කවන්නටත් කදිම තැනක්. මිදුණු දිය ඇල්ලේ සේයාරු ගන්නටත් පුළුවන්. මේ  සදහා මෙහි විවිධ දුරින් යුතු ඇවිදින මංපෙත් කිහිපයක්ම මෙහි තිබෙනවා.මේ පරිශ්‍රය විශාල පිරිසකට එක් රැස් වන්නටත් පුළුවන් තැනක්.

කෙල්සෝ / ග්ලෙන් ඊඩෙන් ( Kelso/ Glen Eden) 

ගිම්හානයේදී ඔරු පැදිය හැකි, මසුන් ඇල්ලිය හැකි , පිහිනිය හැකි ජලාශයක්  සහිත මෙයත් විශාල පිරිසකට එකට රැස්විය හැකි තැනක්. බයිසිකල් සහ ඇවිදින මංපෙත් සහිත මේ උද්‍යානය පිහිටා ඇත්තේ 401 අධිවේගී මාර්ගයට සමීපවයි.

1880 ඉදිවූ කම්මලක් සහ ගොවිපොළක් ප්‍රතිනිර්මාණය කර සකස් කල හොල්ටන් කෞතුකාගාරය ද මෙහි පිහිටුවා තිබෙනවා. වසර 200 ක් ආපස්සට ගොස් මේ ප්‍රදේශයේ ඉතිහාසය පිරික්සන්නට මෙය කදිම තැනක්. එහි සැකැස්ම සහ ඉදිරිපත් කිරීම් සිත් ගන්නා සුළුයි.

එකම තැන කදු අන්තයට ගිය විට ඔබට ශිත කාලයේදී ක්‍රියාත්මක වන ග්ලෙන් ඊඩෙන් හිදී අවශ්‍ය ආම්පන්න කුලියට ගෙන සුවිසල් කන්ද මුදුනට ගොස් හිම මත ලිස්සා යන්නටත්, අවශ්‍ය නම් පුහුණු වන්නටත් පුළුවන්. එසේත් නැත්නම් ටියුබයක බැස ලිස්සා එන්නටත් පුළුවන්. කෘතිමව හිම සකස් කල හැකි මෙහි රථ ගාලේ සිට ඔබව ගෙන යන්නටත් , කදු මුදුනට ඔබව ගෙනයන විදුලි සෝපාන සහ උපකරණ වලින් මේ පරිශ්‍රය සම්පුර්ණයි. හිමෙන් පිරුණු මෙතැන සිට වටපිට බලන විට පෙනෙන දසුන ඇටමිදුළු කාගෙන යන සිතල අමතක කර දමන පැහැබර දසුනක්.

ඔබ එක් උද්‍යානයකට ප්‍රවේශ පතක් ගත්විට එදිනම තවත් පරිශ්‍රයකට යන්නේ නම් නැවත ප්‍රවේශ පත් අවශ්‍ය වන්නේ නැහැ. අත ලගින් පිහිටි මේ පරිශ්‍ර වැඩි සුදානමකින් තොර කෙටි ගමනකට කදිමයි.

 

සටහන   අනුරුද්ධ වැලිගමගේ  

සේයා රූ – හෙසදි වැලිගමගේ සහ අන්තර්ජාලයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *