ප්‍රංශ විප්ලවයේ සියවස සමරා ඉදිකළ ලොවක් වශීකල අයිපල් කුළුණ, නෝවා ස්කොෂියාවේ කිලෝ මීටර් 300 ක අත්ලාන්තික් සාගර මායිමේ අසිරිය – Cabot Trail

ප්‍රංශ සංචාරයක මතක

විවිධ චිත්‍රපට වලින්, පොතපතින් දැනගෙන තිබුනු ප්‍රේමවන්තයින්ගේ නගරයේ අයිපල් කුළුණ ඉදිරියේ සේයාරුවක් ගන්න කාලෙක ඉදන්ම මගේ ආසාවක් තිබුනා. මේ අයිපල් කුළුණට ගිය චාරිකාවේ මතක සටහනක්.

යුරෝපයේම දේශපාලන දිශානතිය වෙනස් කළ ප්‍රංශ විප්ලවය සිදුවුණේ 1789 දී. ඒ වනවිට යුරෝපයේ ජනප්‍රිය වෙමින් පැවති සම්ප්‍රදාය අනුගමනය කරමින් 1889 දී ප්‍රංශ විප්ලවයේ සියවස සමරමින් ප්‍රංශයේ බලය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කරන්නට යමක් කළ යුතු යැයි ප්‍රංශ රජය තීන්දු කළා. ඒ වෙනුවෙන් යම් සිහිවටනයක් ඉදි කිරීම සඳහා රජය විවෘත තරගයක් පැවැත්වුවා. සියයකට අධික යෝජනා අතුරින් තරඟ කමිටුව තෝරාගත්තේ පාලම් හැඳීම පිළිබඳ ප්‍රවීණත්වයක් දැරූ ගුෂ්ටාව් අයිෆල් (Gustave Eiffel) කළ යෝජනාවයි.

1889 වෙළෙඳ උත්සවය අවසානයේ මෙය ඉවත් කිරීම වැළැක්වීමේ අරමුණින් අයිපල් මෙය බහු කාර්ය කුළුණක් ලෙසින් සංවර්ධනය කළ බව කියවෙනවා. ඇමෙරිකාවේ ඔටිස් ( OTIS ) ආයතනය නිපදවූ අවට පෙනෙන සේ සකස් කළ වීදුරු කාමර සහිත විදුලි සෝපාන මෙයට එක් කළේත්, තට්ටු දෙකක නැරඹුම් තට්ටු සැලසුමට එක් කළේත් ඒ නිසා කියලයි කියන්නේ. 1890 දී කාලගුණ විද්‍යා නිරීක්ෂණ මධ්‍යස්ථානයක් විදියටත්, 1903 දී යුද සන්නිවේදන මධ්‍යස්ථානයක් විදියටත් , 1909 දී අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙසත් මෙය භාවිතා වී තිබෙනවා. 1900 , 1925,1937 යන වර්ෂ වලදී විවිධ වෙනස්කම් වලට ලක් වූ මෙයට 1920 දී මීටත් තිහක් උස රූපවාහිනි කුළුනකුත් එක්වුනු නිසා දැන් එය මීට තුන්සිය තිහකට වඩා උසින් වැඩි යි .

විවාදයකින් තොරව මේ කුළුණ ලෝකයේ ඇති ජනප්‍රියම සංචාරක කුළුණ කියා කියන්නට පුළුවන්. වාර්ෂිකව එය බලන්නට මිලියන හතකට වඩා වැඩි පිරිසක් පැමිණෙන බවයි සඳහන් වන්නේ. වානේ කොටස් දහඅටදාස් තිස් අටක් ( 18,038) භාවිතයෙන්ම පන්දහස් තුන්සියයකට ( 5,300) වඩා වැඩි ඉංජිනේරු සැලසුම් ඇතිව ඉංජිනේරුවරු සහ සැලසුම් ශිල්පීන් පනස් දෙනකුට ( 50) වැඩි පිරිසක් එක්ක මේ වැඩේට අත ගැහුවේ පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් නම් දරා සිටි සිවිල් ඉංජිනේරු අයිපල්.

මේ කුළුණෙ කොටස් දහ අටදාහක් මුලින්ම නිෂ්පාදනය කෙරුණේ ඉදිකිරීම කෙරුණු බිම් කඩට කිලෝමීටර් තුනක් තරම් දුරකින් පිහිටි Lavallois Perret කර්මාන්ත ශාලාවේ දී. පාපැදී සහ මෝටර් රථ නිෂ්පාදනයේ නිරත වූ එම සමාගම වානේ වැඩවලට නම් දරා සිටි ආයතනයක්. හරිහැටි ගණනය කිරීම් කර දශමයට නිවැරදි සේ කපා පුරුද්දා තැනූ කොටස් අශ්වයන් විසින් ඇද ගෙන ආ භාණ්ඩ ප්‍රවාහන රථ මගින් මෙතැනට ප්‍රවාහනය කෙරුනා. ඒ වෙනුවෙන් එකසිය පනහකට (150) වඩා වැඩි සේවක පිරිසක් කර්මාන්තශාලාවේදී තම ශ්‍රමය කැප කළා කියලයි කියන්නේ. ඉදිකිරීම් කළ පරිශ්‍රයේ තවත් සේවකයන් තුන්සියයක් (300) විතර වැඩ කළා කියා වාර්තා වෙනවා. වානේ කොටස් සම්බන්ධ කරන්න රිවට් මිලියන දෙකයි දශම පහක් ( 2,500,000 ) භාවිතා කලාලු.

Emile Nouguier සහ Maurice Koechlin කියන ඉංජිනේරුවන්ගේ නායකත්වයෙන් Stephen Sauvestre කියන නිර්මාණ ශිල්පියා මේ කුළුණේ සැලසුම ඇඳ තිබෙනවා. වියදම සහ තාක්ෂණික කාරණා සලකා බලා ඔහු මුලින්ම ඇඳ තිබූ සමහර කලාත්මක නිර්මාණ කොටස් ඉවත් කළ බව කියවෙනවා. 1887 ජනවාරි 26 වැනිදා ඉදි කිරීම ඇරඹුණු මෙය 1889 මාර්තු 31 වැනිදා ද ඉදිකිරීම අවසන් වන විට වසර දෙකකුත් මාස දෙකක් සහ දින පහක කාලයක් ගතකර තිබුණා. මෙහි තිබූ අසීරුතම රාජකාරිය වුණේ කොටස් සම්බන්ධ කරන රිවට් ගහන එකලු. එය සඳහා සේවකයින් හතර දෙනාගේ කණ්ඩායම් හදලා තිබුණා. පළමුවැන්නා රිවට් එක රත් කරන්න. දෙවැන්නා එය අල්ලා ගන්න. තුන් වැන්නා රිවට් එකේ හිස සකස් කරන්න. හතරවැන්නා මිටියෙන් එයට තදින් පහර දෙන්න. ඒ වැඩේ කොච්චර අමාරුද කියනවා නම් මිලියන දෙකයි දශම පහක රිවට් වලින් තුනෙන් දෙකක්ම අපතේ ගිහින් කුළුණේ සවිමත් බව දරාගෙන ඉන්නේ ශක්තිවන්ත වාසනාවන්ත රිවට් ගොන්නකින් තුනෙන් එකක් විතරයි. මේ කුළුණට භාවිතා කල වානේ ප්‍රමාණය මධ්‍යම ප්‍රමාණයේ දුම්රිය පාලම් පහක් හදන්න ප්‍රමාණවත් කියලත් කියනවා

මාස පහක් තිස්සේ ඉදි කළ කොන්ක්‍රීට් පාදමක් මත ඉදිවුණු මේ කුළුණේ මුළු බර ටොන් දහදාස් එකසීයක්.( 10,100) . වානේ වල බර පමණක් ටොන් හත් දහස් තුන්සීයක් ( 7,300) .පළමු මහලට යාම සඳහා විදුලි සෝපාන පහක් සහ දෙවන මහලට යාම සඳහා තවත් විදුලි සෝපාන දෙකක් තිබෙනවා.

මෙහි පාදමේ තිබෙන විවෘත ප්‍රදේශයට කියන්නේ Esplande කියලයි. එහි මැදට ගිහින් බැලුවාම ඔබට ඒ ඉදි කිරීමේ අපූර්වත්වය හොඳින් බලන්න පුළුවන්. මේ වෙනකොට ජංගම දුරකථන QR කෝඩ් එකකින් ඔබට කළ හැකි අපූරු අත්දැකීමක් තියෙනවා. කුළුණේ නිර්මාතෘ අයිපල් එක්ක ඔබට එයින් අතීතයට යන්නට පුළුවන්. කණු හතරෙන් උතුරු කණුව පාමුල 1929 මැයි දෙවැනි දා අයිපල් සිහි වන්නට නිර්මාණය කළ ප්‍රතිමාවක් තිබෙනවා. එය නිර්මාණය කර තිබෙන්නේ Antoine bourdelle විසින්.

කාලයෙන් කාලයට තාක්ෂණයෙන් වෙනස් විදුලි සෝපාන පහක් බිම්මහලේ සිට පළමු මහලට පිරිස් ගෙන යනවා. උතුරු නැගෙනහිර සහ බටහිර කණුවල සංචාරකයන් සඳහා විදුලි සෝපාන තුනක් තිබෙනවා. භාණ්ඩ ප්‍රවාහනය කරන විදුලි සෝපානය තිබෙන්නේ දකුණු කුළුණේ. ජූල්ස් වර්න් භෝජනාගාරය වෙනුවෙන් වෙන මම විදුලි සෝපානයක් ක්‍රියාත්මක වෙනවා. දෙවන සහ තෙවන මහල්වලට යාම සඳහා තවත් විදුලි සෝපාන දෙකක් තිබෙනවා .

රාත්‍රී කාලයට කුළුණේ ආලෝකය දල්වන වේලාව බලන්න බොහෝ දෙනා ඒ අද්දරට එකතු වෙලා ඉන්නවා එය බලන්නට වටින අපූරු දර්ශනයක්. ඒ වගේම රාත්‍රියේ 11.45 ට හෝ ගිම්හාන කාලයේදී රාත්‍රී දොළහයි හතළිස්පහට විදුලි පහන් නිමා දැමීමට පෙර කරන දීප්තිමත් කිරීමත් අපූරුයි. 1985 දෙසැම්බර් 31 වැනි දා ප්‍රබල ප්‍රදීප්ත විදුලි බුබුළු 336 කින් මේ වැඩේ පටන් ගත්තෙ Pierre Bideau. මේ වනවිට සැතපුම් 25 ක් දුර විදුලි රැහැන් ජාලයක් එක්ක විදුලි බුබුළු විසි දහසකට ( 20,000) වැඩි ප්‍රමාණයක් මේ දීප්තිමත් කිරීමට යොදවා තිබෙනවා.

මේ කොටස අපේ බ්ලොග් රචක ඩ්‍රැකී කියූ ඔත්තුවකට පස්සෙ ලියූ එකක්. 1925 වෙනකොට අයිපල් කුළුණ හදලා අවුරුදු 38 ක් ගතවෙලා. හැම අවුරුදු 7 කට වතාවක්ම මලකඩ කෑම වලක්වන්න මෙය පින්තාරු කරන්න විතරක් ටොන් 60ක තරමේ තීන්ත ප්‍රමාණයක් යනවාලු.පලමු ලෝක යුද්ධයෙන් පස්සෙ මේ කාලයේ ලෝකයේ හැම රටක්ම දැඩි ආර්ථික අවපාතකයට ලක්වෙලා. මේ වෙනකොට දැඩි නඩත්තු වියදමක් තිබුනු අයිපල් කුළුණ සුදු අලියෙක් කියල ප්‍රංශ ජනතාව අතර අප්‍රසාදයට පත්වෙලා කුළුණ ආණ්ඩුව ඒක පරණ යකඩවලට කපා ඉවත්කරන්න යනවා කියල කටකතාවක් තිබිලා තියෙනවා.

මේ තත්වය තේරුම් ගත්ත වික්ටර් ලුස්ටින් ( Victor Lustig ) කියන පුද්ගලයා හරි කපටි උපායක් ක්‍රියාත්මක කලා. ඒ තමයි තැපැල් සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විදිහට පෙනී සිටිමින් රහසිගතව අයිපල් කුළුණ පරණ යකඩ වලට විකුණන එක. ඒ වෙනුවෙන් පැරිසියේ ලොකු හෝටලයක පරණ යකඩ වෙළෙද පිරිසක් එක්ක රහසිගත හමුවක් පවා පවත්වලා තියෙනවා. ව්‍යාජ ලිපි ලේඛන හදල දුන්නාම අන්තිමේදී ඇන්ඩ්රේ පොයිසන් (Andre Poisson ) ප්‍රංශ ෆ්‍රෑන්ක් මිලියන 1.2 කට කුළුණ ගන්න කැමතිවෙලා. අල්ලස් විදිහට ප්‍රංශ ෆ්‍රෑන්ක් 70,000 ක් අරගත්ත ලුස්ටින් ඔස්ට්‍රියාවේ වියානා වලට පැනලා ගිහින්. ඒක පොලීසියට වාර්තා වෙලා තිබිල නැහැ . කාලෙකට පස්සෙ ආයෙමත් ඇවිත් අයිපල් කුළුණ විකුණන්න හදනකොට පොලිසියේ අවධානය යොමු වෙන බව දැනගෙන ඇමෙරිකාවට පැනලා ගිහින්. 1935 දී ලුස්ටින් ගේ
පෙම්වතිය ගෙන් ලැබුණු ඔත්තුවකට අනුව නිව් යෝර්ක් පොලීසිය අත් අඩංගුවට ගත්තාම ඔහුගේ හොර වෙළදාම් ගැන හෙලි වුනාලු.

“ මාතාහාරී” නම් නළඟන ජර්මන් ඔත්තුකාරියක ලෙස සලකා අත්අඩංගුවට ගැනීම සඳහා හමුදා පණිවිඩය යැවුනේ මේ කුළුණේ මධ්‍යස්ථානය හරහා යැයි කියවෙනවා. ඒවගේම දෙවන ලෝක යුධ සමයේදී ජර්මනිය ප්‍රංශය අල්ලා ගත්තත් මෙහි සේවක පිරිස් අයිපල් කුළුණේ විදුලි සෝපානවල කේබල කපා තිබූ නිසා ජර්මන් සෙබලුන්ට නාසි ධජය ඔසවන්නට වුණේ කුළුණේ බඩගාගෙන ගිහින් කියලයි කියන්නේ ඒවගේම හිට්ලර්ට තම ඓතිහාසික සේයාරුව ගන්න සිද්ධ වුණේත් අයිපල් කුළුණ පේන තෙක් මානයේ බිම ඉදල. 1944 දී මිත්‍ර හමුදා ප්‍රංශය මුදවා ගැනීම සඳහා එද්දී අයිපල් කුළුණ විනාශ කරන්න කියා හැකි හිට්ලර් නිකුත් කළ අණ එවකට ප්‍රංශය පාලනය කල ජර්මානු හමුදා නිලධාරියා ක්‍රියාත්මක නොකළ නිසා අදටත් අපට බලන්නට අයිපල් කුළුණ ඉතිරිව තිබෙනවා.

අයිපල් කුළුණ ගැන බොහෝ දෙනා නොදන්නා නිතර අහන්නට නොලැබෙන තොරතුරු පමණක් එකතු කරන්නට මම මේ සටහනේදි උත්සාහ ගත්තා. අන්තර්ජාලයට ගියොත් ඔබට අයිපල් කුළුණ ගැන බොහෝ තොරතුරු දැනගන්නට පුළුවන්. හවසක අයිපල් කුළුණට ගිහින් සෙයින් නදියේ පාවෙන අවන්හලක රෑ කෑමක් අරගෙන රාත්‍රියේ ආලෝකමත් වන කුළුණ බලන්න පුළුවන් නම් මේ නගරය ප්‍රේම පාරාදීසයක්ම තමයි කියල ඔබටත් වැටහේවි .

තොරතුරු – Encyclopedia Britannica, Wikipedia

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2026/02/blog-post_14.html

නෝවා ස්කොෂියාවේ කිලෝ මීටර් 300 ක අත්ලාන්තික් සාගර මායිමේ අසිරිය – Cabot Trail

අත්ලාන්තික් සාගරයට මුහුණලා පවතින නෝවා ස්කෝෂයා පළාතේ උතුරු කොටස හැඳින්වෙන්නේ Cape Breton Island යන නමින් .විවිධ භූ විෂමතා ලක්ෂණවලින් පිරුණු ස්වභාවික රක්ෂිතයක් එහි උතුරු කොනේ පිහිටා තිබෙනවා. Cape Breton Highlands National Park නම් එය අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වෙනවා. Fall colours බලන්නට කැනඩාව යන්නට පුළුවන් තැන් ගැන තොරතුරු රැසක් අප මීට පෙර සංචාරයක මතකය තුළින් කතා කර තිබෙනවා. කැබොට් ට්‍රේල් කියන්නේ කැනඩාවේදී ෆෝල් කලර්ස් අපූරුවට විදින්නට පුළුවන් පරිසර පද්ධතියක්.

පරක් තෙරක් නොපෙනෙන අත්ලාන්තික් සාගරයේ කඳු පන්ති රැසක අපූරු භූ විෂමතාවයන් රැසක් අත්විඳෙන්නට පුළුවන් දර්ශනීය මාර්ගයක් විදියට Cabot Trail ලෝකෙ පුරා සංචාරකයින්ගේ අතිශය ජනාදරයට පත්ව තිබෙනවා . ඒ මාර්ගය දිගින් කිලෝමීටර් 298 ක් දිගයි. ( සැතපුම් 185ක් ) .ගිම්හාන කාලයේදීත් ඉතා දර්ශනීය දසුන් ඔබට දකින්නට ලැබෙන මේ මංපතේ කොළපාටින් කහපාටට , රතුපාටින් තැඹිලි පාටට වර්ණවත් වන කාලයේ සරත් ඍතුවේ (Autumn ) ගමන විචිත්‍රයි.

කැබොට් ට්‍රේල් එක ගමන් කරන්නට පුළුවන් විදි දෙකක් තිබෙනවා .ඒ ගැන විවිධ මත හා තර්කත් තිබෙනවා. එක විදිහක් තමයි ඔරලෝසුවෙ කටු කැරකෙන ආකාරයට ගමන් කිරීම ( Clockwise ) . එහෙමත් නැත්නම් ඔරලෝසුවෙක් කටු කැරකෙන දිශාවට ප්‍රතිවිරුද්ධව ගමන් කිරීම ( Counter Clockwise) . මම මේ දෙවිදියටම කැබොට් ට්‍රේල් එක හරහා ගිහින් තියෙනවා. අප මෙවර අපේ ගමන ගියේ Counter Clockwise විදියටයි. ඒ විදියට යද්දී වාහනය නවතා පරිසරය රසවිඳින්න තිබෙන නැරඹුම් ස්ථාන වාහනය පදවන දකුණු පසට වන්නට පිහිටුවා තිබෙන නිසා රියදුරාට පහසුවෙන්ම නවතන්නට පුළුවන් වෙනවා.කෝඩු කාරයන් විදිහට කැබොට් ට්‍රේල් එක බලන්නට යන අයට පුරුදුකාරීන් කියන්නේ Counter Clockwise විදිහට යන්න කියලයි. ඒ වුනත් ඔබට පහසු නම් අනිත් අතට ගියත් ඒ රස විඳීමේ නම් අඩුවක් නෑ.

Clockwise විදියට යන්නට යෝජනා කරන අය කියන්නේ මුහුද රියදුරාට කෙලින්ම දර්ශනය වන නිසා ඔහුට හොඳ පෙනුමක් ලැබෙන්නේ ඒ විදියට ගියාම කියලයි. ඒ වගේම ඒ මාර්ගයේ හමුවන Cape Smokey Mountain තරණය කිරීමත් පහසු හින්දා ඔබ ට්‍රේලර් එකක් ඇදගෙන යනවා නම් හෝ RV – Recreational Motorhome එකක යනවා නම් එය ඔබට පහසුවක් වේවි.

ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නා කාරණයක් වන්නේ මේ ගමනේ කිලෝමීටර් අසූ හතක දුරක් ගමන කෙටි කරගන්නට ඔබට භාවිතා කළ හැකි පහසුකමක් තිබෙන බව . ඒ කේබල් එකක් භාවිතයෙන් ක්‍රියාත්මක වන Englishtown පාරුව . ඒ පාරුවෙන් ඔබේ ගමන් කාලය පැයකින් පමණ ඉතිරි කරගන්න පුළුවන්. කිසිදු අය කිරීමකින් තොරව විනාඩි තුනක තරමේ කෙටි ගමනකින් ඔබට ඒ පාරුවෙන් එගොඩට යන්නට පුළුවන්. වාහන දාහතක් පමණක් ගෙනියා හැකි කුඩා පාරුවක් නිසා සමහර විට එය වෙනුවෙන් නැවතී ඉන්නවාට වඩා පැයක ගමන වටින්නත් පුළුවන්

දර්ශනීය නැරඹුම් ස්ථාන රැසක් තිබුණත්,  විශේෂයෙන්ම ඉර බැසීම වීඩියෝ ගත කරන්නටසහ  විවිධ කෝණවලින් සේයා රූ රූගත කරන්නට පිරිස් පොරකන නිසා ඔබට එවන් අවශ්‍යතාවයක් ඇත්නම් කාල කළමනාකරණය කරගැනීමත්,  කලින්ම වාහනය ආරක්ෂිතව නැවැත්විය හැකි තැනක් සොයා නවතා තැබීමත් වැදගත් වන්නේ වංගු සහිත ඒ මාර්ගයේ වාහන කිසිදු තැනක නැවත්වීමට අවසර නොදෙන නිසා සහ  නැරඹුම් ස්ථානවල වාහන නැවැත්වීමේ ඉඩ සීමා සහිත නිසා.

සංචාරකයින් බහුල වසරේ මැයි සිට ඔක්තෝබර් කාලසීමාවේදී කැබෝට් ට්‍රේල්වල ඇති Cape Breton Highlands National Park පාවිච්චි කරන අයවලුන් ඒ සඳහා ප්‍රවේශපත්‍රයක් ගත යුතු වෙනවා. ඒ ප්‍රවේශපත්‍රය දින දෙකකට වලංගුයි. එහෙත් මේ වසරේදී (2025) කැනේඩියානුවන්ට කැනඩාව තුල සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විසින් ජාතික උද්‍යානවල ඇතුළුවීමේ ප්‍රවේශ පත්‍ර ගාස්තුවල අය කළේ නැහැ Cape Breton Highlands National Park ජාතික උද්‍යානය තුළ කදවුරු බිම් ( RV & Non RV camp grounds), බයිසිකල් මං පෙත් ( Bicycle trails), ඇවිදින මං පෙත්( Walking Trails) , ඕෆ් රෝඩ් ට්‍රැක්ස් රැසක් පිහිටා තිබෙන නිසා සාමාන්‍යයෙන් සංචාරකයින් දෙන දෙකක්වත් මෙහි ගත කරන බව කියවෙනවා. ඊට අමතරව මේ මාර්ගයේ විවිධ තැන්වල පෞද්ගලික ව්‍යාපාරිකයින් විසින් පවත්වා ගෙන යන නවාතැන් පල රැසක් දර්ශනීය ඉසව් වල තිබෙනවා.

දිය ඇලි ගවේෂණය කිරීම, වැනි ආකේඩියන් සංස්කෘතික උරුම ඇති ගම්මාන දැක බලා ගැනීම , මුහුදු වතුර හා මිරිදිය වතුර මුසු Ingonish Beach වගේම මුහුදු තල්මසුන් බලන්නට යන සංචාරයක ( Whale watching ) යන්නත් කැබොට් ට්‍රේල් එකේ යන අයට කරන්න පුළුවන්. Cape Smokey Mountain ගොන්ඩෝලාවක නැගලා ඒ පරිසරයේ අසිරිය බලන්නත් ඔබට පුළුවන්.

Skyline Trail, Middle head Trail, Long shielding Trail ඔබ අත නොහැර අත්දැකීම් ලැබිය යුතු ඉතා ජනප්‍රිය  ඇවිදින මං පෙත්  තුනක්.

අනුරුද්ධ වැලිගමගේ

සේයාරූ ගොන්නක් සහ සිතියම් එක්ක මේ විස්තරය බලන්න මේ දිගුවෙන් මගේ බ්ලොග් අඩවියට යන්න

https://ahasgawwenehalokaya.blogspot.com/2025/10/300-cabot-trail.html

ගමනක මතකය වැඩසටහන් පෙල ඔස්සේ අපි රූපණ කණ්ඩායම ඔබව කැනඩාවේ විවිධ ඉසව් කරා ගෙන යනවා. 2023,2024 වසර වලදී අපි පංච මහා විල් ආශ්‍රිත ප්‍රදේශ වගේම කැනඩාවේ රොකී කදු කලාපයේ ජාතික උද්‍යාන වල ගමන් මතක ඔබ වෙත ගෙන ආවා. 2025 පටන් අපි ඔබව පළාත් මට්ටමින් විවිධ ඉසව් වලට එක්කගෙන යනවා. මීට පෙර අපි  නිව් බ්රුන්ස්වික් සහ එඩ්වඩ් කුමාර දිවයින පළාත් වලට ගියා ඔබට මතක ඇති. රූපණ වෙබ් අඩවියට ගිහින් ඔබට ඒ  වැඩසටහන් බලන්න පුළුවන්.

අඩු මුදලකින් , අඩු මහන්සියකින් ඔබට මේ අවුරුද්දෙ විවේකී දවස්වලට ඒ තැන් වලට යන්න මේ වැඩසටහනත්  උදව්වක් වේවි

මේ දිගුවෙන් ඔබට වැඩසටහන බලන්න පුළුවන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Total visits Today