බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර
පාසැල් සමය නිමවී ටික කලක් ගියා
ඉන් අනතුරුව මා රැකියාවකට ගියා
සමහර යෙහෙළියන් හදිසියෙ දීග ගියා
කවුරුත් කියයි මා දැන් යුවතියකි කියා
අම්මා අප්පච්චි මාවත් මැදින් තියා
සුරතල් කරනවා තවමත් දුවේ කියා
විද්දේ නොමැත තවමත් මට අනංගයා
නොදනිමි කොහේ ඇතිදැයි මගේ කුමාරයා
අම්මා අප්පච්චි දෙදෙනා තනිකරලා
දීගෙක යන්න සිදුවෙයි දවසක අඬලා
කොහේ ගියත් මම තනියම වෙරදමලා
ආපසු ගෙදර එනවා අම්මා සොයලා
මට මගෙ කාමරය දෙව් විමනකි ගෙදර
අම්මා කවනවා මට තවමත් නිතර
යන්නට සිතක් නැත මට කොහොමත් එතෙර
බින්න කසාදයකට ඉඩ ඇත ගෙදර
සිසිල් මාන්නප්පෙරුම
Brampton – Canada
අයෝමා
අයෝමට වැරදුනේ එකම එක දවසක්
සමාජය ගැරහුවේ ඉදන් ඒ සවසක්
වීදියේ කොන ඉදන් වික්ක ඒ පහසක්
කවදාද හෙලිකලේ ඇය කිසිම රහසක්
කරුමයට වෙන්කරත්, ඒ නරුම ගතියක්
ඇයයි හිත හොද එකී තිබ්බ එක පැතුමක්
ලෝකයට පෙන්නලා පැතුම් මල් සහසක්
දිනෙන් දින බොද කලේ ඇගෙ හීන දහසක්
හිරිපොදේ ගුලිවුණත් ලැයිම් කොන අයිනේ
හද කොනේ කිසි ඉඩක් තිබුණු අය නැහැනේ
වැහැරිලා ඇගේ රුව ගිලුණු ඇස් අයිනේ
ඇයට වින කල අයට කිමද පල දුන්නේ
රුවන් හරිස්චන්ද්‍ර
Missisauga – Canada
ඔබ මට වාසනාවන්
සෙනෙහෙන් සැදුම් ලත් අමයුරු මියුරු තෙද
හැඟුමෙන් ලයට තෙරපී සුව විඳින ලද
පැතුමන් එතී ආ මිහිරක අරුම පද
අතරින් තෙපුල් දිය දිවියට අරුත බැඳ
තවමත් එදා මෙනි වෙනතක නැති බැඳිලා
සතුටක් වෙසින් රජ වෙන සෙනෙහයෙ එතිලා
සහසක් පැතුම් තෙරපෙයි හද විල පිපිලා
මදහස් මුවින් කොඳුරයි ඔබ මගෙ කියලා
ලඟ දැවටෙමින බිඟු ලෙස සියුමැලි මලට
දුක හා සැපත සම ලෙස මුසුකර පෙමට
හද නැඟි සුසුමකින් දී උණුහුම බරට
වෙනු මැන වාසනාවන් අද වගෙ හෙටට
දර්ශනි රූපසිංහ
Hamilton – Canada
සංකල්පනා..
කනප්පුව උඩ කහට වතුරට..
කුඹි නටනවා ගොමිමනේ..
තවම නැත්තේ ඇයිද නුඹ අද..
අම්මා වැට ලග හාමතේ..
පහන් පැල ලග ලොක්කි..
කෑ මොර ගැසුවේ ඇයිදෝ මේ වගේ..
පහන් පැල ගිණි අරන් වැටුණා..
ඇයිද මගේ හද භියවුනේ..
දහයේ කණිසම වැදිලා වරුවක්..
හිල් බත් ටික සිතලේ..
අම්මා මොරදි බිමට වැටුණා..
කවුදෝ ඉන්නේ වැට ඉමේ..
ශ්‍යාමලී ගමගේ..
Brampton – Canada
පියාණෙනි
කඳුළු උල්පත් ගලා ගිය තැන්
දෙකයි තිබුණේ එකක් සිඳුණා
විසිර ගිය පෙති එකතු වුණු මල්
බඳුන කැඩිලා චිසිර තිබුණා
කතර කෙම්බිම් දෙකක් තිබුණා
එකක් නෑ එහි වතුර සිඳුණා
කුරුළු ගී රැව් දිදී කන වැකි
ගසක් ඉදිරී බිමට වැටුණා
අහස දුක්බර ලෙසට හඬමින්
මුසලම ලෙස ඔහේ තිබුණා
පියාණෙනි ඔබ යලි නේන ඒ
කඳුළු අම්මගෙ ඇසින් සැළුණා
කුසල හාමුදුරුවෝ
Bhante Kusala
රබන් කවියක්
තක්කිට තරිකිට රබන් තාලයට
තාලෙට රග දෙන වන්නම් නාදෙට
තාලම් පොට දෙන ටිං ටිං සද්දෙට
නටන්න බැරි නම් දෙපා කුමට මට
දෙපා වැහුනු පොඩි පාද සලම් පට
ගිගිරි හඩක් දෙන ගෙජ්ජි තාල පට
ඒකට හරියන තම්මැට්ටම් බැට
දවුල් බෙරත් ගෙන අත්ලෙන් පිට පිට
රගන වයන මේ ලමා ලපටි ටික
හොලවන හිස මත දමා ජටා ටික
ගස්සන ලස්සන දෙපැත්ත ටික ටික
රගන රගේ නොඅගයා කෙලෙසද?
යමුනා උඩුගම
St. Catherines – Canada