කැනඩාවේ කවි සිතුවිලි

රණවිරුවන්ට කවි ගී ලියවුණා මදී 

විරු සෑයෙන් රැස් විහිදෙයි අහස උසට අර           බලපන්

හිරු කිරණින් තෙද පතුරයි පොළොව පුරා මේ       බලපන්

තරු එළියෙන් එළිය සදයි අඳුරු ලොවට අර         බලපන්

විරු දරුවන් ඒ එළියෙන් රට රැක දෙන බව          සිතපන්

මහ වැස්සට ගිනි අව්වට බඩ ගින්නට උන්            දවමින්

ඉහ අස්සට කුණු දාගෙන ඉන්ට එපා පව් අපෙ            උන්

මහ ගස් යට තනි තනියට අහස උසට ලොව        තනමින්

කළ යුද්දෙට කෑ කට්ටට උඹලා මොක්කුදැයි        හිතපන්

අත නොහරින පසු නොබසින ගුවන මුහුද රැක         දුන්න

තෙත වැගිතරන කඳුළු විඩා වියළි බතට ලුණු         වැන්න

උන් නොමැරෙන තැන් සොයමින යුධ බිම වෙත පිය  මැන්න

යෝධ රැළයි මගෙ මව් බිම සැමදා යළි              උපදින්න

කුසල හාමුදුරුවෝ 

Brampton – Canada

ශ්‍රී ලංකා නිදහස් සංවත්සර සැමරුම

සුපසන් හිරු අතරින් ලොව දිලෙමින් සිට       පොරණේ

විකුමන් කළ නිරිඳුන් ගුරු ඇදුරන් දිනු             නිතිනේ   

බටයන් දිවි ගෙවමින් යුධ කරමින්  රැකි          බැවිනේ

අභිමන් තෙද පතුරන් අද සිහළුන් හෙළ         දෙරණේ 

( තෙනෙත් ඡන්දසට අයත් කමලා විරිත ඇසුරෙන්  )

දර්ශනි රූපසිංහ 

Hamilton – Canada

එතකං නංගී අවදිව අයියන්ඩියේ

තබවා ඉණි හරි හරියට , සදවා නිසි ලෙස ඉණිවැට

ජීවිතයට පාර කියූ පුංචි සන්දියේ

පුබුදා පැතුමන් පිට පිට , ජීවන ගමනම එළිකොට

සැදූ පහන් තරුව ඔබයි මගේ සුදු අයියන්ඩී

හිත රිදිලා හරි හරියට, ඇදිලා ගිය මහ රැල්ලට

සුනාමියේ දුක රිංගූ පාළු වංගියේ

නොසැලී මහමෙර විලසට, සනසා සිත මා දැඩිකොට

දුන්නු දිරිය තාමත් ඇත මතක මන්ඩියේ

යොදුන යොදුන පියමං කොට, ඉගිල ගියත් දුරු රටකට

සීතල පිණිකැට සුසුමන් දැනෙන වංගියේ

ඈත අහස් කුස පසුකොට, රැහැන් කුළුණු නැග හනිකට

එන ඇමතුම නුබෙ උණුහුම පුරවයි අයියන්ඩියේ

රුවන් හරිස්චන්ද්‍ර 

Toronto – Canada

නෙත්ති මාලේ (නව) කවි

දෙපා ගුරුලු විත් නුඹ පා             අඹරාය

නුඹෙ සුනිඳු මුහුණේ කුණු           තවරාය

වැටුණු වල ගැඹුර නුඹ තවමත්  නොදනීය

මල්කම් ගිනි ගනී දෙවියොත්        පිටුපාය

තැඹිලි පැහැ වටොර දැයකට එළිය දෙති

යහන තනති නුඹ එන සැකයෙන්     පිරිමි

යුද්දෙට පසුව ආ බලවත්        හැගීමෙනි

දෙපා ලග තබා රට, රට ඔල්වර     නගති

කුමන සැකයක්ද නුඹ ලස්සණයි     තමා

පාර්වතී පරදන මෙනි රුවැති          උමා

බලන් පුරා හඳ අහසේ නුඹම         තමා 

කවට කමට වත් ආපසු හැරෙනු      එපා

නුඹ නැවතුණේ කවුඩන් බානක්     ළගය

තව පලයං මොනරෙක් හමුවන     තුරුම

මොදර ඉඳං දෙව්පුර දුර බව       සැබව

වෙහෙස නොගන් සුරිඳුන් හමුවනු නිසැක

චන්ද්‍රරත්න බණ්ඩාර

ටොරොන්ටො  නගරය

ඔබ ඇවිත් යන්න එන්න

ඔබ ඇවිත් යන්න එන්න

හදවතේ ලැගුමි ගන්න එන්න

දහසක් කියැවෙන දෙනුවන් දැක

නොදැක ඉන්න මට මුමුනන්න

අයාලේ ගිය සිතට දැනෙන

උණුසුමි හාදුවේ‍ තතු නොකියන්න

නිවි දැල්වෙන පහන් තිරයේ

අසුභ නැකතින් උපන් කුමරිය

සනසවන්න රැයේ පැමිනෙන්න

කාත් කවුරුත් නොදත් තතු

අසා.. මැසිවිලි නොකියන්න

නුඹට නොකි රස රහසේ

හුස්ම අතරින් සැගවුනු

ප්‍රේමයේ නිමිහිමි නොපෙනෙන

සිතක නලියන

සුසුමි පවන් සලා නැගෙන

සුළං රැලින් හදේ සැතපෙන්න

මාත් අමතක නොකල

ප්‍රේමයේ

දියඹ දිගේ පිපාසයෙන්

ඇවිදින්න..

ශ්‍යාමලී ගමගේ..

Brampton – Canada

බිරිඳ මගේ නුඹ

බිරිඳ මගේ නුඹ මේ දිවිගමනේ

සෙවනැල්ලක් සේ ලඟ හිඳිනා

සොඳුර මගේ නුඹ සසර සරනතුරු

මා හා එක්වී සැරි සරනා

දිනිඳු නුඹ මට එලිය දෙවනා

සඳකි නුඹ මට සිසිල දෙවනා

මවකි නුඹ මට ලමැද හොවලා

සෙනෙහෙ වඩලා වියොව නසනා

විලකි නුඹ මට නිමල දියපිරි

මගේ දිවියේ පවස නිවනා

මගේ දෙවොලේ පිදෙන දෙවඟන

නුඹයි සිරිකත නිවසෙ දිලෙනා

අමිල සෙනෙහෙස පිදුව නුඹ මට

බැඳුනදා රන් හුයෙන් දෑඟිලි 

නිමල පිය සෙනෙහසක උරුමය

උදාකළෙ දූ කුමරියන් දී

කඳුල සුසුමද ගතේ රිදුමද

නිවයි  විකසිත සිනාමල් මුව

තුමුල මහමෙර විලස නොසැලී

දිරිය දෙන නුඹ ලඳකි පින්බර

ජගත් රූපසිංහ

ටොරොන්ටෝ නගරය 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *