දිවයින පුරා දැඩි වියළි කාලගුණයක් – 84,000කට අධික පිරිසකට බලපෑම් .ජලාශ සිඳී යද්දී යාල කලාප කිහිපයක් වසා දැමේ.

දිවයිනේ පළාත් කිහිපයකට දැනට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 26,457කට අයත් පුද්ගලයින් 84,545 දෙනෙකු දැඩි පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) වාර්තා කරයි.

මේ අතර, පානීය ජල හිඟයෙන් පීඩා විඳින දිස්ත්‍රික්ක 5ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144ක සාමාජිකයින් 75,734 දෙනෙකු වෙනුවෙන් බවුසර් රථ මගින් පානීය ජලය බෙදා හැරීමේ හදිසි වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.

පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන මහවැලි ජලාශ කිහිපයක ජල ධාරිතාව සීඝ්‍රයෙන් පහළ බැස තිබේ. මහවැලි අධිකාරියේ නවතම වාර්තාවලට අනුව ඇතැම් ජලාශවල ජල මට්ටම 30%ටත් වඩා අඩුවී ඇති අතර, තවත් ජලාශ කිහිපයක් 50% ආසන්න සීමාව දක්වා පහත වැටී ඇත.

ජලාශයවත්මන් ජල මට්ටම (%)
කණ්ඩලම වැව50%
කළුගඟ ජලාශය55%
කලාවැව29%
හුරුළුවැව27%
මාදුරු ඔය26%
බෝවතැන්න ජලාශය21%
දියබාන වැව15%

මේ අතර දිවයිනේ පුදේශ කිහිපයකට වියළි කාලගුණය පැවතියද, කුකුළේගඟ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ඉදිරි දින කිහිපය තුළ විටින් විට වැසි හෝ ගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

දැඩි වියළි කාලගුණය සහ අධික තාපය හමුවේ වනජීවීන්ගේ පැවැත්ම මෙන්ම පරිසර පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප කොටස් සංචාරකයින් සඳහා තාවකාලිකව වසා දැමීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

  • වසා තබන කාලසීමාව: සැප්තැම්බර් 14 වැනිදා සිට ඔක්තෝබර් 15 දක්වා.
  • විවෘත කලාප: නියඟයෙන් දැඩි බලපෑමක් එල්ල වී නොමැති වනෝද්‍යානයේ සෙසු කලාප සංචාරකයින් සඳහා විවෘතව තැබේ.

ජනතාවට අවශ්‍ය පානීය ජලය ලබාදීමටත්, කෘෂිකාර්මික හා ජලවිදුලි උත්පාදන කටයුතු කළමනාකරණය කිරීමටත් අදාළ බලධාරීන් මේ වන විට සූදානමින් සිටී.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today