මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ

දශක ගණනාවක් පුරා කතාබහට පමණක් සීමා වී තිබුණු මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික ‘2026 බලපත්‍ර පිරිනැමීමේ වටය’ නිල වශයෙන් ආරම්භ කරමින්, වර්ග කිලෝමීටර 34,000කට ආසන්න ගැඹුරු මුහුදු බිම් කොටස් 4ක් සඳහා ජාත්‍යන්තර ආයෝජකයන් වෙතින් ලංසු කැඳවීම ඊයේ (25) ආරම්භ කෙරිණි. මන්නාරම් ද්‍රෝණිය තුළ තෙල් බැරල් බිලියන 2ක් සහ ස්වාභාවික වායු කියුබික් අඩි ට්‍රිලියන 9ක අතිවිශාල සම්පතක් පවතින බවට කෙරෙන ප්‍රවේශම්සහගත විද්‍යාත්මක තක්සේරුව පදනම් කරගනිමින්, නවීන නියාමන රාමුවක් යටතේ පූර්ණ විනිවිදභාවයෙන් යුතුව මෙම ගවේෂණ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

මන්නාරම් ද්‍රෝණියේ ක්‍රියාකාරී ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු පද්ධතියක් පවතින බව සිදු කළ ගවේෂණ මඟින් තහවුරු වී ඇත.

මෙම නව වටය හරහා ජාත්‍යන්තර ආයෝජකයන්ට අක්වෙරළ ගවේෂණ කටයුතු සඳහා විශාල අවස්ථාවක් හිමි වන බව ඛනිජ තෙල් සංස්ථාවේ පසුගිය (25 වැනිදා) පැවති ඛනිජ තෙල් ගවේෂණය සඳහා ලංසු කැඳවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

මෙම බලපත්‍ර වටයේදී වර්ග කිලෝමීටර 33,964ක පමණ සමස්ත භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි, මීටර් 100 සිට මීටර් 3,000 දක්වා වූ විවිධ ගැඹුරු මුහුදු සීමාවන්හි පිහිටි ගවේෂණ බිම් කොටස් 4ක් ප්‍රදානය කිරීමට නියමිතය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා:

“ශ්‍රී ලංකාවේ අනාගත බලශක්ති අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීම සහ අපගේ ජාතික බලශක්ති අවශ්‍යතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අද වැදගත් පියවරක් තබනවා. සෑම රටක්ම තමන්ගේ ආර්ථික සංවර්ධනයට සහය දක්වන අතරතුර, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ නැඟී එන අර්බුද හමුවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳ උපායමාර්ගික තීරණ ගතයුතුයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්තාම, අපගේ මුහුදු තීරයේ ඇති ඛනිජ තෙල් සම්පත් වගකීම් සහගත ලෙස ගවේෂණය කිරීම සහ සංවර්ධනය කිරීම එම උපායමාර්ගයේ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකියි. මෙතැනදී භූ-දේශපාලනික තත්ත්වය ගැන කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. මන්ද, එය සාගර සීමාවට ආසන්නව පිහිටා තිබුණත්, එය අයිති වන්නේ අපගේ බලප්‍රදේශයටයි. එබැවින් මෙම කාරණයේදී කිසිදු භූ-දේශපාලනික ගැටලුවක් ඇති නොවන බව අපි විශ්වාස කරනවා.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය පිළිබඳ මාතෘකාව අලුත් දෙයක් නෙමෙයි, එය ශ්‍රී ලංකාව තුළ කරළියට ආ පළමු වතාව නෙමෙයි. කාලයෙන් කාලයට, වසර ගණනාවක් පුරා, මම කියන්නේ දශක ගණනාවක් පුරා මෙම මාතෘකාව මතු වුණා. කෙසේ වෙතත්, තේරුම් ගත හැකි විවිධ හේතූන් මත මෙම ප්‍රයත්නයන් වාණිජ මට්ටමේ ගවේෂණ සහ සංවර්ධන මට්ටමක් දක්වා ඉදිරියට ගියේ නැහැ. නමුත් අද වන විට, අප සතුව වෙනස් වූ විද්‍යාත්මක දත්ත පවතිනවා. ඒ නිසා පැහැදිලි අරමුණකින් සහ දැඩි කැපවීමකින් යුතුව ඉදිරියට යෑමට සුදුසුම කාලය පැමිණ ඇතැයි අපි විශ්වාස කරනවා. අපගේ ආයෝජකයන්ට මෙන්ම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික ජනතාවට අප සහතික වන්නේ, අතීත අත්දැකීම්වලින් අපි පාඩම් ඉගෙන ගෙන ඇති බවයි. එමෙන්ම වර්තමානයේ තාක්ෂණය සහ පවතින දත්තයන් මුළුමනින්ම වෙනස් වී තිබෙනවා. එම නිසා, අතීත ඉතිහාසය නැවත සිදු නොවන බවට අපි සහතික වෙනවා.

‘ශ්‍රී ලංකා බලපත්‍ර ප්‍රදානය කිරීමේ වටය 2026’ හරහා රජය විසින් මන්නාරම් ද්‍රෝණියේ මුහුදු තීරයේ ගවේෂණ කලාප 4ක් ඉදිරිපත් කරනු ලබනවා. තාක්ෂණික හා මූල්‍යමය වශයෙන් සුදුසුකම්ලත් ජාත්‍යන්තර මෙන්ම දේශීය සමාගම්වලට එහි ආයෝජනය කළ හැකියි. මෙම බලපත්‍ර ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නීත්‍යනුකූලව සහ ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ පාලනය යටතේ සිදු කෙරෙනවා.

අපි හිතන්න ඕනේ දෙයක් තමයි, අපි සම්පූර්ණයෙන්ම තෙල් ආනයනය කරන රටක්. එතකොට අපිට යම් ප්‍රමාණයක් මේ තුළින් ලබාගන්න පුළුවන්කම ලැබුණොත් තෙල් ආනයනය සඳහා යන විදේශ විනිමය රට තුළ ඉතුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අතිරේක වශයෙන් අපිට යම් ප්‍රමාණයක් තෙල් ලබාගන්න පුළුවන් වුණොත් ඒවා අරාබි රටවල් වගේ අනික් රටවල්වලට විකුණලා ඒ හරහාත් විදේශ විනිමය ආදායමක් එකතු කරගන්න පුළුවන්.

ජාත්‍යන්තරව හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කළ නවීන නෛතික හා නියාමන රාමුවක සහයෙන්, විනිවිද පෙනෙන සහ තරගකාරී ක්‍රියාවලියක් ආයෝජකයන්ට මෙහිදී හිමි වෙනවා. ශ්‍රී ලංකා ආදර්ශ ඛනිජ තෙල් සම්පත් කළමනාකරණය මත පදනම් වූ පැහැදිලි ටෙන්ඩර් පටිපාටි සහ ගිවිසුම් සමඟින්, පුළුල් භූගෝලීය, භූ-භෞතික සහ ළිං ආශ්‍රිත දත්ත වෙත ප්‍රවේශ වීමේ අවස්ථාව ආයෝජකයන්ට ලැබෙනවා.

ඉන්දියන් සාගර කලාපයේ ගවේෂණ ක්ෂේත්‍රය තුළ මෙම කලාප ඉතා වැදගත් අවස්ථාවක් නියෝජනය කරන බව අප විශ්වාස කරනවා. අපගේ අරමුණ වන්නේ තාක්ෂණික ප්‍රවීණතාව, මූල්‍ය ශක්තිය සහ ආරක්ෂාව, පරිසර ආරක්ෂණය මෙන්ම තිරසර මෙහෙයුම් සඳහා දැඩි කැපවීමක් දක්වන පළපුරුදු සහ හැකියාවන් සහිත පාර්ශ්වකරුවන් ආකර්ෂණය කර ගැනීමයි. ආචාර්ය නීල් ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට මෙම බලපත්‍ර ප්‍රදානය කිරීමේ වටය මෙවැනි වැදගත් අදියරකට ගෙන ඒම වෙනුවෙන් කළ කැපවීම, නායකත්වය සහ වෘත්තීයභාවය වෙනුවෙන් මගේ හෘදයාංගම සුබ පැතුම් සහ ප්‍රණාමය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ඔවුන්ගේ කැපවීම නැත්නම් අපි අද මෙතැන නැහැ.

ආචාර්ය නීල් මහතා සහ ඔහුගේ කණ්ඩායම කුඩා වුවද ඔවුන් ඉටුකළ කාර්යභාරය ඉතා විශාලයි. ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යාම, නියාමන රාමුව ශක්තිමත් කිරීම සහ විනිවිද පෙනෙන, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සැබවින්ම පැසසිය යුතු කරුණක්.

එමෙන්ම, ලොව පුරා සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මෙන්ම ඛනිජ තෙල්, බලශක්ති, භූ විද්‍යාව, භූ-භෞතික විද්‍යාව, ඉංජිනේරු සහ ඊට අදාළ ක්ෂේත්‍රවල නිරත සියලුම ජාත්‍යන්තර විශේෂඥයන්ගෙන් සහ වෘත්තිකයන්ගෙන් මම විශේෂ ඉල්ලීමක් කිරීමට කැමතියි. ඔබේ දැනුම, ප්‍රවීණතාව සහ ජාත්‍යන්තර අත්දැකීම් ශ්‍රී ලංකාව සමඟ බෙදා ගනිමින් මෙම වැදගත් ජාතික කාර්යයට සහය දෙන ලෙස අපි ඔබට ආරාධනා කරනවා. ඉතා වගකීමෙන් යුතුව අපගේ මුහුදු තීරයේ සම්පත් සංවර්ධනය කිරීමටත්, අපගේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමටත්, මෙම අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට උපරිම ඵල නෙළා ගැනීමටත් ඔබේ දායකත්වය ඉතා අගනා පිටිවහලක් වනු ඇති.

අපගේ මුහුදු තීරයේ සම්පත් ගවේෂණය සහ සංවර්ධනය කිරීම වගකීමෙන්, විනිවිදභාවයෙන් සහ අපගේ රටට සහ ජනතාවට දිගුකාලීන වටිනාකමක් එකතු වන අයුරින් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය දැඩි ලෙස කැපවී සිටිනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මුළු බලපත්‍ර ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය පුරාම ආයෝජකයන්ට සහය දක්වනවා. මෙම අවස්ථාව ඇගයීමට ලක් කරන ලෙසත්, අපගේ තාක්ෂණික කණ්ඩායම් සමඟ සම්බන්ධ වී ශ්‍රී ලංකාවේ මුහුදු තීරයේ සම්පත්වල හැකියාවන් එළිදැක්වීමේ හවුල්කරුවන් වන ලෙසත් අපි උනන්දුවක් දක්වන සියලුම ආයෝජකයන්ට සහ සමාගම්වලට උණුසුම් ලෙස ආරාධනා කරනවා.

මෙම බලපත්‍ර ප්‍රදානය කිරීමේ වටය යනු අපගේ ස්වාභාවික සම්පත් ගවේෂණය කිරීමේ අවස්ථාවකට වඩා වැඩි යමක්. මෙය ආයෝජන ආකර්ෂණය කර ගැනීමට, අපගේ බලශක්ති ආරක්ෂාව ශක්තිමත් කිරීමට, තාක්ෂණික ධාරිතාව වර්ධනය කිරීමට, නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දායක වීමට ලැබෙන කදිම අවස්ථාවක්. කතාබහට පමණක් සීමා නොවී, ගවේෂණය සඳහා අර්ථවත් සහ සාර්ථක වැඩසටහනක් බවට මෙය පත් කිරීමට අපි අදිටන් කර ගනිමු. අපි හිතනවා බලශක්ති ක්ෂේත්‍රයේ අද වැදගත් දවසක් ලෙස. ගවේෂණය පිළිබඳ ඉතිහාසයේ විවිධ කාලවල, විශේෂයෙන් මෑත අතීතයේදී, අපි අහලා තියෙනවා. නමුත් ඒ බොහෝ අවස්ථාවන් අපි දන්නා හේතුන් මත ඒවා යථාර්ථයක් බවට පත් කරන්න අපි ජාතියක් හැටියට අසමත් වුණා.

නමුත් විද්‍යාත්මක දත්ත, ඒ වගේම භූ විද්‍යාත්මක සැසඳීම් මත ගොඩනැඟුණු දත්ත, සහ ඒ දත්ත මත තිබෙන පුරෝකථනයන් අනුව අද දවසේ මේ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ගෑස් පිළිබඳ ඒ විද්‍යාත්මක පදනම මත ගොඩනැඟුණු ප්‍රබල විශ්වාසයක් තියෙනවා.

අන්න ඒ විශ්වාසය මත අද දවසේ අපට පුළුවන්කම ලැබුණා ලෝකයේ මේ ක්ෂේත්‍රයේ ඉන්න විවිධ ආයෝජකයන්ට ආරාධනා කරන්න, මේ මන්නාරම් ද්‍රෝණියේ වර්ග කිලෝමීටර් 34,000ක් පුරා පැතිරුණු බ්ලොක්ස් 4ක තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආරාධනා කරන්න.

ඒ නිසා අපි ඉතා පැහැදිලිවම මේ තෙල් ගවේෂණය කරන ආයෝජකයන්ට ආරාධනා කරන්න කැම­ැතියි. අපි ඉතාමත් විනිවිදභාවයෙන්, ඒ වගේම දැනටමත් අපි සකස් කරලා තියෙන ඒ රෙගියුලේටරි ෆ්‍රේම්වර්ක් එක අනුව, ඒ වගේම පෙට්‍රෝලියම් පනත අනුව කටයුතු කරමින් නිදහසේ, ඒ වගේම කිසිම බලපෑමකින් තොරව තෙල් ගවේෂණයේ ආයෝජනයන් වෙනුවෙන් දෙන්න පුළුවන් සියලුම සහයෝගය ලබා දෙන්න කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.”

මෙහිදී අදහස් දැක්වූ කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා:

“රජයේ පාර්ශ්වයෙන්, විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශය සහ ප්‍රතිපත්ති පිළිබඳව සලකා බලන විට, මෙම ගවේෂණයට සම්බන්ධ වීමේ අවදානම භාර ගැනීමට අපි සූදානම්. ඔබ අවදානමක් ගත්තේ නැත්නම් කිසිවක් සිදු වන්නේ නැහැ, විශේෂයෙන්ම විශාල ජයග්‍රහණ අත්කර ගැනීමට හැකියාවක් නැහැ. එබැවින් මෙහිදී ගන්නා තීරණ අවදානම් සමඟ බැඳී පවතිනවා. ශ්‍රී ලංකාවේ පවතින බොහෝ ගැටලු විසඳීමට අපට උපකාරී වන සැබෑ ප්‍රතිඵල ලබා ගැනීමට අපට හැකි වනු ඇති බවට මට විශ්වාසයි. ලොව පුරා සිටින ආයෝජකයන්ට මෙය හොඳ අවස්ථාවක්. මන්ද තෙල් සහ ගෑස් ගවේෂණය ඉතා ඉහළ මට්ටමකට පැමිණෙන පරිදි වර්තමාන තාක්ෂණය දියුණු වී තිබෙනවා. මෙම විශේෂිත අවස්ථාවෙන් අපට දැකගත හැකි ආර්ථික සමෘද්ධිය ළඟා කර ගැනීමට එක් හොඳ, කැපවූ සහ දක්ෂ ආයෝජකයකු සොයා ගැනීමට අපට හැකි වනු ඇති බව අපි දැඩි ලෙස විශ්වාස කරනවා. අපගේ රජයේ දැක්ම වන්නේ ආර්ථිකය ගමන් කරන මාවත වෙනස් කිරීමට අමතරව, එය පර්යේෂණ සහ නවෝත්පාදනයන් සඳහා වේදිකාවක් සපයා දීමයි. එබැවින් නව දේවල් මඟින් ස්ථිර වශයෙන්ම වැඩි ප්‍රතිලාභ ගෙන දෙනු ඇත.

විද්‍යාවේ සහ තාක්ෂණයේ නව සොයාගැනීම්වලින් පසුව, කෙටි කාලයක් තුළ මුළු ලෝකයම මෙවැනි මට්ටමකට පැමිණියේ ප්‍රධාන වශයෙන්ම නවෝත්පාදනයන් නිසයි. එබැවින් අපගේ රජය ඒ සියලු දේ සිදු කරමින් සිටිනවා. විශාල ගැටලු සඳහා වන ඇතැම් විසඳුම් ඉතා සාමූහිකයි. අපගේ ඉලක්ක සපුරා ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයන්ගෙන් එකිනෙකා හා අතවැල් බැඳගනිමින් අමාත්‍යාංශ පවා කටයුතු කරන වටපිටාවක් දැන් රජය තුළ තිබෙනවා. ඒ වටපිටාව තිබීම සතුටක්. රජයේ පාර්ශ්වයෙන් මුදල් අමාත්‍යාංශය ලෙස අපි මෙය ප්‍රමුඛතාවක් ලෙස සලකනවා. ඉදිරියේදී අභියෝග තිබෙනවා. ආර්ථික අභියෝගවලට අමතරව, වෙනත් සාමාජීය-ආර්ථික සහ පාරිසරික හෝ භූ-දේශපාලනික අභියෝග පවා මතු විය හැකියි. එබැවින් එක් නිශ්චිත අරමුණක් පදනම් කරගෙන අපි එකමුතුව කටයුතු කරන තාක් කල් ඒ සියල්ල ජය ගැනීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම අනාගතයේදී මෙම හවුල් සමෘද්ධියේ ප්‍රතිලාභ ලබා ගැනීමට අපට හැකි වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණය 1960 දශකයේ අගභාගය දක්වා දිවෙන අතර, 2011 වසරේදී කෙයාන් ලංකා සමාගම මන්නාරම් ද්‍රෝණි ප්‍රදේශයේ ළිං දෙකක් හාරා ‘බැරකූඩා’ සහ ‘ඩොරාඩෝ’ යන ක්ෂේත්‍රවලින් ස්වාභාවික වායු සොයා ගැනීමත් සමඟ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගන්නා ලදී. මන්නාරම් ද්‍රෝණියේ කැබලි හතරක ගවේෂණ සහ නිෂ්පාදන කටයුතු සඳහා ආයෝජන යෝජනා කැඳවීමට ලංසු කැඳවීම සඳහා වන කැබිනට් අනුමැතිය 2025 මැයි මාසයේදී හිමිවූ අතර, ඉන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය විසින් විභව අන්තර්ජාතික ආයෝජකයන් වෙත මේ සම්බන්ධයෙන් ප්‍රචාරණය කිරීම ආරම්භ කරන ලදී. 2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනත හරහා ඛනිජ තෙල් ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා වන නීතිමය රාමුව ද ශ්‍රී ලංකාව විසින් සකස් කර ඇත.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today