
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකාවලට ඉරානය විසින් පහර දෙන සෑම අවස්ථාවකදීම, ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ පාලමක් හෝ බලගාරයක් බැගින් විනාශ කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.දෙපාර්ශ්වය අතර යුදමය තත්ත්වය සහ ගුවන් ප්‍රහාර සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, සටන් විරාමයකට පැමිණීම සඳහා වූ අන්තර්කාලීන ගිවිසුම ද මේ වන විට බිඳ වැටී තිබේ.
“මෙතැන් සිට ඉස්ලාමීය ඉරාන ජනරජය මගින් හෝමුස් සමුද්‍ර සන්ධියේ නෞකාවකට මිසයිල, රොකට්, ඩ්‍රෝන හෝ වෙනත් ඕනෑම ආයුධයකින් පහර දෙන සෑම අවස්ථාවකම, අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයේ එක් පාලමක් හෝ බලගාරයක් බැගින් බෝම්බ හෙළා විනාශ කරනු ඇත,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ.
මීට අමතරව ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමග සාකච්ඡා පැවැත්වීමට අමෙරිකාවට කිසිදු උනන්දුවක් නොමැති බවය. එමෙන්ම ඉරානයේ නටාන්ස් (Natanz) පරමාණුක මධ්‍යස්ථානය අසල පිහිටි, පොළොව යට ඉදිකරමින් පවතින ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානය වෙත ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවටද ඔහු ඉඟි කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීම සඳහා ඉරාන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පාකිස්තානයේ සංචාරයක නිරත වී ඇති අතර, ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ තවමත් පණිවුඩ හුවමාරු වෙමින් පවතින බැවින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සම්පූර්ණයෙන්ම නතර වී නොමැති බවය.
අමෙරිකානු බලකායන් විසින් ඉරානය වෙත එල්ල කළ 11 වන රාත්‍රී ගුවන් ප්‍රහාර මාලාවත් සමග ඉරාන අගනුවර වන ටෙහෙරානය පුරා පිපිරීම් රැසක් වාර්තා වී ඇත. මීට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් ජෝර්දානයේ අකාබා (Aqaba) නගරය වෙත මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, බහරේනය සහ සවුදි අරාබියට ද ප්‍රහාරාත්මක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජෝර්දාන හමුදාව පැවසුවේ අකාබා නගරයට ඉහළින් පැමිණි ඉරාන මිසයිල 4 ක් සහ ඩ්‍රෝන යානා 4 ක් සාර්ථකව විනාශ කළ බවය. ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය දින 11 තුළ එල්ල වූ අමෙරිකානු ප්‍රහාරවලින් පුද්ගලයන් 53 දෙනෙකු මියගොස් 600 කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇත.
ලෝක බලශක්ති සැපයුමෙන් පස්සෙන් පංගුවක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමත් සමග ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු පිරිස් වෙත “දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස” අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව, “මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ ලෙස ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ හැකියාවක්” පවතින බව සඳහන් වේ.
එමෙන්ම මැද පෙරදිගට පරිබාහිරව පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයන් පවා ඉලක්ක කර ප්‍රහාර එල්ල වී ඇති බවත්, ඉරානය සහ ඉරානයට සහාය පළකරන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ අමෙරිකානු ජාතිකයන් ගැවසෙන ස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවත් එම නිවේදනය මගින් පෙන්වා දෙයි.
මෙයට අමතරව, දැනට මැද පෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානු ජාතිකයන්ට ගුවන් ගමන් අවලංගු වීම් සහ ගමන් බාධා කිරීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දන්වා සිටින අතර, දැනට මැද පෙරදිගින් පිටත සිටින අමෙරිකානුවන් එම කලාපය හරහා ගමන් කිරීම හෝ සංචාරය කිරීම ගැන නැවත සලකා බලන ලෙස අමෙරිකානු රජය වැඩිදුරටත් උපදෙස් දී ඇත.


