


කොළඹ ජනාකීර්ණ නගරයේ අනුන්ගේ කුණුත් සමඟ ඔට්ටු අල්ලන මිනිසුන් සොයා පසුගියදා දිනෙක ”පැරඩයිස් ලොන්ඩරි වත්තට” අපි පිවිසියෙමු. මේ දිනවල සිරස නාලිකාවේ විකාශනය වන ”කියාදෙන්න ආදරේ තරම්” ටෙලිනාට්‍යයේ ”රෙදි මෝලවත්ත” වන්නේද මේ ලොන්ඩරි වත්තමය. ටෙලිනාට්‍යයේ සේම පැරඩයිස් ලොන්ඩරි වත්තේද රෙදිත් සමඟ ඔට්ටු අල්ලන සැබෑම මිනිසුන් පිරිසක් ජීවත් වෙති.
මහ විශාල සිමෙන්ති ටැංකි ඇතුළට බැස ඔවුන් මේ සෝදන්නේ අනුන්ගේ රෙදිවල කුණුය. තාක්ෂණයේ දියුණුවත් සමඟ රෙදි සෝදන යන්ත්‍ර බිහිවෙද්දී, ඒවායින් නගරයක් පාසා යන්ත්‍ර සූත්‍රවලින් රෙදි සේදීමේ ලොන්ඩරි තිබුණද තවමත් පැරඩයිස් ලොන්ඩරි වත්තේ මිනිසුන් රෙදි සෝදන්නේ අතිනි.
”මගේ ගම බදුල්ලේ. දැන් මාත් මේ වත්තෙම ඉඳන් රෙදි සෝදනවා. අපි දවස් පඩියට තමයි රෙදි වේලන්නේ. එක දවසකට රුපියල් දෙදහසක් ලැබෙනවා. උදේ පාන්දර පහේ ඉඳන් අපි රෙදි වේලනවා. මේක හිතන තරම් ලෙහෙසි රස්සාවක් නෙමෙයි. මහ විශාල රෙදි කන්දරාවක් මේ වැලවල්වලට දාන එකත් අමාරුයි. අපි උදේ පාන්දර පහට වැඩ පටන් ගන්නවා. හවස පහ වෙනකල් වැඩ. රෙදි වේලන්න අව්ව තමයි ඕනේ. හැබැයි මේ කට්ට අව්වට අපිත් වේලෙනවා. වහින කාලයට රෙදිත් තෙමෙනවා. අපිත් තෙමෙනවා. මොනව කරන්නද…? ඒ කාලයට වේලගන්න අමාරුයි. තෙමිල තෙමිලා ඇඳුම් වේලෙනවා. මේක අමාරු වැඩක්. මොනව කරන්නද… මේකත් එක රස්සාවක්.” යැයි පැරඩයිස් ලොන්ඩරි වත්තේදී අපිට මුණගැසුණු රාමන් පැවසීය.
රෙදි සෝදන්නෝ තම රාජකාරිය ආරම්භ කරන්නේ උදේ පාන්දර හතරටයි. ඇතැම්හු පාන්දර තුනහමාරටද මෙම විශාල වතුර ටැංකිවලට බසිති. ඒ සඳහා එක පෙළට සිමෙන්ති ටැංකි පේළි හතරක් පමණ ලොන්ඩරි වත්තේ එක් කොනක ඉදිකර ඇත. එක් ටැංකියකට එක් සේවකයකු බැගින් ජල ටැංකියට බසී. ඔවුන්ගේ ඉණ තෙක් ජලය පිරී තිබේ. එතැන් සිට ඔවුහු රෙදි සේදීම ආරම්භ කරති. පළමුව සුදු රෙදි සහ වර්ණ රෙදි වශයෙන් වෙන්කර ගත යුතුවේ. පසුව ඔවුහු ජල ටැංකියට යාබද ඇති කළුගලේ රෙදි ගසමින් ඇඳුම්වල කුණු ඉවත් කරති. එයද ලෙහෙසි කාර්යයක් නොවේ. ඔවුහු එක දිගට සීතල ජල ටැංකියේ සිට තම රාජකාරිය කරති. පැය ගණනක් එක දිගට ජලයේ සිටින ඔවුන්ගේ අත පය සීතලට හිරිවැටෙයි. නමුත් අද ඔවුන්ට ඒ සීතල හොඳට හුරුය.
ඔවුන්ගේ කාර්යය අවසන් වූ විට ඊළඟ කාර්යය බාර ගැනීමට තවත් පිරිසක් බලා සිටිති. ඔවුන් සුදු සහ වර්ණ ඇඳුම් වෙන් වෙන් වශයෙන් විශාල කැඳ සහ නිල් බැරල්වල ගිල්වා රෙදි සෝදති. පසුව ඔවුහු තම උරහිසේ හොවාගත් ඒ රෙදි අසල ඇති විශාල පිට්ටනියේ ඇති වැලවල්වල එල්ලති. ඔවුන්ගේ රාජකාරිය එතනින් අහවර වෙන්නේ නැත. වැලවල්වල ඇති රෙදි වේලා ඒවා මැදීමට බාරදිය යුතු වන්නේද ඔවුන්මය.
අද වනවිට පවුල් එකසිය පනහක් පමණ පැරඩයිස් ලොන්ඩරි වත්තේ ජීවත් වෙති. වසර සියයකට ආසන්න කාලයක සිට ලොන්ඩරි වත්ත මෙලෙස පවත්වාගෙන යද්දී ඇතැමුන් මෙම රුකියාව කරනු ලබන්නේද පරම්පරා උරුමයක් ලෙසිනි. නමුත් අද වනවිට අලුත් පරම්පරාව මෙම රුකියාවෙන් ඈත්ව සිටින්නේ යැයි පෙනෙනා බව ලොන්ඩරි වත්තේ වැඩිහිටියෝ පවසති.

”උන්ට අපි වගේ වතුරේ බැහැගෙන අනුන්ගේ කුණු අපුල්ලන්න ඕනකමක් නැහැ. සමහර කොල්ලෝ කෙල්ලෝ මේ ලොන්ඩරි වත්තේ ඉන්නේ කියන්නත් කැමැති නැහැ. උන්ට වරදක් කියන්නත් බැහැ. මේක ලෙහෙසි රස්සාවක් නෙමෙයි. වතුරේ ඉඳලම අත පය සීතලයි. දැන් ගොඩක් තරුණ ළමයි එක්කෝ ත්‍රීවීලර් එකක් හයර් එකට අරගෙන පදිනවා. එහෙම නැත්නම් කොහොම හරි රටකට පනිනවා.” ඔවුන් පවසන්නේ එලෙසිනි.
ලොන්ඩරි වත්තේ බොහෝ රාජකාරි කටයුතු කරන්නේ මැදිවිය ඉක්ම වූ පිරිස්ය. තරුණයන් කිහිප දෙනෙකුද සේවය කළද ඔවුන් අප කැමරාව දුටු විට ඒ තම කාර්යයන්වලින් ඈත්වූයේ තම කාර්යයන් සම්බන්ධව ප්‍රසිද්ධියේ පැවසීමට ඇති අකැමැත්ත නිසාමය. නමුත් අනුන්ගේ දේ උදුරා ගන්නවාට වඩා, සොරකම් කරනවාට වඩා මේ රාජකාරිය උතුම්ය.
තාක්ෂණ දියුණුවත් සමඟ රටපුරා ලොන්ඩරි තිබුණද අදටත් බොහෝ නිවෙස්, ආයතන සහ හෝටල් තම රෙදි ලොන්ඩරි වත්තට ලබාදෙනු ලබන්නේ ඔවුන් තුළ ඇති විශ්වාසය නිසාමය. එවැනි හෝටල් ආයතන හා නිවෙස්වලටම ගොස් එම කිළිටි රෙදි, පාපිසි, මෙන්ම රෙදි බැග් ඇතුළු දෑ ගෙන එනු ලබන ත්‍රිරෝද රථ කිහිපයක්ම ඇත. ඔවුහු ඉතා පිළිවෙළට අංක ගතකොට එම රෙදි තොග වශයෙන් ලොන්ඩරිවත්තට ගෙන එති. තවත් සමහරු ලොන්ඩරි වත්තටම පැමිණ තම රෙදි ලබාදෙති.
සෝදා වේලාගත් රෙදි ඊළඟට ලබාදෙනු ලබන්නේ රෙදි මැදීමේ කොටසටය. කුඩා නිවාස පේළියක රෙදි මදින්නෝ සිටිති. මේ රෙදි මැදීමේ විශේෂත්වය වන්නේ අදටත් ඔවුන් බොහෝමයක් රෙදි මදින්නේ පොල්කටු ඉස්ත්රික්ක මගින් වීමය.
”මම හැමදාම දවස් පඩියට වැඩකරන කෙනෙක්. ඉස්සර මම බිස්නස් කරපු කෙනෙක්. අපිට දවසකට රුපියල් දෙදහක් ලැබෙනවා. දවසකට කෑලි හැටක් හැත්තෑවක් විතර මදිනවා. ඒ හැමදේම පොල්කටු ඉස්ත්‍රික්කයෙන් මදින්නේ. මේ හෝටල්වල සීට් කවර තොගයක්. ඒ රෙද්දේ හැටියට අයන් එකේ රස්නෙත් තියාගෙන තමයි මේවා මදින්න ඕනේ. මම නුවර කෙනෙක්. දැන් මෙහේ නැවතිලා මේ රස්සාව කරනවා.” යනුවෙන් රාජා අපට පැවසීය.
පැරඩයිස් ලොන්ඩරි වත්තේ සැම ජාතියකටම අයත් මිනිස්සු ජීවත් වෙති. ඉතා කුඩා නිවෙස්වල ජීවත්වන ඔවුන්ට තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සිහින බොහෝමයක් ඇත. ඔවුන පවසන පරිදි ලොන්ඩරි වත්තට යාබද කොටසේ ඉදිවී තිබෙන නිවාස සංකිර්ණය ඔවුන්ට ලබාදෙන්නට සූදානම් වී තිබුණද අදටත් ඔවුන් ජීවත් වන්නේ ලොන්ඩරි වත්තේ කුඩා නිවෙස්වලය.
ලොන්ඩරි වත්තේ ඇති ”ශ්‍රී මහා කාලි අම්මන් තිරුක්කෝවිලට” දිනපතා බොහෝ පිරිසක් බාරහාර වීමට, බාරහාර ඔප්පු කිරීමට පැමිණෙති. කෝවිල ඉදිරිපිට ලොන්ඩරි වත්තේ රෙදිවැල් පේළිය දකින්නට ලැබේ. ලොන්ඩරියේ සේවකයන් තම රාජකාරි කටයුතු කරනු ලබන්නේ මේ කෝවිලට යාබදවය.
ඔවුහු ජීවත් වෙති. බොහෝ ප්‍රශ්න, දුක් වේදනා, ජීවිත අරගලයත් සමඟ ඔවුහු ජීවත් වෙති. අනුන්ගේ කුණු අතගෑවද ඒ බොහෝ මිනිසුන්ගේ ජීවිතවල කුණු නැත. ඇතැමුන් අපි හා කතා කළද ඒවා පිටු අතරට එක් කරන්නට, තම පින්තූරයක් පත්තර පිටු අතරට එක්කරන්නට අකැමැති වූයේ මේ සමාජය විසින්ම තබනා ඇතැම් පරම්පරා ලේබලයක් නිසාවෙන්මය. නමුත් ඔවුන්ගේ හිත් පිරිසිදුය. ඒවායේ කුණු නැත.
දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ – සුමුදු හේවාපතිරණ

සෙංකොට්ටං / පොඩිනා / හේනේ මාමා….
පොඩිනා සහ සෙංකොට්ටං යන වචන දෙක මගේ ලඟ මිතුරන්ට නම් අලුත් දෙයක් නෙවෙයි ….එහෙත් මට අලුතෙන් හමුවන අය මගෙන් අහන දෙයක් තමයි මොනවද මේ සෙංකොට්ටං කියන්නේ කියලා.. ඒ ප්‍රශ්නයට සෙංකොට්ටං නව කතාවේ රචක මහින්ද මස්ඉඹුල ත් දහස් වරක් උත්තර දීලා ඇති .සෙංකොට්ටං ගෙඩි පිටින් අමුතු සියුම් සුවඳක් ගලනවා.. ඒත් ඒගෙඩියෙ කිරි ඇහැට එහෙම ගියොත් විසයි ලු ..මම සරලව දන්න දෙයක් තමයි වියැළුණු සෙංකොට්ටං ගෙඩිය තුවාල කරලා ගලන කහට දොඩම් කටුවක තුඩට අරගෙන තමයි ඉස්සර රෙදි නැන්දලා ඇඳුමේ ලකුණ දාන්නේ ඇඳුම අයිතිකරුවන් කවුද කියලා අඳුනගන්න ..සෙංකොට්ටං කිරිවලින් ඇන්ද කහට පැල්ලම ඒ ඇඳුම තියන තාක්කල් මැකෙන්නේ නෑ …ඒ තරමට ඒ කහට ඇඳුමට අල්ලලා හිටිනවා …ගමේ එක එක ගෙවල් වලට අයිති ලකුණක් එයාලා කමිස කොලර් එකේ ඇතුල් පැත්තෙන් හෝ කලිසමක් නං සාක්කුවක ඇතුල් පැත්තෙන් ඇන්දම නොපෙනෙන විදිහට දානවා .. කොට්ට උර , ඇඳ ඇතිරිලි, මේස රෙදි , වල පවා එයාලා ලකුණු දාන අහුමුලු තෝරගෙන තියෙනවා .. මම පොඩි කාලේ දැක්ක අපේ ගමේ රෙදි නැන්දා නම් ගොඩක් ඒව ලකුණු කරල තිබුනෙ රෝම ඉලක්කම් වලට සමාන සලකුණු වලින්.. උදාහරණ විදිහට O, X, V, II ,+, වගේ. සලකුණ දැක්කම එයාලට මතකයි ඇඳුම කොයි ගෙදර එකක්ද කියලා… රෙදිනැන්දා හෝ එතුමියගේ ස්වාමියා හෙවත් “හේනේ මාමා” කියලා අපි කියන්නේ රෙදි පොට්ටනියත් අරගෙන ගෙයින් ගෙට එනවා කියලා මම අහලා තියෙනවා.. දැනට අවුරුදු 40- 50 කට විතර කලින් අපේ ගම පැත්තෙත් එහෙම ඇවිත් තියනවා .වැඩිවියට එන්න කිට්ටු දැරිවියක් හෙම ඉන්නව නම් රෙදි නැන්දා ඇහැ ගහගෙනලු ඉන්නෙ… මොකද නාවන දවසට ඒ දැරිවිගෙ පරණ කරාඹු කුට්ටම ඇතුලු පුංචි පුංචි දීමනා ටිකක් නැන්දට ලැබෙනවා ඒ ගෙදරින්…ගෙයින් ගෙට අරන් එන ඒ ලොකු පොට්ටනිය ඇතුලේ පොඩියට පොට්ටනි දෙකක් තියනවා එකක කිලිටු රෙදි , අනිත් එකේ සෝදල මැදපු රෙදි …සෝදපු රෙදි ආපහු ගෙනත් දීලා ආයෙත් හෝදන්ඩ රෙදි තියනවනම් කිළුටු රෙදි වෙනම ඇතුලෙ තියෙන පොඩි පොට්ටනිය ට දා ගන්නවා..වැඩිපුරම ඒ අතරෙ තියෙන්නෙ සුදු රෙදි. මොකදඒ අතරෙ ජාතික ඇඳුම් තියනවා.. ඒ වගෙම වන්දනා ගමනක් හෝ මඟුල් තුලාවකට ඇන්දෙත්, වැදගත් කියලා හිතෙන ඕනැ ගමනකට එදා ගම්වැසියො ඇන්දේ සුදු…
හෙට්ටු කරන අය වගේම,මුදලට අමතරව හාල් පොල් දුංකල වගේ දේවල් අතමිට මොලවන ලමාතැනීලා රෙදි නැන්දට ගමේදි හම්බු වෙනවා.. ඒ වෙලාවට අතේතියන පන් මල්ලට ඒවා ඔබාගන්නවා.. රෙදි පොට්ටනිය සමබරව ඔලුව උඩ තියාගෙන අත් දෙකටමත් මොනව හරි අරන් නියරක් දිගේ වුණත් රෙදි නැන්දා යන්නෙ හිසේ මොකුත් නැති තරම් හුරුවෙන්.. ඒ තරමට වැඩේ ගැන ප්‍රවීණයි…
රෙදි සෝදලා මදින්න කලින් සව් කැඳ වල දානවා කියලා දෙයක් එයාලා කරනවා.. ඒක කරන්නේ සව් ඇට උණු වතුරේ තම්බලා රෙදි කඩකින් ඇට ටික වෙන්කරනවා.. ඊට පස්සෙ ඒ වතුරේ ඇඳුම ඔබලා ගසනවා… ඒක පොල්කටු ඉස්තිරික්කයෙන් මැද්දම අලුත් ඇඳුමක් වගේ ඒ රෙද්ද ගණකමට හිටිනවා….
පරණ සිංහල බෙහෙත් බඩු කඩවල්වල සමහරවිට කාලෙකට ඉස්සර ගෙනාපු සෙංකොට්ටං ගෙඩි ඉතිරි වෙලා ඉතිරිවෙලා තියෙන්නෙ පුළුවන් ..සෙංකොට්ටං ගෙඩි මිලට ගන්නේ රෙදි නැන්දලා විතරයි කියලා මම සෙංකොට්ටං ගෙඩි හොයමින් බෙහෙත් බඩු කඩවල් පීරපු කාලෙ ඒ කඩේක එක්කෙනෙක් මට කිව්වා….ඇඳුම් වල ලකුණු දාන වැඩේ කරන්න විතරයි සෙංකොට්ටං ගෙඩි ඕනෑ වෙන්නේ කියලා. .. වෙන දේවල් වලට සෙංකොට්ටං ගෙඩි ඕන වෙන්නේ නෑ මම දන්න තරමින් …මේ ෆොටෝ දෙකත් සෙංකොට්ටං වල විද්‍යාත්මක පසුබිම ගැන රජිත ඉඳුනිල් වැලිතර ලියූ විශේෂ තොරතුරුත් මම දැක්කේ සන්ථව පේජ් එකෙන්…සෙංකොට්ටං ගෙඩියෙන් ඇඳුමේ ලකුණු කරණ ෆොටෝ එක ලබා දුන්නේ මොහාන් අලගියවඩු මහත්මයා.
රනිල් මුදුන්කොටුව …
((( පසුව ලිවීම – උඳුගොව්වන් කෑමේ රෝගයට පිලියමක් ලෙස සෙංකොට්ටං කිරි ආලේප කරන බවත්, ආයුර්වේද තෙලක් හිඳීමට භාවිතා කරන බවත් කමෙන්ට් දෙකක සඳහන්වී තියෙනවා…)))
“””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””

‘සෙංකොට්ටන්’කියන්නෙ ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ වැඩෙන ගසක්.සෙංකොට්ටන් පවුලට අයත් semecarpus ශාඛ වර්ග 14 ක් ලංකාවේ දකින්න පුලුවන් ඉන් 12 ක්ම ලංකාවට ආවේනිකයි..’බදුල්ල’කියන ශාඛය ඉන් එක වර්ගයක්.බදුල්ල කිරි සම මතුපිට ගෑවුනාම වණ වෙනවා.
සෙංකොට්ටන් හි විද්‍යාත්මක නම semecarpus anacardium නම් වෙනවා.අපි සිංහලෙන් සෙංකොට්ටන් කිව්වට දෙමළ භාෂාවෙන් කියන්නෙ ‘සෙන්කොට්ටෙයි’කියලයි.ඉංග්‍රීසි බසින් marking nut/varnish tree යන නම් වලින්ද සංස්කෘත බසින් arushkaram යන නමින්ද මලයාලම් බසින් thenlcotta/alakku cheru යන නම් වලින්ද හින්දි බසින් bhilava යන නමින්ද හඳුන්වනවා.මේ පහතින් අපි දකින්නෙ සෙංකොට්ටන් ගෙඩි.
විශේෂ තොරතුරු-රජිත ඉඳුනිල් වැලිතර.
මාතර අභිමානය Proud of Matara මුහුණු පොත් පිටුවෙන්


