සිංහල කෙටිකතාව

ඒකි තනිකරම විකාර කවිකාර වකාරයක්. අපාර සංසාරෙ පුරාම මගෙ පස්සෙන් පන්නගෙන පන්නගෙන ආවයි කියල හිතවන්න පුලුහං විදියෙ පුදුමාකාර සැහැල්ලු කුරුලු පිහාටුවක්. හීනියි සුදුයි ඇබිතිල්ලං කෝලමකට බෙල්ලෙන් අල්ලලා ඉසකුඩිච්චියක් දාන්න වෙන තරමේ දඟකාරකමකුත් එක්කහු උනාම කොහොමද සනීපේ? ඒ තමයි මං ඔය කියපු කුරුළු පිහාටුව. මගෙ කුරුලු පිහාටුව.
මං මෙහෙම ‘පපු කුහර කුස්තුර’ පිරෙන්න දිග හුස්මක් කාරිය අරගෙන ‘මගේ කුරුලු පිහාටුව’ කිව්වට මොකද, ඇත්තටම එයා කාගෙද කියල එයාවත් දැනගෙන හිටියෙ නෑ. කාටවත් අයිති නැති වීමම එක්තරා විදියක සෞන්දර්යක් නෙව. ඇරත්, වෙන කාගෙ වුනත් මේ මගේ වේවි කියලනම් එයැයිට හීනෙක අන්තරා කොටසෙ අන්තිම තත්පර කාලෙදිවත් හැඟෙන එකක් නෑ. මං රඟපෑවෙ ඇගේ හොඳම රසිකයාගෙ චරිතෙ.
වෙන එකක් තියා ‘පපු කුහර කුස්තුර’ කියන්නෙත් මං ඔය වෙන කාගෙහරි කවියකින් කියවලා කටපාඩමේ තියාගත්තු වාක්‍යාංශයක්. මට තිබුනා සුපිරි මතකයක්. බැරිවෙලාවත් එහෙම මම මාවල් හරි ඩී.සී. හරි කොමික් එකක චරිතයක් වුනානම් මගෙ සුපර් පවර් එක විදියට කිසි ගින්නක් නැතුව මේ අසාමාන්‍ය මතක ශක්තිය පාවිච්චි කරන්න තිබුණා. ඒත් ඉතින් අවාසනාවට මම කොමික් කැරැක්ටර් එකක් නෙමෙයි. මගෙ කුරුලු පිහාටුවේ හොඳම රසිකයා.
කුරුලු පිහාටුවට තිබුනා සිල්ක් වගේ සිනිඳු, එක ගානට ට්‍රිම් කරපු කෙස්සක්. ඒ වගේම හයිය දිග නාරටියක්. නාරටිය දිගේ මහත දොළපාරක් වගේ වචන ගලාගෙන ගලාගෙන ආවා. උල්පත තිබුනෙ කොහෙද කියලනම් මම දැනගෙන හිටියෙ නෑ. හැබැයි මම ඒක දන්නව වගේ හැසිරුනා. වචන දියවෙලා හදාපු උකු තීන්තයකින් තමයි ඈ කවි ලිව්වේ. ඒ කවිවල තිබුනේ එක එක විදියේ සුවඳවල්, රසවල් සහ ස්පර්ශයන්. එක්ස්ටසි ගැහැව්වා වගේ කණිනිකාව විසාල වෙලා මුළු ලෝකෙම ඇස් දෙකෙන් උරාගෙන, රැයක් එලිවෙනකම් ඒ වචනවල රිද්මයට නටන්න හැකියාව ලැබෙන මහ පුදුමාකාර පිබිදීමක් එයින් ලැබුනා. හොඳම රසිකයා චරිතය රඟපාමින් උන්නු මම ජීවිතේ වැඩිකාලයක් ගතකලේ අඩසිහියෙන් මත්වෙලා නටමින් බව අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ? ඒ කවි ආඝ්‍රාණයෙන් පස්සේ මම උද්දීපණය වෙන්නේ රොකට් එකක් වගේ. දිඩි දිඩි ගාලා රක්තාණුයි ස්වේතාණුයි ලේ නහර දිගේ රේස් දුවන්නෙ කන් අඩි පුපුරන තරම් මහ සද්දෙට. ඒ වෙලාවට මට ඕනෙ වුනේ මගේ කුරුලු පිහාටුව වෙනුවෙන් මරාගෙන මැරෙන්න.
ඔව් ඔව්. මරාගෙන මැරෙන්න තමයි. හැමෝම කුරුලු පිහාටුවට ආදරේ එක ඇත්ත තමයි මනුස්සයෝ. ඒ හින්ද තමයි මම හන්දියක් හන්දියක් ගානෙ සරම කැහැපොට ගන්නාගෙන කවුරුහරි එනකම් බලාගෙන උන්නෙ. මක් කිව්වා? හාංකවිසියක් නොදන්න අසරණයො? අනෙ මේහ් තමුෂෙගෙ මමීගෙ ඉස්කර්ට් එක තමයි. ඕකුන් සේරම කුරුමානං අල්ලන්නෙ මගෙ කුරුළු පිහාටුවට කෙලින්ඩ!
මම දැන් කියකියා උන්නෙ මගේ රසවින්දන කර්තව්‍ය ගැනනෙ. මත් ගතිය අඩුවෙනකොට මට ඕනෑ වුනේ මීයෙක් වෙලා ඈ කවි ලියන කරදාසි කපාගෙන කපාගෙන යන්න. එව්වා නූඩ්ල්ස් රැලි ගානට තීරු කරලා, උණුවතුරෙ දාල තම්බලා, වතුර බේරෙන්න ඇරල, ලූනුයි මුද්දරප්පලනුයි එක්ක තෙම්පරාදු කරල කන්න. පරණ තාලෙ මිනිස්සු පිහාටු පෑනෙන් කවි ලිව්වෙ කරදාසිවල වුනාට මගේ කුරුලු පිහාටුව මොඩර්න් පැටර්න් දන්න හැට ආච්චම්මෙක්. ඒකි ලියන තරමක් දේවල් ලිව්වෙ වලාකුළුවල. සිංදුවකුත් සිවුරුහන් කරගෙන කේතු හැඩේ පයිනස් අතු අගිසිවල හැප්පි හැප්පි, මීදුම් සේලෙ අස්සෙන් වැටෙන හිරු කිණිතිවල දැවටි දැවටි පියාඹන ගමන් ඈ කවි ලිව්වෙම වලාකුළුවල.
තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනව. මමත් ඈට ලිව්වනෙ. ඒ කවිවලට බොහොම දෙනා පිලිතුරුත් ලිව්වා.
හද කෙමිය
වියලී මියෙන්නෙය කනාටුව
සුහදිනිය
සුළඟේ පාව යන පිහාටුව
පුබුදුවන් ඔය හිනා මුව
අපි දෙන්නා තකට තක කැපෙන කවිකාර යාළුවෝ ජෝඩුවක් කියපු සමහරුන්ට කවිකාර කරකාර බන්ධනයක් දැකබලා ගැනීමේ වුවමනාවකුත් ඇතිබවට යන්තමින් ඉඟි බිඟි පවා ලැබෙන තත්වයකුයි පැවතුනේ. ඒ වුනත් සුදෝසුදු පිහාටුවේ පරම පිවිතුරු රසිකයා විදියට මම ශෘංගාර ස්වප්න සේරම අංගාර ආගරයක අගුල්ලලා හිරකරලා මත්වීම පවත්වාගෙන ගියා. ආගාර ද්වාරය දෙදරුම්කන වෙලාවන් නොතිබුනාම නෙමෙයි. ඒ වෙලාවට “හිතූ හිතූ ගාතේ පාරක් පාරක් ගානේ ආදරේ ප්‍රකාස කරකර යන්ඩ මේක ප්රංසෙද?” කියලා මගෙ සාම්ප්‍රදායික සාන්තදාන්ත ලාංකික යටිහිත ලිබරල් වෙස්තට්ටුව ඇඳපු උඩුහිතෙන් බොහොම දරුණු විදියට ප්‍රස්න කලා – දෙදරීම ඒකක්ෂණයෙන් නතර කලා.
මත්වීම් දෙකක් අතර කාල අන්තරය ගෙවාදමන එක කොයිතරම් සීරු මාරුවට කලමනාකරණය කරගන්න උත්සාහ කලත් එන්න එන්නම අසීරු වුනා. බලන බලන අත පෙනුනේ කුරුලු පිහාටුව විතරමයි. සංසාර චක්කරේකට එකක් බැගින් හටගන්න මේ වගේ විරල බැඳීමක් සරලව හිතලා අමතක කරල දාන්න පුලුවන්යැ. ආයෙමත් ආයෙමත් වචන ඇබින්දක් ඉල්ලලා කෙඳිරිගාන එක විතරමයි කරන්න ඉතිරිවෙලා තිබුනෙ. අසමසම හොඳම රසිකයා කියන පට්ටම නිසා ඒ ඉල්ලීම කරන්න නිසඟ අයිතියක් ලැබීම උරුමයක්. නිදහසේ මගේ මාවතක හමායන්න ඉඩ ඇති කුඩා විවර සියල්ලම අහුරන මේ හඹායාම, කරුමයක් කියලා එක මොහොතකටවත් නොහිතුනේ ඒ උරුමය නිසාම වෙන්නැති.
ඇබ්බැහිය උත්සන්න වෙච්ච පාන්දරක මම බොහොම තනුක කවි ද්‍රාවණවල ගිලෙමින්, යලි යලිත් ඉල්පෙමින් වෙව්ලීම නවත්වාගන්න යත්න දරමින් උන්නා. බොලේ! ඒ ද්‍රාවණ හැමෙකකම පුරවලා තිබුණේ ඇගේ පියාසැරිය අතරමැද්දේ බිම හැළුණු පිච්කාංග. නොදෝමකින්! ඇල්කොහොල් සැර ඇල්වතුර ගානට තනුක වේගෙන යනකොට ඒවා මගේ ඇඟේ ඇනෙන්න ගත්තේ ඇල්පෙනෙත්ති මිටියක් වගේ.
“දුෂ්ඨ පාහර කොල්ලකාරයා!” මං පාන්දර දෙකයි හතලිස්පහට හිස් අවකාශය පුරා කුරුටුගාමින් උන්නා.
“පාපිෂ්ඨ අසම්මජ්ජාතියා!” ඇත්තම කිව්වොත් ඇගේ පිච්කාංග කොල්ලකාපු කල්ලතෝනියෙක් අමතන්න මං පාවිච්චි කරපු වචන හොඳ වැඩියි.
“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” පහුවෙනිදා උදේ පාන්දරම කුරුලු පිහාටුව මට ලියමනක් එවලා තිබුනා. කිව්වට විශ්වාස කරන එකකුත් නෑ, ඒ වචන ටික දැකලා මට ඉගිල්ලෙන්න හිතුනා. ප්‍රංසෙට යංද අහන්නත් හිතුනා.
“අපි දෙන්නා හිතන්නේ පතන්නේ එකම විදියට.” ඈ ආයෙමත් කියනවා. “ඔයා මගේ හොඳම රසිකයා වගේම විශ්වාසවන්තම යාලුවා. දන්නවද? එයාටයි මටයි තියෙන්නේ එකම අදහස්, එකම රිද්මය, එකම තානය, තාලය. මං හුඟ දවසක ඉඳන් එයාට යටි හිතෙන් පෙම් කරමින් හිටියේ. ඔයා දන්නවද දන්නෙ නෑ කිටිකිටියෙ සරීරෙම වෙලාගෙන පෙලාගෙන හිටිහැටියෙ යටිහිතෙන් පැනනඟින අප්රකාශිත ප්‍රේමයන් ගැන. ජාති ජාතිත්, හතුරෙක්ටවත් වෙන්න එපා ඒ වගේ පජාති විඳවිල්ලක්.”
“මොකක්?” සර්පිලාකාර කළු කුහරයක කල්ල කටුක අන්ධකාරෙට ඇදීගෙන යන අතරෙ මං අමාරුවෙන් අකුරු තුනක් ගැටගහගත්තා.
“මීටපස්සෙ එහෙම එයාට බනින්න ලෑස්තිවෙන්න එපා, තේරුණාද? අද මහ පාන්දර සමයමේ ඔයාගෙ පරුස වචන ඇඟේ වැදිල ඇහැරිච්ච වෙලාවේ තමයි අපි දෙන්නට දෙන්නා එකට වලාකුළුවලට නගින්න තීරණේ කලේ. ඔයා වගේ රසිකයෝ ලේසියෙන් කාටවත් මුණගැහෙන්නෙ නෑ රත්තරනේ! ඒකනෙ මං ඔයාට මෙච්චර ලෙන්ගතු.”
හෝස් ගාල හිත හිස්වෙන්න තත්පර දෙකක්වත් ගියෙ නෑ. වඩා ඉක්මන් කෝච්චියට බෙල්ල තියන එකද, කුරේටර් කන එකද කියලා කල්පනා කරලා කරලා බැරිම තැන මම කාසියක් උඩ දැම්මා. පුල් හන්තර් වෙලා ලෙල්ලටම සාටර් වෙලා හිටපු මගෙන් සම්භාවිතාවයත් ආතල් ගන්න හිතපු නිසා වෙන්නැති කාසිය පෙරලෙන්නෙ නැතුව කෙලින් හිටගත්තේ. ඒ ගමන මම තීරණය කලා ආකාසෙන් බිමට පනින්න.
මම අත්දෙක මිටිකරගෙන තුං හතර වතාවක් දෙපැත්තට පද්දලා පද්දලා පහලට පැන්න. වළාකුළුවල හැප්පෙනකොට සිඟිති මල්වැහි බිංදු චිරි චිරිස් සද්දෙට මගේ කම්මුල් උඩ හැප්පිලා පහල බේරුණා. හුලං රැල්ලකට අහුවෙලා හතර අතේ විසික්කා වෙවී සෑහෙන දුරක් තිරස් අතට ගමන් ගත්තට පස්සෙයි එකපාරටම මට ඒක තේරුං ගියේ.
මමත් කුරුළු පිහාටුවක් වෙලා!
යශෝධා සම්මානි ප්‍රේමරත්න ( බස්සී )
බස්සීගේ නවාතැන බ්ලොග් අඩවිය https://bassigenawathana.blogspot.com/ * අවසර ඇතිව උපුටා ගත්තකි .
ජීවන කතන්දර

වෙද මහත්තයා
සිංහරත්න වෙද මහත්තයා පාරම්පරික වෙදෙකි. ගුලි, කල්ක පිළිබඳ මනා දැනුමක් තිබෙන සිංහරත්න වෙද මහත්තයා නිතරම සිංහල වෙදකම පාරට්ටු කළේ ගෞරවයෙනි.
“අපේ මේ වෙදකම එන්නේ රාවණාගේ කාලේ හිටං. ඕනෑම ලෙඩකට බෙහෙත් අපේ පුස්කොළ පොත්වල ලියලා තියෙනවා. ඉස්සර කාලේ අපේ වෙද්දු මොලේ ශල්‍යකර්ම පවා කරලා තියෙනවා”
තැපැල් මහත්තයා සිංහරත්න වෙද මහත්තයා සමග ඉඳහිට වාද කළේය. ඉංග්‍රීසි බෙහෙත් වලට පුරුදුව සිටි තැපැල් මහත්තයගේ දියවැඩියා බෙහෙත් වල අගුණ කියාපෑමට සිංහරත්න වෙදමහතා පැකිලූණේ නැත.
” බලන්න තැපැල් මහත්තයෝ, ඔහේ දියවැඩියාවට ඔය කොච්චර කරල් ගන්නවද? දැන් අවුරුදු දෙකයි. කෝ, ලෙඩේ සනීපද?
පරාදවීමට අකමැතිවූ තැපැල් මහත්තයා සිංහරත්න වෙදමහත්තයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ තවත් ප්රශ්නයකිනි.
” ඉතිං සිංහල වෙදකමේ දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට බෙහෙත් තියෙනවද?
“නැතුව තැපැල් මහත්තයෝ, අපේ පුරාණ පොත් වල දියවැඩියාව නිට්ටාවට සුවකිරීමට හැකි බෙහෙත් වට්ටෝරු තියෙනවා.”
” ඉතිං තියෙනවා නම් ඒවා එළියට දාලා මේ රටේ ඉන්න දියවැඩියා රෝගීන් ටික සනීපකරලා දානවකෝ” තැපැල් මහත්තයා දුමක් අදින ගමන් කීවේය.
“ඒවා එහෙම එළියට දාන්න පුළුවන් වට්ටෝරු නෙවෙයි. ඒවා පරම්පරාගත රහස්. ඒවා ඔය එක එකාට ඕනෑ විධියට එළියට දාන්න බැහැ. එක එකා අතට පත්කරන්න බැහැ.”
” ඒක මොන කුහක කමක්ද වෙදමහත්තයෝ. දැන් බලමු. සුද්දා වසූරිය රෝගය වලක්වන්න එන්නත හොයා ගත්තා. ඒක පරම්පරා රහස් වට්ටෝරුවක් කියලා හංගාගෙන හිටියේ නැහැනේ. මුළු ලෝකේම යහපතට ඒක ඉදිරිපත් කළා. දැන් බලන්න, වසූරිය මේ ලෝකෙන් තුරන්වෙලා. බැරිවෙලා හරි වසූරිය එන්නත ඔහේලගේ වෙද මහත්තයෙක් සොයාගත්තනම් ඒක වට්ටෝරුගත කරලා මඩිගහ ගනියි. ඒක උන්දැගේ මරණෙත් එක්කම යට යාවි.”
තැපැල් මහත්තයාගේ කථාවට සිංහරත්න වෙදමහතාට ඇතිවූයේ කෝපයකි. “කථාකරන්න එපා තැපැල් මහත්තයෝ සුද්දෝ ගැන. පස්ස හොදාගන්නේ නැති මිනිස්සු නෙවැ. උන් කොච්චර උත්සාහ කරනවද අපේ රහස් වට්ටෝරු අරගන ඒවා පිටරට ගෙනියලා ඛෙහෙත් හදන්න.”
“ඉතින් ඒකේ වැරැද්දක් තියෙනවද? තැපැල් මහත්තයා ශාන්තව ඇසුවේය. “සුද්දා ඒක අරගන යයි. ඒක පේටන්ට් ගතකරලා වෙළදපෙළට දායි. ඊට පස්සේ ලෝකේ ඕනෑම කෙනෙකුට ඒක මිළදී ගන්න පුළුවන්. වට්ටෝරු ගතකරලා කාටවත් නොදී යටි මඩි ගහගෙන ඒක එක්ක මැරිලා යනවාට වඩා ඒක හොඳ නැද්ද?˜
තැපැල් මහත්තයාගේ කථාවට වෙදමහත්තයාට හොඳටම තරහ නැග්ගේය.
“මොන දේශද්‍රෝහී කථාවක්ද තැපැල් මහත්තයා ඔහේ කියන්නේ. එතකොට අපේ පාරම්පරික දැණුම සුද්දට විකුණා ගෙන කන්න දෙන්න ඕනෑ”
” වෙදමහත්තයා දැන් බලමු, ගිය අවුරුද්දේ ඔහේගේ ලොකු අයියා වකුගඩු අමාරුවක් හැදිලා ඉන්දියාවට ගිහිල්ලා වකුගඩුවක් බද්ධ කරගන ආවා. ඒක කළේ සුද්දා හොයාගත්ත දැණුමෙන් නේද? බැරිවෙලා සුද්දා වකුගඩු බද්ධ කිරීම පිළිබඳ දැණුම තුන් වෙනි ලෝකේ රටවලට දෙන්න බැහැ කියලා තහනමක් දාලා තිබුනා නම් ඔහේගේ ලොකු අයියා අද මේ ලෝකේ හුස්ම ගන්නවාද? මේ බලන්න වෙද මහත්තයෝ, ඔහේලාගේ කට්ටිය කුහකකමට දැණුම හංගාගෙන හිටපු එකයි කරේ. ඒක හරියට දිමියන් වසා ගන්නා දිමි ගොට්ට වගේ. කාටවත් පළප්රයෝජනයක් ගන්න දුන්නේ නැහැ. ඒ දැණුම එක්ක උන්දලාද මිය ඇදුණා. පරම්පරාවල මිනිස්සු පුස්කොල වට්ටෝරු හැංගුවා. අන්තිමට වංශේ කබල්ගානවා වගේ සිංහල වෙදකමේ ප්රාතිහාර්ය ගැන කථාකරනවා.”
“එහෙම කථාකරන්න එපා තැපැල් මහත්තයා˜” වෙදමහත්තයා ආවේගයෙන් කථාකළේය. “ඔහේ ළිඳෙන් වතුර බීලා මුහුදට ආවඩනවා.”
තැපැල් මහත්තයත් අත ඇරියේ නැත. “ළිඳෙන් වතුර බොන්න ළිඳේ වතුර තියෙන්න එපැයි වෙද මහත්තයෝ, ඔය පෙනිසිලින් කියන ප්‍රති ජීවකය හොයා ගැනීම නිසා මිලියන ගණනක ජීවිත බේරුණා කියලා මම ළඟදී පත්තරේක කියෙව්වා. දැන් ඔය පෙනිසිලින් බෙහෙත වෙද මහත්තයෙක් සොයා ගත්තා නම් ඒක ලෝකේ ජනතාව අතරට පත්කරයිද, නැත්නම් වට්ටෝරු ගත කරලා හංගා ගනියිද, කියලා ඔහේම කල්පනා කරල බලන්න. වෙදකමට රහස් තියෙන්න බැහැ. සුද්දා කරත් වෙද මහත්තුරු කරත් කරන්නේ ජීවිත බේරගන්න එක. ඒ නිසා මිනිස්සු ජීවත් කරවන මිනිස්සු සුවපත් කරවන දැණුම සමාජ ගත කරන්න ඕනෑ. ඒවා හංගාගෙන ඉන්නේ අන්තිම කුහකයෝ. ඒ මිනිස්සු අන්තිමට කසාය වලට ඉංග්‍රීසි බෙහෙත් දියකරල දෙනවා කිසිම ලැජ්ජවක් නැතුව. ඔන්න වෙදකමට ගිය කල”
“ඔහේ එක්ක වාද කරන්න අපි ඉගෙන ගත්තා මදි තැපැල් මහත්තයෝ. ඔහේලා ඉතිං සුද්දට කත් ඇද ඇද ඉන්නවකෝ. මම යනවා.”
වෙද මහත්තයා තම බස්තම අතට ගත්තේ තැපැල් කාර්යාලයෙන් පිටවීමටය. වෙද මහත්තයාට තරහා ගියබව දැනගත් තැපැල් මහත්තයා සන්සුන්ව කතා කළේය.
” වෙද මහත්තයෝ, මම සුද්දන්ට කත් අදින්න කතා කළේ නැහැ. මම කතා කළේ ඇත්ත යුක්ත. සුද්දා උනත් හොඳක් කළොත් ඒක කියන්න ඕන. දැන් බලන්න වෙද මහත්තයා පොඩි කාලේ ක්ෂය රෝගයට එන්නත් ලබා ගත්තනේ. මටත් පොඩි කාලේ එන්නත් කරලා තියෙනවා. අපිට කාසෙ නොහැදුණේ ඒ එන්නත් නිසා. ඒක හොයාගත්තේ සුද්දෙක්. සුද්දගේ දැනුමෙන් අපි ජීවත් වෙනවා. අපේ දැණුමෙන් සුද්දත් ජීවත් කරවනවා. අන්න ඒකයි අපි කරන්න ඕනේ. ඔය රහස් වට්ටෝරු තවදුරටත් රහස් වශයෙන් තියාගෙන ඉන්න එපා. මිනිසුන්ගේ යහපතට මානව වරගයාට ඒක දෙන්න.”
සිංහරත්න වෙද මහත්තයාගේ මුහුණට සමච්චල් සිනහවක් අවේය.
“මහත්තයෝ, ඔය එක එකා කියන විදියට අපේ රහස් වට්ටෝරු එළියට දාන්නේ නැහැ. ඒවා අපි පරම්පරාවෙන් පරම්පරාවට ආරක්ෂා කරගෙන ආවේ පණ වගේ. මං යනවා යන්න”
මෙසේ කියූ වෙද මහත්තයා තැපැල් කාර්යාලයෙන් ඉවතට පැමි‚යේ තැපැල් මහත්තයාට හොඳ හැටි හිතෙන් බනිමින්ය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
Transylvania බ්ලොග් අඩවිය https://transyl2014.blogspot.com/* අවසර ඇතිව උපුටා ගත්තකි .
පරිවර්තිත කෙටිකතාව

ගෙදර හැදුණු කොටියා
මගේ සීයාට තිමති නම් කොටි පැටියා හමු වී තිබුණේ දෙහ්රා ප්‍රදේශයට කිට්ටුවෙන් ඇති ටෙරායි කැලෑවට දඩයමේ ගිය අවස්ථාවකදී ය.
සීයා දඩයක්කාරයෙකු නොවුණත් ඒ අවට වනාන්තර සහ කඳු ප්‍රදේශ ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණු බැවින් දිල්ලියේ සිට පැමිණි ප්‍රභූ පිරිසකගේ මේ දඩයම් ගමනට සම්බන්ධ වන සේ ඔහුට ද ආරාධනා කර තිබිණි. ඔහුට පැවරුණු රාජකාරි නම් ඒ ප්‍රදේශයේ භු විෂමතා ගැන ඔවුන්ට උපදෙස් දීමත්, හදිසියේවත් ඔවුන්ට කොටියෙකු හමුවුවහොත් ඌ ව වෙඩික්කරුවන් වෙතට පැන්නීම සඳහා පත් කර සිටි කණ්ඩායමට මඟ කීමත් ය.
මේ දඩයම්කරුවන්ගේ කඳවුර පවා මහත් සුඛෝපභෝගී මට්ටමින් පැවතිණි. එහි විශාල කූඩාරම් හතක් (එක වෙඩික්කරුවෙකුට එක බැගින්), භෝජන කටයුතු සඳහා කූඩාරමක්, සහ සේවක කූඩාරම් කීපයක් විය. මේ දින කීපයේදී ඔවුන්ට ලැබුණු රාත්‍රී ආහාර වේල පවා ඉතා හොඳ මට්ටමේ පැවතුණු බව සීයා පසුව කීවේය. මහා වනය මැද කුඩාරමක උණු වතුරෙන් අත සේදීමට කෝප්ප, උණුසුම් කරන ලද පිඟන්, කොටස් හත අටකින් යුතු කෑම වේලක් සහිත භෝජන සංග්‍රහයක් නිතර දක්නට නොලැබෙන බව ඔහුගේ අදහස විය. නමුත් මෙවැනි ප්‍රභූවරුන් බලයේ සිටි කාලයේ දේවල් සිදු වූයේ එලෙසිනි. මීට අමතරව මේ දඩයම් කණ්ඩායමේ අලි ඇතුන් පහලවක් ද විය. මින් අලි හතර දෙනෙකු මත ප්‍රභූන් වෙනුවෙන් ආසන පනවා තිබුණු අතර සෙසු සතුන් පුහුණු කර තිබුණේ ගොදුර දඩයම් කණ්ඩායම වෙතට පලවා හැරීමටයි.
මේ වතාවේදී කණ්ඩායමට කොටියෙකු දකින්නටවත්, වෙනත් කිසි සතෙකු දඩයම් කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ඔවුහු මුව රංචුවක්, මොණරුන් සහ වල් ඌරන් දුටුවහ. ඔවුන් කොටියෙකු දැකීමේ අදහස අත්හැර නරින්ට වෙඩි තබන්නට පටන් ගත් විට මගේ සීයා ඒ කණ්ඩායමෙන් මඳක් ඉවත් ව කැලය මැඳින් වැටුණු අඩි පාරක් ඔස්සේ ඉන් තරමක් ඔබ්බට ඇවිද ගොස් ඇත. මෙසේ යද්දී ඔහු නුග ගසක මුල් අතර සැඟවී සිටි අඩි එකහමාරක පමණ කුඩා කොටි පැටවෙක් දුටුවේය. සීයා ඌ ව තමන් ළඟ තබාගෙන හිඳ ඊට පසුදා දඩයම් කඳවුර අවසන් වූ පසු ඌ ව ගෙදර ගෙන ආවේය. ඒ දඩයම් කණ්ඩායමෙන් කිසිවෙකුට කිසිම සතෙකු මරා ගැනීමට හෝ මෙසේ පණ පිටින් අල්ලා ගැනීමට හෝ නොහැකි වූ අතර මෙවැනි වික්‍රමයක් කර තිබුණේ සීයා පමණි.
ඒ කුඩා කොටි පැටවාට තිමති යන නම දුන්නේ මගේ අත්තම්මා ය. මුලදී ඌ තනිකරම දැඩි වූයේ අපගේ කෝකියා වන මහමුද් ඌට දුන් කිරි වලිනි. නමුත් නොබෝ දිනකින් ඌට ඒ කිරි දිරවන්නට අපහසු බවක් පෙනුණු බැවින් උගේ කෑම වේල අමු එළු මස් සහ මෝර තෙල් වලට මාරු විය. තවත් කල් ගත වෙද්දී ඌට ලැබුණු පරෙවි සහ හා මස් ගැන ඌ වඩාත් කැමැත්තක් පෙන්වීය.
තිමති ට සගයන් දෙදෙනෙකු විය. ටොටෝ නම් වඳුරා කුඩා කොටි පැටවාගේ වලිගය ඇද ඌ ට සරදම් කිරීමට තරම් නිර්භීත වූ අතර තිමති ඉන් කුපිත වූ විට ටොටෝ ජනෙල් රෙදි දිගේ නැග සැඟවිණි. මීට අමතරව සීයා පාරෙන් සොයාගත් කුඩා බලු පැටවෙකු ද මේ සමාගමට අයත් විය.
මුලදී තිමති බලු පැටවාට බෙහෙවින් බිය වූ අතර ඌ ළඟට එද්දී තිමති විසුළු සහගත ලෙස ඌ ට තම විශාල පා වනා ඈතට දුව ගොස් සැඟවිණි. එහෙත් ටික කලක් යද්දී උන් දෙදෙනා බෙහෙවින් මිතුරු වූ අතර බලු පැටවාට තම පිට උඩ නිදා ගැනීමටද කොටි පැටවා ඉඩ දුන්නේ ය.
තමන් සමඟ සෙල්ලම් කිරීමට සුදානම් ඕනෑම කෙනෙකු වෙත කුරුමානම් ඇල්ලීම තිමති ගේ ප්‍රියතම විනෝද ක්‍රීඩාවක් විය. එකල මම සීයාගේ ගෙදර නතර වන්නට ආ විට මේ ක්‍රියාව සඳහා මා කොටියාගේ ප්රියතමයෙකු විය. එවන් අවස්ථාවලදී ඌ තම දිලිසෙන දෑසේ කපටි බැල්මකින් යුතුව, පහත් වී බඩගාගෙන මෙන් ක්‍රම ක්‍රමයෙන් මා අසලට විත්, මගේ දෙපා වෙත පැන, උඩුකුරු ව වැතිරී මහත් ප්‍රීතියෙන් පා ගසමින් මගේ වළලුකර සපන බවක් පෙන්වයි.
මේ වෙද්දී තිමති හොඳින් වැඩුණු බල්ලෙකුගේ තරම විය. මා ඌ ව ඇවිදින්නට රැගෙන යද්දී ගමේ මිනිස්සු අප ව මඟ හැර යාමට උත්සුක වූහ. මෙවැනි ගමන් වලදී තිමති දම්වැල අදිද්දී මට ඌව පාලනය කර ගැනීම පහසු වූයේ නැත. නිවසේ උගේ ප්‍රියතම තැන විසිත්ත කාමරය වූ අතර, එහි වූ දිග සෝපාවේ මහත් තේජසින් යුතුව වැතිර හිඳිමින්, තමන් ව එතැනින් එළවීමට තැත් කරන අයට ගොරවමින් කාලය ගෙවන්නට ඌ ප්‍රිය කළේ ය.
තිමති ට ඉතා පිරිසිදු ගති පැවතුම් තිබිණි. ඌ බළලෙකු මෙන් තම ඉදිරි ගාත් වලින් මුහුණ සේදුවේය. රාත්රියේදී කෝකියාගේ කාමරයේ නිදා ගත් ඌ හැම උදෑසනකම ඉන් පිටතට යවන මොහොත එනතුරු බලා සිටියේ ප්‍රීතිමත් නොඉවසිල්ලකිනි.
“ඔහොම යද්දී දවසක උදේ බලද්දී තිමති මහමුද් ගේ ඇඳ උඩ ඉඳීවි. මහමුද් ගේ ඇඳුම්, සපත්තු විසිරිලා තියේවි, ඒත් මහමුද් නම් දකින්න නැතිවෙයි!” අත්තම්මා අනාවැකි පවසන ස්වරයෙන් නිතර කීවාය. එහෙත් ඇත්තටම නම් එවැන්නක් සිදු වූයේ නැත. තිමති ට සය මසක් පමණ වයසේදී ඌ තුළ යම් වෙනසක් දක්නට වූ අතර ඌ එන්න එන්නම මිත්‍රශීලී බවින් අඩු විය. මා ඌ ව ඇවිදින්නට ගෙන යද්දී දිවගොස් කාගේ හෝ සුරතල් පෙකිනීස් බල්ලෙකුට හෝ බළලෙකුට කුරුමානම් අල්ලන්නට උත්සාහ කිරීම් වැඩි වනු පෙනිණි. ඇතැම් රාත්‍රී කාලවලදී අපට කුකුළු කූඩුව වෙතින් බියපත් කෑගැසීම් ඇසුණු අතර ඊට පසු දිනයේ බරාඳය පුරාවට කුකුල් පිහාටු විසිරී තිබිණි. මේ හැම දෙයක්ම නිසා තිමති ව නිරතුරුව ගැට ගසා තැබීමට සිදුවිය. අන්තිමේදී ඌ මරණීය අදහසකින් යුතුව මහමුද් වෙත කුරුමානම් පාන බවක් පෙනෙන්නට වූ විට තිමති ව සත්වෝද්‍යානයකට මාරු කිරීමට කාලය එළැඹ ඇති බව සීයා තීරණය කළේ ය.
කිට්ටුම සත්වෝද්‍යානය තිබුණේ සැතපුම් දෙසීයක් එපිටින් ලක්නව් ප්‍රදේශයේ ය. සීයා තිමති ට සහ තමන්ට දුම්රියේ පළමු පන්තියේ මැදිරියක් වෙන් කරවා ගත්තේ ඔවුන් යන දුම්රිය මැදිරියක යාමට වෙන කිසිවෙකු අකමැති වූ බැවිනි. මෙලෙස තිමති ව ලක්නව් වෙත රැගෙන යනු ලැබුණු අතර සත්වෝද්‍යාන පාලකයෝ ද හොඳින් කෑම ලබා වැඩුණු, සෑහෙන තරමේ හොඳ හැසිරීමක් ඇති කොටියෙකු තෑගි ලබන්නට සතුටු වූහ.
මීට මාස හයකට පමණ පසු අත්තම්මාත් සීයාත් ලක්නව් වෙත නෑදෑ ගමනක් ගොස් තිබිණි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සීයා එහි සත්වෝද්‍යානයට ගොස් තිමති ගේ සැප දුක් විමසන්නට තීරණය කළේ ය. මේ ගමනට මා එක් වූයේ නැතත් ඔවුන් ආපිට දෙහ්රා වෙත පැමිණි පසු මට ඒ ගැන සියලුම විස්තර ආරංචි විය.
සත්වෝද්‍යානයට ගිය පසු සීයා කෙලින්ම තිමති රැඳවූ කූඩුව වෙත ගොස් ඇත. මේ වෙද්දී වැඩිහිටි තරමට වැඩී, අලංකාර ඉරි සලකුණු සහිතව සිටි තිමති , එදින සිට ඇත්තේ තම කූඩුවේ කෙළවරක ගුලි වී හිඳිමිනි. .
“හලෝ තිමති !” කී සීයා, කූඩුව වටා වූ යකඩ වැට පහසුවෙන් තරණය කර කූඩුව වෙත ගොස් එහි කූරු අතරින් දෑත දමා ඇත. කොටියා තමන් වෙත පැමිණි විට සීයා උගේ හිස දෑතින්ම බදාගෙන අතගාන්නට පටන්ගෙන තිබේ. හිස අත ගාමින්, දෙකන් කිතිකවමින් ඉන්නා විටදී කොටියා ගොරවන්නට උත්සාහ කළ විට සීයා උගේ මුවට අතුල් පහරක් දී ඇත්තේ පෙර පුරුදු ලෙසිණි.
නොබෝ වෙලාවකින් තිමති සීයාගේ දෑත ලෙවකන්නට පටන්ගෙන ඇතත් යාබද කූඩුවේ සිටි ව්‍යාඝ්‍රයා වරින් වර කූඩු දෙක අතර මායිමට පනින්නට වූ බැවින් ඒ හැම වාරයකම ඌ බිය වී සීයා වෙතින් ඉවත් වී තිබේ. සීයා මේ ව්‍යාඝ්‍රයාට තරවටු කර එලවා දැමූ විට තිමති නැවතත් ඔහු වෙත පැමිණයත් ව්‍යඝ්‍රයාගේ බාධා කිරීම වරින් වර සිදු වූ බැවින් තිමති වැඩි වෙලාවක් ගත කර ඇත්තේ තම කූඩුවේ කෙළවරක බියෙන් ඇකිලෙමිනි.
මේ වෙද්දී මිනිසෙකුගේ සහ කොටියෙකුගේ මේ සොඳුරු මුණගැසීම දකින්නට නරඹන්නන් කිහිප දෙනෙකු රැස් වී තිබිණි. සෙනඟ අතරින් මතු වූ සත්වෝද්‍යාන සේවකයෙකු සීයා වෙත පැමිණ ඔහු කුමක් කරන්නේදැයි විමසා ඇත.
“මම මේ තිමති එක්ක කතා කරනවා,” සීයා කියා ඇත. “මම මෙයාව මීට මාස හයකට කළින් මෙතැනට භාර දෙද්දී තමුන් හිටියේ නැද්ද?”
“මම මෙහෙ වැඩට ඇවිත් ඒ තරම් කල් නැහැ,” පුදුමයට පත් වූ සේවකයාගේ පිළිතුර විය. “කරුණාකරලා ඔය දෙන්නා දිගටම කතාකරන්න. මට නම් ඌව කවදාවත් අල්ලන්න බැරි වුණා, ඌ හැමදාම හරි කේන්තියෙන් ඉන්නේ.”
“මෙයාව වෙන තැනකට නොදාන්නේ ඇයි?”සීයා අසා ඇත. “මේ එහා පැත්තෙ ඉන්න ව්‍යාඝ්‍රයා මෙයාව නිතරම බය කරනවා. මම ගිහින් සුපරින්ටෙන්ඩන්ට් හම්බවෙලා කතා කරන්නම්.”
මෙසේ පවසා සත්වෝද්‍යානයේ සුපරින්ටෙන්ඩන්ට් සොයා ගිය සීයාට ආරංචි වී ඇත්තේ ඔහු එදා වේලාසනින් පිටව ගොස් ඇති බවයි. එබැවින් සත්වෝද්‍යානය තුළ ටික වෙලාවක් ඇවිදිමින් ගත කළ සීයා නැවතත් තිමති ගේ කූඩුව වෙත ගොස් ඇත්තේ උගෙන් සමුගැනීමට යි. ඒ වෙද්දී ඇඳිරි වැටෙමින් තිබිණ.
නැවත වරක් කූඩුවේ කූරු අතරින් තිමති ව අත ගාමින්, ඌ ගොරවද්දී අතුල් පහර දෙමින් විනාඩි පහක් පමණ ගත කරද්දී තවත් සත්වෝද්‍යාන සේවකයෙකු බියෙන් මෙන් තමන් දෙස බලා සිටින බව සීයා දැක තිබේ. මොහු මීට සය මසකට පෙර තමන් තිමති ව එහි භාර දීමට පැමිණි විට සිටි සේවකයන්ගෙන් කෙනෙකු බව සීයා හඳුනාගෙන ඇත.
“ඔහෙට නම් මාව මතක ඇති,” සීයා කීවේය. “තිමති ව මේ මෝඩ ව්‍යාඝ්‍රයා ගෙන් වෙන් කරලා වෙන කූඩුවකට මාරු කරන්නේ නැත්තේ ඇයි?”
“ඒත් – සර්-” සේවකයා ගොත ගසන්නට විය. “මේ සර්ගේ කොටියා නෙමෙයි.”
“හරි හරි මම දන්නවා,” සීයා නොරිස්සුමෙන් කීවේය. “මම දන්නවා දැන් මූ මගේ නෙමෙයි කියලා. ඒත් අඩු ගානේ මගේ යෝජනාවට කන් දෙන්න ඔහෙලාට පුළුවන් නේ.”
“මට සර් ගේ කොටියාව හොඳට මතකයි,” එවිට සේවකයා කීවේය. “ඌ මීට මාස දෙකකට කළින් මළා.”
“මැරුණා!”
“ඔව් සර්, නිවුමෝනියාව හැදිලා මළේ. මේ ඉන්න කොටියා අර කඳුකර පැත්තෙන් අල්ලාගෙන ආවේ ගිය මාසේ, ඌ හරිම භයානක සතෙක් සර්!”
මෙය අසා සීයා නිරුත්තර විය. මේ වෙද්දීත් කූඩුවේ වූ කොටියා වැඩෙන උනන්දුවකින් ඔහුගේ අත ලෙවකමින් පසුවී ඇත. සීයා ඉතාමත් සෙමින් ඒ වෙතින් තම අත මුදාගෙන පිටතට ගෙන ඇත. කූඩුව තුළ වූ කොටියාගේ මුව සමීපයට එහි කූරු වලට මෙපිටින් තම මුහුණ ලං කළ සීයා, ‘සුබ රාත්‍රියක් තිමති ’ යැයි කියා, සේවකයා වෙත රවා බලා, ඉක්මන් ගමණින් සත්වෝද්‍යානයෙන් පිටවී ගොස් තිබේ.
Translation of the Short Story ‘A Tiger in the House’ by Ruskin Bond

පරිවර්තනය – හෙල්මලී ගුණතිලක
Hot chocolate days බ්ලොග් අඩවියෙන් , අවසර ඇතිව උපුටා ගත්තකි


