අවුරුද්දෙන් පසු ආණුඩුවේ පඩුපුල් ආසනය රත්වෙයි.

පසුගිය සතිය සිංහල අලුත් අවුරුදු සමය නිසා දේශපාලන වශයෙන් එතරම් උණුසුමක් වාර්තා නොවුනත් අළු යට ගිනි මෙන් දේශපාලන කාරණා ඉස්මතු වෙමින් තිබිණි.පක්ෂ විපක්‍ෂ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් තම ගම්බිම් වෙත ගොස් තිබූ නිසා දේශපාලන වේදිකාවේ එතරම් අදහස් හුවමාරුවක් දක්නට නොලැබුණද ගල් අඟුරු ප්‍රශ්නය නිසා ආණ්ඩුවේ පඩුපුල් ආසනය  රත්ව ඇති අයුරු දක්නට ලැබිණි

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සැමරීම සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර ගල්නෑවේ පිහිටි නිවසකට ගොස් සිටි අතර එම නිවස දිට්වා සුළි කුණාටුවෙන් මුළුමනින්ම විනාශ වී රජයේ ආධාර මත ඉදිකර ඉදිකළ නව නිවසක් විය. එහිදී පැමිණ සිටි පිරිස සමඟ නැකැත් චාරිත්‍රවලට එක්වීමට ජනාධිපතිවරයා කටයුතු කළ අතර පැමිණ සිටි පිරිස සමඟ කතාබහක නිරත වීමට ද ඔහු අමතක කළේ නැත. විපක්‍ෂ නායකවරයාද සිය පවුලේ සාමාජිකයන් සමඟ අය අලුත් අවුරුදු චාරිත්‍ර ඉටුකරන අයුරු ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවෙහි පළ කර තිබිණි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද වෙනදා මෙන් අලුත් අවුරුද්ද කාල්ට නිවසේ සිට සමරන ආකාරය ඔහුගේ සමාජ මාධ්‍ය පිටුවලද සටහන් කර තිබිණි.

අවුරුද්දෙන් පසු පළමුව වෙඩිඩිමුරය පත්තුවූයේ ගල් අඟුරු ආනයනය සිදුවීම සම්බන්ධයෙනි. ශ්‍රී ලංකාවේ ගල් අඟුරු ආශ්‍රිතව විදුලිය නිෂ්පාදනය වූ දා සිට පසුගිය අප්‍රේල් 16 වින්දා දක්වා ගල් අඟුරු ආනයනයේදී සහ විදුලිය නිශ්පාදනයේදී ඇති වූ අක්‍රමිකතා සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පුර්ණ බලැති ඡනාධිපති කොමිසමක් පත්කෙරුණු අතර කොමිසමේ කටයුතුවලට ස්වාධීනව ඉටු කිරීමට ඉඩ ලබා දෙමින් වත්මන් බලශක්ති අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරයා සිය ධූරවලින් ඉල්ලා අස්වීම ද පසුගිය සතියේ කැපී පෙනෙන දේශපාලන සිදුවීමක් බවට පත්විය.

මේ අතර ස්වාභාවික විපත්වලට මුහුණ දී රට යථාවත් කරමින් කටයුතු කරමින් සිටින තත්ත්වයක් තුළ මැද පෙරදිග කලාපයේ ඇති වූ යුදමය තත්ත්වය නිසාද ආණ්ඩුවට ප්‍රබල අභියෝගයකට මුහුණ දීමට සිදු විය. ඉන් ප්‍රධානතම ගැටලුව ඉන්ධන අර්බුදයකටද ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වීමයි.

රාජතාන්ත්‍රික සබඳතා

එහෙත් අර්බුද කළමනාකරණයේ මනා හැකියාව පෙන්වමින් ආණ්ඩුව වෙනත් බලවත් රටවල් පවා මුහුණ දී තිබෙන බරපතළ ඉන්ධන සහ ගෑස් හිඟයෙන් රට මුදා ගැනීමට මේ දක්වා සමත්කම් පෙන්වා ඇත. මතු වන සෑම තත්ත්වයකටම මනාව මුහුණ දෙමින් කිසිදු රටක් අමනාප කර නොගෙන අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම නිසා මේ වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීමට ඉන්දියාව, රුසියාව මෙන්ම ඉරානයද එකඟත්වය පළ කර ඇත්තේ ආණ්ඩුවේ රාජ්‍යතාන්ත්‍රික සබඳකම්වල දක්ෂතාවද පෙන්නුම් කරමිනි.

මහ බැංකු අධිපති අර්බුදය දකින හැටි

මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ මෙවර අවශ්‍ය තරම් ඉන්ධන මිල දී ගැනීමට රජයට හැකියාව ඇති බවය. මීට පෙර ආර්ථික අර්බුදය අවස්ථාවේදී ගැටලුව වූයේ ඉන්ධන නැව් රටට ආවත් මිල දී ගැනීමට ප්‍රමාණවත් විදේශ සංචිතයක් නැති වීම වුවත් මෙවර ඉන්ධන තිබේ නම් මිල දී ගැනීමට ප්‍රමාණවත් මූල්‍ය තත්ත්වයක්, විදේශ සංචිතයක් මහ බැංකුව සතුව පවතින බවයි.

කෙසේ වෙතත්, මීට පෙරදී සිදු වූයේ රුපියල බාල්දු වීම නිසා ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි වීමෙන් ඉන්ධන මිල ඉහළ යෑම සහ ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති වීම වුවත් මේ මොහොතේ සිදු වී ඇත්තේ ලෝක යුද තත්ත්වය නිසා ඉන්ධ සැපයුම් දාම බිඳවැටීමෙන් ඉන්ධන ඉල්ලුම අනුව මිල ඉහළ යෑම සහ ඉන්ධන ලබාගැනීමට අපහසු වීමයි. මේ වන විටත් ආණ්ඩුවේ ආර්ථික කළමනාකාරිත්වය හේතුවෙන් ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකි වීම නිසා රුපියල බාල්දු වීම නිසා සිදු වන ඉන්ධන මිල නොවෙනස්ව පැවතීමයි. එමෙන්ම මේ වන විට ආණ්ඩුවට භාණ්ඩ ආනයනයට කිසිදු ඩොලර් හිගයක්ද මතු වී නැත.

බොරතෙල් මිල ඉහළ යෑම

මැදපෙරදිග යුද්ධයත් සමඟ ඉන්ධන මිල ඉහළ යෑමේ අර්බුදය මඟහැර යෑමට ආණ්ඩුවට හැකියාවක් නැත. එහෙත් එයින් ජන ජීවිතයට අවම හානියක් වන පරිදි භාණ්ඩ මිල ඉහළ යෑම පාලනය කිරීමට ආණ්ඩුව සූක්ෂ්මව කටයුතු කරමින් සිටියි. ඒ අනුව සෑම ක්ෂේත්‍රයක් පිළිබඳවම සොයා බලා කඩිනම්ව අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීම සඳහා පහසු වන පරිදි ජනාධිපතිවරයා කමිටු හතරක් පත් කළේය. ඒ පමණක් නොව, ජනාධිපතිවරයා තමන් භාවිත කරන වාහන ගණන පවා සීමා කරමින් ආදර්ශයක් දුන්නේය.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යෑමත් සමඟ රට තුළ ඉන්ධන මිල ඉහළ දැමීම නොකර සිටීමට ආණ්ඩුවට නොහැකි විය. මන්ද: තෙල් මිල සූත්‍රයට අනුව මාසයකට වතාවක් මිල ඉහළ දැමීම සිදු කිරීමට කටයුතු කළ හොත් ජනතාවට දරාගත නොහැකි ආකාරයේ මිල වැඩි වීමක් සිදු කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇත.

ලාල්ගෙන් ජනපතිට සැලියුට් එකක්

ලාල්කාන්ත ඇමැතිවරයා කවුරුත් හඳුන්වන්නේ ඉතාමත් සරල, කියන්න තියෙන දේ කෙළින් කියන දේශපාලකයකු වශයෙනි. ඔහු පසුගියදා යූටියුබ් නාළිකාවකට එක් වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයාගේ, අර්බුද කළමනාකරණ හැකියාව විස්මයජනක බවය.

“මට වෙලාවකට ජනාධිපතිතුමා විශ්වකර්මයෙක් වගේ. ඔක්කොම අර්බුදවලට උත්තර හොයන අතරේ එක එක්කෙනාටත් වෙන වෙනම කතා කරලා ප්‍රශ්න ගැන හොයලා බලනවා, මටත් කතා කරලා අහනවා කොහොමද පොහොර ප්‍රශ්නේ කියලා. මම පොහොර සමාගම් සමඟ කතා කළා. සහෝදරයාටත් පුළුවන් නම් ඒගොල්ලොත් එක්ක කතා කරන්න වෙලාවක් දෙන්න ගොඩක් හොඳයි, කියලා මම කිවුවම ඒකටත් වෙලාවක් දුන්නා. ඔහු ඒ කිසි දෙයක් මඟහරින්නේ නෑ. එහෙම වැඩ කරන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ,” යනුවෙන් ඔහු සඳහන් කළේය. මේ අතර ලාල්කාන්ත ඇමැතිවරයාගේ නිවෙසේ පැවති දානමය පින්කමකට සහභාගි වීමටද ජනාධිපතිවරයා අමතක කළේ නැත. අගමැති හරිනි අමරසූරිය සමඟ කිරිබත් කමින් සිටින පින්තූරයක් සමාජ මාධය තුළ කතාබහක් ඇති කර තිබිණි.

