ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව කමේනි ඝාතනය කරයි. මැදපෙරදිග ගිනි ජාලාවක්වෙයි.

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දියණිය, බෑණා සහ මුනුපුරා ඝාතනයට ලක්ව ඇති බව ඉරාන ප්‍රවෘත්ති මූලාශ සඳහන් කර තිබේ. අයතුල්ලා අලි කමේනි ඝාතනය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පළමු වරට අනාවරණය කර තිබේ.

එමෙන්ම මෙම ප්‍රහාරයෙන් ඉරාන උත්තරීතර නායකයාගේ දියණිය, බෑණා, මුනුපුරාද ජීවිතක්ෂයට පත්වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ පසුගිය 28 වැනිදා ඔහුට පවරා ඇති රාජකාරි ඉටු කරමින් සිටියදී කමේනි ඔහුගේ කාර්යාලයේදී ඝාතනයට ලක්වූ බවය.

මේ අතර කමේනිගේ ඝාතනය හේතුවෙන් එරට දින 40ක මහජන ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ද තීරණය කර ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය සිදුවන්නේ ට්‍රම්ප් සහ ඊශ්‍රායල නිලධාරීන් කමෙනි ඝාතනය කර ඇති බවට ප්‍රකාශ නිකුත් කිරීමෙන් අනතුරුවය‍.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වූ බව අමෙරිකානු ජනාධිපති පවසයි.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසාගෙන් කෙනෙකු වූ කමෙයිනි ජීවිතක්ෂයට පත්වූ බවය. ඉරාන මෙහෙයුම දිගු කාලයක් පැවතිය හැකි බවත් නැතහොත් එය දින දෙක තුනකින් අවසන් විය හැකි බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.”මට ගොඩක් දුර ගිහින් මුළු දේම භාරගන්න පුළුවන්, නැත්නම් දවස් දෙක තුනකින් ඒක ඉවර කරලා ඉරාන වැසියන්ට කියන්න පුළුවන්: ‘ඔබ ඔබේ න්‍යෂ්ටික වැඩසටහන නැවත ගොඩනැගීම ආරම්භ කළහොත් වසර කිහිපයකින් නැවත හමුවෙමු’ කියලා,” යැයි අමෙරිකානු ජනාධිපතිවරයා පැවසීය.

බෙන්ජමින් නෙතන්යාහු විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කර ඇත්තේ ඉරානයේ උත්තරීතර නායක උත්තරීතර නායක අයතුල්ලා කමේනිගේ පරිශ්‍රය විනාශ වී ඇති බවත් විප්ලවවාදි ආරක්ෂක අණඛ දෙන නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික නිලධාරීන් මියගොස් ඇති බවය..

මේ අතර කිසිදු නෞකාවකට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැති බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසා තිබේ.පර්සියානු ගල්ෆ් කලාපය සහ ඕමාන් බොක්ක යා කරන මෙම පටු මුහුදු තීරය ලෝකයේ “බලශක්ති මධ්‍යස්ථානය” ලෙස හැඳින්වේ. 

එක්සත් ජනපදයේ පස්වන නාවික බලඇණිය මෙම කලාපයේ ස්ථාපිත කර ඇති බැවින්, එවැනි උත්සාහයකදී විශාල යුධමය ගැටුමක් ඇතිවිය හැකිය. 

ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය මේ පිළිබඳව වාර්තා කරමින් සඳහන් කර ඇත්තේ ඉරාන සන්නද්ධ හමුදා එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්කවලට එරෙහිව පළි ගැනීමේ ප්‍රහාර දිගටම සිදුකරමින් යන අතරතුර මෙය සිදුවනු ඇති බවය.

ඉරාන ප්‍රහාරවලින් මේ දක්වා අමෙරිකානු කඳවුරු 14කට හානි සිදුව ඇති බවටද අදාළ පුවත් ඒජන්සිය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලය සහ අමෙරිකාව එක්ව ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් සමග මැදපෙරදිග කලාපය මේ වන විට ගිනි ජාලාවක් බවට පත්ව තිබේ.

මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිගට ගමන් ගන්නා සියලුම ගුවන් සමාගම් සිය ගුවන් ගමන් තාවකාලිකව නතර කරනු ලැබූවේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව උදෙසාය.එමෙන්ම මැදපෙරදිග රටවල් සිට ගුවන් කලාප වසා දැමීමටද මෙම තත්ත්වය හමුවේ පියවර ගනු ලැබීය.

පවතින තත්ත්වය සමග හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කටයුතු කිරීම තුළ මේ වන විට ලොව පුරා රටවල් රැසකට බලපාන සිදුවීමක් බවටද පත්ව තිබේ.

මේ අතර ඉරාන බාලිකා පාසලට එල්ල වූ ප්‍රහාරය හේතුවෙන් මියගිය පිරිස තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ පිරිස 115ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පැවසුවේ ඉරානයේ එක්සත් ජනපද-ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් අවම වශයෙන් සිවිල් වැසියන් 133 දෙනෙකු මිය ගොස් 200 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ලරිජානි එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය රට පුරා ඉලක්ක වෙත එල්ල කරමින් දිගටම ප්‍රහාර සිදුකරන බැවින් දැඩි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ මහජන සම්බන්ධතා ඒකකය පවසන්නේ එක්සත් ජනපද සහ ඊශ්‍රායල ස්ථාන වෙත “පළිගැනීමේ” ප්‍රහාරවල තුන්වන සහ සිව්වන රැල්ල අඛණ්ඩව සිදුවන බවය. ඒ අනුව ඊශ්‍රායලයේ ඉලක්ක්ක රැසකට මෙම ප්‍රහාර එල්ලකරන බව ඉරානය පවසයි. ඉරාන ප්‍රතිප්‍රහාර හමුවේ කටාර් රාජ්‍යයට මිසයිල ප්‍රහාර 66ක් එල්ල වී ඇති බව කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ. මිසයිල කැබලි වැටීමෙන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළ ඔහු පැවසුවේ රට පුරා මිසයිල කැබලි 114ක් කඩා වැටී ඇති බවය.  ඊශ්‍රායලයේ ටෙල්අවිව් ප්‍රදේශයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. ප්‍රහාරයෙන් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇතැයිද වාර්තා වේ. ඩුබායිහි ජෙබෙල් අලි වරායේ ගින්නක් හටගෙන තිබේ. ගින්නෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

ආරක්ෂක පියවරක් ලෙස ජෙරුසලමේ ශුද්ධ ස්ථාන වන්දනාකරුවන්ට වසා දමා ඇති බව ඊශ්‍රායල පොලිසිය පවසයි. දෝහා නගරය පුරා පිපිරීම් රැසක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව නගරයේ පිපිරීම් 15-20ත් අතර ප්‍රමාණයක් සිදුව ඇතැයිද සඳහන්වේ.

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මේ වන විට හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් අමතමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *