
අමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය අවසන් කරන ‘තනි පිටුවේ ගිවිසුමකට’ දෙපාර්ශ්වයම ළංවී ඇති පුවතක් වාර්තාවීමත් සමග, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ කැපී පෙනෙන අඩුවීමක් සිදුව තිබේ. දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙසින් කටයුතු කළ පාකිස්තාන මූලාශ්‍රයක් පදනම්කරමින්ද අදාළ තොරතුරු සත්‍යාපනය කර තිබුණි.
“අපි යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කරනවා. අපි ඒ වෙත ළඟා වෙමින් සිටිනවා. ගිවිසුම මගින් ගැටුමට ස්ථිර අවසානයක් ඇති වන බව සහතික කිරීමට කටයුතු කරනවා” යනුවෙන් පාකිස්තාන විදේශ අමාත්‍යවරයා සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඒ බව අනාවරණය කර ඇත
මේ අතර ඉරානය සමඟ ඇති කර ගැනීමට අපේක්ෂිත එකඟතාවයකට අවස්ථාවක් ලබා දීම සඳහා හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමේ අරමුණින් දියත් කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම තාවකාලිකව අත්හිටුවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.
කෙසේ වෙතත්, ඉරාන වරායන් වෙත පනවා ඇති අවහිර කිරීම් දිගටම ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.
අමෙරිකානු ජනාධිපතිවරයා සිය ටෘෘත් සෝෂල් (Truth Social) හි සටහනක් තබමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, පාකිස්තානය ඇතුළු මැදිහත්කාර රටවල ඉල්ලීම් සහ දැනට සාකච්ඡා මට්ටමේ පවතින එකඟතාවල ප්‍රගතිය සලකා මෙම තීරණය ගත් බවය.
“ගිවිසුම අවසන් කර අත්සන් කළ හැකිදැයි බැලීමට අපි කෙටි කාලයකට මෙහෙයුම නවතා දැමීමට එකඟ වුණා,” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
සඳුදා ආරම්භ කළ “ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්” (Project Freedom) මෙහෙයුම හේතුවෙන් එක්සත් ජනපදය සහ ඉරානය අතර උණුසුම් තත්ත්වයක් නිර්මාණය වූ අතර, දෙපාර්ශවය අතර වෙඩි හුවමාරු ද වාර්තා විය.
මේ අතර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ මහතා ප්‍රකාශ කළේ, ඉරානයට එරෙහි ප්‍රහාරාත්මක මෙහෙයුම් මේ වන විට අවසන් කර ඇති බවය.
එහෙත් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළ නාවික ගමනාගමනයට යළිත් තර්ජන එල්ල වුවහොත් “දැඩි හා විනාශකාරී” ප්‍රතිචාරයක් දක්වීමට සූදානම් බවද වොෂින්ටනය අනතුරු ඇඟවීය.
දැනට පවතින තාවකාලික සටන් විරාමය හමුවේ වුවද, අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් ඉහළ නැංවීමට හේතු වී තිබේ.
මේ අතර, අමෙරිකානු තර්ජන මැඩපැවැත්වීමෙන් පසු හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ‘ස්ථාවර ගමනාගමනය’ තහවුරු කරන බව ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) පවසයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීම සඳහා පනවා ඇති නව ඉරාන රෙගුලාසිවලට සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් පර්සියානු බොක්ක සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන්ට සහ කපිතාන්වරුන්ට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායෙ නාවික හමුදාව ස්තූතිය පළ කර තිබේ.
X සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් IRGC බලකාය සඳහන් කළේ, ආක්රමණිකයන්ගේ තර්ජන මැඩපවත්වා ඇති බැවින් නව නීතිරීති යටතේ ආරක්ෂිත ගමනාගමනය සහතික කරන බවය.