සුරකිමු ලංකා

‘සුරකිමු ලංකා’ යනු මැදපෙරදිග යුදමය වාතාවරණය සහ එල්නිනෝ කාලගුණික බලපෑම් හමුවේ බලශක්ති සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා ආරම්භ කළ ජාතික වැඩසටහනය. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීම සහ ඉන්ධන භාවිතය කළමනාකරණය කිරීමයි. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ විදුලිය භාවිත අධික කාල සීමාව වන රාත්‍රී 6-10 අතර කාලය තුළ විදුලිය පරිභෝජනය අවම කර ගැනීමයි. මෙයින් විදුලි පරිභෝජනයෙන් 25%ක පමණ ප්‍රමාණයක් කපා හැරීමට හැකියාව ලැබුණ හොත් ඉදිරියේදී විදුලිය කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් දීමට හැකියාව ලැබෙන බව ආණ්ඩුව ගණන් බලා තිබේ.

නියඟයේ බලපෑම

මෙහිදී විපක්ෂය නඟන චෝදනාව වන්නේ විදුලිය නිෂ්පාදනයට ඉන්ධන වැඩි වශයෙන් භාවිත කිරීමට සිදුව ඇත්තේ ගල් අඟුරු බාල වීම නිසා බවයි. එහෙත් එය පදනම් විරහිත කතාවකි. මන්ද: මීට පෙරද ආණ්ඩු කාලවලදීද ගල්අඟුරු බාල වීම නිසා අඩු වන විදුලිය නිෂ්පාදනය සමනය කර ගත්තේ ඉන්ධනවලිනි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ වියළි කාලගුණය නිසා ජල විදුලිය නිෂ්පාදනය ශීඝ්‍රයෙන් බිඳවැටෙමින් තිබීමත් ඉන්ධන සපයාගැනීමට ඇති දුෂ්කරතාවත් නිසා විදුලිය කප්පාදුවකින් තොරව පවත්වා ගෙන යෑමට විදුලිය අරපිරිමැස්ම අනිවාර්යයෙන් කළ යුතුව තිබේ.

රනිල් අවුරුද්දට පෙර ශ්‍රී ලංකාවට

සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටි හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා යලි ලංකාවට පැමිණියා..

ඔහුට රෝහලෙන් පිටව යෑමටද වෛද්‍ය අවසරය ලැබුණු නමුත්, රෝහලේ නතර වී තවත් දින කිහිපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ විවේකයෙන් ගත කරමින් සිටියා. බොහෝ අය රනිල්ට යෝජනා කළේ සිංහල අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකාවට එන ලෙසයි. සිංගප්පූරුවේම විවේක ගනිමින් ටික කාලයක් ගත කළ යුතු බව සමීපතමයන්ගේ අදහස වී තිබුණද රනිල්ගේ දැඩි ස්ථාවරය වන්නේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවයි.

ජීඑල්ගේ ගෙදර විශේෂ රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ පක්ෂ නියෝජිතයන් රැසක්ම හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිවෙසේදී විශේෂ සාකච්ඡාවකට සහභාගි වී තිබෙනවා. පසුගියදා (30) සවස මේ සාකච්ඡාව පවත්වා ඇත්තේ නාරාහේන්පිට, චිත්‍රා පටුමගේ පිහිටි හිටපු අමාත්‍යවරයාගේ නිවෙසේදීය.

බාල ගල්අඟුරු හේතුවෙන් රටේ විදුලි නිෂ්පාදනයට සහ රටේ ආර්ථිකයට සිදුව ඇති බරපතළ හානිය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටත් නීතිමය පැත්තෙන් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ඊට අමතරව කිසිදු සාධාරණ හේතුවක් නැතිව මීට පෙර ගබඩා කර තිබූ තෙල් තොග සඳහා තෙල් මිල ඉහළ දැමීම, විදුලි ගාස්තු ඉහළ දැමීම ගැන රට පුරා ජනතාව දැනුවත් කිරීමටද මෙහිදී පක්ෂ නායකයන් කිහිප දෙනකුම යෝජනා ඉදිරිපත් කර ඇති බව සඳහන්ය.

මීට අමතරව මාලිමාවේ බාල ගල්අඟුරු යනුවෙන් රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා වු අතර, පසුගියදා අවිස්සාවේලේදී පැවැත්වූ සම්මන්ත්‍රණය සාර්ථක වූ බව පක්ෂ නායකයන් පෙන්වා දී තිබේ.

මාලිමාවේ බාල ගල්අඟුරු යනුවෙන් ඒකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කරනු ලබන මීළඟ සම්මන්ත්‍රණය මැයි මස මුල මාතරදී පැවැත්වීමට මේ අවස්ථාවට එක් වූ සාගල රත්නායක හිටපු අමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබේ. මාතරින් පසු ගම්පහත්, ඉන් අනතුරුව කළුතරදීත් එම සම්මන්ත්‍රණ මාලාව සංවිධානය කිරීමට ඊයේ තීරණය කර තිබේ.

ඊට අමතරව විදුලි ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා (1) පැවැත්වීමටද මෙහිදී තීරණය විය. ජී.එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා සමග පැවති මේ සාකච්ඡාවට නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, තලතා අතකෝරාල, සාගල රත්නායක, මනෝ ගනේශන්, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී. දොළවත්ත, සුගීශ්වර බණ්ඩාර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලාන්සා, සුදත් මංජුල, ගාමිණී වලේබඩ, රංජන් සෙනෙවිරත්න, සෙනාල් වෙල්ගම ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ රැසකම නියෝජිතයන් මේ අවස්ථාවට එක්ව සිටි බව වාර්තා වේ.

පොත් දෙක

ඉකුත් සතියේදී කාගේත් අවධානයට ලක් වූ පොත් දෙකක් දොරට වැඩීමේ උත්සව පැවැත්විණි. ඉන් පළමුවැන්න තිබුණේ ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රයේදීය. ඒ ඉම්ටියාස් බාකීර් මාකාර් රචනා කළ ‘මා අකැමැතිව සිටි ජේ.ආර්’ කෘතිය දොරට වැඩීමේ අවස්ථාවයි.

උදය ගම්මන්පිල ලියූ ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු’ කෘතියද සමාජයේ දැඩි කතා බහට ලක් විය. ගම්මන්පිලගේ මතය අනුව පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව එහි සඳහන් කෙරිණි. මේ පොත එළිදැක්වීම සිදු කෙරුණේ කොළඹ 7, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීය. විශාල පිරිසක් ඊට සහභාගි වී සිටියහ. ඒ අතර හිටපු ජනපතිවරු තිදෙනකුද වීම විශේෂත්වයකි. ඒ මහින්ද, මෛත්‍රීපාල සහ ගෝඨාභයයි.

ස ජ බ යේ මතගැටුම

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු ගැන සමගි ජන බලවේගය තුළ ප්‍රබල මත ගැටුමක් හටගෙන ඇත. උදය ගම්මන්පිලගේ මහ මොළකරු සොයායෑමේ පොතේ උත්සවයට සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක සහභාගි වීම ගැන සමගි ජන බලවේගයේ පිරිසක් අකැමැත්ත ප්‍රකාශ කොට ඇති අතර, තවත් පිරිසක් එයට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවද වාර්තා වේ. මේ අතර සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ප්‍රකාශ කරන්නේ උදය ගම්මන්පිලගේ මහ මොළකරු සොයායෑම පිළිබඳ ග්‍රන්ථයේ ඇතැම් කරුණුවලට එකඟ වන අතර ඇතැම් කරුණුවලට එකඟ නොවන බවයි.

වජිර රහසේ තානාපතිවරුන් හමු වේ

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන ශ්‍රී ලංකාවේ සිටින බලවත් රටවල තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිප දෙනකුම හමු වී ඇත. මේ හමුවීම් ඉතා රහසිගතව සිදු වී ඇති බව වාර්තා වේ. ප්‍රතිකාර ලබා සිංගප්පූරුවේ විවේක සුවයෙන් ගත කරන හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හමු වී සිංප්පූරුවේ සිට පැමිණි විගස වජිර මෙසේ තානාපතිවරුන් හමු වීම විශේෂත්වයකි.

මහින්ද විජේසේකරගේ නික්ම යෑම

හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ මහින්ද විජේසේකර පසුගියදා (2) අභාවප්‍රාප්ත විය. මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ වාමාංශික බලවේග සමඟ මෙන්ම දක්ෂිණාංශය සමඟද කටයුතු කළ මහින්ද විජේසේකර අත්දැකීම් රැසක් සහිත දේශපාලනඥයෙකි. ජනතා විමුක්ති පෙරමුණෙන් සිය දේශපාලනය ආරම්භ කළ මහින්ද විජේසේකර පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් එක්සත් ජාතික පක්ෂයටත් සම්බන්ධ විය. අකුරැස්සේදී කොටි ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකින් දැඩි ලෙස රෝගාතුර වූ මහින්ද විජේසේකර වසර ගණනාවක්ම සිටියේ අසනීප තත්ත්වයෙනි. මියයන විට ඔහු 83 වැනි වියෙහි පසු විය..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *