සිංහල බ්ලොග් කවි මුතු

පුන්සඳ රෑට ඇවිදින්…

පුන්සඳ රෑට ඇවිදින් ඔපීසියේ කළුව බිඳ

පණ කෙදි සේම ලැප්ටොප් එක උඹේ ඉඹිනවද

තනියම හින දැක දැක මොටදැයි ගෙදර ඉඳ

රන් කඳ තාම ඔපීසියේ කෝඩින් කරනවද

ක්ලයන්ට් ලා රෑන කරදර කරන තුන් තිස් පැයම

රෑටත් කෝල් කර කර වද කරනවද

නෙස්කැෆෙ එහෙම වැඩිපුර බොන්න එපා පණ…

වැඩ කෙරුවාට මාසේ පඩිය නැද්ද තව

පුන්සඳ රෑට….

මැරුණා වාගේ  බෝඩිම් ඇවිදින් නිදන විට

මදුරුවෝ රෑන කණ ළඟ සිංදු කියනවද

ඇල්ටෝ එකවත් ලඟදි ගමු නේද පණ

සීපා ආවොත් කන්නට වෙන්නේ මගේ පඩි පතට 

IT කාරයෙක්ගේ තනි වූ පෙම්වතියකගේ කඳුළු කතාව…

නාඩියා නාඩිරත්න

https://naadiyaonline.blogspot.com

සඳ!

දුරක දිදුලන සඳවත

නතර වී හදවත මැද

මුමුණමින් මුදු තනුවක්

අඳුරු නැති අහසක් ගැන

සිනහවක් තවරනු මැන

වළාවක දුර විහිදෙන

අමාවක දවසක වුව

එළි තිතක් හද රඳවන

හෙල්මලී ගුණතිලක

https://hotchocolatedays.blogspot.com

පුරාවෘත්තයක සැඟව ගිය පෙම්වතාණ !

හිම මිදෙන මිටියාවතක

කේතුධර වනස්පතියක් මැද

මඟ වැරදුන සිගිති වවුල් කෙල්ලකට

පොරවා උණුහුමේ ලොම් කබාය

මහ  හුඟක් ආදරෙන්

පරිස්සම් කල 

කඳුකර වෘකයාණ !

සදාහරිත නිම්නයක

නූස් කඳු ගැටක් අගිස්සක

තනිව පිපී උන් සමයක 

හරි පුංචි නිල්පෙති මලක්ව

විඩා නොබලා පියාඹා විත්

පරව පෙති මියෙන්නට පෙර

සෙනහසින් ළඟ උන්න

මිහිරි බටිත්තාන !

දුර ඈත සිතිජ ඉම මායිම

හැපි හැපී සිඳු රළ මත 

දරාගෙන මුතු ගැබ 

මියෙන්නට තනන මුතුබෙලි හද

හොවාගෙන සිනිඳු ළය මත

හුස්ම දුන්

සොඳුරු කිඳුරාණ !

*************

ආක්ටික් වෘත්තයේ 

හිම වලසුන් වෙසෙන අඳුරු

ග්ලැසියර ගුහාවක

සිරගත කල හිම කුමාරිය මම

සියල් මතක පුරාවෘත්තයකට පවරා

කිසිවක්ම සිදුනොවූ ලෙස

සිසිරතාරකා නින්දකද  ඔබ ? 

සොඳුරු සඳවතී 

https://kavisandalla.blogspot.com

අප අතර ඇති ඇබිති විශ්වය

ඔබේ ඝන ඇහිබැමක 

මගෙ දෙතොල් සැරිසැරීමෙන් පසු ය

කුඩා තරු වළල්ලක් ඉපදුනේ ~

අන්න ඒ මොහොතෙදියි

අප අතර ඇති ඇබිති විශ්වය

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~

යුනිකේත සංවාද කවුළුවක

සල්ලාප ග්‍රහලෝක ඉදිවෙයි

ඔබෙ ලෝකයේ මලක්, සිඟිති සමනලෙක්, ගී දෙපදයක්

මගේ ලෝකය වෙතට පැමිණෙයි – 

නිලා කූරක් වගේ සනහස ඉපිලෙයි

චොකලට්ටුවක – චායි මග් එකක

රෙසිපි වැරදිච්ච රසකැවිල්ලක

ගුරුත්වාකර්ෂණය, 

හිතන්නට බැරි තරම් දරුණුයි

ඔබව මට කොච්චරක් පුරුදු දැයි හිතෙනකොට

පපුව මැද කළුකුහර කකියයි

නෙබියුලාවක් වගේ නිහඬබව

හාත්පස වසා ගත් මැදියමක

උල්කාෂ්මයක් වන් අහඹු දුර ඇමතුමක් පැමිණෙයි

කල්පාවසානයට පෙරාතුව

කෙටි “සදාකාලයක්” බිහිවෙයි

ඉතින් කවදාක කොහොම දැයි මම නොම දනිමි

රහස් විශ්වයක් අප දෙදෙන’තර ඉපදුනේ ~

එයින් මතු ඔබ වගෙම මුරණ්ඩුව

මගෙ හදවතේ මැදක ඇමිණුනේ ~

බස්සි  (Yash)

https://basukavi.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits … Today …