සටන් විරාමයකට සාකච්ඡා .මැදපෙරදිග යුද්ධය ගැන’දුර්ලභ සහ හදිසි’ විවාදයක්. , ඉරානය සමග යුද්ධය ජයගත් බව ට්‍රම්ප් කියයි.









අමෙරිකාව ඉදිරිපත් කළ සටන් විරාම ඉල්ලීම් සහ කොන්දේසි ඇතුළත් ලේඛනයක් පාකිස්තානය විසින් ඉරානය වෙත භාර දී ඇති බව වාර්තා වනවා.

මෙම තොරතුරු තහවුරු කරමින් මාධ්‍ය පවසන්නේ, ට්‍රම්ප් පරිපාලනය විසින් පාකිස්තානයට ලබාදුන් නිල ලේඛනයක් මෙලෙස ඉරාන බලධාරීන් වෙත ඉදිරිපත් කර ඇති බවය.මේ වන විට එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඉරානයේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් පවතින බව පාකිස්තාන ආරංචි මාර්ග සඳහන් කරයි.අමෙරිකාව සහ ඉරානය අතර පවතින උණුසුම් තත්ත්වය සමනය කිරීම සඳහා පාකිස්තානය මෙහිදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.

වාර්තා වන අන්දමට, ඉදිරි දින කිහිපය තුළ අමෙරිකානු සහ ඉරාන නිලධාරීන් අතර සෘජු හමුවක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී පැවැත්වීමට ද ඉඩකඩ පවතින බව සඳහන් වේ.

මේ අතර මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් ජිනීවාහිදී පැවැත්වෙයි.ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් සිදු කළ ඉල්ලීමට අනුවය. 

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර  (28) වැනිදාට මසක් සපිරිනි. මෙවන් පසුබිමක ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම අමෙරිකාව විසින් හමුදා භටයින් 2,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇති අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. 

එමෙන්ම ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර සතුරු නොවන නැව් සඳහා එය විවෘත කිරීමට ඔවුන් කටයුතු කර ඇත. 

ඒ අනුව මෙම ‘දුර්ලභ සහ හදිසි’ විවාදයේදී ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර මෙන්ම හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීම සම්බන්ධයෙන් විවාද කරන බව මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි. 

මේ අතර සති තුනකට වැඩි කාලයක් තිස්සේ ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකයන් රැසක් මියගොස් ඇති අතර ඔවුන්ගේ යුද ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බැවින්, ඉරානය සමග යුද්ධය දැනටමත් ජයගෙන ඇති බවත්, එරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණ ඉටු වී ඇති බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ‘ද වොෂින්ටන් පොස්ට්’ සමග පැවැත්වූ සාකච්ඡාවකදීය. මේ අතර, පර්සියානු ගල්ෆ් කලාපයේ රටවලට සහ ඊශ්‍රායලයට එල්ල වන ඉරාන ප්‍රහාර හමුවේත්, හෝමුස් සමුද්‍ර සන්ධිය දිගින් දිගටම වසා තැබීම හමුවේත්, සටන් විරාමයක් ඇති කිරීමට ඊජිප්තුව, පාකිස්තාන සහ තුර්කිය මැදිහත් වී සිටින බව ද පැවැසෙයි.

එමෙන්ම ඉරාන රජය තරයේ ප්‍රතික්ෂේප කළත්, යුද්ධය අවසන් කිරීමේ අරමුණින් ඉරාන නායකත්වයේ ‘නිවැරදි පාර්ශ්වකරුවන්’ සමග සාකච්ඡා පවත්වමින් සිටින බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිගින් දිගටම පවසයි. 

ට්‍රම්ප් දිගින් දිගටම පවසන්නේ, තම කණ්ඩායම එම සාකච්ඡාවලට යොමු වීමට තීරණය කළේ ඉරානය දිගින් දිගටම කළ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් බවය. ඉරානය ඒ බව ප්‍රසිද්ධියේ පිළිනොගන්නා බවත් යුද්ධය අවසන් කිරීමට ඔවුන්ට ද දැඩි අවශ්‍යතාවක් ඇති බවත් ට්‍රම්ප් අවධාරණය කර ඇත

ඔවුන් (ඉරාන නායකත්වයේ නිවැරදි පාර්ශ්වකරුවන්) තෙල් සහ ගෑස්ආශ්‍රිතව ඉතා වටිනා ‘විශාල තෑග්ගක්’ තමන් වෙත ලබා දී ඇති බවට ට්‍රම්ප් පවසයි. ඉදිරියේ දී ඇති කර ගන්නා සාම ගිවිසුමක් ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරගත හැකි බව ට්‍රම්ප් වැඩි දුරටත් පවසා ඇත.

සාකච්ඡා පැවැත්වෙන බැවින්, ඉරානයේ බලශක්ති යටිතල ව්‍යුහයන් වෙත එල්ල කරන ප්‍රහාර දින පහක කාලයකට අත්හිටුවීමට ද ට්‍රම්ප් පසුගිය දා තීරණය කළේය. ට්‍රම්ප්ට අනුව, ඉරාන නායකත්වයේ නිවැරදි පාර්ශ්වකරුවන් සමග සාකච්ඡා පැවැත්වීම සිදු කරන්නේ, ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ ඔහුගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර්ය. 

අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේ ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් සාකච්ඡා පවත්වන්නේ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් සමඟ විය හැකි බවය. එසේ වුවත්, ඉරාන රජය පමණක් නොව, කථානායක ගලිබාෆ් ද ඇමෙරිකාව සාකච්ඡා සිදුවන බව තරයේ ප්‍රතික්ෂේප කර ඇත. 

ඉරාන දේශපාලන ක්‍රමය අනුව, ඇමෙරිකාව සමඟ ඕනෑම සාකච්ඡාවකට එරට නව උත්තරීතර නායක මුජ්තබා ඛමේනිසහ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ. එම අනුමැතිය නොමැතිව පවත්වන කිසිදු සාකච්ඡාවකට ඉරානය තුළ වලංගුභාවයක් හිමි නොවෙයි.

මේ අතර හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා පාකිස්තානය බලා යාත්‍රා කරමින් තිබූ බහාලුම් නෞකාවක් ඉරාන හමුදා විසින් ආපසු හරවා යවා තිබේ.

අදාළ නෞකාව සංක්‍රමණ අවසරයක් නොමැතිව සිය ජල තීරණය හරහා ගමන්කිරිමට උත්සාහ දැරූ බව පවසමින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) මෙම තීරණය ගෙන ඇත.’සෙලන්’ ලෙසින් හැඳින්වෙන අදාළ නෞකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් සාජා සිට කරච්චි දෙසට යාත්‍රාකරමින් සිට තිබේ.

නෞකාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳ ‘X’ අවකාශයේ සටහනක් තබමින් IRGC නාවික හමුදාපති අලිරේසා ටැංසිරි පවසා ඇත්තේ, තම නීතිවලට අනුකූල නොවීම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර නොමැතිකම හේතුවෙන් අදාළ නෞකාව ආපසු හරවා යැවූ බවය.

“මෙම ජල මාර්ගය හරහා ඕනෑම යාත්‍රාවකට ගමන් කිරීමට නම් ඉරානයේ සමුද්‍රීය අධිකාරිය සමග පූර්ණ සම්බන්ධීකරණයක් අවශ්‍යයි. ඉරාන ප්‍රදානීන්ගේ අවසරයක් නොමැති කිසිදු යාත්‍රාවකට හෝමූස් පසුකර යා නොහැකිය.

‘සතුරු නොවන’ යාත්‍රාවලට ඉරාන බලධාරීන් සමග සාකච්ඡා කර (ඇතැම් අවස්ථාවල ඒ සඳහා ගෙවීමෙන්) සිය ජල තීරණය භාවිතාකළ හැකියි.

නමුත් සතුරන් සමග සබඳතා පවත්වන යාත්‍රාවලට ජල තීරය තරණය කිරීම තහනම්” යනුවෙන් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ අලි ලාරිජානි වෙනුවට, ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ ‘IRGC’හිටපු අණදෙන නිලධාරියෙකු එරට උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබේ.

ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ, මොහොමඩ් බගර් සොල්ගාදර් ‘Mohammad Bagher Zolghadr’ මෙම තනතුර සඳහා නම් කර ඇති බවය.

ඔහු ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ බ්‍රිගේඩියර් ජෙනරාල් නිලයට පවා උසස්වීම් ලැබූ අයෙක් බව සඳහන් වේ.

මෙම පත්වීම සිදුවූයේ මීට පෙර එම ධුරය දැරූ අලි ලාරිජානි ගුවන් ප්‍රහාරයකින් මියයාමෙන් පසු ඇති වූ පුරප්පාඩුව පිරවීම සඳහා ය.

ඉරානයේ ජාතික ආරක්ෂාව සහ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් තීරණ ගන්නා ඉහළම ආයතනයක් ලෙස මෙම ආරක්ෂක මණ්ඩලය සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *