” පිං” වචනේ හැඩ

පාට පහක් එකතුකරලා හැදුව කොඩිය යට
පිං කරන්න පොරකන හැටි මකර තොරණ යට
සරු පිළිවෙත් නිසි අයුරින් හිතට ගන්න කොට
බොරු සෝබන වැඩ මොටදැයි දැනෙනවා කදිමට
අත හරින්න බැමි බිදින්න කියන වෙහෙර යට
පුදනකොටම පොදි බැදගත් ගොඩවල් යමරෙට
කිසිදා වැඩ ඉවර නොකල ලොකු පන්සල යට
බෝඩ් ලෑලි, නම් පුරවති පිං යන වදනට
නිස්කලංක සිතක් එක්ක සැනසුනු දවසට
හුගක් ඇත්තො කියාවි මට, පිස්සුනෙ ඕකට
සැහැල්ලු බව පුරවාගෙන හිත ඉපිලෙන විට
භව ගමනට විරාමයකි තරගය නැතිකොට
රුවන් හරිස්චන්ද්‍ර
Toronto – Canada
ගෙනෙමු මුවඟට සිනා රැල්ලක්

දින දින ගෙවී යන මේ දිවි ගමනෙ කෙටී
කුසලට ඉඩ දෙමින් පියවර මැනුම වටී
අවගුණ පිරුණු රළු දුදනන් දෙපස සිටී
පසෙකට වෙනු සොඳය ඔව්’නුන් මුණ නොගැටී
මඟ දිග දැකිය හැක හඬනා දිළිඳු කැලක්
කුසගිණි දරා ගනු බැරිකම දුකට මුලක්
ගෙන එනු නොහැකි නම් මුවඟට සිනා වැලක්
කිම පල පුදන කල බුදුනට සුවඳ මලක්
( රවුළු ඡ්න්දස – නරඟරඟ විරිත ඇසුරෙන්)
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
අක්කා නොගියා නම්

අප්පච්චි කියාගෙන දැවටිලා හැඟීමක
අක්කා පිටගම ගියා හත වසරෙ මට මතක
අලි ගහන හින්දාම කලුවරේ මහරෑක
අලුත් ගමකට ආවා තාත්තත් අපි එක්ක
කවුරුවත් දන්නෙ නෑ ඉන්නේ තනි මංසලක
වහළ යට කොල්ලොමයි කවුරුවත් නැති රැයක
අක්කාවත් හිටියා නම් කොල්ලො ටික එයි නේක
ඇවිත් විමසනවා ඇති අපේ දුක හැමදාක
කුසල හාමුදුරුවෝ
Brampton – Canada
තරු දෙනෙත්..

කන්පෙති අග
සිනිදු කෙහෙරැළි
සනසන්න
රාත්‍රිය නිදි මරා
සයනයේ සැතපෙන්න
නුරා ඇස්
මට හිමිද???
තනි යහනේ
දොඩවන්න
ඵපා තව
හින ලග
තරු ඇසින්
ඇවිදින්න
රැය පුරා
කදුඵ මත
සිසිලසක් මට දෙන්න
හිමි කමක්
නොකියමි මා
සුළග මෙන්
ලංවෙන්න
ශ්‍යාමලී ගමගේ..
Brampton – Canada


